(අංජුල මහික වීරරත්න)

රටම එකට ජාතික මෙහෙයුම් වැඩසටහන යටතේ ප්‍රකාශයට පත් කරන ලද විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය හෙට(1) සිට ඇරැඹෙයි.

මාර්තු 1 වැනිදා සිට සතියක් මෙලෙස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස ප්‍රකාශයට පත් කරන බව රටම එකට ජාතික මෙහෙයුම් සභාව පවසයි.

මෙම විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියේදී විෂමද්‍රව්‍ය අලෙවිය හා බෙදාහැරීම පාලනය කර මර්දනය කිරීම සහ විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පිරිස් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර බණ්ඩාර මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරුන්,පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට දැනුම් දෙයි.

ආයතන කාර්ය මණ්ඩල, සිවිල් ප්‍රජාව සහ පාසැල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මෙන්ම විෂ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය කළ හැකි ප්‍රචාරණ වැඩසටහන්, නිලධරයන් සහ ප්‍රජාව සම්බන්ධ කරගනිමින් සිදු කෙරෙන වැඩසටහන්,බස් රථ, ත්‍රිරෝද රථ හා පාසැල් ළමුන් ප්‍රවාහනයේ නිරත වන වාහන සම්බන්ධ කර ගනිමින් විවිධ ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ එම චක්‍රලේඛයේ සඳහන්ය.