(සුජිත් හේවාජුලිගේ )

ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයට චීන රජය ප්‍රදානයක් වශයෙන් ලබාදී ඇති  රුපියල් කෝටි  4ක් පමණ වටිනා  ඡංගම ජල තත්ව පරීක්ෂණ රථය  කිසිදු පරීක්ෂණ කටයුත්තක් සඳහා යොදා නොගෙන අමාත්‍යංශ පරිශ්‍රයේ ගාල්කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළඅලුත්ම  වාර්තාවක සඳහන් වේ.

එසේම අමාත්‍යාංශයේ තවත් වාහන තුනක් එහි කටයුතු සඳහා යොදා නොගෙන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි  ගාල් කර ඇති බවද  එම වාර්තාවේ දැක්වෙයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් වාහන හතරක් පසුගිය වසරේදී  ජලසම්පාදන සහ  වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය කාර්ය මණ්ඩලයේ පරිහරණයට මුදල් අමාත්‍යාංශයේ  අවසරයකින් තොරව යොදාගෙන  ඇතැයිද  විගණන විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.

රාජ්‍ය ව්‍යවසාය අරමුදල්වලින්  මිලදී ගත් වාහන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියක්  ගත යුතු බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර අමාත්‍ය වරයාගේ පෞද්ගලික ලේකම්වරයාට ලබාදී තිබු රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා වාහනයක් රාජ්‍ය අමාත්‍යාංශය අහෝසිවීමෙන් පසු අමාත්‍යාංශයට බාරදී තිබූ අවස්ථාවේදී අනතුරට ලක්ව ඇති බවත්  මේ පිළිබඳව පොලීසිය දැනුවත් නොකිරීම නිසා එහි අලූත්වැඩියා වියදමවූ රුපියල් පන්ලක්ෂ හැත්තෑ දෙදහසක  මුදල  ගෙවීම රක්ෂණ ආයතනය ප්‍රතික්ෂේප කර තිබූ බවත් විගණන අංශ පවසයි.

කෙසේ නමුත් රජයට  සිදුවූ පාඩුවට වගකිවයුතු අය හඳුනාගෙන ඔවුන්ගෙන් එම මුදල් අයකරගැනීමට මේ වර්ෂයේ මාර්තු 27 වැනිදා වනවිටද කටයුතු කර නොතිබූ බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ 2022 වාර්ෂික කාර්ය සාධන වාර්තාවේය.