(හර්ෂණ තුෂාර සිල්වා, බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට පොරොන්දු දෙමින් බලයට පත්වන සියලු දෙනා බලයේ රස වැටුණු පසු තමන් දුන් පොරොන්දුව අමතක කරන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා අද (28) පස්වරුවේ පැවැසීය.

තොරතුරු නිදහස, යහපාලනය, විධායක ජනාධිපති ධූරය, බලය අවභාවිත කිරීම, දූෂිත පාලනය යනාදී සටන් පාඨ අද ඊයේ ඇති වූ ඒවා නොවූ බව කී කතානායක කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකාව තොරතුරු නිදහස දිනා ගැනීම සඳහා දීර්ඝ කාලයක සිට සටන් කළ බව ද කීවේය.

මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ දෙවැනි දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් කතානායක කරු ජයසූරිය මහතා එම කරුණු සඳහන් කළේය. සමුළුවේ දෙවැනි දිනය ගල්කිස්ස මහ හෝටලයේදි පැවැත්විණි.

දෙවැනි දිනයේ පළමු සැසියේ මුඛ්‍ය දේශනය කළ කතානායක කරු ජයසූරිය මහතා මෙසේ ද පැවැසීය. 

“තොරතුරු නිදහස, යහපාලනය, විධායක ජනාධිපති ධුරය, බලය අවභාවිත කිරීම, දූෂිත පාලනය යන සටන් පාඨ අද ඊයේ ඇති වූ ඒවා නෙමෙයි. ඒවා බොහෝ කාලයක් තිස්සේ ඉදිරිපත් වූ යෝජනා සහ පොරොන්දු. තොරතුරු දැනගැනීමේ නිදහසත් ඒ ආකාරයෙන් කාලයක් තිස්සේ කතාබහට ලක්වූ මාතෘකාවක්.

තොරතුරු දැනගැනීමේ නිදහස දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවත් දීර්ඝ ගමනක් පැමිණියා. ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ නිදහස ඉල්ලීම සටන ආරම්භ වන්නේ සමාජයේ පහළම තැනින්. ශ්‍රී ලංකාව ඊට වෙනස්. අධ්‍යාපනික ප්‍රජාව සහ වාමාංශික දේශපාලකයන් තුළ එම වුවමනාව තිබුණා.

එක්දහස් නවසිය අනූව දශකයේදී තොරතුරු නිදහස, යහපාලනය, දූෂණය තුරන් කිරීම යනාදිය ස්ථාපිත කිරීම සඳහා දැඩි උනන්දුවක් තිබුණා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විශාල සටනක් ගෙන ගියා. ඒ කාලයේදීත් වැඩිම බලයක් තිබූ ජනාධිපතිවරයා වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයායි. ඒ නිසා යම්කිසි පාලනයක් ගෙන ඒමේ අවශ්‍යතාව තිබුණා. ජනාධිපතිවරයා අනිසි ලෙස බලය අවභාවිත කිරීම නැවැත්වීමේ උනන්දුවක් තිබුණා.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම පිළිබඳ යෝජනාව වසර 1990 සිටම ඉදිරිපත් වුණා. අවස්ථා කිහිපයකදීම එම යෝජනාව ඉදිරිපත් වුණා. සෑම ජනාධිපතිවරණයකදීම, සෑම මහ මැතිවරණයකදීම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සටන් පාඨයක් බවට පත්වුණා. එහෙත් බලයට පත්වුණාට පසු සියලු දෙනාටම එම පොරොන්දුව අමතක වී යනවා. ඔවුන් එම පොරොන්දුව නොසලකා හරිනවා. බලයේ රස වැටුණු පසු බොහෝ අයට තමා දුන් පොරොන්දුව අමතක වී යනවා.

තොරතුරු නිදහස අයිතිය ගැන කතා කළොත් එහි ඉතිහාසය 1990 දශකය දක්ව දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා.

අද වනවිට ජනතාව තොරතුරු දැනගැනීම වෙනුවෙන් දැඩි උනන්දුවක් දක්වනවා. එය ඉතාම හොඳයි. මා ඉතාමත් සතුටට පත්වෙනවා ගම්මානවල ජනතාවගේ තිබෙන උනන්දුව ගැන. ඔවුන් තොරතුරු දැන ගැනීමට විශාල උනන්දුවක් දක්වනවා.

රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් අපි 1998 දී සමීක්ෂණයක් කළා. මහජන අරමුදල්වලින් සියයට 40කට ආසන්න දූෂණය හා නාස්තියට ලක්වන බව එයින් අනාවරණය වුණා.

එහෙත් මේ තොරතුරු අනාවරණය විය යුතුයි. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ නිදහස සුරක්ෂිත විය යුතුයි. තොරතුරු අනාවරණය වීම ඇතැම් විටෙක ආණ්ඩුවට අවාසිදායක වුවත් යහපැවැත්ම උදෙසා තොරතුරු නිදහස සුරක්ෂිත විය යුතුයි”.

මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල මහතා තොරතුරු නිදහස තවදුරටත් ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාපත් විය යුතු යැයි පැවැසීය.

දෙවැනි සැසිය ඇමතූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඬේසන් මහතා ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ නිදහස පනතක් කරමින් තොරතුරු අයිතිය නීතියක් මඟින් සුරක්ෂිත කිරීම දීර්ඝ කාලයක් මුළුල්ලේ කරන ලද කැප කිරීම්වල ප්‍රතිඵලයක් යැයි කීය.

තොරතුරු දැනගැනීමේ නිදහස සුරක්ෂිත කිරීම සඳහා තවත් පියවර ගත යුතු බව කී නඬේසන් මහතා තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ නීතියේ බාධාවන ආකාරයේ නීතිරීති පුළුල් සාකච්ඡාවක් තුළින් සංශෝධනය කළ යුතු බව ද කීවේය.

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ඉදිරියට යන තේමාව යටතේ දෙවැනි දිනයේ අවසන් සැසිය අද (28) පැවැත්විණි. යුනෙස්කෝ සංවිධානයේ සන්නිවේදන සංවර්ධන අංශයේ හිටපු සන්නිවේදන අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර, ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකාවන් වන කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන්,  කැනඩාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ටෝබි මෙන්ඩෙල්, ඉන්දියාවේ පළමු ප්‍රධාන තොරතුරු කොමසාරිස් හබිබුල්ලා වජාහත්, බංග්ලාදේශයේ ‘ද ප්‍රොතොම් අලෝ’ පුවත්පතේ සම කර්තෘ මිසනූර් රහ්මාන් ඛාන් යන මහත්ම මහත්මීහු සැසිවාරවලට එක්වූහ. 

දෙස් විදෙස් මාධ්‍යවේදීන්, ජනමාධ්‍ය විෂය හදාරන සිසුහු ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටියහ. හෙට (29) සමුළුවේ තෙවැනි දිනයයි.