බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරට සෙනසුරාදා (3) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාර දෙකකින් 9 දෙනකු ජීවීතක්ෂයට පත්ව 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

‘ලන්ඩන් පාලම’ මත සිටි සාමාන්‍ය වැසියන් වෙත වෑන් රථයක් ධාවනය කරමින් එක් ප්‍රහාරයක් ද ‘බරොව් මාර්කට්’ වෙත පැමිණි ප්‍රහාරයකු පිහි ප්‍රහාර එල්ල කරමින් තවත් ප්‍රහාරයක් ද කර තිබිණි.

හදිසි ඇමතුම් අංකවලට ඇමතුම් ලැබී මිනිත්තු අටක් ඇතුළත ආයුද සන්නද්ධ පොලිසිය සිදුවීම් වූ ස්ථාන වෙත පැමිණි අතර පොලිසිය කළ වෙඩි තැබීම්වලින් බරොව් මාකට් ප්‍රදේශයේ දී ප්‍රහාරයකන් තිදෙනකු මියගිය බව වාර්තා විය.

බරොව් මාකට් යනු ලන්ඩන් නුවර පිහිටි අවන්හල්, සාප්පු ආදිය සහිත ලන්ඩනයේ පැරැණිතම හා විශාලතම වෙළෙඳපොළවල් පිහිටි ප්‍රදේශයයි. බරොව් මාකට් ප්‍රදේශය ලන්ඩන් පාලමේ සිට විනාඩි කිහිපයකින් යා හැකි දුරකින් පිහිටා තිබේ.

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයට දින පහක් තිබියදී මෙම ප්‍රහාරය එල්ල වූ අතර මෙම ප්‍රහාරය පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලයේදී බ්‍රිතාන්‍යයට එල්ල වූ තෙවැනි මාරාන්තික ප්‍රහාරය විය.

මාර්තු මස 22 වැනිදා ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාලම මත සිටි සාමාන්‍ය වැසියන්ට යට කරමින් මෝටර් රථයක් ධාවනය කර තිබූ අතර බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව තුළට පුද්ගලයකු කඩා වැදීමට උත්සහ කර තිබිණි.

බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු සිදුවීමෙන් ප්‍රහාරකයා ඇතුළු හය දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 50කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එම ප්‍රහාරය හා අයි.එස් සංවිධානය අතර සම්බන්ධයක් තිබෙන බව බ්‍රිතාන්‍ය පොලිසිය පැවැසීය.

ඉකුත් මැයි 22 වැනිදා මැන්චෙස්ටර් හි පැවැති ඇමෙරිකා ගායිකා අරියානා ග්‍රාන්ඬේ ගේ ප්‍රසංගයකට එල්ල වූ ප්‍රහාරයකින් 22 දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ප්‍රහාරය හේතුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු නවතා දැමීමට තීරණය කළ බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

"පොලිසියේ ආරක්ෂාව භාර නිලධාරීන්ගේ තොරතුරු මත ලන්ඩන් ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි නම් කරන්න පුළුවන්. ලන්ඩනයේ වගේම අනෙකුත් නගරවලත් ආරක්ෂාව උපරිම මට්ටමේ තැබීමට අප කටයුතු කරනවා” යැයි බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රහාරකයන් තිදෙනා පුපුරණ ද්‍රව්‍ය සහිත ඇඳුම් කට්ටල ඇඳ සිටි බවට වාර්තා වූ අතර එහෙත් එම ඇඳුම් කට්ටලවල පුපුරණ ද්‍රව්‍ය කිසිවක් නොවූ බව වාර්තා විය. ප්‍රහාරකයන් තිදෙනා ‘බරොව් මාර්කට්’ ප්‍රදේශයේ සිටි පිරිසට පිහි ප්‍රහාර එල්ල කළ බව වාර්තා විය.

මෙම සිදුවීම්වලින් පසු මධ්‍යම ලන්ඩනයේ හා ඒ අවට ප්‍රදේශ මුද්‍රා තැබීමට බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත විමර්ශන ඒකක කටයුතු කර තිබූ අතර ආයුද සන්නද්ධ පොලිසිය සහ හමුදාව මුර සංචාරවල ද නිරත විය.

පුද්ගලයන් 48 දෙනකු ලන්ඩන් නුවර පිහිටි රෝහල් පහක ප්‍රතිකාර ලබන බවත් සුළු තුවාල ලැබූ තවත් පිරිසකට එම ස්ථානයේදීම ප්‍රතිකාර කළ බවත් ලන්ඩන් නුවර ගිලන් රථ සේවය පැවසීය.

තුවාල ලැබූවන්ගෙන් ඇතැමකුගේ තත්ත්වය බරපතළ යැයි ලන්ඩන් නුවර පුරපති සදීක් ඛාන් මහතා පැවැසීය.

බ්‍රිතාන්‍යයේ ආරක්ෂක තත්ත්වය උපරිම මට්ටමේ පවත්වාගෙන යන බවත් නැවත ප්‍රහාර එල්ල වනු ඇතැයි යන අවදානම සැලකිල්ලට ගනිමින් කටයුතු කරන බවත් ලන්ඩන් පුරපතිවරයා කීය.

මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් පසු ආරක්ෂක තත්ත්වය උපරිම මට්ටමට ඉහළ දැමූ අතර දින කිහිපයකට පසු ආරක්ෂක තත්ත්වය නැවත පහළ දැමීය.  


(රොයිටර් 055)