(විනීතා එම්. ගමගේ)


පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද (09) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගනුලැබ ඇත. නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන නම් මෙම ව්‍යාපාරිකයා වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි.
ඔහු විසින් පදවන ලද වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස් තිබේ. මියගිය දෙදෙනාගෙන් අයෙක් වකුගඩු රෝගය සඳහා පොලොන්නරුව මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මියගිය දෙදෙනාගෙන් අයෙක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ක්‍රියාකාරී සාමාජිකයකු බවද වාර්තා වේ. අනතුර සිදුවූ අවස්ථාවේ පලාගිය ව්‍යාපාරිකයා අද (09) උදෑසන පැමිණ පොලොන්නරුව පොලීසියට බාරවී තිබේ. අනතුරුව අත්අඩංගුවට ගන්නා ලද රියදුරා ලබන සඳුදා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
මිය  ගිය එකම පවුලේ සහෝදරයින් දෙදෙනාගෙන් අයෙක් වන ඒ. ජේ. එම් ජයරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණේ පොලොන්නරුව දිස්ත‍්‍රීක්කයේ ක්‍රියාකාරී සාමාජිකයකු බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී හිඟුරක්ගොඩින් මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානමින් සිටි  බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඔහු යටිගල්පතාන දිරිය පුරවැසි කමිටුවේ සභාපතිවරයා යැයි ද කියැවේ.  
මෙම අනතුර සිදුවූ ස්ථානයේ තිබු සී සී ටීවී කැමරාවක අනතුර සටහන් වී තිබුණත් වාහනයේ අධික වේගය නිසාම සිද්ධිය පැහැදිලිව දැකගැනීමට පවා නොහැකි බව ද එම ප‍්‍රකාශකයා කීය.