(සිරාජ් හසීම්)

උතුරු පළාත් සෞඛ්‍ය හා ධීවර අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය වෙනස් කරගනිමින් ඔවුන් දෙදෙනාගේ අනිවාර්ය නිවාඩුව ඉවත් කළ බව එම පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාට  අද (19) ලිඛිතව දැනුම් දී ඇත.

මේ අනුව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් හා ධීවර හා ප්‍රවාහන ඇමති පී.ටෙනීස්වරන් මහත්වරුන්ට සිය රාජකාරී වැටුප් ලබාගැනීමේත් අමාත්‍යංශ වාහන භාවිතා කිරීමේත් හැකියාවක් ඇති බවද එම ලිපිය මගින් තවදුරටත් ප්‍රකාශ කර ඇත.

පළාත් සභාවේ හටගෙන ඇති අර්බුදකාරී තත්වයට විසදුම් වශයෙන් දූෂණචෝදනාවන්ගෙන් නිවැරදිකරුවන් වූ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගෙන ඇති  දඩුවම් ක්‍රියාමාර්ගය වෙනස් කරගන්නැයි දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් උතුරු මහ ඇමති සී.වී විග්නේෂ්වරන්ගෙන් කරන ලද ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන ඇති අතර මෙම අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහි චෝදනා වලට අමතරව තවත් චෝදනා මේ වන විට එල්ල වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එම අමාත්‍යවරුන් දෙදෙනාට උපදෙස් ලබා දීම පිළිබද සිය ස්තූතිය පුද කරන බවත් විග්නේෂ්වරන් මහතා සම්බන්ධන් මහතාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.

උතුරේ අමාත්‍ය මණ්ඩලයේ දූෂන චෝදනා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයට අනුව උතුරු පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන අමාත්‍යවරුන් දෙදෙනාට ඉල්ලා අස්වන්නැයි මහ ඇමතිවරයා විසින්  නියෝග කළ අතර චෝදනා සනාථ නොවූ සෞඛ්‍ය හා ධීවර අමාත්‍යවරුන් දෙදෙනා පිළිබදවද වැඩිදුර විමර්ශන සිදුකිරීමේ අරමුණින් ඔවුන් අනිවාර්ය නිවාඩු යවා ඔවුන්ගේ අමාත්‍යධූර මසකට අත්හිටුවනු ලැබිණි.