(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන් විසි හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දැනුම් දුන්හ.

විත්තිකරුවන් 24 දෙනා වෙනුවෙන් විත්තිවාචක ඉදිරිපත් කිරීම සහ විත්තිකරුවන් වෙනුවෙන් සාක්කි ඉදිරිපත් කිරීම අවසන් වීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුවට එලෙස දින නියම කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක, සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුවේ විභාගය දිනපතා පැවැත්වේ.

2019 වසරේ පාස්කු ඉරු­දින කොළඹ, මීග­මුව සහ මඩ­ක­ල­පුව ප්‍රදේ­ශ­වල පිහිටි කිතුනු දේව­ස්ථාන හා සංචා­රක හෝටල් ඉලක්ක කර­ග­නි­මින් මරාගෙන මැරෙනක ඔබ ප්‍රහාර මාරාවක් එල්ල කිරීමට ආධාර අනුබලදීම එලෙස ප්‍රහාර එල්ල කර පුද්ගලයන් 493 දෙනෙකු ඝාතනය කිරීම තවත් පන්සිය හැට අට දෙනෙකු ඝාතනය කිරීමට තැත්කිරීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නීතිපතිවරයා විසින් මොහො­ම්මදු ඊබ්‍ර­හිම් මොහො­ම්මදු නව්ෆර් හෙවත් නවු­ෆර් මවු­ලවි ඇතුළු විත්ති­ක­රු­වන් 24 දෙන­කුට එරෙ­හිව නඩු පවරා තිබිණි.

පැමි­ණිලි පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2309ක් සාක්ෂි ලබා දුන් අතර පසුගිය 17 වැනිදා පැමිණිලි වෙනුවෙන් සාක්කි ඉදිරිපත් කිරීම අවසන් කෙරිණි .

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචක සහ විත්තියේ සාක්ෂි කැඳවීම (17) දින සිට ආරම්භ කිරීමට අධිකරණය නියම කර තිබුණි. ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන් පිරිසක් විත්ති කූඩුවේ සිට සිය විත්තිවාචක ඉදිරිපත් කළ අතර විත්තිකරුවන් පිරිසක් සමහරක් තමන් වෙනුවෙන් සාක්කිකරුවන් කැඳවන ලද අතර විත්තියේ සාක්ෂි විභාගය අද (24) සවස 6.00ට පමණ අවසන් විය.

දිනපතා පැවති සාක්කි විමසීම් වලින් අනතුරුව පැමිණිල්ල සහ විත්ති පාර්ශවයන් වෙනුවෙන් සාක්කි කැඳවීම අද අවසන් කෙරිණි.. ඒ අනුව නීතිඥවරුන්ගේ දේශනා ඇත්නම් සැප්තැම්බර් මස 09 වෙනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැමිණිලි පාර්ශවයට හා විත්ති පාර්ශ්වයට නියම කළ විනිසුරු මඩුල්ල තීන්දුව සැප්තැම්බර් මස 22 වෙනිදා ප්‍රකාශයට පත්කරන බව දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනාධිපති නීතිඥ හරි­ප්‍රියා ජය­සුන්දර, අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනාධිපති නීතිඥ සුද­ර්ශන ද සිල්වා, අධි­නී­ති­ඥ­ව­රුන් වන සජිත් බණ්ඩාර, ශක්ති ජාගො­ඩ­ආ­රච්චි, අකිලා දල්ප­දාදු යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සැදුම්ලත් නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.