(විනීතා එම් ගමගේ)
හම්බන්තොට වරායේ සේවකයන්ට ඉදිරි දෙසතිය ඇතුළත පිළිගත හැකි සාධාරණ විසඳුමක් පිළිබඳ තීන්දුවකට පැමිණ තමන් වෙත දන්වන්නැයි කම්කරු වෘත්තිය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා වරාය පාලනාධිකාරියට උපදෙස් දී ඇත.
ඔවුන් වරායට අයිති සමාගමක සේවකයන් බැවින් ඔවුන්ට සාධාරණය ඉෂ්ඨ කිරීමට ආණ්ඩුව බැඳී සිටින්නේ යැයි ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
හම්බන්තොට වරාය චීනයට බදු දීමේ ගිවිසුමේ දී සේවක ප‍්‍රජාව පිළිබඳව එම ගිවිසුමේ කිසිවක් සඳහන් කර නැතැයි ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙසක් හෝ නිර්දේශයක් හෝ ලබාගෙන නැතැයි ද හෙතෙම කීය.
466 ක්වූ මෙම සේවක පිරිස 2012 දි වරාය සේවයට බැඳුණේ සේවා ස්ථිර කිරීම් පොරොන්දුව පිට බැවින් ඔවුන් පිළිබඳ වගකීම වරාය අධිකාරිය සතු යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
වරාය අධිකාරියට බැඳි ඕනැම වරායක සේවය කිරීමට මෙම සේවක පිරිස කැමැත්ත පළ කර ඇත.
මෙම සේවක පිරිස තම රැකියා ආරක්ෂාකර දීමට මැදිහත් වන්නැයි කම්කරු අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව පැවැත්වුවේ කම්කරු අමාත්‍යංශයේ දීය. වරාය අධිකාරියේ පාලනාධිකාරිය ද මෙම සාකච්ඡාවට එක්ව ඇත.
COMMENTS
විෂය භාර ඇමති ... (හම්බන්තොට වරායේ සේවකයන්ට ඉදිරි දෙසතිය ඇතුළත පිළිගත හැකි සාධාරණ විසඳුමක් .....) ඉල්ලුවාට එය රටට හෝ මේ සේවකයන්ට වැටුප් ගෙවන රජයට පිළිගත හැකිද ? වරාය චීනාට බදු දුන් ගිවිසුම හැදුවේ කවුද? එය රජය (කම්කරු කොමසාරිස් ජනරාල්වරයා) නොදන්නේ මන්ද යන්න ඇමතිවරයා ජනතාවට පැහැදිලි කල යුතු නොවේද ? 466 ක්වූ මෙම සේවක පිරිස 2012 දි නැව් නැති වරාය සේවයට බඳවාගත්තේ ඒ පළාතේම දේශපාලු ලොක්කන්ගේ උවමනාවන් සපුරා ගැනීමට බව හැම දෙනාම දන්නා රහසක් !!!
සේවකයන්ගේ ගැටළු වලට දේශපාලකයන් සම්බන්ධ කරගනිමින් උද්ඝෝශන රැලි පැවැත්වෙන බව දකිනා දෙයක්. නමුත් මෙම ගැටළුව පිටුපස සමස්ථ රාජ්‍ය සේවයේ සේවකයන්ගේ ගැටළු පිටුපස තිබෙන්නේ රජයේ සේවකයන්ගේම ක්‍රියා කාරකම්. යවන ලද ලිපියකට ප්‍රමාදයකින් තොරව පිලිතුරක් ලබාගැනීම හැකිද? හිතාමතාම ලිපි ප්‍රමාද කරමින් සේවකයන් අසහනයට පත් නොකරන්නේද? තම නිලබලයෙන් හිස උදුම්මාගත් උසස් යයි සඳහන් කරගන්නා නිලධාරීන් සේවයන්ගේ ගැටළු සාකච්ඡා කිරීමේදී සවන්දෙනු වෙනුවට පාච්චල් කිරීම සහ උපහාසය භාවිතා කිරීම දැකිය හැකියි. එසේම ජාතින් අතර ගැටළුවට මෙය වක්‍රාකාරව බලපා ඇත. විශේශයෙන් සිංහල සේවයන් සිතනුයේ කරුමය ලෙසයි. නමුත් මාගේ අත්අදැකීම අනුව අන්‍ය ජාතීන් සිතනුයේ තමන් වෙනත් ජාතියක් නිසා හිතා මතාම තම අයිතාවසිකම්/ගැටළු සඳහා පිළිතුරු නොලබන බවයි. රජයේ සේවයේ පහල නිලධාරීන්ට ගෞරවාන්විතව තම දුක්ගැනවිලි සඳාහා ක්‍රමවේදයක් ගැන යහපාලන රජය උනන්දු වන්නේ නම් මැනවි. දේශපාලකයන් වෙත සෑම ප්‍රශ්ණයක්ම යොමු කරවීමට ප්‍රශ්ණ මැවීම උසස්නිලධාරීන් නොකල යුත්තකි.
නලින්ද මහත්තයා ෆ්‍රාන්ස්වල ඉදන් දන්නේ නැතුව ඇති හම්බන්තොට වරායේ නැව් තිබුණාද නැද්ද කියලා. ඇවිල්ලා බැලුවා නම් හරි... පිටරට ඉඳන් දොඩවන්නේ නැතුව. හැම ආණ්ඩුවම දේශපාලන පත්වීම් දෙනවා. මෙතන පැහැදිලිව තියෙන්නේ වරාය පාඩුවක් නෙවෙයි. වරායක් හදන්න ගත්ත සල්ලි අවුරුදු දෙක තුනකින් ගෙවන්න බැහැ. බොරුවට රාජපක්ෂ නමින් පලිගන්න නැව් ආපු වරායේ නැව් නවත්තලා ඒක විකුණාගෙන කෑවා. වරාය පාඩු කියන ඕනෑ කෙනෙකුට අපි අභියෝග කරනවා. පටන්ගත්ත දවසේ ඉඳන් ලැබූ දියුණුව. ඊට පස්සේ විකුණන නිසා ඒක පාඩු කරවපු හැටි. කාගෙන් රැකියා වලට ආවත් අසරණ දෙමාපියන්ගේ ලමයින් රැකියාවෙන් අයින් කරන එකද යහපාලනය... නිකන් පිටරට ඉදන් තප්පුලනවා. අශ්රෆ් වරායට කී දෙනෙක් දැම්මද, මංගල සමරවීර මොන ආණ්ඩුව ආවත් ඒ අය අයින් කලාද? මේවා පැහැදිලි පලිගැනීම්. අසියාවේ හොඳම වරාය මාගම්පුර වරාය. මේ තත්වයට ගෙනාවේ තරුණ ජවයයි.