(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
 
වැලිකඩ බන්ධනාගාරයේ  ඇතිවූ සිද්ධීන්වලින් පසුව  වෙනත් බන්ධනාගාරවලට මාරු කර යැවූණු එහි නිලධාරීන් 25 දෙනාගේ ස්ථාන මාරු කිසිවිටෙකත් අවලංගු නොකරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.

 
නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඒකාබද්ධ විපක්ෂයේ කනක හේරත් මන්ත්‍රීවරයා මේ පිළිබඳ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 
සාරතී දුෂ්මන්ත මහතා මෙසේද කීය.
 
   ‘‘මේ මාරුවීම් සම්බන්ධයෙන් විවිධ පුවත්පත්වල විවිධ දේවල් පළවී තිබුණා.නමුත් කිසිවිටෙකත් ඒ ස්ථාන මාරුවීම් අවලංගු කරන්නේ නැහැ. එහෙම තීරණයක් නැහැ.නමුත් ඒ  මාරු කිරීම් පදනම් කරගෙන යම් යම් ඉල්ලීම් කිහිපයක් ලැබිලා තියෙනවා. මානුෂීය ඉල්ලීම් කිහිපයක්.
 
බන්ධනාගාරවල විමර්ශන කටයුතු ද දිගින් දිගටම කරනවා. ඒවා නවත්වන්නේ නැහැ.බන්ධනාගාරවල අයථා ක්‍රියා නැවැත්වීමට රජය උපරිම ක්‍රියාමාර්ග ගෙන තියෙනවා .
 
කාන්තා රැඳවියන් අලුත් බන්ධනාගාරවලට මාරු කර යැවීමට කටයුතු කරගෙන යනවා.‘‘