(ක.ග කරුණාරත්න)

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්වල මානසික රෝග සායනවලින් 2016 වසරේ  ප්‍රතිකාර ලබාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 17627 ක් වන බවත් ඔවුන්ගෙන් වැඩිම පිරිසක් මානසික ආතතිය නිසා ඇතිවන විෂාදිය සහ සියදිවි නසා ගැනීමට තැත් කළ අය බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

පොලොන්නරුව මහ රෝහලෙන් පමණක් පසුගිය වසරේ මානසික රෝග සඳහා පුද්ගලයින් 10948 දෙනකු ප්‍රතිකාර ලබාගෙන තිබේ.

බකමූණ රෝහලෙන් පසුගිය වසරේ මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති රෝගීන් ගණන 1512 ක් වන බවත් ඔවුන්ගෙන් සියයට 53 ක් සියදිවි නසා  ගැනීමට තැත් කළ අය වන අතර සියයට 31 ක් විෂාදි රෝගීන් බවත් පොලොන්නරුව දිස්ත්‍රික් කේන්ද්‍රගත මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ලක්ෂ්මන් සේනාරත්න මහතා පැවසීය.

පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී අද (03) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

ඔක්තෝබර් මස 10 වෙනි දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරීම නිමිත්තෙන් මේ මස 10 සහ 11 වැනිදා පොලොන්නරුව මහ රෝහල් පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත මානසික සෞඛය පිළිබඳ ප්‍රදර්ශනය ඇතුළු ක්‍රියාකාරකම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා එම හමුව පැවැත්විණි.