ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණයේ පසුගියදා ඇතිවූ ගින්න ආරම්භ වී ඇත්තේ එහි නිවසක තිබූ ශීතකරණයකින් බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි.

එම ගොඩනැගිල්ලේ බාහිර බිත්ති ආවරණය (ක්ලැඩින්) ගිනි පරීක්ෂණයෙන් අසමත් වී ඇති අතර ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියට ඉදිකර නොමැති බවද පරීක්ෂණයෙන් හෙලිවී ඇත.


මෙම කරුණු අනුව මිනිස් ඝාතනය, සෞඛ්‍ය හා ආරක්ෂාව, ගිනි ආරක්ෂාව යටතේ වගකිවයුත්තන්ට නඩු පැවරීමට ඇති හැකියාව සම්බන්ධව කරුණු සලකා බලමින් පවතින බව නාගරික පොලිසිය පවසයි. කෙසේ වුවද පොලිසිය පවසන්නේ ගින්න හිතාමතා ඇති කළ එකක් නොවන බවයි.


සිදුවූයේ කුමක්ද යන්න ගවේෂණය කිරීමට විශේෂඥ පිරික්සුම් නිලධාරීන් 250ක් යොදවා ඇත.


ගොඩනැගිල්ල ගිනිගැනීම හේතුවෙන් 79දෙනකු මිය ගිය අතර නිවාස 151ක් විනාශ විය. මියගිය සමහර පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෙළිකරගැනීමට තවමත් නොහැකි වී ඇතැයිද සමහරවිට ඒ සඳහා සති ගනනාවක් ගතවියහැකි බව ද පැවසේ.


(බී බී සී පුවත් ඇසුරිණි - 085)