( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව විභාග කිරීම අත්හිටුවමින් නිකුත් කර තිබෙන අතුරු නියෝගය  දෙසැම්බර් මස 5 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

 

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සම අද (28) අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබා දෙන ලදී.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ විරෝධතා අද දින ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව නඩුවට අදාළ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයට ඔක්තෝබර් 19 දක්වා අධිකරණය කල් ලබා දුන්නේය.

ඒ අනුව පෙත්සම නොවැම්බර් 30 වනදා යළි කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය දැනට නිකුත් කර තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් 5 වැනි දා දක්වා දීර්ඝ කරන බව නියම කළේය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ ඉකුත් රජය සමයේ ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩු කළේ යැයි චෝදනා කර තමා ඇතුළු විත්තිකරුවන්  8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවයි.