(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු  ප්‍රහාර එල්ල කළ සහරාන් හෂිම් ඇතුළු ආගමික අන්තවාදීන් සමග එක්ව පුත්තලම වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ නීති විරෝධී ආකාරයෙන් ගිනිඅවි ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැස් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තමන් වරද පිළිගැනීමට සූදානම් බව පාස්කු මහණඩුවේ විත්තිකරුවන්  සමග චෝදනා ලැබ සිටින අනෙකුත් විත්තිකරුවෝ  දෙදෙනෙක්  ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට අද දැනුම් දුන්හ.

පාස්කු මහ නඩුවේ චෝදනාවන්ට වරදකරුවන් වී වසර 200කට වඩා අධික කාලයකට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින විත්තිකරුවන් සමගම චෝදනා ලබ සිටින අබු හනීෂා මොහොමඩ් මුසීත් සහ අමිර් හමසා මොහොමඩ් හමාස් නමැති විත්තිකරුවන් දෙදෙනායි.

පුත්තලම වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ නීති විරෝධී ආකාරයෙන් ගිනිඅවි ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැස් කිරීමේ චෝදනා මත පවරා ඇති නඩුව මීගමුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් එලෙස දැනුම් දුන්හ.

මහාධිකරණ විනිසුරුවරුන් වන ලාල් බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි හා නයෝමි වික්‍රමසේකර යන මහත්ම මහත්තීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුර මඩුල්ල හමුවේ නඩුව විභාග කෙරේ.

2018 වසරේ දී හෝ ඊට ආසන්න සමයේදී පුත්තලම වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ දි පුපුරන ද්‍රාව්‍ය ලෙස සැලකෙන නයිට්‍රේට් තොගයක්, ජීව උන්ඩ දොළහක්, ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නයිට්‍රජන් ඇසිඩ් සහ යූරියා තොගයක් නීති විරෝධී ආකාරයෙන් රැස් කිරීම ඇතුළු අධිචෝදනා 14ක් යටතේ නීතිපතිවරයා ⁣ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.