(යූ.විජේසිංහ, නයනජීව බණ්ඩාර)

පානම කුඩාකල්ලිය හැඩඔය කලපුවේ බැස සිටියදී කිඹුලකුගේ ප්‍රහාරයකට ලක්ව ඩැහැගෙන ගිය බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියකුගේ (24) සිරුර අද(15) පෙරවරුවේ සොයාගත් බව පානම පොලිසිය කියයි.

ඔහුගේ සිරුර සෙවීමට නාවික හමුදා කඳවුර සහ පානම පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර හැඩඔය කලපුවේ මඩේ ගිලී තිබියදී ඔහුගේ සිරුර කිමිඳුම්කරුවන් විසින් සොයාගනු ලැබ ඇත.

බ්‍රිතාන්‍ය ජාතික පෝල් ස්ට්වට් මැක්ලන් නමැති මාධ්‍යවේදියකු අනතුරින් මියගොස් ඇති අතර තම මිතුරන් වූ ගණකාධිකාරී සේවයේ නියුතු හත් දෙනකු සමග ආරුගම්බේ සංචාරයකට පැමිණ සිටියදී පොතුවිල් කොට්ටුකල්ලිය මුහුදු තීරයේ දිය නෑමට ගිය ඔහු කිසියම් අවශ්‍යතාවයක් සඳහා හැඩඔය මෝයකට අසල ඇති කඩොල් කැලයට ගොස් පසුව කලපුවට බැස සිටියදී මෙම කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇතැයි කියති.