(උපාලි ආනන්ද)

පොසොන් රාජකාරි නිමවා නිවසට යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු මරණයට කරමින් මාරක රිය අනතුරක් කළැයි රිමාන්ඩ් බාරයේ සිටින ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ රියදුරුගේ රියදුරු බලපත‍්‍රය අත් හිටුවීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද (28)  නියෝග කළේය

අපරික්ෂාකාරි ලෙස අධික වේගයෙන් හා විරුද්ධ දිශාවෙන්  කැබ් රථයක්  පදවා සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක්  සිදු කිරීම,රිය අනතුරක් වළක්වා නොගැනීම,රිය අනතුර පොලිසියට වාර්තා නොකිරීම,තුවාලකරුවන් රෝහලට රැගෙන නොයාම යන චෝදනා මත ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මසකට ආසන්න කාලයක් රිමාන්ඩ් කර සිටි සැකකාර රියදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසට ද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.එහි විමර්ශන අවසන් බව පොලිසිය අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම කෙරිණ,

විරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් පදවා ඇතැයි කියන කැබ් රථය නාචිචාදූව හංදියේදි පොලිස් කොස්තාපල්වරයා ගමන් කරමින්  සිටි යතුරු පැදියේ ගැටී ඇතැයි හෙළි වූ බව පොලිසිය මෙහිදි පැවසීය.

අනතුර සිදු වූ අවස්ථාවේ රථයේ සිටි බව කියන පළාත් සභා මන්ත‍්‍රි අනුර බුද්ධික ගුණසේකර මහතා ඇතුළු පිරිසත් රියදුරුත් පළා ගොස් ඇති බවත් සිද්ධියෙන් පැය පහකට පසුව රියදුරු පමණක් අනුරාධපුර පොලිසියට බාර වී ඇති බවත් පොලිසිය අධිකරණයට කීවේය.