පාර දිගේ වේගයෙන් ආපු පොලිස් ජීප් රථය පොලිස් ස්ථානයට ඇතුළු වෙලා පෝටිකෝව යට නැවතුණා. වම් පැත්තේ ඉස්සරහ දොර ඇරගෙන එළියට බැස්ස ස්ථානාධිපතිවරයා අඩියට දෙකට තමන්ගේ රාජකාරී කාමරයට ඇතුළු වුණා. ලොබියේ බංකුවල වාඩිවෙලා මෙච්චර වෙලා මූණු එල්ලාගෙන හිටපු කට්ටිය කලබලෙන් නැගිට්ටා.  මූණට මූණ බලලා නැවතත් වාඩි වුණා.

           සැරින් සැරේ ඇහෙන රේඩියෝ සංඥා ඇමතුම්, සපත්තුවල සද්දේ, කූඩුවේ ඉන්න සැකකාරයකුට සැරෙන් මොනවදෝ කියන සද්දේ එකතු වෙලා කලබලකාරී වාතාවරණයක් නිර්මාණය වෙලා තිබුණා.

" කෝ අර කට්ටිය ඇවිල්ලද ?"
         ස්ථානාධිපතිවරයා ගුණවර්ධන සාජන් මහත්තයාගෙන් ඇහුවා.

" ඔව් සර්
එන්න කියන්නද ? "

" එන්න කියනවා.
බලනවකෝ අයිසේ, අපිට තියෙන වැඩ මදිවට ගෑනු මිනිස්සු හොර ගමන් ගිහින් කරගන්න දේවල්වලටත් කරගහන්න වෙලානේ.
මුන්ට මොනවා වෙලාද මන්දා.
අනිත් එක බලනවකෝ, හොර ගමන් ගියොත් ඔහොම වැඩක් කරගන්නවාමනේ.
ඒක ඉතින් අපි අත්දැකීමෙන්ම දන්නවනේ.

" අර කාර් එක ඇළට පෙරලුණු සිද්ධියේ පිරිමි කෙනාගේ පාර්ශ්වයේ කවුරු හරි ඇවිත් තියෙනවද ?"
      ලොබියට කරපොවපු සාජන් මහත්තයා ඇහුවා.

තරුණ ගැහැනු කෙනෙක් නැගිට්ටා. ඒ පස්සෙන්ම ඊට වඩා ටිකක් වයස්ගත ගැහැනු කෙනෙකුත් නැගිට්ටා.

" දෙන්නම මෙහෙන් එන්න "
    සාජන් මහත්තයා ස්ථානාධිපතිවරයාගේ කාමරයට පාර පෙන්නුවා.
ස්ථානාධිපතිවරයා ප්‍රශ්න කිරීමට සුදුසු පෙනුමක් මුහුණට ආරූඪ කරගත්තා.

කට උත්තරය 01 -
     
තමුන් මේ මිය ගිය හේවා පතිරගේ ජයනාත් හේවගේ ගේ කවුද ?
       වඩා තරුණ පෙනුමක් තියෙන කාන්තාව කතා කළා.

" මම එයාගේ නෝනා.
මේ එයාගේ අක්කා."

ස්ථානාධිපතිවරයා කාන්තාවන් දෙදෙනා දිහාම හොඳට බැලුවා.

" තමුන්ගේ නම මොකක්ද ?"

" මම වරුණි ජයසිංහ
මේ නීලා හේවගේ "      
      
         වරුණි කතාකළේ මහා වේගයක් හිතේ හිරකරගෙන ඉන්නවා වගෙයි. වචන ඉතා නිවැරදිව පාවිච්චි කරන්න හිතට ගත්තා වගෙයි. සැමියා මියගිය බිරිඳකගේ තියෙන කඩා වැටුණු පෙනුම වරණිගේ තිබුණේ නැහැ.  ඒත් මොකක්දෝ ආවේගශීලී ගතියක් වරුණිගේ මුහුණේ තිබුණා. ඇස් රතු වෙලා තියෙන්නේ දුකටද , ආවේගයටද කියන සැකය වරුණි දිහා බලන ඕනෑම කෙනකුට ඇතිවෙනවා.
               නීලාගේ තිබුණේ ඊට වඩා වෙනස් පෙනුමක්. අඬලා, අඬලා ඉදිමුණු ඇස් ,  අවුල් වුණු කොණ්ඩය ,  නොකඩවා උනන කඳුළු කියා පෑවේ වාවාගත නොහැකි දුකක් හදවතේ හිරවෙලා තියෙන බවකුයි. සියගණන් මිනිස්සුන්ගේ මුහුණෙන් හදවත කියවලා පුරුදු ස්ථානාධිපතිවරයාගේ ඇස්වලට මේ සියල්ල එක් නිමේෂයකදී කියවා ගතහැකි වුණා.

" ජයනාත්ගේ වයස කීයද ?"

" හතළිස් දෙකයි."
        වරුණි උත්තර දුන්නා.

" ජයනාත් කළේ මොනවද ? "

" ඉඩම් අරගෙන ඒවා සුද්ද කරලා කට්ටි කඩලා විකුණුවා."

" එයාගේ බිස්නස් එක කරගෙන ගියේ කොහෙද ?"

" ඔෆීස් එක නම් තියෙන්නේ ගෙදරමයි. එතන දෙතුන්දෙනෙක් වැඩ කරනවා.
ජයනාත් නම් ගමනෙම තමයි.
කොයි වෙලෙත් ගෙදරක නැහැ."
   දේදුන්නක හැඩයට සකස්කර තියෙන ඇහි බැම උස්සමින් වරුණී කිව්වා.

" මේ දවස්වල ලෑන්ඩ් සේල් එක කරගෙන ගියේ කොහෙද කියලා තමුන් දැනගෙන හිටියද ?"

" එයාගේ වැඩ ගැන විස්තර මාත් එක්ක කතා කළේ නැහැ. ඒත් එන කෝල්ස්වලින් මට දැනුණු විදියට පානදුර පැත්තේ එකකුයි, වාද්දුව පැත්තේ එකකුයි කරගෙන ගියා.

"අද උදේ කීයට විතරද ජයනාත් ගෙදරින් පිට වුණේ ?"

" මම ඒක දන්නේ නැහැ.
මම නැගිටිනකොටත් ජයනාත් ගෙදරින් ගිහින්."

" මල්ලී ගියේ හතට විතර.
මම තේකක් හදලා දුන්නා. උදේට කාලා යන්න කිව්වත් පරක්කු වෙනවා කියලා ගියා.
මල්ලි යනකොටත් වැස්සයි , හුළඟයි තදේටම තිබුණා.
මෙයා නැගිට්ටේ ඊට පැයකට විතර පස්සේ ."
         නීලා මැදිහත් වුණා.

" හරි , හරි .
මම නැගිටලා හිටියත් එයා යන එන තැනක් මට කියන්නේ නැහැනේ.
ඒවා කියන්නේ ඔයාටනේ."
        ස්ට්‍රේට් කරපු කොණ්ඩය ගස්සපු වරුණි අහක බලාගත්තා.

ස්ථානාධිපතිවරයාට කට කොනකට හිනාවක් ගියා.

" කොහේ යනවා කියලද ගියේ ."
         ස්ථානාධිපතිවරයා එවර ප්‍රශ්නය කෙළින්ම යොමු කළේ නීලාට.

" මම ඒක ඇහුවේ නැහැ.
ඒත් වැස්ස පායනකම් ඉඳලා යන්න කිව්වා.
ඒත් පරක්කුයි කියාගෙන මල්ලී වැස්සෙම ගිහින් කාර් එකට නැග්ගා .
එතකොටම ඔෆීස් එකේ වැඩ කරන ළමයෙක් ආවා.  ඒ ළමයට ළඟට කතා කරලා මොනවද කිව්වා. වැස්සේ සද්දය නිසා මට ඇහුණේ පානදුරය කියන වචනය විතරයි. "

            වරුණි කල්පනාවකින් තොරව දකුණු අතේ දාගෙන ඉන්න රත්තරන් වළලු හතර වම් අතින් එහාට මෙහාට කළා.

" එතකොට ජයනාත් එක්ක කාර් එකේ හිටපු ගෑනු කෙනාව අඳුනනවද ?"
          ස්ථානාධිපතිවරයා ඇහුවේ වරුණිගෙන්.

" අඳුනන්නේ නැහැ. ඒත් ඔය සම්බන්ධය ගැන මම දැනගෙනයි හිටියේ . මොරටුව පැත්තේ ගාමන්ට් යන ගෑනු කෙනෙක්. නම පියුමි."

" තමුන් මේ ගැන ජයනාත් එක්ක කතා කළේ නැද්ද ?"

" කතා කළා. බැණගත්තා. රණ්ඩු වුණා. අන්තිමට මම එයත් එක්ක කතාව නැවැත්තුවා. මගේ පාඩුවේ ඉන්න හිත හදාගත්තා. ඔය සම්බන්ධය අද ඊයේ පටන්ගත්ත එකක් නෙවෙයි. දැන් අවුරුදු තුනකටත් වැඩී ."

" එතකොට දරුවෝ ?"

" අපිට දරුවෝ නැහැ.
ඒක තමයි අපි අතර තිබුණු ලොකුම ගැටලුව. ජයනාත් දරුවන්ට කැමතී. ඒත් ඒ ගැන උපදෙසක් ගන්නවත් දොස්තර කෙනෙක් ළඟට යන්න ජයනාත්ව කැමති කරවගන්න බැරි වුණා. එයා කිව්වේ ඒවට වෙලාවක් නැහැ කියලයි. 
ජයනාත් කොයිම වෙලාවකවත් ගෙදර හිටියේ නැහැ.
ගමනෙමයි. හිටියත් හිටියේ ඔෆීස් කාමරේ.
එයාට හැම දෙයකටම වඩා බිස්නස් ලොකු වුණා. "

      කට වහගෙන හිටපු නීලාත් කතාවට එකතු වුණා.

" මල්ලිගේ තනි උත්සහයෙන් තමයි මේ බිස්නස් එක මේ තත්වයට ගෙනාවේ. කවුරු කවුරුත් සැප විඳින්නේ මල්ලී රෑ දවල් නැතිව මහන්සියෙන් හම්බ කරන සල්ලිවලින් තමයි."

" හරි හරි ඒවා මෙතෙන්ට අවශ්‍ය නැහැ " ස්ථානාධිපතිවරයා මදක් සැරෙන් කිව්වා.

" මමත් අත වන වනා ආපු ගෑනියෙක් නෙවෙයි. මගේ තාත්තා මට දුන්න ඉඩමක් කට්ටි කරලා විකුණලා තමයි ජයනාත් ඔය බිස්නස් එක පටන්ගත්තේ.  එයා කලින් කළේ කොන්ත්‍රාත් අරගෙන අනුන්ගේ ඉඩම් ගොඩ කරපු එක."
       වරුණිත් අතහැරියේ නැහැ.

" තමුන් මේ පියුමි කියන කාන්තාව දැකලා, කතාබහ කරලා එහෙම තියෙනවද ?"

" දවසක් මම ටවුමේ ඉනිනකොට ජයනාත් ඔය ගෑනිව කාර් එකේ ඉස්සරහා සීට් එකේ දාගෙන යනවා දැක්කා.
ජයනාත්ගෙන් ඇහුවට විස්තර කිව්වේ නැහැ .
ඒත් මගේ යාළුවෙක් විස්තර හොයලා දුන්නා.
       මම ඒ යාළුවත් එක්ක ගාමන්ට් එක ඇරෙන වෙලාවට එතනට ගිහින් ඔය ගෑනිට කම්මුල් පාරක් ගහලා ආවා.
එදා රෑ ජයනාත් ගෙදර බඩු පොළොවේ ගහලා , මටත් ගහලා මහ යුද්ධයක් කළා.
එදා ඉඳන් අපි දෙන්නා නිදාගත්තේ කාමර දෙකක."

" ඒ ගැනි නෙවෙයි මෙයාගේ කටයි , උද්දච්චකමයි තමයි මල්ලිට ඔහොම වෙන්න හේතුව. 
කිසිම මිනිහකුට වසන්න පුළුවන් ගෑනියෙක් නෙවෙයි මෙයා. 
අනේ, මගේ මල්ලී "
        නීලා අඬන්න පටන්ගත්තා.

 " හරි, හරි
දෙන්නම කට වහගෙන එළියෙන් ගිහින් වාඩිවෙනවලා."

" සාජන්, මෙන්න මේ දෙන්නව එළියට එක්කගෙන ගිහින් අනිත් පාර්ශ්වය එක්කගෙන එන්න "
           ස්ථානාධිපතිවරයා සාජන් මහත්තයට කිව්වා.

" මැරුණු කාන්තාවගේ කවුරුහරි ඇවිත් ඉන්නවද ?"
        සාජන් මහත්තයා කතාකරනවත් එක්කම කලිසමට උඩින් පොඩිවුණු කමිසයක් දමාගත් අපිලිවෙල පිරිමි පුද්ගලයෙක් නැගිට්ටා. ඒ පුද්ගලයාගේ වයස පනහක් පමණ ඇතැයි කෙනකුට සිතුනත් හොඳින් බලද්දී එයට වඩා ලාබාල බවක් පෙනුණා. අවුරුදු දහයක දොළහක පමණ ගැහැනු ළමයින් දෙදෙනෙකුද ඒ එක්කම නැගිට්ටා.  ගැහැනු ළමයින් දෙදෙනා දෑතින් අල්ලාගෙන එම පිරිමි පුද්ගලයා ස්ථානාධිපතිවරයාගේ කාමරයට ඇතුළු වුණා
             ඇතුළු වූ පිරිස දෙස සෘජු බැල්මක් හෙලූ ස්ථානාධිපතිවරයා වාඩිවෙන්න යැයි අතින් සන් කළා. මදක් පැකිලෙමින් සිටි පුද්ගලයා පුටුවේ ඉස්සරහට වෙන්න අඩමානයට වාඩි වූයේ " වාඩිවෙනවා " යනුවෙන් ස්ථානාධිපතිවරයා වචනයෙන්ද අණ කළ පසුවයි .

කට උත්තරය  02 -

" තමුන්ගේ නම මොකක්ද ?"

" දේවගේ අජිත් පුෂ්පකුමාර ,සර් "

" මැරුණු පියුමි ප්‍රියංගනී ජයනෙත්ති තමන්ගේ කවුද ?"

" මනුස්සයා සර්. "

" මොකක් "

" එයාව බැඳලා හිටියේ මම සර්."

" එතකොට මේ ළමයි "

" පියුමිගේ සර් "

" තමුසෙගේ නෙවෙයිද ?"

" අපේ ,සර් "

" මේ මහ දවල් තමුසේ බීලද ?"

" දුකට ටිකක් බිව්වා සර් "
            අඬලාම රතු වුණු ඇස්වලට නැවතත් කඳුළු ඉනුවා. පිටි අල්ලෙන් කඳුළු පිහදාගත් අජිත්

" සමාවෙන්න සර් " කිව්වා .

" පියුමිට වයස කීයද ?"

" තිස් පහයි සර් "

" එතකොට තමුසෙට වයස කීයද ?"

" හතළිහයි  සර් "

" තමුන්ලාගේ පදිංචිය කොහෙද ?"

" කොරලවැල්ලේ සර් "

" තමුන් රස්සාවක් කරනවද ?"

" පියුමි බඳින කාලේ මම නගර සභාවේ වැඩ කළා සර්. පස්සේ රස්සාව නැති වුණා."

" ඒ මොනවා කරලද ?"

" වැඩ කරන වෙලාවේ බීලා ඉඳලා අහුවෙලා සර්. "

" තමුසේ පුදුම මිනිහෙක්නේ ඕයි.
එතකොට ජීවත් වුණේ කොහොමද ?"

" පියුමි තමයි රස්සාව කළේ. මම කුලියක් හම්බවුණොත් කළා.
අපි අසරණ වුණා සර්. මේ ළමයි දෙන්නට කන්න අඳින්න දෙන්නේ කොහොමද කියලා හිතෙනකොට බඩ පපුව දනවා සර්.
ඒකයි මම ඩිංගක් බිව්වේ සර්."

" ඇයි ඕයි දැන් තමුසේ බීලා හරියනවද ?
මේ ළමයින්ගේ ආරක්ෂාව බලාගන්න ඕනෑ තමුසේ නේද ?
බලනවා, මේ ළමයි හා පැටව් වගේ බයවෙලා ."

           දියණියන් දෙදෙනාගේ මුහුණු දිහා බලපු අජිත් දරුවන් දෙදෙනා තමන් ළඟට ඇදගත්තා.

" මේ මැරුණු අනිත් පුද්ගලයා, ඒ කියන්නේ ජයනාත් හේවගේව තමුන් අඳුනනවාද ?"

" ඔව් සර්,
හරි හොඳ මහත්තයා.
හම්බවුණු වෙලාවට මටත් කීයක් හරි දීලා යනවා."

" කොයි වගේ වෙලාවලදිද තමුන්ට ජයනාත් මහත්තයා හම්බවෙන්නේ ?"

" සමහර දවසට  වැඩ ඇරෙන්න රෑ වුණහම ජයනාත් මහත්තයා පියුමිව ගෙදරටම ඇරලවනවා."

" ඇයි එහෙම කරන්නේ කියලා අහලා බලලා නැද්ද ?"

" නෑ
මගදි හම්බුවුණා කියලා තමයි පියුමි කිව්වේ."

" තමුසේ අපූරු ස්වාමිපුරුෂයෙක් නේ ඕයි .
මේ දෙන්නා අතර සම්බන්ධයක්  තියෙනවයි කියලා තමුන්ට දැනිලා එහෙම නැද්ද ?"

" අහල පහල එවුන් නම් ඔහොම කතා කිව්වා.
බොන තැන එව්නුත් මට විහිළු කළා.
ඒ ගැන පියුමිගෙන් ඇහුවහම ඒ ගෑනි මට බැනගෙන බැනගෙන ගිහින් හෝද හෝද හිටපු  වලඳකුත් පොළවේ ගැහුවා.

" තමුසේ නිසා තමයි මට මෙහෙම එක එකාගේ කුණු කතා අහන්න වුණේ "කියලා  කෑ ගැහුවා.
       ඇත්තටම සර් ඕවා ඔක්කොම අපේ අයියගේ ගෑනි හදපු කතා. පියුමි උදේට ඇඳලා කියලා රස්සාවට යන එක ඒ ගෑනිට රිස්සුවේ නැහැ.

" ඒ සම්බන්ධය නතර කරන්න කියලා තමුන් පියුමිට කිව්වේ නැද්ද ?"

" එහෙම කියන්නේ කොහොමද සර්. 
ඒක මේ අද ඊයෙක සම්බන්ධයක් නෙවෙයි කියලා මම දැනගත්තේ පහුවෙලා."

" ඒ කියන්නේ "

" පියුමී ,ජයනාත් මහත්තයයි දෙන්නම එකම ගමේ. ඒ කාලේ ඉඳලම මේ දෙන්නා අතර සම්බන්ධයක් තිබිලා තියෙනවා.
ඒකට ජයනාත් මහත්තයගේ ගෙදරින් තදින්ම විරුද්ධ වෙලා.
ඒ මිනිස්සු බලපුළුවන්කාරයේ.
කොහොම හරි පියුමිගේ පවුලම බය කරලා ගමෙන් පන්නගෙන.
ඊට පස්සේ තමයි පියුමිලා කොරලවැල්ලට ඇවිත් කුලියට ගෙයක් අරගෙන පදිංචි වෙලා තියෙන්නේ.
පියුමී ,අම්මයි, මල්ලි කෙනෙකුයි තමයි හිටියේ. එතකොටත් තාත්තා මැරිලා.
මල්ලී ලෙඩා. එයත් ඒ කාලෙදිම නැති වුණා .
 කුලී ගෙදරිනුත් එලවන්න හදනකොට දුක හිතිලා තමයි මම පියුමිගේ අම්මගෙන් ඇහුවේ.  අනේ ඒ උන්දෑ කැමති වුණා.  මම ඒ දවස්වල ඔය ගේ කෑල්ල හදාගෙන තිබුණා. 
සර්ට කියන්න එතකොට මම මේ වගේ බොන්නේ නැහැ. පියුමි අම්මත් එක්කම ඇවිත් ඒ ගේ කෑල්ලේ නැවතුණා.
ටික කලකින් අම්මා මළා.
අවුරුදු දෙක තුනකට කලින් පාරෙදි දැකලා තමයි ඔය සම්බන්ධය අලුත් වෙලා තියෙන්නේ.
ඔය සංසාරගත සම්බන්ධ කඩලා මට පුළුවන්ද සර්.  මමත් කරබාගෙන හිටියා.

" එතකොට පියුමි අද උදේ ගියේ කීයට විතරද ?"

" මම දන්නේ නෑ සර්
මම නැගිටිනකොටත් පියුමි ගිහින් "

" තමුන් හිතුවේ පියුමි කොහේ ගිහින් කියලද ?"

" වැඩට යන්න ඇතී කියලා හිතුවා සර් ."

" අද ඉරිදා. 
අද පියුමි වැඩකරන ගාමන්ට් එක නිවාඩුයි කියලා අපට දන්වලා තියෙනවා."

" අද ඉරිදා ද?
මට අමතක වුණානේ සර්. 
ඒත් සමහර ඉරිදා දවස් වලටත් පියුමි වැඩට යනවයි කියලා ගෙදරින් ගියා සර්.
අනේ මගේ ගෑනි."
         අජිත් අඬන්න පටන්ගත්තා.

" හරි, හරි
දැන් මෙතන අඬන්නේ නැතිව මේ ළමයි දෙන්නත් එක්ක ගෙදර යනවා.
ගිහින් මරණේ කටයුතු පිලිවෙලක් කරගන්නවා."
එහෙම කිව්ව ස්ථානාධිපතිවරයා පුටුවේ පස්සට වී හේත්තු වුණා.

" සර්, අර ගෙස්ට් හවුස් එකේ හාදයා ඇවිත් ඉන්නවා.
එන්න කියන්නද ?"
       කාමරයට එබී සාජන් මහත්තයා ඇහුවා.

" හරි, හරි එවන්න
ඒ වැඩෙත් ඉවරයක් කරලම ඉමු."

  හිස මුදුනෙන් තට්ටය පෑදුණු වයස පනහක පමණ තරබාරු පුද්ගලයෙකු පැමිණ ස්ථානාධිපතිවරයා ඉදිරිපිට වාඩි වුණා."

කට උත්තරය  03-

" තමුන් හොටේල් ලේක් සයිඩ් එකේ අයිතිකාරයද ?"

" ඔව් ඉන්ස්පෙක්ටර් "

" නම මොකද්ද ?"

" පාලිත පෙරේරා "

" මේ ගෙස්ට් හවුස් එක පටන් අරගෙන කොච්චර කල්ද ?"

" අවුරුදු දහයක් විතර "

" මේ මැරුණු කපල් එක අඳුනනවද ?"

" ඔව්,
පුද්ගලික ඇඳුනුම්කමක් නැති වුණාට කලක ඉඳලා වරින් වර මේ දෙන්නා අපේ ගෙස්ට් හවුස් එකට එනවා."

" අද උදේ මොකද්ද සිද්ධ වුණේ."

" මේ ගෙස්ට් හවුස් එකේ පොඩි පොඩි උත්සව ගත්තට කාමර පහ හයකට වඩා නැහැ. ඒ නිසා එන අය කලින් දැනුම්දීමක් කරනවා.
තැන ලස්සන වුණාට ප්‍රධාන පාරෙන් සැඟවිලා වගේ තියෙන නිසා මේ වගේ කපල්ස් එන්න කැමතී.
 
ඊයේ රෑ ජයනාත් මහත්තයා කතාකරලා කිව්වා උදේ අට වෙනකොට කාමරයක් ලෑස්ති කරලා තියන්න කියලා. ඊයේ රෑ පුරාම වැස්සා.  උදේ ඒක වැඩි කළා.
ඒ වගේ දවස් වලට ඇල අයිනෙන් වැටිලා තියෙන පාර හොඳටම මඩ වෙලා  පස් බුරුල් වෙනවා. 
අපි නවය පහුවෙනකනුත් බලාගෙන හිටියට ජයනාත් මහත්තයලා ආවේ නැහැ. මම කෝල් කලත් ෆෝන් එක වැඩ කළේ නැහැ.

දහයට විතර ආපු කට්ටියක් තමයි කිව්වේ කාර් එකක් ඇලට පෙරලිලා කියලා. අපි ඉක්මනටම එතනට ගියා. පොලිසියටත් දැන්නුවා.
කේබල් එකක් අරගෙන ඇවිත් කාර් එක ගොඩට ඇද්දේ පොලිසිය. ඉස්පිරිතාලෙට අරගෙන ගියත් ඒ වෙනකොටත් දෙන්නම මැරිලා. "

මදක් නිහඬව සිටි ස්ථානාධිපතිවරයා කටහඬ අවධි කළා.

" වැස්සේ තදකමට පාර හෝදගෙන ගිහින්.
පාරේ කොටසකුත් කඩාගෙනයි කාර් එක ඇලට පෙරලිලා තියෙන්නේ.
මිනිස්සු යන එන තැන් කරගෙන යනකොට මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මේක තනිකරම හෝටලේ වරද.
එන යන අයට ආරක්ෂාව සැපයීම ඔයගොල්ලන්ගේ වගකීම. අනික මේක පුද්ගලික පාරක්.
මේ පාර හදලා ඇල පැත්තට පැති බැම්මක් දාලා පෙන්නනකම් මේ හෝටලය වහන්න අපි කෝට්ස් ඕඩර් එකක් ගන්නවා."
ස්ථානාධිපතිවරයා සැරෙන් කිව්වා.

බිමට බර කරගත් මුහුණෙන් හෝටලය හිමිකරු තම නිල කාමරයෙන් පිටව යන අයුරු ස්ථානාධිපතිවරයා විඩාබර මුහුණින් බලාසිටියා.