පට්ටා ගැසුණු දුඹුරු පැහැ කොට කලිසමක් සහ දුර්වර්ණ වූ නිල් කොටු කමිසයකින් නිතර සැරසී සිටිනා ඔහු මාදින්නාගොඩ කවුරුත් හඳුනා ගෙන සිටියේ බෙලෙක් යන නමිනි. ගොරෝසු හිස කෙසින් හා දෙබැමින් ද තවමත් උඩු තොලේ හා නිකටේ වැඩි ගෙන එන රැවුලකින් ද යුත් ඔහුගේ මුහුණ රවුම් විය. අඩි හතර හමාරකට වඩා උස් නො වූ ඔහුගේ දෙපයේ රබර් සෙරෙප්පු යුවළ වැරදුණේ නැත. රබර් සෙරෙප්පු දෙක රැකියාව විසින් ඔහුට අනිවාර්ය කරනු ලැබ තිබිණි.

ලැලි පාලම පසු කොට ගුරු පාර දිගේ මඳ දුරක් ගිය තැන වම් පසින් ඇත්තේ දර මඩුවකි. දර මඩුවට යාබද ව ලැලිවලින් තැනූ කුඩා කාමර කැල්ලක් වේ. බෙලෙක් ජිවත් වන්නේ මේ කාමර කැල්ලට කුලී ගෙවා ගෙන ය. දර මඩුව අයිති දබරේගේ නිවස ඊට මඳක් එපිටින් වේ.

බෙලෙක්ගේ කාමරය ඉතා කුඩා නමුත් එහි එක් අයකුට කිසිදු අපහසුවක් නොමැති ව රාත්‍රිය ගත කිරීමට ඉඩ කඩ තිබුණි. සිනමා නළු නිළියන්ගේ ද අයෝමය පුරුෂයන්ගේ ද ඡායාරූප පළ වූ පත්තර සඟරා පිටු නො ඇලවූ තැනෙක ලැලි බිත්තියේ එල්ලු බෝල කුඩුවේ ඔහුගේ ඇඳුම් දෙක තුන විය. ඔහු නිතර ඇන්දේ දුඹුරු පැහැ කලිසමත් නිල් කොටු කමිසයත් වුව ද තවත් කොට කලිසමක් හා කමිසයක් ද ඔහුට තිබිණ.

වයස අවුරුදු දහ නවයක් වූ ඔහුගේ රැකියාව බෙලෙක් එකතු කිරීම ය. මලකඩ බැඳුණු බෙලෙක්. ටින් පියන්, තහඩු කෑලි කොකු යකඩ කැලි, පයිප්ප ආදී මේ කොයිවාත් ඔහු එකතු කළේය. සෑම ගෙවත්තක ම පිටුපස මදුරු පණුවන්ට වාසස්ථාන වූ ටින් කබල් ආදියේ වටිනාකම දන්නේ කීයෙන් කී දෙනා ද? මේ ගැන සිතෙන විට බෙලෙක්ගේ කළු වූ දෙතොලේ සීන් සිනාවක් ඇඳී යයි.

බෙලෙක් එකතු කිරීමට ගෙන යන කරත්ත කුලියට දෙන තැනක් වැලිකඩ වේ. සෑම දිනකම උදේ බෙලෙක් මේ කරත්තයක් රුපියල් විස්සත් ගෙවා කුලියට ගනී. සෑම උදයක ම ගෙවීමට රුපියල් විස්සක් ඔහු පෙරදා ආදාය මෙන් අතේ ඉතිරි කර ගනී. නැති නම් සවස දෙන තුරු ඇපයට තැබීමට හැඳුනුම් පත වුවමනාය. හැඳුනුම් පත ලබා ගැනීමේ ක්‍රමය ද හොඳ ය. බෙලෙක් හැර අනිත් අය කළේ එලෙස ය. එහෙත් හැඳුනුම් පතක් නැති බෙලෙක්ට එය කළ නො හැකි ය. එබැවින් දවස අවසානයේ රුපියල් විස්සත් පසු දා කරත්ත කුලිය සඳහා ඉතිරි විය යුතු ය. ඊට අමතරව තවත් රුපියල් දහයක් මාසයේ මුල සෑම දිනක ම දාබරේ අත තැබීමට ද ඔහු පුරුදු ව සිටියේ ය. මෙසේ රුපියල් දහයක් දෙන සෑම වරක ම කාමරයේ ලෑල්ලක පැන්සල් ඉරක් ඇඳිණි ඉරි කැබලි පහළොවක් සම්පූර්ණ වූ පසු මාසයේ කුලිය දැන් ගෙවී ඇතැයි ඔහු දාබරේට දන්වයි. කෑම බීම ද ගෙවල් කුලී කොටස හා කරත්ත කුලිය ද ආදි සැම වියදමක් ම අවසානයේ ඉතිරිවන යම් මුදලක් වෙතොත් එය ඔහු පෙට්ටියේ දා ඉබ්බා දමයි. බෙලෙක් රාජකාරියට පිටත්වන්නේ උදෑසනින් ම ය.

වත්තකට ඇතුළු වන සෑම විටකම ඒ වත්තේ ඉන්නා පිරිමි ටින් කබල් එකතු කරගෙන යනවාට මුල දී ම කැමැත්ත දක්වති. එහෙත් ගැහැනුන් බලන්නේ වපරැසිනි. වටිනාකමක් නැති ටින් කබල් අවුස්සන මානයෙන් අවුත් සොරුන්ට ඔත්තු සපයතැයි ඔවුන්ගේ අවිශ්වාසයක් වේ. ඔවුහු එය එළිපිට ම ප්‍රකාශ කිරීමට ද ඇතැම් විට මැළි නොවෙති. එහෙත් ඛෙලෙක් එකතු කිරීමේ කලාව මැනවින් ප්‍රගුණ කොට ඇති බෙලෙක් නොමනාපයෙන් මුහුණ පුළුටු කර ගෙන බලා ඉන්නා ගෘහිණියන්ට පෙනෙන්නට මුලින් ම එකතු කර ගන්නා සාඩින් ටින් දෙක තුනක රැඳුණු පල් වතුර හළා දමා මිටියෙන් තළා ගෙන ගොස් මෙසේ කියයි.
 

"මේවෑ මදුරු පණු....................විද්දම තමා බරවා හැදෙන්න..............
 

බෙලෙක් ඉන් එහා ඒ ගැන කතා කිරීමට නොයයි. ගෘහිණියගේ මුහුණින් වැහි වලාකුළු පහව යනු ඔහුගේ හොරැහැට පෙනේ.

වතු හතර පහක් ඇවිදින විට කරත්තය පිරේ. ඉන් පසු ඔහු වහ වහා බෝතල් කඩය කරා පැමිණෙයි.

බෙලෙක් කිලෝවක් බෝතල් කඩය මිලයට ගන්නේ රුපියල් එකයි ශත පනහ ගණනේ ය. වෙහෙස නොබලා එකතු කළ හොත් එක දෙක වන විට කිලෝ තිහ හතළිහක් සොයා ගැනීම එතරම් දුෂ්කර කාර්යයක් නො වේ. දිවා ආහාරය කඩයකින් ගන්නා හේ විවේකයක් නොගෙන ම ඊළඟ වටය අරඹයි. ඒ වටයෙන් ද කිලෝ විස්සක් විසි පහක් සොයා ගැනීම සිදු වේ. සවස පහ පසුවන විට මුදල් ගනුදෙනු බේරා ගෙන රෑ කෑමට යමක් ද ගෙන බෙලෙක් නිදහසේ කාමරයට එයි. නැත්නම් චිත්‍රපටයක් බලන්නට යයි.

ඇතුළු කෝට්ටේ පසුකොට යන බෙලෙක් බත්තරමුල්ල පැත්තේ ඇවිදී. එහි එන අතුරු මඟක් වුව අවුරුද්දක් එකතු කළත් ඉවරයක් කළ නොහැකි යැයි ඔහුට සිතේ.

දහවල් වන තුරුත් එකසීරුවට වැහි ඇද හැළුණෙන් බෙලෙක් රැකියාවට යාමේ අදහස අත් හැරියේ ය. අහසේ වැසි වලාකුළු පිරි තිබුණෙන් ඉක්මනින් පායාවි යැයි සිතා ගැනීමට ද ඉඩක් නො විණි. බෙලෙක් එකතු කරන්නට යාම මෙබඳු දිනවල අසීරු බැවින් දවස අත්හැරීමට ඔහු කල්පනා කළේ ය.

දහවල් දොළහ එක වන විට අහසේ තිබූ වැහි වලාකුළු තෙමෙන් පහවී ගොස් හොඳින් හිරු බැබළෙන්නට විය. කම්මැළිකමින් දර මඩුවේ කොටයක් මත හිඳගෙන පාර බලා හිඳීම ඇති වූ පසු බෙලෙක් කළේ කමිසය හැඳගෙන පිටත් ව යෑම ය.

කොටියාගොඩ පාලම අසල බෙලෙක්ගේ මිතුරෙක් සිටියි. බෙලෙක් එහි යන විට මිතුරා කුකුළකු ගෙන එන්නට කොළොන්නාවට ගොස් සිටියේ ය. මඳ වේලාවක් පාර අයිනේ සිටගෙන ඉඳහිට පාරේ දිවෙන වාහන දෙස බලා හුන් බෙලෙක් මිතුරා මුණ ගැසීමේ අදහස පසෙකට ලා ආපසු ඒමට පිටත් වූවේ ය.

සැතපුම් ගණන් පයින් ඇවිදීම රැකියාව කොටගෙන සිටින බෙලෙක්ට මේ ටික දුර පයින් ඇවිද ගෙන ඒමේ අමුත්තක් නැත. එහෙත් සෑම දා තනියට ඔහු හා ගමන් කරන කරත්තය නොමැත්තෙන් ඔහුට පාළුවක් දැනිණි. හීයක පද උරුවම්බාමින් ඔහු එමින් සිටියේය.
 

" කීයද්ද අම්ම දුන්නෙ..........? රුපියල් ... කියහංකො ..ගිලින්නේ "
 

පාර අයිනේ බිමට නැමී ගත් වන ම මොනවාදෝ සොයමින් හුන් දැරියන් දෙදෙනෙකුගේ කතා බහින් බෙලෙක්ගේ ගමන මඳකට නැවතිණි. බැලූ බැල්මට අවුරුදු දහසයක් දහ හතක් පමණ කිව හැකි අක්කා කෙළින් වී අට නව හැවිරිදි නැගණිය යැයි සිතිය හැකි දැරියට බැණ වදින්නට පටන් ගත්තාය. බෙලෙක් ඔවුන් පසු කර යනවාත් සමඟ ම අක්කාගේ ටොකු පහරක් නැගණියගේ හිසෙහි පතිත විණි. යන ගමන ඉබේ ම නැවතී. ඔහු පාර අයිනේ සිටගෙන දබරය නරඹන්නට වූවේ ය.

කුඩා දැරිය හැඳ සිටියේ ඉරී ගිය කඩමාල්ලකි. ඒ ගවුම ඇගේ උස මහතට කොහෙත් ම නොගැළපෙන එකකි.

යාන්තම් ඉඟෙන් පහළට එල්ලෙන එසවුණු පැත්තකින් බිම වාඩි වීමෙන්දෝ ගුරු පැහැ වූ කලිසමක කොටසක් දිස් වේ. වැඩිමලියගේ ඇඳුම ඒ හැටිම දුර්වර්ණ නොවුණත් එය ද ඇගේ පමණට කුඩා එකකැයි බෙලෙක්ට සිතිණි. ඔවුහු අවුල් තඹ පැහැ කෙහෙවලු උණ්ඩි කොට බැඳ සිටියහ.
 

" දුන්නොත් කෑවා ඊරි ....... හොයපං බලං ඉන්නෙ .............නැත්තං අද කළුවරේ තමයි ඉන්න වෙන්නෙ .........යස්සනී "
 

අක්කාගේ අවලාදයෙන් නැගණිය නැවතත් නැමී ගත් වන ම පාර අයිනේ දූවිලි ද, තණ කොළ බිස්ස ද පයින් අවුස්සමින් සොයන්නට වූවාය.
 

මෙතෙන්ට එනකල් තිබ්බද ?"..තිබ්බා

" ඊට එහා හරියේ දී තමයි වැටුණේ ........ වැචුඤා..වැචුඤා තමයි.
 

කෝපයෙන් කට ඇද කොට එසේ කී අක්කා ද අසුලා ගත් කෝටු කැබැල්ලකින් තණ කොළ පීරමින් සොයන්නට වූවා ය. ඔවුන් සොයන්නේ කාසියක් විය යුතු යැයි බෙලෙක් අනුමානයෙන් සිතා ගත්තේ ය. දැලි වැදී කළු ගැසුණු බෝතලය ද, රාත්‍රිය කළුවරේ ගත කරන්නට සිදුවෙතැ යි අක්කා කළ අනතුරු ඇඟවීම ද එක්ව ගත් කල භුමිතෙල් ගෙනෙන්ට ගෙනා කාසිය කුඩා දැරිය අතින් නැති වී ඇති බැව් හොඳ හැටි පැහැදිලි ය. එය රුපියල් පහේ කාසියක් විය යුතු ය.

පාර අයිනේ සිට ගෙන මේ අක්කා නගෝ දෙස බලා සිටීම සුදුසු දැයි අනතුරු ව බෙලෙක්ට කල්පනා විණි. ඔහු කඩිනමින් අඩි කීපයක් ගමන් කළේ එහෙයිනි. අහසේ කොනක දිස්න දෙන හිරු පඬු පැහැ තද ආලෝකයක් විහිදුවයි.

හිරු දෙසට මුහුණ ලා යමින් සිටි බෙලෙක් හදිස්සියේ ම ආපසු හැරී ආ මඟ බැලුවද අක්කා හෝ නැඟණිය එක් වරට ම පැහැදිලි ව දැක ගත හැකි නො විණි. දෑස් නිලංකාරය ගෙවී රූප පැහැදිලි වන විට මඳක් ඉදිරියට අවුත් නැමී ගත් වන ම කෝටුවෙන් තණ කොළ බිස්ස පීරන අක්කා ද, දෙදණේ දෑත් ඔබා ගත් වනම මහපොළොවේ දූවිලි කැටයක් ගානේ සෝදිසි කරන නැගණිය ද දැක ගත හැකි විණි.

බෙලෙක්ගේ සිතෙහි අනුකම්පාවක් ඉපදිණි. ඔහු සිත මෙලෙක් වන්නට විය. ඔහුගේ දකුණත කොට කලිසම් සාක්කුව බලා ගොස් එහි වූ මාරු කාසි කිහිපය හසු කොට ගෙන ආපසු ආවේ එහෙයිනි. අතට ගත් රුපියල් දෙකේ ශත පනහේ රුපියලේ කාසි අතර රුපියල් පහේ කාසිය අත්ලේ රඳවා ගනිමින් ඉතිරි කාසි සාක්කුවට දමා ගත්තේය.

කාසිය අතට ගත්ත ද එය ඔවුන් හට දෙන්නේ කෙසේ දැයි බෙලෙක්ට සිතා ගත නොහැකි ය. ඔවුන් බැණ වැදුණහොත් ? නන්නාඳුනන තමා වැන්නකු අතින් දෙන මුදල ආපසු දමා ගසා බැණ වැදුණහොත් ඇතිවන ලජ්ජාව විඳ දරා ගන්නේ කෙසේද ? එහෙත් ඒ සමඟ ම එසේ ඔවුන් තමාට බැණ වැදීමක් නො කරනු ඇතැයි විශ්වාසයක් ඔහුගේ සිතෙහි ජනිත විණි. ඒ විශ්වාසයත් සමඟ ම බෙලෙක් අඩි කිහිපයක් පෙරට තබා දැරියන් වෙත සමීප වීම ආරම්භ කළේය. එසේ වුව ද කඩින් කඩ දෙපොළක නැවතී ඔහු දැරියන් වෙත ළං වූයේ දෙගිඩියාවෙනි. ඔවුන්ගේ ගෙවල් දොරවල් ඇත්තේ ළඟ අහල පහළක නම් තමා කාසිය දීමට යන විට ඔවුන් ගෙදරට ඇසෙන්නට කෑ ගසා " මෙන්න කවුදෝ මිනිහෙක් අපිට සල්ලි දෙනවා........... යි කීවොත් යන බියෙන් ඔහු තප්පර කීපයක් පසු බස්වනු ලැබිණි. එහෙත් ඒ වන විට ද තමන් දෙස, අතේ උණ්ඩි කරගත් දෙයක් තව තවත් උණ්ඩි කර ගනිමින් තරුණයකු බලා සිටිනවා දැරියන් දැක තිබිණි.

ආගන්තුක තරුණයා දෙස වැඩි මහල්ලියගේ සැකමුසු බැල්ම කුඩා වූ දෙනෙත්වලින් පළවිණි. ඇගේ නළලේ සිහින් රැලි කිහිපයක් මතු වී තිබිණි. නැගණියගේ බැල්ම ඊට වෙනස් විය. ඉවකින් මෙන් බලාපොරොත්තු සහගත බවක් ඇගේ බැල්මේ දැක ගත හැකි විය. ඒ බැල්ම තරුණයාගේ මිට මෙළවුණු අත්ලට ද මුහුණට ද වටින් විට මාරු වෙමින් පැවතිණි. හදිස්සියේ ම බෙලෙක් තම මිට මෙළවුණු අත්ල දිග හැර එහි වු රුපියල් පහේ කාසිය දැරියන් වෙත දිගු කළේය. ඒ සැණින් කුඩා දැරිය සිය අත්ල පෑවාය.

"අයිය ද ඇහුලුවෙි"

බෙලෙක් පස්සට විසි වු අතර ඔහු වහා තම අත මිට මොළවා ගත්තේය. එය අසුලා ගත්තක් නොව, තමාගේ ම රුපියල් පහක් බව එසේ ප්‍රකාශ වන්නට සැලැස් වූ හේ තමාට ඕනෑ නම් එය දීමට ද, නැත්නම් නොදීමට ද ඇති අයිතිය පළ කරමින් අඩියක් පස්සට තැබුවේ ය. එහෙත් නැඟණිය පමණක් නොව කාසිය දුටු ඇසිල්ලේ ඇගේ අක්කා ද බෙහෙවින් වෙනස් වූ අතර එය ඔහු කෙසේ හෝ තමන්ගේ ඇස් වසා අසුලා ගන්නට ඇතැයි විශ්වාස කරනා බවක් පළ විණි.
 

"මගේ රුපියල් පහ............. වැටුණ රුපියල්. .පහ...............

" නෑ ................ මේ මගේ සල්ලි..............

"එහෙනං දෙන්නෙ...........? 
 

කුඩා දැරිය ඇස් ගෙඩි උලුප්පාගෙන අසයි.

තමා මුදල් දෙන්නේ මන් දැයි හදිස්සියේ ම බෙලෙක් ද නැවතත් සිතන්නට වූ බවත් පළ විණි. ඇයි? තමා කාසිය දෙන්නට සිතුවේ ඇයි ද යන්න ඔහුට හැඟී යතත් එය වචනයට නගා පළ කිරීම අසීරු ය. මුවට නගා ගත යුතු වචන සිතාගත නොහැකි ව අසරණ වූ බෙලෙක් ගේ දෙතොල් වියළී තිබිණි.
 

"කෙල්ල නේ...............තොපි මක්කොරනවද ඔතෙන්ට වෙලා...........?"
 

තහඩුවක් දෙකට ඉරා දමන විට නැගෙන්නාක් බඳු තියුණු වූත්, කර්කෂ වුත් හඬකින් දැරියන් ඇමතු ඔවුන්ගේ මව යැයි සිතිය හැකි ස්ත්‍රිය දුටු ඇසිල්ලේ බෙලෙක් කොතෙක් තැති ගත්තා දැයි කිවහොත් සැබෑ වංචනිකයෙකුගේ ස්වභාවයක් ඔහු කෙරෙන් පළවිණි. තම පසු පසින් ඇසුණු වාහනයක නළා හඬින් තිගැස්සී ගිය හේ නිනව් නැත්තෙකු සේ වට පිට බැලී ය.

මවගේ කට හඬ ඇසුණු ඇසිල්ලේ කුඩා දැරිය වහා ඇය වෙත දිව ගියා ය. නිසැකයෙන් ම මවට සිද්ධිය දැන්වීමට පෙරාතු ව මේ උගුලින් ගැලවී අතුරුදන් වීමට මඟක් නොමැත්තෙන් මහත් සේ කැළඹීමට පත්වූ ඔහු වහා තම අල්ලේ උණ්ඩි කර ගත් කාසිය වැඩිමහල් දැරිය වෙත දිගු කළේත්, එක් විට ම ය. දැරිය මව වෙත දිව යන්නට පය එස වූයෙන් එක් විට මය. එහෙයින් දැරිය. ඔහු අත දිගු කරනු දුටුවේ නැත. බෙලෙක් ඒ සමඟම ආපසු හැරී අඩි කිහිපයක් පෙරට තැබුවේ ය. එහෙත් ඔහුට අඩි හතර පහකට වඩා ඉදිරියට යාමට නොහැකි විණි.

" ඒයි...... ඔහොම හිටු............. දැක්ක ද ආඳා වගේ ලිස්සල යන්න නේද හැදුවේ.

දෙකන් කීරි ගස්සන කටුක ගැහැනු කට හඬක් බෙලෙක් පසු පසින් මතුවිණි.

බෙලෙක් ගල් ගැසුණේ ය. ඔහුට හීන් දාඩියක් දමමින් තිබිණි. උගුලකට හසුවූ සතෙකු ඉන් බේරී පලා යන්නේ කෙසේ දැයි නොදැක බියපත් වන්නේ යම් සේද එබඳුම බියකට තරුණයා ද පත්විණි.

හීන්දැරි ස්ත්‍රීය කටු ඉපලක් මෙන් දිස් විය. ඇගේ රතු දෙතොල් කෙළවර නිරන්තරයෙන් බුලත් සැපීම නිසා පැළී ගිය රෝස පැහැ රේඛා කැපී පෙනිණි. ඇගේ උස් තියුණු හඬින් අවට පැල්පත් දෙන තුනක ගැහැනු ද, කොලු කුරුට්ටෝ ද වහා බෙලෙක් වට කොට වළල්ලක් පරිද්දෙන් සිට ගත්හ.
 

" ඕ මේ අර බෙලෙක් නෙ උඹ කොහෙද ................... මෙ.............?"
 

බෙලෙක් හඳුනා ගත් කඩමාලු දිග ගවුමක් හැඳ සිටි ගැහැනියක් කීවා ය. ඔහු ඇය දෙස රවා බැලූ නමුත් වහා තමා පත් ව ඇති තත්වය තේරුම් ගනිමින් තම බැල්ම වෙනස් කර ගත්තේ ය. කළු අත්කොට බැනියමක් හැඳගත් මරුමුස් ගැටවරයෙක් ගොදුරක් දුටු කොටියකු මෙන් කුරුමානම් අල්ලමින් සිටියේ ය. කොයි මොහොතේ හෝ ඔහුගේ මිට මෙළවුණු අතින් මුහුණ හරහා පහරක් එල්ල වෙතැයි බෙලෙක් පසු වූයේ සෝදිසියෙනි.
 

"ඇහුලුවනං දීපං රුපියල්...පහ.............. දෙන්න හැදුවේ............... ඇලුවෙිච. නෑ...

"... හැජුවා ........... එහෙනං දිහාංකො ............... ඇයි දෙයියනේ තෙල් ටික ගේන්න රුපියල් පහ දුන්නෙ. තොගෙ අල්ල හිල් වෙලා ද යකෝ ඒක හලා ගත්තෙ .........?
 

ස්ත්‍රීය අවසාන වචන ටික කීවේ කුඩා දැරියගේ හිසට ටොක්කක් අනිමිනි.

"ඌයි " ගා පහත් වූ දැරිය බෙලෙක් දෙස බලා දත් විලිස්සුවාය. "ඇච් වැව් චව්

"ඉතිං ඇහුල්ල නං දෙන්න කියපල්ලකෝ.............. "හහ්. මාරු වෙන්න හදන්නේ ............... අඩෝ"

හදිස්සියේ ම කුමක් වුවත් ඇත්ත කියා සිටිය යුතු බැව් බෙලෙක්ට වැටහිණි. වචන ඔහුට නැත්තේ වචන ය. එහෙත් වහා ඇත්ත කිව යුතුය.

"මගෙයි රුපියල්. ..පහ................... දෙන්නයි හැදුවේ

කොතෙක් උත්සාහ කළත් ඔහුගේ මුවින් පිට වන්නේ ඒ වචන දෙක තුන පමණි.

"උඹගෙ ලු ආයි දෙන්න ලු

දුර්වර්ණ දිග ගවුමින් සැරසුණු අනික් ගැහැනිය අත්පුඩියක් ගසා නැමී දෑත දෙදණේ ගසා ගනිමින් කොක් හඬලා සිනාසුණාය. ඒ සමඟ ම දෙතුන් දෙනෙකු එකවර කතා කිරීමට පටන් ගත්තෙන් කිසිවක් පැහැදිලි ව නැසිණි.

මෙය තේරුම්කර දෙන්නේ කෙසේද? කළු විදුරු මසේ තෙරූ නල දත පෙන්නා ගෙන ඉන්නා ගැටවරයා දෙස බලා බෙලෙක් හිස කැසුවේ ය.

ඒ සමඟ ම හදිසි අදහසක් ඔහුගේ සිහියට නැගුණි. ඔහු හනික රුපියල් පහේ කාසිය සහිත අත්ල දිගු කළේය.

පහදා දෙන්නට හෝ තර්ක කරන්නට නොම ගොස් කාසිය දී යාම හොඳ ය යන්න ඔහු සිහියට නැගුණු අදහස ය. ඔහු එසේ කාසිය පෑවේ එබැවිනි. දැරියන්ගේ මව වහා ඉදිරියට පැන අතින් රුපියල් පහ ඩැහැ ගත්තී එය දෑසට ළං කොට නරඹන්නට වූවාය. මොහොතකින් ඇගේ දෑසේ වූ රළු පෙනුම වෙනස් වන්නාක් මෙන් බෙලෙක්ට හැගිණි. ස්ත්‍රිය කාසිය දෙපැත්ත පෙරළමින් හොඳ හැටි පරීක්ෂා කොට බලනු දැක ගත හැකිවිණි.

මං බැලුවෙ කාගෙද පහ කියල. කෝ මගේ ඇහැ පේන.............

හඳුනා ගත්තා, නොගත්තා ඊළඟ තප්පරයේ වහා අත්ල කාසිය ද සමඟ උණ්ඩි වී පහළට වැටී අනතුරුව දිග ගවුම් සාක්කුව තුළට ද යැවිණි. ඇගේ මුවින් ඒ වචන පිට වනවාත් සමඟ ම බලාපොරොත්තුවකින් බෙලෙක්ගේ දෙනෙත් ප්‍රාණවත් විය. ඒ සමඟම මෙතෙක් වෙලා අමතක ව තිබූ වචනයක් ද ඔහුට සිහිපත් විණි.

* පව් හින්ද දෙන්න ගියේ............... යි කියවෙත්ම ඔහුගේ දෙනෙත වැඩිමහල් දැරිය දෙසට හැරිණි. රැස්ව සිටිනා අයගෙන් වැඩියෙන්ම නිර්දෝෂි භාවය ඔප්පු කරගත යුත්තේ ඇයට යැයි ඔහු සිතුවාක් මෙනි.
 

මං දුන්න පහට වඩා නං මේක අලුත් පහක් ..................මට මතකක් නෑ එතකොට එහෙනං මං මේකිට දුන්න පහ .................?

"ඒක හොය හොය හිටියෙ මං එන කොට.........

"ඇහිලු.............

" මං ඇහිලුවෙ නෑ .............පවු . හින්දා මගෙ රුපියල් පහ දෙන්න හැදුවේ...........

ස්ත්‍රිය වහා කුඩා දැරිය වෙත හැරුණා ය.

" උඹ දැක්ක ද අහුලනවා...........?"

" ඇහිලුවේ.................මං දෙන්න ගියෙ පවු හින්ද.........?"
 

බෙලෙක් වාසනාවකට මතක් වූ ඒ වචනය නැවත නැවත යොදමින් සිද්ධිය පැහැදිලි කිරීමට උත්සාහ කළේ ය. අනතුරුව කලිසම් සාක්කුවේ වු සියලු කාසි එළියට ඇද ගත්තේ ය. සුදු පැහැ රුපියල් දෙකේ කාසිය ද, රුපියලේ කාසිය ද ශත පනහේ කාසිය ද එතන විය. ඔහු උඩ සාක්කුවෙන් කොළ පැහැති රුපියල් දහයේ කොලයක් ද ගෙන පෙන්නුවේ ය.

" මේ සල්ලි, අද වැස්සේ නැත්තං මං මේ වෙන කොට අසුවක බෙලෙක් විකුණලා හෙට කරත්තෙට දෙන රුපියල් විස්සත් වෙන ම තියෙනවා.................... පෙට්ටියෙන් තියෙනවා. මට නම් ඔන් නැ අනුන්ගෙ සල්ලි..............මං අර පවු කියලයි දෙන්න හැදුවේ ........

බෙලෙක් මුදල් ටික නැවත සාක්කුවලට දමා ගත්තේය.

කෙට්ටු ස්ත්‍රියගේ උල් දෑසට කාසි අතර පොට්ට පාට වූ රුපියල් පහක් නො වූ බව හොඳට ම විශ්වාස ය.

ඔව් ඇයි වදේ ........හොරෙක් නෙමෙයි මං දන්නැද්ද හම්බු කොරන් කන ඒකා මුලින් ම තරුණයා හඳුනා ගත් ස්ත්‍රිය කීවා ය. ගවුම් සාක්කුවෙන් රුපියල් පහ ගෙන කුඩා දැරියගේ අත්ලේ ඇන්න මව ඇගේ උරහිසින් අල්ලා ඉදිරියට තල්ලු කළා ය.

"පල ගිහිං භුමිතෙල් කාල දැන් වත් ගෙන ඉතුරු නොහල බලාකුඩා දැරිය බිම දමා තිබූ බෝතලය ද ගෙන වහා පැන දිව්වාය.

"යමං ඛං යන්ඩ................තව පොඩ්⁣ඩෙන් අයිනව හොම්බ රිවට් වෙන්න.............. මරුමුස් ගැටවරයා තවත් කොලුවෙකු ද තල්ලු කරගෙන නික්ම ගියේ ය. වට වූ පිරිස ද බිමට නැඹුරු කරගත් දෙනෙත්වලින් තණ කොළ හා දූවිලි තීරුව පිරික්සා බලමින් අලස ලෙස විසිර යන්ට වූහ.

" දැක්ක ද? මේකිගෙ..තරම.................බෝම්බෙි............... රුපියල් පහ නැති කොරං තව පොඩ්ඩෙන් මේ ළමය අහුවෙන්නේ බලං කෙල්ලේ ඇති ඔය කොහේ හරි විසි වෙලා............ ඇයි අස්ප ගාය නෙ .මුං...............ඇහිලුවොත් මේ ළමයට දීල යවන්නත් බැරි නැ .............

"මට ඕන්නැ"

බස් රියක් කළු දුම් පිට කරමින් ඔවුන් පසු කොට ඇදී ගියේ ය. දුව ගොස් එහි එල්ලෙන්නට සිතුණ ද බෙලෙක් ඒ සිතුවිල්ල ක්‍රියාවට නැගුවේ නැත.

ගැහැනිය දවසකට රුපියල් අසූවක් සොයන තරුණයා දෙස බලා බුලත් කසට බැඳී දත් දැන්ද පා සිනාවක් නැගුවා ය. එය ඉතා ළංගතු සිනාවකි. අවුරුදු දහ හතක දහ අටක දියණියක සිටිනා ඕනෑම පැල්පත් වාසී අම්මා කෙනෙකුගේ ළෙන්ගතු සිනාවක් නැගීමේ අරුමයක් නැත. වැඩිමහල් දරිය ද බිම තණ කොළ පාගමින් බෙලෙක් දෙස හොරැහින් බැලුවා ය.

"අර තියෙන්නේ අපේ..ගේ

ස්ත්‍රිය පාර අද්දර අටවා තිබූ කුඩා තහඩු පැල්පත පෙන්වූවා ය.

"ඒක ද? "

"ඔව්................ ඔය යන එනකොට එන්න බැරියැ .....

බෙලෙක් බියෙන් සැකයෙන් තොර ව දැරිය දෙස බලා සිනාවක් පා ආපසු හැරී ගමන් කරන්නට වූවේය. යාර විස්සක් තිහක් ගොස් ආපසු බැලූ ඔහුට මවත් වැඩි මහල් දියණියත් පාරෙන් මඳක් ඉවතට වන්නට නැමී රුපියල් පහ සොයනු දැක ගත හැකිවිණි.

පසුදා උදයේ ද අහස අඳුරු කර තිබූ නමුත් බෙලෙක් රැකියාවට පිටත්ව ගියේ ය. මහත් වූ ප්‍රබෝධයක් ඔහුගේ කඩිනම් ගමනින් ද වැඩපළින් ද පළවිණි. ඔහු පෙරේදා වට වැස්සෙන් වතුර පිරුණ ටින් කබල් එකතු කොට මිටි පහර දී තළා ගෝනියට දමා ගත්තේ වේගයෙනි.

උදයටත් සවසටත් තව එක වත්ත බැගින් වැඩි කළ හොත් රුපියල් සියයකට කිට්ටු මුදලක් එකතු කර ගන්නට අසීරු දැ යි ඔහු ගණන් බැලුවේ ය

කරත්තය තල්ලු කරගෙන යන බෙලෙක්ගේ මුවින් ගීයක පද මිමිණෙන්නේ ඉබේටමය. ඔහුගේ හදවතේ මුල්ලක කිතිකැවෙන බලාපොරොත්තුවකි.