IMG-LOGO

පෙම්වතකු නැති පෙම්වතියගේ පෙම්පත්

කෙටිකතා - 16

පහත සඳහන් කථාන්දරය වරක් මට පැවසුවේ මා දන්නා  හඳුනන කෙනෙකි.

මා මොස්කව්වල සිටි අවදියේ අර ජාතියේ කාන්තාවක සිටින තැනක් ඉදිරිපිට මට වාසය කිරීමට සිදු විය. අර ජාතියේ කාන්තාවක යන්නෙහි  අදහස ඔබ දන්නෙහිය. ඇය පෝලන්ත ජාතික කාන්තාවකි. සියල්ලන් ම ඇයට කතා කළේ තෙරේසා යනුවෙනි. ඇය තරමක් උස, හොඳින් වැඩුණු ඇඟපත හා තඹවන් හිස කෙස් ඇත්තියකි. කළු පැහැති ඝන ඇහිබැම, අත් පොරොවකින් කපා හැඩ කළාක් වැනි විශාල මුහුණ, මෘගයකුගේ වැනි, දිස්නය දෙන කළු පැහැති ඇස්. ඇගේ ගොරෝසු කටහඬ, කුලීරිය පදවන්නකුගේ වැනි ගමන් ලීලාව, මාළු විකුණත ගැහැනියකට සුදුසු අති විශාල ශක්තිමත් මස්ගොබ මගේ හිතට ඇතුළු කළේ බියකි. මා නැවතී සිටියේ උඩම තට්ටුවේය. ඇගේ කුඩා කාමරය තිබුණේ මගේ කාමරය ඉදිරියෙනි. ඇය ගෙදර සිටින බව දැනුණ කිසි විටක මම මාගේ දොර විවර කොට නොතැබුවෙමි. එහෙත් එවැන්නක් සිදු වූයේ ඉතා කලාතුරකිනි. ඇතැම් විටෙක මට ඇය පඩි පෙළ උඩදී නැතහොත් මිදුලේදී මුණගැසෙයි. එවිට ඇය ම වෙත පෑවේ කපටි නරුම සිනාවකි. බීමත් ඇය අඳුරු දැසින් හා අවුල් වූ කෙසින් ද අමුතු ම අප්‍රසන්න සිනාවකින් ද යුතුව සිටිනු ඇතැම් විට මම දැක ඇත්තෙමි. එවැනි අවස්ථාවල ඇය මා සමග කතා කළාය.

" ඉගෙන ගන්න මහත්තයො කොහොමද ?" ඇගේ මෝඩ සිනාව ඇය කෙරෙහි මා තුළ ඇති පිළිකුල තවදුරටත් වැඩි කළේය.
එවැනි මුණගැසීම් හා සුබපැතීම් මග හැර ගනු සඳහා මම මගේ කාමරය මාරු කරගැනීමට පවා කැමැත්තෙන් සිටියෙමි. එහෙත් මගේ පුංචි කාමරය ඉතා හොඳ තැනකි. එහි ජනේලයෙන් ඉතා පුළුල් දර්ශනයක් පෙනුණි. එසේ ම පහළින් ඇති මාවත හැම විට ම නිසසලව තිබුණි. එබැවින් මම ඉවසා සිටියෙමි.

එක් උදෑසනක මා මගේ කුඩා ඇඳේ වැතිරගෙන පන්ති නොයෑම ගැන නිදහසට කාරණාවක් සොයා ගැන්මට උත්සාහ කරමින් සිටින විට දොර හැරී ගොස් අර අප්‍රසන්න තෙරේසාගේ ගොරෝසු කටහඬ එළිපත්ත දෙසින් දෝංකාර දෙන්නට පටන් ගති.

''ඉගෙන ගන්න මහත්තට ලෙඩක් දුකක් නං වෙන්න එපා." " ඔහෙට මොනවද ඕන?'' මම ඇසුවෙමි. ඇගේ මුහුණේ මා දුටුවේ කැලඹුණු ගතියක් හා ආයාචනාත්මක ස්වරූපයකි. එය, කිසිසේත්. වෙනදා ඇය සතු මුහුණ නොවීය.

" මහත්තයො, මට ඔහේගෙන් පොඩි උදව්වක් ඕන කරනව. ඔහේ මට ඒක කරලා දෙනවාද?"

නිහඬව වැතිරී ගෙන ම මම මට ම මෙසේ කියා ගත්තෙමි.

"දෙයියනේ මගේ පිරිසුදුකම කෙලෙසෙන්නයි යන්නේ. හිතට දහිරිය ගනින් කොල්ලෝ "

' මට ගෙදරට ලියුමක් ඇරගන්න ඕන. ඒකයි උදව්ව.'' ඇය බයාදු, කන්නලව් ස්වරයකින් සෙමින් පැවසුවාය.

" උඹ යකාට ම යන්න ඕන " මම මටම කියා ගත්තෙමි. එහෙත් වහා ඇඳෙන් නැඟිට ගත් මම, මගේ මේසය අසල වාඩි වී. කරදාසියක් ද ගෙන, මෙසේ කීවෙමි.

"මෙහෙන් ඇවිත් ඉඳගෙන ලියන්න ඕන දේ කියන්න ''

ඇය පැමිණ ඉතා පරිස්සමින් පුටුවක වාඩිවී වැරැද්දක් කළ විලාසයෙන් මා දෙස බැලුවාය.

"කාටද ලියුම ලියන්න ඕන? ''

ස්වෙප්ටිස්යානා ටවුමේ, වෝර්සෝ පාරෙ, බොලෙස්ලාව් කාශ්පුත්ට ''
" හරි, පටන් ගන්න ''

" මගේ රත්තරන් බෝලස්, මගේ පණ, මට ම විතරක් ආදරේ කරන ඔයාව දේව මෑණියො ආරස්සා කරන්න ඕන. රත්තරන් හදවතක් තියෙන ඔයා ඇයි මෙච්චර කාලයක් තිස්සේ ඔයාගේ දුකෙන් ඉන්න තෙරේසා පරෙයිකිරිල්ලිට ලියුමක් ලිව්වේ නැත්තෙ? "

මට ආ සිනාව මා මැඩ ගත්තේ ඉතා අමාරුවෙනි.

දුකෙන් ඉන්න පරෙයිකිරිල්ලි අඩි පහකට වඩා උසයි. මිට මොළවා ගත්තා ම ඒවා බර ගල්ගෙඩි වගේ. කළුම කළු මුණ පරෙයිකිරිල්ලි මුළු ජීවිත කාලෙම දුම් කවුළුවක් ඇතුළේ ගත කළා වගේ. එකම එක දවසක්වත් ඒ මූණ හෝදල නැතුව වගේ. කෙසේ වුවද මම සංවරව මෙසේ ඇසුවෙමි.

"කව්ද මේ බොලෙස්ට්?"

"බොලෙස්ට් නෙමෙයි ඉගෙන ගන්න ළමයො, බොලෙස් මා නම වරද්දා කීම ගැන අමනාපයෙන් මෙන් ඇය පැවසුවාය.

"එයාගෙ නම බොලෙස්. එයා තමයි මට ආදරේ කරන කොල්ලා."

"කොල්ලා.!"

" ඇයි ඔහේ ඔය තරම් පුදුම උණේ මහත්තයො. මං වගේ කෙල්ලෙකුට ආදරේ කරන කොල්ලෙක් ඉන්න බැරිද? "

මෙයා? කෙල්ලක්? හොඳ කෙල්ලක් තමයි.

අපොයි මොකද බැරි? මොනවද සිද්ද නොවෙන්නේ ඉතින් ඔහේ එයාව හුඟක් කල් ආස්සරේ කළාද?" මම ඇසුවෙමි.

"අවුරුදු හයක් "

".ඕ..හෝ........... මම මටම කියා ගත්තෙමි. " හොඳයි. අපි ඔහේගෙ ලියුම ලියමුකො.....

බොලෙස්ට ලියුම් ලියන ගැහැනිය තෙරේසා නොවී වෙන කෙනෙකු වී නම් ඔහුගෙ තැන මා කැමැත්තෙන්ම මාරු කර ගන්නා බැව් මම ඔබට පැහැදිලිව ම කියමි.

'' මහත්තය මට කරුණාවෙන් කරන උදව්වට මම මගේ මුළු හිතින් ම ඉස්තුති කරනවා. බාග වෙලාවට මටත් පුළුවන් වෙයි මහත්තයටත් මොකක් හරි උදව්වක් කරන්න' තෙරේසා, මඳක් නැමී ඉතා ආචාරශීලී ලෙස පැවසුවාය.

"අවශ්‍ය නැ. මමත් ඔහේට බොහෝම නිහතමානිව ඉස්තුති කරනවා."

" සමහර විට මහත්තයගෙ ෂර්ට් හරි කලිසන් හරි පොඩ්ඩක් ඵලලගන්න එහෙම ඕන වේවිනෙ නේද?"

මේ සායක් ඇඳ සිටින සද්දන්ත ඇතින්න විසින් මා මහත් වූ ලජ්ජාවෙන් රත් පැහැ ගන්වන ලද්දා සේ මට හැඟුණි. මට ඇගෙන් කිසිදු සේවයක් අනවශ්‍ය බැව් මම ඇයට මඳක් තදින් කීවෙමි.

ඇය පිටත්ව ගියාය.

සතියක් හෝ දෙකක් ගෙවී ගියේය. ඒ සැන්දෑ කාලයකි. මම මගේ ජනේලය ළඟ වාඩිවී උරුවම්බාමින් මගේ ම ජීවිතයෙන් පලා යා හැකි කිසියම් උපායක් කල්පනා කරමින් හෙම්බත්ව සිටියෙමි. කාලගුණය ඉතා අප්‍රසන්න විය. මට පිටතට යාමට වුවමනාවක් නොවීය. හුදු කලකිරීම නිසාම මම ආත්ම විග්‍රහයක් ද මා ගැන ම මෙනෙහි කර බැලීමක් ද ඇරඹු වෙමි. මෙය ද මහත් සේ නීරස වැඩක් විය. එහෙත් අන් කවර දෙයක් හෝ කිරීමට මට වුවමනාවක් නොතිබුණි. එවෙලේ දොර ඇරුණි. දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ ! කිසිවෙක් ඇතුළට පැමිණියේය.

" ආ ඉගෙන ගන්න මහත්තයෝ............මං හිතන්නෙ මහත්තයට හදිස්සි වැඩක් නැතුව ඇති නේද?"

ඒ තෙරේසාය. මදැයි

" නෑ. මොකක්ද වුවමනාව?''

" මම මහත්තයගෙන් අහන්න ආවෙ මට තව ලියුමක් ලියාගන්න පුළුවන්ද කියල. ''
" හා හොඳයි. බොලෙස්ට නේද?"

" නෑ මේ වතාවෙ එයා එවන විදියෙ ලියුමක්.''

" මොනව? "

" මගෙ මෝඩකමට මට සමාවෙන්න ඉගෙන ගන්න මහත්තයා.......... මේ ලියුම මගෙ යාළුවෙකුට. ඒ කියන්නෙ යාළුවෙක්මත් නෙමෙයි. දන්න අඳුනන කෙනෙක්. දන්න අඳුනන පිරිමි කෙනෙක්. එයාට ආදරේ කරන කෙනෙක් ඉන්නවා මෙහෙ හරියට මං වගේම. තෙරේසා කියල. ඔන්න ඔිකයි කාරණේ. මහත්තයට පුළුවන්ද අන්න ඒ තෙරේසට ලියන විදයට ලියුමක් ලියල දෙන්න?"

මම ඇය දෙස බැලුවෙමි. ඇගේ මුහුණ කැලඹිල්ල පළ කළේය. ඇගේ ඇඟිලි වෙව්ලමින් තිබුණි. මුලදී ටිකක් නොපැහැදිලි වුවත් පසුව එය කෙබඳු දෙයක්දැයි මම අනුමාන කළෙමි.

" මේ. ඔහේ කියන බොලෙස්ල තෙරේසල කිසි කෙනෙක් මේ ලෝකෙ ඇත්තේ නෑ. ඔහේ මට කියල තියෙන්නෙ පොකුරු බොරු. ආයෙ එහෙම මා ළඟට එන්න එපා ඔය බේගල් ඇද බාන්න. මට ඔහෙත් එක්ක ආස්සරේ වැඩි කරගන්න කොහෙත්ම වුවමනාවක් නෑ. ඔහේට තේරුණාද ? '' මම පැවසුවෙමි.

හදිස්සියේ ම ඇය මහ අමුතු තැති ගැන්මකින් විරූප වී ගියාය. ඇය එතැන ම සිටගෙන දෙපතුල එහා මෙහා කරමින්, යමක් කීමට ඇති මුත් එය කියාගත නොහැකිව මෙන් විකට විලාසයකින් කතා කරන්නට තැතනුවාය. මේ සියල්ල අනුව කුමක් සිදුවනු ඇද්දැයි මම බලා සිටියෙමි. සදාචාර මාර්ගයෙන් මා ඉවතට ඇද දැමීමට රිසි එකියකැයි ඇය ගැන සැක කිරීමෙන් මා බලවත් වරදක් කර ඇති බව මට පැහැදිලිව ම දැනුණි. එය පැහැදිලිව ම ඉතාමත් වෙනස් දෙයක් විය.

'' ඉගෙන ගන්න මහත්තයො '' ඇය කතාව ආරම්භ කළාය. ඒත් හදිසියේ ම අත වැනූ ඇය එක් වර ම දොර දෙසට හැරී පිට වී ගියාය. හිතේ උපන් මහ අප්‍රසන්න හැඟීමක් ඇතිව මම කන්දීගෙන සිටියෙමි. ඇගේ දොර වේගයෙන් සද්දවනු ඇසුණි.
අසරණ කෙල්ලට හොඳටම තරහ ගොස් ඇති බව පැහැදිලි විය. නැවත ඒ ගැන සිතා බැලූ මම, ඈ වෙත ගොස්, මගේ කාමරයට එන ලෙසට ඇයට ආරාධනය කොට ඈට අවශ්‍ය සියලු දෙයක් ම ලියා දීමට තීරණය කළෙමි.

ඇගේ කාමරයට ඇතුළු වූ මම වට පිට බැලුවෙමි. ඇය මේසය අසල වාඩිවී. වැලමිටි දෙක මේසයට ගසාගෙන දෑත් මත තම හිස ඔබාගෙන සිටියාය.

'' මං කියන දේ අහන්න '' මම පැවසුවෙමි.

මගේ කතාවේ මෙතැනට ළං වන හැම විට ම මට දැනෙන්නේ මහා අමුත්තකි. මෝඩ හැඟීමකි.

"හොඳයි කමක් නෑ ! මම කියන දේ අහන්න ! '' මම පැවසුවෙමි. තම පුටුවෙන් පැන දෑස් දල්වාගෙන මා ඉදිරියට පැමිණි ඈ ඇගේ දෑත් මගේ උරහිස් උඩ තබමින් ඇයටම ආවේණික ගොරෝසු හඬින් කොඳුරන්නට නොව මුමුනන්නට වූවාය.

"මේ බලන්න. මෙන්න මේකයි කතාව. බොලෙස් කියල කෙනෙක් කොහෙත්ම ඇත්තෙ නෑ. තෙරේසෙකුත් ඇත්තෙ නෑ. ඒත් ඒකෙන් මහත්තයට ඇති වැඩේ මොකක්ද ? කොළේක පෑනෙන් ලියන එක මහත්තයට ඔච්චර අමාරු දෙයක්ද? ඈ ! තාමත්, ලස්සන කොණ්ඩයක් තියෙන කොලු පොඩ්ඩෙක් වෙලත් මහත්තයත් මෙහෙම කළා ! ඔය කියන කිසි ම කෙනෙක් මේ ලෝකෙ ඇත්තෙ නෑ. බොලෙස් කෙනෙකුත් නෑ. තෙරේස කෙනෙකුත් නෑ. ඉන්නෙ මං විතරයි. ඔන්න දැන් මහත්තය දැන ගත්තනෙ. දැන් ඒකෙන් මහත්තයට හොඳක්ම වේවිනෙ!"

" මට සමාවෙන්න.'' මගේ කතාවට ඇය ප්‍රතික්‍රියා දැක්වූ ආකාරය නිසා මුළුමනින්ම අන්ද මන්දව ගිය මම පැවසුවෙමි. '' මොනවද මේ කියන්නෙ? බොලෙස් කියල කෙනෙක් නෑ කියලද කියන්නෙ? "

" නෑ තමයි.''

" තෙරේස කියල කෙනෙකුත් නෑ?"
" නෑ. තෙරේස කියල කෙනෙකුත් නෑ. මම තමයි තෙරේස. '' මට එය කොහෙත්ම තේරුණේ නැත. සිහි විකල්ව ඇත්තේ මගේ ද ඇගේ ද යන්න දැන ගැන්මට, මම ඇය දෙස ඇස ගසා ගෙන ම උත්සාහ කළෙමි. එහෙත් ඇය නැවතත් මේසය වෙත ගොස්. කුමක්දෝ සොයාගෙන ආපසු මා වෙතට විත් අමනාප ස්වරයකින් මෙසේ කීවාය.

" ඔහේට ඔය තරම් අමාරු නම් බොලෙස්ට ලියන්න මෙන්න, මහත්තයගෙ ලියුම අරගන්න. වෙන කවුරු හරි මං වෙනුවෙන් ලියයි.''

මම බැලුවෙමි. මා බොලෙස්ට ලියූ ලිපිය ඇගේ අතේ විය.

"මේ අහන්න තෙරේසා ! මේකෙ තේරුම මොකක්ද? ඔහේ ඇයි වෙන අයට කියල ලියවන්නේ, මම ලියල තියෙද්දිත්. ඔයා ඒක යවලවත් නෑනේ !''

" යවන්නෙ කොහේටද? "

"ඇයි මේ බොලෙස්ට."

" එහෙම කෙනෙක් නෑ. "

මට මෙය කොහෙත් ම තේරුම් ගත නොහැකි විය. ඇයට කුද ගහ ගන්නටය කියා යෑම හැර කළ හැකි අන් දෙයක් නොපෙනුණි. එවිට ඇය විස්තර කරන්නට පටන් ගත්තාය.

" ඉතින් මොකද වෙන්නෙ? " ඇය අමනාප ස්වරයෙන් ම කීවාය.

" එහෙම කෙනෙක් නෑ කියල මං ආයෙත් කියනව.'' ඇය දැත විහිදාලූයේ එවැන්නෙකු නැත්තේ ඇයිද යන්න තමාට ද නොවැටහී ගියාක් මෙනි.

" එහෙම කෙනෙක් ඉන්නව කියල හිතන්න මට ඕන කළා. මොකද, මම අනෙක් අය වගේ ම මනුස්සයෙක් නෙමෙයිද? ඔව්. ඔව්. මට තේරෙනව. ඇත්තෙන්ම මට තේරෙනව. ඒත්, එයාට ලිව්ව කියල කිසි කෙනෙකුට නස්පැත්තියක් වෙන්නෙ නෑනෙ! "
මට සමාවෙන්න... කාට ලිව්ව කියලද?"

ඇත්තෙන් ම බොලෙස්ට .''

නමුත්, එයා නැති කෙනෙක්නෙ."

අනේ ඉතින් එයා නැති වුණාම මොකද? එයා නැහැයි කිව්වට එයා ඉන්න පුළුවන්. එයා ඉන්නවයි කියල හිතල මං එයාට ලියනව. එකකොට තෙරේස තමයි මම. ඉතින්, එයා මට උත්තර ලියනව, ඊට පස්සෙ මම එයාට ආයෙක් ලියනව.'

අන්තිමට මම තේරුම් ගත්තෙමි. එහෙත් මට මහා කලකිරීමක් ද අසරණ බවක් ද ලජ්ජාවක් ද දැනුණි. මා ඉන්නා තැනට යාර තුනක්වත් නැති තරම් දුරක, මෙලොව කිසිවෙකුගෙන් කරුණාවක්, ආදරයක් නොලද මනුස්සයෙකු වාසය කොට ඇත. මේ මනුස්සයා. තමා වෙනුවෙන් මිතුරෙකු නිර්මාණය කොට ගෙනය.

මේ අහන්න, මහත්තය මට බොලෙස්ට යවන්න ලියුමක් ලියල දුන්න. මම ඒක වෙන කෙනෙකුට දුන්න මට ඇහෙන්න කියවන්න. එයා ඒක කියවනකොට මං ඒක අහගෙන ඉඳල, බොලෙස් ඉන්නවය කියල හිතෙන් මවා ගත්ත. මං මහත්තයට කිව්වා ලියුමක් ලියල දෙන්නය කියල බොලෙස් තෙරේසට ලියන හැටියට. ඒක මටයි. මට ලියන හැටියට එහෙම ලියුමක් ලියල මට ඇහෙන්න කියවනකොට මගෙ හිතට එහෙම පිටින්ම විශ්වාසයක් ඇතිවෙනව බොලෙස් ඉන්නවමයි කියල. ඒකෙන් මගෙ ජිවිතේ සැහැල්ලු වෙනව. ''

මොට්ටයා උඹ යකාට ම යන්න ඕන!" මේ කතාව ඇසූ කල මම මට ම කියා ගත්තෙමි.

එතැන් සිට ස්ථිර වශයෙන් ම දෙසතියකට වරක් මම බොලෙස්ට ලිපියක් ද බොලෙස්ගෙන් තෙරේසාට පිළිතුරක් ද ලියා දුන්නෙමි. මම ඉතා හොඳින් ඒ පිළිතුරු ලිපි ලිව්වෙමි. සැබැවින් ම ඒවා අසා සිටි ඇය පුදුම උපදවන අයුරින් වැලපුණා පමණක් නොව ඇගේ ගොරෝසු කට හඬින් බෙරිහන් දුන් බව ද මවිසින් පැවසිය යුතුය. සිතින් මවා ගත් බොලෙස් ඇත්තටම ලියන්නා සේ මවිසින් ලියන ලද ලිපි මගින් ඇගේ දෙනෙතට කඳුළු නැංවීම
සම්බන්ධයෙන් කෙළෙහිගුණ සැලකීම පිණිස ඇය මගේ මේස්, කමිස හා වෙනත් ඇඳුම් කැඩුම්වල ඉරුණු තැන් එලලීමට පටන් ගත්තාය. මේ ඉතිහාසය ඇරඹී මාස තුනකට පමණ පසුව ඔවුහු ඇය කවර කරුණකට හෝ සිර ගත කළහ. මේ වන විට ඇය මියගොස් ඇති බවට සැකයක් නැත.

මා දන්නා හඳුනන මිත්‍රයා තම දුම්වැටියේ අළු ගසා දමා කල්පනාකාරීව අහස දෙස බලා මෙලෙසින් කතාව අවසාන කළේය.

කෙසේ වුව ද මිනිසා නමැති සත්වයා හොඳ දේ රස විඳින්න විඳින්න ජීවිතයේ මිහිරි දේ ම පතන්නෙක් වෙයි. සදාචාරය නමැති කඩමාලු ඔතාගත්ත, සර්ව සම්පූර්ණත්වය නමැති මීදුම් පටලය අතරින් අනුන් දෙස බලන, විශ්ව නිර්දෝෂිත්වය පිළිබඳ හැඟීමෙන් යුත් අපට එය නොවැටහෙයි.

ඉතින් සියල්ල ම සිදු වන්නේ මහා අමන ලෙස පමණක් නොව ඉතා කුරිරු ලෙසය. ඇද වැටුණු පන්තිය ගැන අපි කතා කරමු. ඇද වැටුණු පන්තියට අයත් වන්නේ කවුරුන්දැයි දැන ගැන්මට මම කැමැත්තෙමි. පළමු කොටම. ඔවුහු ද අප මෙන් ම ලේ, මස්, ඇට, නහර ඇති අය වෙති. මේ බව යුග ගණන් තිස්සේ දවස ගානේ ම අපට කියා දී ඇත. අපි කෙතරම් අප්‍රසන්න ද යන්න දන්නේ යක්ෂයා පමණි. නොඑසේ නම්, මානව භක්තිය ගැන ලෝකෙට හඬ නඟා කියන බණවලින් අප සම්පූර්ණයෙන් ම කෙලෙසි ගොසින්ද? යථාර්ථය අනුව අපිදු ඇද වැටුණු අය වෙමු. මට පෙනෙන හැටියට නම් අපි සියල්ලෙන් සම්පුර්ණ බව මෙන් ම අපේ මහන් තත්වය ද පිළිබඳ හැඟීම නමැති අගාධයේ ගැඹුරට ම වැටී සිටිමු. දැන් මේ හැමෙකක් ම එපා වන තත්වයට පත්ව ඇත.

ඒ සියල්ල ම කඳු පරුවත මෙන් පැරණිවී ගොසිනි. කෙතරම් පැරණිවී ඇද්දැයි කියතොත් ඒ ගැන කතා කිරීම පවා ලජ්ජාවට කරුණක් වෙයි. ඇත්ත වශයෙන්ම එය එතරම් ම පැරණීය. ඔව්. එහි තත්වය එවැන්නකි.

(මක්සිම් ගෝර්කිගේ Her Lover නමැති කෙටිකතාවෙි  සිංහල පරිවර්තනයකි.)

 



අදහස් (0)

පෙම්වතකු නැති පෙම්වතියගේ පෙම්පත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site