IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


උමතු හාවෝ දෙන්නෙක්

කෙටිකතා 20


ඒ හාවා ආවෙි දකුණු පැත්තෙන්. බී හාවා ආවෙි වම් පැත්තෙන්. නුගේගොඩ හන්දියේදි දෙන්නා එකට හම්බ වුණා. ගුවන් පාලම යට, වෙහිකල් පාර්ක් එකේ, විටක් හප හප හිටිය ටිකට් කඩන නාකි ගෑනියෙක් 'චපස්' ගාල කණුවක් මුලට රතු පාට කෙළ පාරක් විදින ගමන් දෙන්නා දිහා බැලුවෙ රවල වගේ.

"ඇයි, පයින් යන අයටත් ටිකට් කඩනවද?" ඒ හාවා ඇහුවා.
ගෑනි කුණුහරුපයක් කියල ආපහු කණුව මුලට කෙළ පාරක් විද්දා. ඒ හාවාත් ආපහු කට අරින්න හදනකොටම බී හාවා ඌවත් ඇදගෙන පාරෙන් එහා පැත්තට මාරු වුණා.
"මොකද, උඹ බය වුණාද?" ඒ හාවා ඇහුවෙි හිනා වෙවී.
"උඹට පිස්සුද බං? බැරි වෙලාවත් අපිව අඳුරගත්තොත් ! අපිට මේ වෙලා තියෙන දේවල් හොඳටම ඇති." බී හාවා කිව්වෙ තරහින්.
හයිලෙවල් පාරේ වැඩි සෙනඟක් නෑ. හැබැයි 138 බස් යනව හෝ ගාල පිඹගෙන. 'දෙල්කඳ, විජේරාම, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගම... හෝමාගම... හෝමාගම...' කොන්දොස්තරලගේ සුපුරුදු කැසට් එක. පසුබිම් සංගීතෙ විදියට ලයිට් කණුවක බැඳපු ලවුඩ්ස්පීකරේකින් මොනවද මන්ද සද්ද වගයක් ඇහෙනවා. අතරින් පතර 'චිරි චිරි' රැප් එකකුත් එක්කම.
"මිනිස්සුන්ගෙන් අවුලක් නෑ බං." ඒ හාවා කිව්වෙ සුපර් මාකට් එක පැත්තට යන පාර දිහා බලාගෙන.
"එතකොට ගෑනුන්ගෙන්?" බී හාවා අනිත් පැත්තට දමල ඇරියා.
"ඒක නම් මටත් ෂුවර් නෑ !"
දෙන්නාම එක පාර හිනාවුණා. පාලම උඩින් ගිය ලොරියක් 'පෝප් පෝප්' ගාල හයියෙන් හෝන් කළා.
"මොකද කියන්නෙ, අඩියක්වත් ගහමුද? මෙහේ හරි කලබලයිනෙ." ඒ හාවා.
"මගේ අතේ ලොකු ගාණක් නම් නෑ හැබැයි." බී හාවා.
"මගේ අතෙත් පොඩි ගාණක් තියෙනවා. බලමු, ශේප් එකක් දාගන්න බැරි වෙන එකක් නෑ." ඒ හාවා.
දෙන්නා නුගේගොඩ ස්ටේෂන් එක පහු කරන් ගිහින් ලයිබ්‍රිය පැත්තට යන පාරට හැරුණා.

මේ අපි හොඳට දන්න කියන හාවෝ දෙන්නෙක්. ඒ හාවා තමයි අර බෙලි ගෙඩියක් වැටුණ සද්දෙට බය වෙලා ලෝකෙ පෙරළෙනවද, අහස කඩන් වැටෙනවද මොකද්ද කියල හිතාගෙන දුවන්න ගිහින් ලොකු කලබගෑනියක් කළේ. එතකොට බී හාවා තමයි ඉබ්බෙකුට රේස් එකකට චැලේන්ජ් කරලා නින්ද ගිහින් පැරදිච්ච හාවා. දෙන්නා හිටියෙ කැලෑ දෙකක. හැබැයි හොඳ යාළුවෝ. එෆ්.බී. එකෙත් ෆ්‍රෙන්ඩ්ස්ලා. ඔය සිද්ධි දෙකෙන් පස්සෙ දෙන්නාටම තව දුරටත් ඒ කැලෑ දෙකේ ජීවත් වෙන්න බැරි තත්වයක් තමයි උදා වුණේ.
මහ එවුන්ගෙ ඇනුම් බැනුම්, රැවිලි ගෙරවිලි විතරක් නම් මැදෑ. පොඩි එවුන් ඇඟට පතට නොදැනෙන්න දාන චොර කින්ඩි තමයි ඉවසන්නම බැරි වුණේ. දවස් ගාණක් ගෙවල්වලින් එළියට යන්නෙ නැතුව හැංගිලා හිටියට වැඩක් වුණේ නෑ. අනික පිට උන්ගෙ සද්දෙ නම් කොහොම හරි ඉවසුව කියමුකෝ. මේ ගෙදර උන් කියන කතානේ ඉවසන්න බැරි. තල්මහෙක් කනවා ඉවසගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ කරෝල කට්ටක් ඇනුනම එන වේදනාවනෙ උහුලන්න අමාරු.
බැරිම තැන බී හාවා ගත්ත ඒ හාවාට කෝල් එකක්. මොකද කරන්නෙ කියල දෙන්නාම කතා වුණා. තාවකාලිකව පහු බහින එක තමයි දෙන්නාගේම පොදු එකඟතාව වුණේ.
එකේ ප්‍රතිඵලයක් විදියට ඔන්න දැන් දෙන්නා ඉන්නවා නුගේගොඩ තැබෑරුමක, පොඩි අඩියක් ගගහ. හැබැයි කාටවත් අඳුරගන්න බෑ. මිනිස්සු වගේ වෙස් වලාගෙන, ඇඳුම් එහෙමත් ඇඳගෙන ඉන්නෙ. කොහොමත් මිනිහෙක් වගේ වෙස් වලාගන්නවා කියන්නෙ ඒ තරම් අමාරු වැඩකුත් නෙවෙයිනෙ.
*********
"මං සාමාන්‍යයෙන් ගල් ගහන්නෙ නෑ. ඒත් මොනව කරන්නද? අතේ තියෙන ගාණට බිල රවුම් කරගන්න එපැයි." එහෙම කිව්ව ඒ හාවා බෝතලේ අතට අරගෙන ඒකෙ යට පැත්තට අල්ලෙන් හයියෙන් පාරක් ගහල 'කරස්' ගාල මූඩිය කැඩුවා.
"ඇයි උඹ ඒ බෝතලේ අඩියට ගැහුවෙ?" බී හාවා ඇහුවා.
"දන්නෑ. හැමෝම එහෙම තමයි බෝතලේ කඩන්නෙ. ඉතිං මාත් එහෙම කරනවා. මොකක් හරි ලොකු හේතුවක් ඇති."
"හ්ම්... බයිට් එකට මොනවද දාන්නෙ?"
"උඳුපියලිය ඩෙවල් එකක් ඕඩර් කරමුද?"
"ඒවා මෙහේ නෑ. අනික උඹට අමතක වුණාද අපි දැන් මිනිස්සු වගේ වෙස් වලාගෙන ඉන්නෙ කියලා. ගල් ගගහ උඳුපියලිය කන මිනිස්සු දෙන්නෙක් දිහා මේ වටේ පිටේ මිනිස්සු කොහොම බලයිද කියල හිතපන්."
"හැබෑටම ! එහෙනම් ඔම්ලට් එකක් දාමු. කොහොමත් අපි ලෝ බජට්නෙ යන්නෙ."
බයිට් ඕඩර් කරල, ඒක එන්නත් කලින් දෙන්නා ළඟ ළඟ දෙකක් නැව්වා. තැබෑරුමේ තැන තැන දෙන්නා තුන්දෙනා හතරදෙනා මේස වටේ එකතු වෙලා තම තමන්ගෙ ලෝකවල. ඒ තැන්වලත් සමහර විට වෙස් වලාගත්ත අය ඉන්න පුළුවන්. සිගරැට් දුමයි රයිස්, ඩෙවල්, කොත්තුවලින් නගින දුමයි එකට එකතු වෙලා අමුතුම සුවඳක් එක්ක කැරලි ගැහි ගැහි වටේට පාවෙලා යනවා. පිටිපස්සෙ කොරිඩෝව පැත්තෙන් එන්නෙ කවුරු හරි මහ සද්දෙන් වමනෙ දාන හඬක්.
බී හාවා සිගරැට් එකක් අරන් පත්තු කරල අහසට දුම් පිම්ඹා. ඊට පස්සෙ පුටුවෙ පස්සටම වෙලා හොඳට හරි බරි ගැහිල වාඩිවුණා. කෝච්චියක් 'ඩග ඩගස්, ඩග ඩගස්' කියල පාර දෙපැත්තෙ වාහනවලට හයියෙන් තග දාගෙන යන සද්දෙ ඈතින් ඇහුණා. දෙන්නා කතාව පටන් ගත්තා.
*********
"දැන් ඉතිං මොකද්ද උඹ කරන්න හිතන් ඉන්නෙ?"
"තාම කිසි අදහසක් නෑ බං. අනේ මන්ද."

"ඇත්තටම ඇයි බං උඹ මෝඩයෙක් වගේ එක පාරට එහෙම දිව්වෙ, අනිත් උනුත් කුලප්පු කරගෙන? ඊට ඉස්සෙල්ල පොඩ්ඩක් හොයල බලන්න එපැයි."
"ඔච්චර දේවල් හිතන්න කොහෙද බං වෙලාවක්. අනික ඇත්තටම ලෝකෙ පෙරළුණා නම් ! නැත්නම් අහස කඩන් වැටුණ නම් ! එහෙනම් මොකද කරන්නෙ?"
"මේ ලෝකෙ කොහොමත් කැරකෙනවලු යකෝ. හරි, ඒක එහෙමමමයි කියල කියමු. ඉතිං උඹ කොහේ ගිහිං හැංගෙන්න හිතාගෙනද දිව්වෙ?"

"අඩෝ, අඩෝ, මේ, උඹත් මට කින්ඩි දාන්න එන්න එපා. හරිද? එතකොට අනිත් උන් බබාලා ! උන්ට තිබුණනෙ පොඩ්ඩක් හොයල බලන්න. එහෙම නැතුව උන් ඔක්කොමත් මං පස්සෙ දුවගෙන ඇවිත් දැන් මාව විතරක් බයිට් එකට අරගෙන. ඒක හරිද කියපන්කො. නෑනෙ."
"අපේ උන් එහෙම තමයි බං. උඹ දන්නෙ නැද්ද? එකෙක් මොකද්ද කරන්නෙ, අනිත් එකත් මෙලෝ සිහියක් නැතුව ඒ පස්සෙන් දුවනව මිසක් වෙලා තියෙන්නෙ මොකද්ද කියල පොඩ්ඩක් නැවතිල, නිවිසැනසිල්ලෙ හොයල බලන්නෙ නෑ."
"උඹ දැන් හෙන පොර වගේ මට බණ කියන්නෙ, උඹට මොකද වුණේ කියපන්කො. මගේ සීන් එක වගෙත් නෙවෙයි, උඹේ සීන් එක නම් අපේ හත්මුතු පරම්පරාවටම විලි ලැජ්ජාවක් බං. ඉබ්බෙකුට පැරදුණා කියන්නෙ, චී... චී... චී..."
"මං ඊට කලින් දවසෙ හොඳට ගසල හිටියෙ බං. ඒකයි පොඩි ඇලට් එකක් දැම්මෙ. කවුද හිතුවෙ ඔහොම නින්ද යයි කියල. නැත්නම් ඔය ගල් ඉබ්බො කියන්නෙ අපි තුට්ටුවකටවත් ගණන් ගන්න උන්ද කියපන්කො."
"අඩෝ, ඌ උඹව පහු කරල යනකංම නින්ද ගියා කියන්නෙ, මට හිතාගන්න පුළුවන් කලින් දවසෙ උඹේ කෙළිය ගැන. කොහොම හරි ඉතිං අන්තිමට වෙච්ච දේ බලපංකො."
"කතා කරල වැඩක් නෑ බං. එදායින් පස්සෙ ගෙදර උන් එකෙක් මගේ මූණ බලල හරියට වචනයක් කතා කරන්නෙ නෑ. එතකොට වටේ පිටේ උන් ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. සුබ සාධන සමිතියෙනුයි, මරණාධාර සමිතියෙනුයි මගේ සාමාජිකත්වය අහෝසි කළා කියල ගෙදරටම ලියුම් එවලා තිබුණා. කොහොමද වැඩේ? ඒ කියන්නෙ මැරුණට පස්සෙත් මට දඬුවම් කරන්න උන් තීරණය කරලා."
"උඹ මේ මඟුලක් කියනව. අරකි මගේ අතේ හිටියෙ බං. සෙට් වෙන්න ඔන්න මෙන්න. මං අර උඹට දවසක් කිව්වෙ. ෆොටෝ එකකුත් එව්වෙ. අන්න ඒකි. දැන් මං යන පැත්ත පළාතකින්වත් එන්නෙ නෑ. යාළුවෙක් අතේ මං පණිවිඩයක් යැව්ව පොඩ්ඩක් හම්බ වෙලා කතා කරන්න ඕනෙ කියල. කොහෙද? එයාත් එක්ක මට දැන් කතාවක් නෑ කියල කම්මුලට ගහනව වගේ දමල ඇරියලු. ඉතිං අරූ ඉස්සරහ මට තව නෝන්ඩිය."
"වැඩේ කියන්නෙ බං, ඔක්කොමත් හරි, මේ හිච්චි බිච්චි පොඩි එව්වොත් කින්ඩි දාන එකනෙ ඉවසන්න බැරි. මං පරණ පුරුද්දට එකෙකුට නෙලන්නයි ගියෙ. මෙන්න බොලේ ඌ හෙන සෙට් එකක් අරගෙන ආවෙ නැතෑ මට ගහන්න. උඹ අර එදා දිව්වට වඩා වැඩි වේගෙකින් දුවල තමයි මං යන්තං බේරුණෙ. හතර විලි ලැජ්ජාවයි. ආපහු දවස් ගාණක් යනකං මං ගෙයින් එළියට බැස්සෙත් නෑ."
"ඔන්න, ඔන්න, උඹ ආයි මට කින්ඩිය දානව."
"අනේ මේ, උඹටයි මටයි දැන් වෙන වෙනම මොන කින්ඩිද බං? අපි දෙන්නම දැන් ඉන්නෙ එකම බෝට්ටුවෙ, දෙපැත්ත බලාගෙන."
"උඹ මන්ත්‍රීකාරයා හම්බ වෙලා බැලුවෙ නැද්ද?"
"වැඩක් නෑ බං. ඌත් මාව මග අරිනවා. ආපහු ඡන්දයක් ළං වෙද්දි නම් මතක් වෙයි. පොර කට්ටිය එක්ක කියනවලු මං පක්‍ෂ සාමාජිකයෙක්වත් නෙවෙයි කියලා. ඌත් බය ඇති ඡන්ද කැඩෙයි කියලා."
"කොහොමත් ඌට නම් ආපහු එන්න බැරි වෙයි බං."
"පුහ්... උඹ දන්න තරම තමයි ඒ. හරි, ඒව වැඩක් නෑ, මොකෝ කියන්නෙ? තව බාගයක් ගහමුද?"
"ඇති නේද? අපේ අතේ සල්ලිත් නෑ නේද වැඩිය !"
"නෑ, මොනව හරි කරගන්න පුළුවන් වෙයි. මං කෝකටත් කියල ඒ.ටී.එම්. කාඩ් එකත් අරගෙන ආවෙි. තව බාගයක් ඕඩර් කරපන්."
"එහෙනම් හපන්න මොනව හරි පොඩි දේකුත් ගමු. මේක ඉවරයිනෙ."
"හරි, ගමු. සිගරැට් ඉවරද? කෝ, මට සිගරැට් එකක් දීපං."
*********
ඒ හාවායි බී හාවායි කරේ අත්දාගෙන ආපහු හයිලෙවල් පාරට ආවා. ඒ හාවාගේ එක අතක බාගෙට පත්තු වුණ සිගරැට් එකක්. දෙන්නාටම ටිකක් වැඩියි. වෙලාව රෑ දොළහත් පහු වෙලා. පාර මාර පාළුයි. එක වාහනයක් නෑ.
"මචං, අපිට ආපහු කැලෑවට යන්න බැරි වෙයිද?" බී හාවා අහන්නෙ ඇඩුම්බර තාලෙකින්. "මට ආපහු එහේ යන්න ඕනෙ බං. මෙහෙම ආවට මොකද මට හැමතිස්සෙම කැලෑව මතක් වෙනවා."
"මේ අමාරු කාලේ ඉවර වෙනකං පොඩ්ඩක් අල්ලගෙන ඉමු මචං." ඒ හාවා දිග දුම් උගුරක් ඇද්දා. "ටික කාලෙකින් හැමෝටම මේ දේවල් අමතක වෙලා යයි. ඊට පස්සෙ අපි ශේප් එකේ ආපහු කැලෑවට පැන ගනිමු."
ගුවන් පාලම යට අර ටිකට් කඩන නාකි ගෑනි ආපහු සැරයක් දෙන්නා දිහා බලාගෙන ඉන්නවා. කලින් වගේම විට හප හප. කෙළ විද විද. ඒ හාවාට හවස කෝන්තරය මතක් වුණා.
"ඇයි, පයින් යන අයටත් ටිකට් කඩනවද?" ඒ හාවා ආපහු එහෙම ඇහුවෙ කලින් සැරේටත් වඩා ගොඩක් ලොකු සද්දෙකින්.
ගෑනි කණුව මුලට 'චපස්' ගාල දිග, රතු කෙළ පාරක් විද්දා. ඊළඟ මොහොතෙ ඒ හාවායි බී හාවායි දෙන්නම බලාපොරොත්තු වුණේ ගෑනිගේ කටින් නොනවත්වා පිටවෙන දිග කුණුහරුප වැලක්. මේ සැරේ නම් නිකං බලන් ඉන්නෙ නෑ, කැලේදි ඉගෙනගත්ත සේරම කුණුහරුප අනිත් පැත්තට දාල අරිනවා කියල ඒ හාවා කලින්ම හිතාගත්තා.
හැබැයි ගෑනි මොකුත් කිව්වෙ නෑ. ඒ වෙනුවට කහට ගැහිච්ච දත් ටික පෙන්නල එයා දෙන්නාත් එක්ක හොඳට හිනාවුණා. හිනාවෙලා ඊට පස්සෙ කතා කළා.
"පාරේ යන අයගෙන් විතරක් නෙවෙයි, වාහන නවත්තන අයගෙනුත් ටිකට් කඩන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි මහත්තයෝ ! ඒත් මොනව කරන්නද? මේක මගේ රස්සාව."
ඒ හාවායි බී හාවායි මූණට මූණ බැලුවෙ ඒ කතාවට දෙන්න ඕනෙ උත්තරේ මොකද්ද කියල හිතාගන්න බැරුව. එයා දිගටම කතා කළා.
"අදට වැඩ ඉවරයි. මං මේ යන්න හැදුවෙ. මහත්තුරු දෙන්නාත් දැන් ගෙදර යන්න. නෝනලා, ළමයි එහෙම බලාගෙන ඇති එනකං."
එහෙම කියපු ගෑනි ළඟ ප්ලාස්ටික් පුටුව උඩ තිබුණ කුඩෙත් අරගෙන, ඒක කිහිලි ගහගෙන හෙමින් හෙමින් කොහුවල පැත්තට ඇවිදගෙන ගියා.
එක පාරටම කොහෙන්දෝ මතු වෙච්ච 138ක් කඩාගෙන ඇවිල්ල ඒ හාවායි බී හාවායි ඉස්සරහ 'ක්රෑස්' ගාල බ්‍රේක් ගහල නතර කළා. දොරෙන් එළියට ඔළුව දාපු කොන්දොස්තර සුපුරුදු පරිදි මිනිහගේ කැසට් වාදනය ආරම්භ කළා.
"දෙල්කඳ, විජේරාම, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගම... හෝමාගම... හෝමාගම... එන්න, එන්න, ඔය මහත්තරු ඇවිත් නගින්න. මේක තමයි අන්තිම බස් එක. මිස් වුණොත් ඉතිං එළිවෙනකං ඇවිදගෙන තමයි ගෙදර යන්න වෙන්නෙ !"

 - කසුන් සමරතුංග



අදහස් (0)

උමතු හාවෝ දෙන්නෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

කෙටිකතා

අවුරුදු
2025 අප්‍රේල් මස 29 39 0

ඇඳුම් ආයිත්තම් වලින්තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්.වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල් වෙ


රතු රෝස මල
2025 අප්‍රේල් මස 22 553 1

මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.


මගක් වසා මගක්
2025 අප්‍රේල් මස 15 491 0

’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.


මල් මිටිය
2025 අප්‍රේල් මස 08 165 0

සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ


ඩේවිඩ්ගේ උයන
2025 අප්‍රේල් මස 01 496 2

සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව


සියල්ල අහම්බයන්ය
2025 මාර්තු මස 25 694 2

“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 473 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 123 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site