පාර දිගේ දූවිලි අවුස්සගෙන ආපු ත්‍රිරෝද රථයක් රෝහලේ බාහිර රෝගී අංශය ඉදිරිපිට නවත්වනු මා බලාහිටියේ නිල නිවසේ කවුළුවෙන්. ග්‍රාමීය රෝහලක් වන මෙහි සිටින්නේ වෛද්‍යවරුන් තිදෙදෙනකු පමණි.ප්‍රධාන වෛද්‍ය වරයා නොසිටියේ අවුරුදු වෙනුවෙන් නිවාඩු ලබා සිටි නිසයි .අවිවාහක මා අවුරුදු සමයේ රෝහලේ රැඳී සිටියේ මගේ කැමැත්තෙන්මයි.එහෙත් දුරකතනයෙන් අම්මා පවසා සිටියේ මා නොමැති බැවින් ඔවුන්ටද අවුරුදු නැති බවයි.
මේ දිනවල රෝහලේ පැවතියේද පාළු ස්වභාවයක්.අවුරුදු නිසා නේවාසික රෝගීන්ද හිටියේ දෙතුන් දෙනෙකු පමණි.
අරමුණක් නැතිව ජනේලයෙන් ඉවත බලා උන් මා ඉන් මිදුනේ හෙදියකගේ හඬින්
" ඩොක්ටර්
දැන් ලෙඩෙක්
ගෙනාවා.වයසක ආච්චි කෙනෙක්.පපුව රිදෙනවා කියලා තමයි කියන්නේ"
" ඉන්න, මම එන්නම්"
කියූ මා හනික හෙදිය සමගින්ම පිටවූයේ බාහිර රෝගී අංශයට යෑමටය.
එහි යන විට රෝද පුටුවක වාඩිකර සිටියේ වයසක කාන්තාවකි.ඇය මා දකිද්දීම කට පුරා සිනාසුණාය.ඇය කිසියම් රෝගී තත්වයකින් හෝ අපහසුවකින් පෙළෙන බවක් පෙනෙන්නට තිබුණේ නැත .
"මොකද අම්මේ අමාරුව "
යැයි මා විමසන විට ඇය කිසිවක් නොතේරුණු ස්වරූපයකින් එතැන සිටි පුද්ගලයකු දෙස බැලුවාය.අවුරුදු හතළිස් පහක පමණ ඇති ඔහුගේ තිබුණේ දැන උගත් රැකියාවක් කරන අයකුගේ පෙනුමකි.
" මේ මගේ අම්මා "
ඔහු මදෙස බැලූවේ මගේ දෙනෙත් මගහරිමිනි.
" මොකක්ද අම්මගෙ අමාරුව "
" අම්මට ඇවිදින්න බැහැ ඩොක්ටර්.අවුරුදු පහකට විතර ඉස්සර අංශභාගය හැදුණා.හොඳ වුණාට ඇවිදින්න බැරි වුණා.ඇඳේමයි ඉන්නේ .
සිහිකල්පනාව අඩු ගතියකුත් තියනවා.
අදත් දවල්ට කාලා නිදාගෙන හිටියේ.
හිටි ගමන් පපුව රිදෙනවා කියලා කෑගහන්න පටන්ගත්තා.
එවෙලෙම තමයි අරගෙන ආවේ " යනුවෙන් පැවසුවේය.
" අම්මා මීට කලින් පපුවේ අමාරුවට බෙහෙත් බොනවද ?"
" නෑ
මීට කලින් කවදාවත් හැදිලා නැහැ.
ප්‍රෙෂර්වලටයි ඩයබිටිස් වලටයි නම් බෙහෙත් බොනවා."
" ක්ලිනික් පොත තියනවද "
" ඒවානම් නැහැ ඩොක්ටර්.
ජොබ් එකත් එක්ක අපිට මාසයක් ගානෙම අම්මව ක්ලිනික් එක්කගෙන යන්න බැරි නිසා ප්‍රයිවට් තමයි බෙහෙත් ගන්නේ "
එසේ කියමින් ඔහු මා අත තැබුවේ කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ වෛද්‍යවරයකු විසින් ලියූ බෙහෙත් තුණ්ඩුවකි.
" මිස් මේ ලෙඩාව අපි ඇතුළු කරගමු.ඊසීජී එක බලලා හොඳ නැත්නම් කුරුණැගලට ට්‍රාන්සර් කරමු."
ගමරාළලාගේ සිරියාවතී ලෙස හැඳින්වූ එම කාන්තාවගේ වයස අවුරුදු හැත්තෑ පහකි.වහා ඊසීජී පරීක්ෂණයකට හා අනෙක් අදාළ පරීක්ෂණ කටයුතු සඳහා යොමුකළ ද ඇයට කිසිදු අසනීපයක් හෝ අපහසුවක් අභ්‍යන්තරව හා බාහිරව දක්නට නොලැබිණි . ඊසීජී වාර්තාව සාමාන්‍ය විය.අධි රුධිර පීඩනයද සාමාන්‍ය විය.තම අමාරුකම් පිළිබඳව පැවසීමේ අසීරුවක් ඇයට තිබූ බැවින් මගේ අදහස වූයේ ඇය එදින වාට්ටුවේ නවතා ගතයුතු බවයි.
එදින හවස ඇගේ පුතා නැවත පැමිණ සිටි බව දුටුවේ තවත් දැරියක් වාට්ටුවට ඇතුළත් කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදී ය.සිරියාවතී අම්මා බැලීමට මා නැවත රාත්‍රී හතට පමණ වාට්ටුවට ගිය අතර ඇයට අවශ්‍ය සියලුම ක්ළමනා කබඩය උඩ පිළිවලකට තබා ඇති ආකාරය දුටුවෙමි.
පසුදා උදෑසන සිරියාවතී අම්මා පරීක්ෂා කළ මට තේරුම් ගියේ ඇයට පපුවේ අමාරුවක් හෝ වෙනත් රෝගී තත්වයක් නොමැති බවයි.ඇගේ වෛද්‍ය වාර්තා ද පැවසුවේ ඇයට පපුවේ අමාරුවක් හෝ එහි ලක්ෂණයක් නොමැති බවයි.දහවල ඇගේ ටිකට් කැපිය හැකි බව හෙදියට දන්වා සිටි මා උදෑසන ඇගේ නිවෙසින් කවුරුන් හෝ පැමිණියාදැයි විමසා සිටි පැණයට උපස්ථායිකාවගේ පිළිතුර වූයේ නැතැයි යන්නයි.සිරියාවතී අම්මා උදෑසන ඇඳේම මළ මුත්‍ර පිටකර තිබූ අතර ඇයව නහවා පිරිසුදු කර තිබුණේ උපස්ථායිකාව විසින්ය.
එදින හවස නැවත් වාට්ටුවට ගොස් සිරියාවතී අම්මාව පරීක්ෂා කළ අතර ඇයට කොහොමත් තිබෙන අපහසුතා හැර කියන්නට තරම් වෙනත් රෝගයක් නොතිබිණි.
" අම්මා
අද අම්මගේ පුතා ආවද " විමසූ විට,මදක් මා දෙස බලාසිටි ඇය අපහැදිලි ලෙස පැවසූවේ
" වැඩට ගිහිල්ලා " යනුවෙනි.
" පුතා තියා කවුරුවත්ම ගෙදරින් ආවේ නැහැ ඩොක්ටර්" හෙදිය පිළිතුරු දුන්නේ නොරිස්සුම් හඬිනි.
පසුවදා උදෑසන මා වාට්ටුවට යන විට වාට්ටුවේ එකම කලබලයකි.සිරියාවතී අම්මා ඇඳුම්වල මෙන්ම ඇඳේද මළපහ කරගෙනය .උපස්ථායිකාව ස්වර්ණා කෑගසමින් ඇයව පිරිසුදු කරයි.
" ලෙඩක් නැතිව මොනවට මෙතන ගෙනත්දාලද මන්දා
බැරි මනුස්සයා ගාව එක්කෝ කවුරු හරි නවත්තන්න ඕනෑ.ගෙනත් දැම්මා දැම්මමයි උන්නද මළාද බලන්නවත් මේ පැත්තේ ආවේ නැහැ."
මේ සියල්ලම අතර සිරියාවතී අම්මා හිස් බැල්මෙන් බලාසිටියා පමණි.
" අදවත් ගෙදරින් කවුරුවත් ආවේ නැද්ද "
මා හෙදියගෙන් විමසා සිටි අතර ඇගේ පිළිතුර වූයේ නැති බවයි.
" එහෙනම් ඔය දීලා තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන්න.ඉක්මනට එන්න කියලා."
මම උපදෙස් දුනිමි
" මේ බලන්න මැඩම්,දවස් හතර පහකටම ඇතිවෙන්න රෙදි මේ බෑග් එකේ තියනවා.ටික කලක් මෙහෙ නවත්වලා තියන්න බලාගෙනයි ගෙනත්දාලා තියෙන්නේ.
ඇයි ඉතින් අපි ඉන්නවනේ කවන්න ,පොවන්න ,නාවන්න , රෙදි හෝදන්න "
මේක මහලු මඩමක් කියලා හිතාගෙන ඇති "
කොහොමත් කට සැර ගැහැනියක වන ස්වර්ණා කීවාය.ඇගේ හැටි දන්නා මා ඇයට උපදෙස් දීමට ගියේ නැත.කට කියෙව්වාට ස්වර්ණා තම රාජකාරිය අකුරට ඉටුකරයි.
එදිනම හවස මා වාට්ටුවට යන විට ස්වර්ණා සිරියාවතී අම්මාට බත් කවමින් සිටියාය.සිරියාවතී අම්මාට පිරිසුදු ඇඳුම් අන්දවා තිබුණු අතර කොණ්ඩය පීරා ගොතා ගෝස් පටියකින් බැඳ තිබුණි .
" ස්වර්ණා , සිරියාවතී අම්මට හරි ආදරෙයි වගේ "
" මොනවා කරන්නද මැඩම්,මගේ අම්මත් මේ තත්වෙමයි. ගෙදර ගියත් මට මේ රාජකාරි ටික මෙහෙමම තියනවා"
ස්වර්ණා කීවේ සුසුමක් හෙළා ළය සැහැල්ලු කරගනිමිනි.
" ඩොක්ටර් ,දීලා තියෙන නම්බර් එකට කීපසැරයක්ම කතාකළා.රෝන්ග් නම්බර් එකක් කියනවනේ." හෙදිය පැමිණ පැවසුවාය
" එහෙම නම් අපිට පොලිසියට ඉන්ෆෝම් කරන්න වෙයි .මොකක්ද දීලා තියන එඩ්‍රස් එක "
හෙදිය පැවසූ ලිපිනය රෝහලට ආසන්න ගමක ලිපිනයකි.
" මැඩම්, පිරිමි වාට්ටුවෙ වැඩකරන ජයසිරි නම් ඔය පැත්ත ගැන දන්නවා ඇති "
ස්වර්ණා කීවාය.
" එහෙනම් බත් ටික කවලා ගිහින් ජයසිරිව එක්කගෙන එන්න "
මම ස්වර්ණාට කීවෙමි.
මද වේලාවකින් ජයසිරි පැමිණි අතර ලිපිනයේ ඇති ප්‍රදේශය ජයසිරි දැන සිටියේය.
" ජයසිරිට පුළුවන් නේ මේ ඇඩ්‍රස් එකට ඉහින් පොඩ්ඩක් විස්තර හොයාගෙන එන්න "
" පුළුවන් මැඩම් .හෙට එනකොට හොයාගෙන එන්නම් "
පසුදා උදෑසන මා වාට්ටුවට යන විට දීපිකා නම් උපස්ථායිකාව සිරියාවතී අම්මා පිරිසුදු කර බත් කවමින් සිටියාය.එදිනත් ගෙදරින් කිසිවකුත් සිරියාවතී අම්මා බලන්න පැමිණ සිටියේ නැත.ජයසිරි මා සොයාගෙන ආවේ ඔය අතරය.
" මැඩම්, මම ගියා අර ඇඩ්‍රස් එක හොයාගෙන.ඒ මිනිස්සු මේ ගැන මොනවත්ම දන්නේ නැහැ.ඒ ගෙදර හිටපු අම්මා මීට අවුරුදු දෙකකට විතර ඉස්සර නැතිවුණා.මාත් මළගෙදර ගියා.මේක මොකක්ද ලොකු හොරයක් "
" එහෙනම් තව බලබල ඉඳලා බැහැ දැන්ම පොලිසියට ඉන්ෆෝම් කරන්න ඕනෑ "
වහා කාර්යාලයට ගිය මා රෝහල අයත් පොලිසියට සිරියාවතී අම්මා පිළිබඳව දැනුම් දුන්නෙමි.
ඒ අනුව දහවල් පොලිසියෙන් පැමිණි අතර සිරියාවතී අම්මාගෙන් විමසූ එකදු පැණයකටවත් ඇයට හරි හැටි පිළිතුරු දිය නොහැකි විය.
නිවාඩු ලබා සිටි ප්‍රධාන වෛද්‍යවරයා සඳුදා සේවයට වාර්තා කළේය.බදාදා සිට මා නිවාඩු යාමට නියමිතව තිබුණි.සිරියාවතී අම්මා පිළිබඳව මා ඔහුව දැනුවත් කළ අතර ඔහුගේ අදහස වූයේ දැනටමත් මා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
අඟහරුවාදා දිවා ආහාරය සඳහා නිල නිවෙසට ගොස් සිටින අතරය ස්වර්ණා දිව ආවේ.
" මොකද ස්වර්ණා හදිස්සියක්ද "
" අන්න මැඩම් හොරා ඇවිල්ලා "
ස්වර්ණා පැවසුවේ කට කොනක් ඇද කරමිනි.
" කවුද? "
" සිරියාවතී අම්මගේ පුතා .
මම බලනකොට හොරෙන්ම එක්කගෙන යන්නයි ලෑස්තිය ."
මම වහාම ස්වර්ණා සමග වාට්ටුවට වෙත ගියෙමි .
අප යන විට සිරියාවතී අම්මාගේ පුතා සිටියේ ගමන් මල්ල අසුරමිනි.
" අදවත් ආව එක හොඳයි
අපි හිතුවේ අම්මව අපිටම බාරදීලා ගිහින් කියලයි."
" අනේ! ඩොක්ට අපිට ලොකු කරදරයක් වුණා.ඒකයි එන්න බැරි වුණේ."
ඔහු බයාදු ලෙස පැවසීය.
" මොන කරදරයක් වුණත් එහෙම ලෙඩෙක් ගෙනත්දාලා සද්ද නැතිව ඉන්න පුළුවන්ද? ඊටත් දවස් පහක්ම .තමන්ට එන්න බැරිනම් වෙන කෙනෙක් හරි එවන්න තිබුනණේ.
පස්සෙන්දම ටිකට් කැපුවා .
නම්බර් එකත් බොරු.ඇඩ්‍රස් එකත් බොරු."
බිම බලාගෙන සිටි ඔහු වදනක් හෝ කතාකළේ නැත .මා ඔහු ප්‍රධාන වෛද්‍යවරයා වෙත කැඳවාගෙන ගියෙමි.
" අපිට ඇත්තම කියන්න.නැත්නම් පොලිසියට දන්වන්න වෙනවා ආව බව.
මොකද්ද මෙතන සිද්ධවුණේ ."
මදක් නිහඬව සිටි ඔහු
" මම ඇත්තම කියන්නම් .සර්ටයි මැඩම්ටයි අහගෙන ඉන්න පුළුවන් නම් තේරෙයි මම මොනතරම් අසරණ මිනිහෙක්ද කියලා"
ඔහුගේ හඬ බිඳුණු අතර ඇස්වල කඳුළු පිරී තිබිණි.
" වාඩිවෙන්න "
මදක් මෙල්ලවූ ප්‍රධාන වෛද්‍යවරයා ඔහුට තමා ඉදිරිපිට ඇති අසුන පෙන්වීය.ඔහු වහා ඒ අසුනේ වාඩිවූයේ තම සිරුර තව දුරටත් ඔසවාගෙන සිටීමට ශත්තියක් නොමැත්තෙක් පරිද්දෙනි.
" මගේ තාත්තා වහලෙකින් වැටිලා මැරෙනකොට මට අවුරුදු අටයි.මම එකම දරුවා.කඩයප්පන් හදලා තමයි අම්මා මාව ජීවත් කළේ.ශිෂ්‍යත්වය පාස් වෙලා මම කුරුණෑගල ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ඇතුළු වුණා.අපේ බැරිකම නිසාම උසස්පෙළට මම තෝරගත්තේ කලා විෂයන්.ඒත් පළවෙනි පාරෙන්ම මම කැම්පස් තේරුණා.ඒ කාලේ අම්මා හුඟක් දුක් වින්දා.ඔය හැමදේම අතරෙ කැත නැතිව ජීවත්වන තරමට ගේත් අම්මා හැදෙව්වා.
කැම්පස් අවුට් වුණාට පස්සේ මට ලැබුණේ රජයේ ලිපිකාර තනතුරක්.වැඩ කරන ඔෆීස් එකකදි හම්බවුන චම්පිකාව බැඳලා ගෙදරම පදිංචි වුණා.එයත් ක්ලාක් කෙනෙක්.අපිට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.අපි වැඩට යන අතරේ ඒ දරුවෝ තුන්දෙනාවම ලොකු කළේ අම්මා.
චම්පිකාගේ හීනය වුණේ තට්ටු දෙකේ ගෙයක් .එයාම ලෝන් එකක් දාලා සල්ලි හොයාගෙන හිටපු ගේම වෙනස් කරලා තට්ටු දෙකට හැදුවා.එයාගේ පඩියෙන් වැඩි කොටස ලෝන් එකට කැපෙනවා. ඔය අතරේ තමයි හොඳට හිටපු අම්මා හදිස්සියේ වැටිලා එක්තැන් වුණේ.ඒ අවුරුදු පහකට කලින්.එදා ඉඳලම අම්මා ඇඳේ.සිහියත් හොඳ නැහැ.කවන්න පොවන්න නාවන්න ඔක්කොම කරන්න ඕනෑ.
කෙනෙක් ළඟ නවත්තන්න තරම් වත්කමක් අපට නැහැ.පැම්පස් උනත් හරිම ගනං.මම වැඩට යන්න කලින් අම්මව සුද්ද කරලා කවල පොවලා ඔක්කොම කරනවා.ආයේ හවසට ගොදර ආවගමනුත් අම්මගේ වැඩ ටික ඉවර කරලයි අනෙත් හැමදේම කරන්නේ.චම්පිකා නරක කෙනෙක් නෙවෙයි.එයා අම්මගේ කෑම ටික බෙහොත් ටික වෙලාවට ගෙනත් දෙනවා .ඒත් එයාට දරුවෝ තුන්දෙනෙක්ගේ වැඩ තියනවා.ක්ලාස් ගෙනියන ගේන එකම ඇති.රස්සාව වගේම ගෙදර දොර වැඩත් තියනවා.
ලොකු දුව ඕ ලෙවල් කළා මේ අවුරුද්දේ.දැන් අවුරුදු ගණනාවකින් අපි පවුලක් විදියට ට්‍රිප් එකක් ගිහින් නැහැ.ළමයි කවදාවත් නුවරඑළිය ගිහින් තිබුණේ නැහැ.අපේ ඔෆීස් එකේ කට්ටිය මේපාර අවුරුදු ඉවරවෙලා නුවරඑළියේ ට්‍රිප් එකක් යන බව වැරදීමකින් මට ගෙදරදි කියවුණා.ඒක කියාපු වෙලාවේ ඉඳලම ළමයින්ගෙන් බේරිල්ලක් නැහැ අපිත් යමු කියලා.වචනෙන් නොකිව්වට චම්පිකාගෙත් ලොකු ආසාවක් තිබුණා යන්න.
ඒත් ප්‍රශ්නය වුණේ අම්මව දාලා යන එක.ඒ දවස් කීපයට ගෙදර නවත්වන්න නෑයෙක් වත් හෙව්වට හම්බ වුණේ නැහැ.ලෙඩෙක් ළඟ ඉන්න අය දවසකට රුපියල් හය දාහක් විතර ඉල්ලුවා.ඒ වගේ මුදලක් ගෙවන්නයි ට්‍රිප් එක යන්නයි කොහොමවත්ම බැහැ.අන්තිමට ගැළපෙනම විසඳුම කිව්වේ ඔෆීස් එකේ යාළුවෙක්.
එයා කියපු හැටියට සල්ලි තියන පවුල් ට්‍රිප් යනකොට වයසක අම්මලා තාත්තලාව ප්‍රයිවට් හොස්ටල් වල නවත්තනවලු,මොකක් හරි බොරු ලෙඩක් කියාගෙන.ඒ බැරි අය ආණ්ඩුවේ ඉස්පිරිතාලවලත් නවත්තලා යනවලු.මම මේක චම්පිකාට කිව්වම එයත් කිව්වා එහෙමවත් කරමු නැතූනම් මේ දරුවන්ගෙන් ගැලවිල්ලක් නැහැ කියලා.
මම හෙව්වේ අම්මට කරදරයක් නැතිව ඉන්න පුළුවන් ලෙඩ්ඩු අඩු ඉස්පිරිතාලයක්.ඒකට මේ පැත්තේ ඉඳලා වැඩට එන පියන් කෙනෙක් මට උදව් කළා.අම්මගේ අඳුම් බෑග් එක හදන ගමනුත් චම්පිකා මගෙන් ඇහුවා අපි මේ කරන වැඩේ හරිද කියලා.ඇත්තටම අපි දෙන්නම ඒ ගමන ගියේ සතුටෙන් නෙවෙයි.දරුවෝ හින්දමයි.අම්මට නම් අපි නැතෙයි කියලා ඒ හැටි දැනීමක් නැහැ.මැඩම්ලා අපි හින්දා ලොකු කරදරයක් වින්දා.ඒකට මම සමාව ඉල්ලනවා.අපිට සමාවෙන්න .
"අපි හරිම අසරණ මිනිස්සු සර් ."
මේසයට ඔළුව තබාගත් ඔහුගේ උස් පහත් වන පිට කියා පෑවේ ඔහු ඉකිබිඳින බවයි.කණ්ණාතඩි දෙක ගලවා අතට ගත් ප්‍රධාන වෛද්‍යවරයා ජනේලයෙන් පිටත බලාගෙන හිටියේ හිස් බැල්මෙන්.
මදක් සන්සුන් වූ ඔහු හිස ඔසවා වෛද්‍යවරයා දෙස බැලුවා.
" ඕනම දඬුවමකට මම ලෑස්තී සර් "
" අම්මව එක්කගෙන යන්න.හොඳින් බලාගන්න.
අම්මලා හැමදාම ඉන්නේ නැහැ .
අම්මා නැතිවුණු දාක දුක්වෙන දේවල් මීට පස්සේ කරන්න එපා "
ප්‍රධාන වෛද්‍යවරයා පැවසුවේ නිවුනු හඬින්.
එතැනින් පිටව නේවාසිකාගාරයට ගිය මම නිවෙසට ඇමතූමක් ගත්තා.
කතා කළේ අම්මා.
අම්මේ....හෙට උදේ නෙවෙයි. අද රෑ කෝච්චියෙම මම ගෙදර එනවා.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
වංචාව