IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


තැන තැන ගිනි කෙළි

ජනපති එල්.පී.එල් බලයි 


හම්බන්තොට සිට පැමිණි ජනාධිපතිවරයා සිංගප්පූරු ගමනට සූදානම් වෙද්දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ජනපති අමතා විමසුවේ එල්.පී.එල් අවසන් මහා තරගය ඛෙත්තාරම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බැවින් එහි යාමට වේලාවක් තිබේ ද යන්නයි.


ඊට කැමැත්ත පළ කළ ජනපති රනිල් ඛෙත්තාරාම ක්‍රීඩාංගණයට පැමිණෙන තුරු ක්‍රීඩාලෝලීන් කිසිවෙකුත් ඒ ගැන දැන සිටියේ නැත. ජනපති සිටින තැන ක්‍රීඩාංගණයේ කැමරා ශිල්පීන්ට රූපගත කරගත නොහැකි බව දැනගත් ජනපති මාධ්‍ය අංශයේ නිලධාරීන් ඔවුන්ට වහාම එම අවස්ථාව උදා කර දුන්නේ ය.

ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ක්‍රීඩාංගණයේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිට තරගය නරඹන්නට විය.  ජනපති ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා ක්‍රීඩා රාජ්‍ය ඇමැති සමඟ එල්.පී.එල් තවදුරටත් දියුණු කිරීම ගැන සාකච්ඡා කළේ ය. 

පැයකට ආසන්න කාලයක් අමුත්තන්ගේ මැදිරියේ සිට තරගය නරඹද්දී පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් ද ජනපති අසලට පැමිණ කතා බහ කරන්නට විය. ඉන් පසුව පැමිණි ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් සාගලට මෙසේ කීවේ ය. 
“ජනාධිපතිතුමා එනවා කිව්වම අපි ටිකක් බයවෙලා හිටියේ. මොකද තරග නරඹන්න ආපු ජනාධිපතිවරුන්ට ප්‍රේක්ෂකයෝ හූ කියපු කාලයකුත් තිබුණානේ. නමුත් මේ ජනාධිපතිතුමාට ලැබුණේ හිතාගන්න බැරි චියර් එකක්.” නිලධාරියා කියද්දී “දැන් තත්ත්වය වෙනස්. ක්‍රීඩාලෝලීන් දන්නවා විනාශ වූ රට ගොඩ ගන්නේ මේ ජනාධිපතිතුමා කියලා.” සාගල පිළිතුරු දෙමින් පිටව ගියේ නිලධාරියාගේ පිටට ද තට්ටුවක්  දමමිනි.

 

විපක්ෂය ගැන ආණ්ඩු පක්ෂයෙන් චෝදනා

ජනපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් බදාදා සවස ජනපති මුණගැසුණේ පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ඡා කිරීමට ය. එදින පෙරවරුවේ සභාවේ දී විපක්ෂයේ අශෝභන හැසිරීම ගැන ද කතා බහට ලක්විණි.
“විපක්ෂය පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩවලට බාධා කරනවා. කිසිම වැඩක් කරන්න දෙන්නේ නෑ. ජනතාවට වැදගත් පනත් ගේන්න දෙන්නේ නෑ.” ඒ පැමිණිල්ල ඇමැති ප්‍රසන්න රණතුංගගෙනි.


“ප්‍රශ්නවලට තියෙන පළවෙනි පැය ඇදගන්නවා පැය දෙක තුනකට. එතකොට අනෙක් වැඩ කර ගන්න වෙන්නේ නෑ.” ආශු ද කතාවට එක්වූවේ එලෙසිනි.

“අනෙක් අතට විපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂ නායකතුමාට කන්ට්‍රෝල් නෑ කියලා අද වැඩෙන් ඔප්පු වුණා. විපක්ෂය කිසිම උපක්‍රමයකින් තොර ව නිකං කාලේ කා දමන ගමනක් යන බව තමයි පේන්නේ.” මන්ත්‍රී මධුර විතානගේ කීවේ ය.

“සභානායතුමයි, අගමැතිතුමයි, ආණ්ඩු පක්ෂය කන්ට්‍රෝල් කරගෙන යනවා.  හැබැයි විපක්ෂ නායකතුමාගෙන් ඒක වෙන්නේ නෑ. ඔබතුමා විපක්ෂ නායක ඉන්න කාලේ ඒ පාලනය තිබ්බා.” ඇමැති ප්‍රසන්න තවත් කරුණක් පෙන්වා දුන්නේ ය.


“විපක්ෂය ගැන අපිට කරන්න දෙයක් නෑ. නමුත් පාර්ලිමේන්තුවේ කාලය කළමනාකරණය ගැන පක්ෂ නායක රැස්වීමේදී තීන්දුවක් ගන්න. ඒක පාර්ලිමේන්තුවේ 225 ට ලිඛිතව දැනුම් දෙන්න. ජනපතිගේ පිළිතුර එය විය.

මෝල්ටා කතාව 

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට යාමට පෙර බ්‍රහස්පතින්දා ජනාධිපති කාර්යාලයේදී මැති ඇමැතිවරු කිහිපදෙනකු මුණගැසුණේ රටේ දේශපාලන, ආර්ථික තත්ත්වය ගැන කතා කිරීමට ය.
“දුමින්ද නාගමුව මෝල්ටාව ගැන කරපු කතාවට අනුර දිසානායකගෙන් කිසි ම ප්‍රතිචාරයක් නෑ. හැබැයි සාගර කාරිවසම්ටයි, තිස්ස කුට්ටිටයි නම් එන්තරවාසි යවලා.” මහාචාර්ය ආශු කීවේ කට කොනකට සිනහවක්ද නඟාගෙන ය.


“අපේ ටිරාන් අලස් ඇමැතිතුමා නම් සිද්ධිය ගැන හොයන්න සී.අයි.ඩී. එකට දීලා තියෙනවා. හැබැයි අනුර දිසානායක මේ කාරණය ගැන මුකුත්ම කරලා නෑ. අඩුගානේ පාර්ලිමේන්තුවේදීවත් මේ ගැන කතා කළේ නෑනේ.” ඇමැති චාමර සම්පත් ද කතාවට එකතු වූවේය.
“ලෙටර් ඩිමාන්ඩ් යවලා නඩු විභාග කරලා තීන්දුවක් එන කොට අවුරුදු 10 ක් විතර යයි. .” මන්ත්‍රී වජිර අබේවර්ධන කී ය.


ඉන් පසුව මධුර විතානගේ සහ ප්‍රේමනාත් දොළවත්ත අතීතය සහ වර්තමානය සසඳමින් මේ සිදුවීම ගැන කතා කරන්නට වූහ. 
“ඔබතුමන්ලට දැන් කරන්න තියෙන හොඳම වැඩේ, දැන් මේ සිද්ධිය හොයන්න කියලා ටිරාන් අලස් ඇමැතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීලා තියෙන නිසා ඔය කියන කාරණය ගැනත් පරීක්ෂා කරන්න කියලා ඇමැතිතුමා හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලන එක.” මහාචාර්ය ආශු කතාව අවසන් කළේ එලෙසිනි.

මේ සියල්ල සාවධානව අසා සිටියද ජනපති රනිල් කිසිවක් කීවේ නැත. අවසානයේ මන්ත්‍රීවරුන් පිරිස සාකච්ඡා කළේ ඉදිරි සතියේදී ඉහත කාරණය ගැන ටිරාන් අලස් ඇමැතිවරයා දැනුම්වත් කිරීමට ය.

ජනපති රනිල් එදින ඉන්දියන් අගමැති මෝදිට විශේෂ පණිවුඩයක් යවමින් සඳ මතට ගිය හතරවෙනි රාජ්‍යය වීම ගැන සුබපැතුම් එක් කළේය.

 

දැවැන්ත සංවිධානය අතළඟ!

ආණ්ඩුවේ දුර්දාන්ත පාලනය අවසන් කිරීම උදෙසා දැවැන්ත සංධානයක් නිර්මාණය කිරීමටත් සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂය මේ වන විට සූදානමින් සිටී.
“රටේ ගන්න දෙයක් නෑ. මුලු‍‍ රටම ඉවරයි. මේ හිතුවක්කාරී ආණ්ඩුව එළවන්න ඕනැ”‍ නලින් බණ්ඩාර කීවේය.
“මේක බොරු සෝබන ආණ්ඩුවක්. මෙහෙම ගියොත් රටක් කියලා දෙයක් ගන්න ඉතිරි වෙන්නේ නෑ.”‍ එහෙම කීවේ ගයන්ත ය.
“මේ ගමන නවත්තන්න නං අපි වහාම දැවැන්ත සන්ධානයක් හදන්න ඕනෑ.”‍


ඒ යෝජනාව ගෙනාවේ රංජිත් මද්දුමබණ්ඩාරය.
“තවත් කල් දමන්න දෙයක් නැහැ. ප්‍රගතිශීලී කණ්ඩායම් එකතු කරගෙන අපි සන්ධානය හදමු”‍
සජිත් සිය අනුමැතිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව එය සම්මත කරනු ලැබීය.


ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී රටේ සියලු ප්‍රගතිශීලී බලවේග එකතු කරගත් දැවැන්ත සන්ධානයක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් අඟහරුවාදා උදේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටි බැවින්, ආණ්ඩු පක්ෂ රැස්වීමේ මුලසුන ගත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාය. පාර්ලිමේන්තුවේ සතියේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී, පුරාවස්තු ආඥා පනත සංශෝධනය  සම්බන්ධයෙන් දීර්ඝ කතාබහක් ඇති විය. පනත් කෙටුම්පතින් යෝජනා කර තිබුණේ, පුරාවස්තු වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන්  පනවන දඩ මුදල්, නිලධාරීන් හා තොරතුරු ලබාදෙන්නන් අතර බෙදා දීම පිළිබඳවය. මධුර විතානගේ මන්ත්‍රීවරයා එම සංශෝධන සම්බන්ධයෙන් විරෝධය පළ කළේ, දඩ වලින් ලැබෙන අරමුදල් නිලධාරීන් අතර බෙදා ගැනීමට තමන් විරුද්ධ බව පවසමිනි. නිලධාරීන්ට රජයෙන් වැටුපක් ගෙවන බැවින් දඩ මුදල් නිලධාරීන් අතර බෙදීම ගැටලු‍වක් බව ඔහු කීවේය. ජයන්ත  කැටගොඩ මන්ත්‍රීවරයා ද කතා කළේ මධුරගේ අදහසට සහය පළ කරමිනි.


 “නිලධාරීන්ට වැඩ කරනවට පඩි ගෙවනවා. හැබැයි සමහර තැන්වල ඒ වැඩ කටයුත්ත හරියට කෙරෙන්නේ නෑ”‍ ඔහු කීවේය. ජගත් කුමාර මන්ත්‍රීවරයා ද ඊට  සම්බන්ධ විය. පුරාවස්තු ආරක්ෂා කරන්න අපට  පුරාවස්තු සංරක්ෂණ අරමුදලක් නැහැ. ඒ නිසා මම නම් කියන්නේ මේ දඩ මුදල් එකතු කරලා පුරාවස්තු සංරක්ෂණ අරමුදලක් හදන්න කියලයි. එහෙම වුණොත් අපිට මේ පුරාවස්තු නඩත්තු කරගන්න පුළුවන්”‍ ජගත් කීවේය. ඒ සමගම ඔහු කුරුන්දි විහාරය සම්බන්ධ ප්‍රශ්නයද මතු කළේය. ‘මේ පුරාවිද්‍යා උරුම තියෙන්නෙ එක එක්කෙනාට ගිහිල්ලා කිරි උතුරුවන්න, දේශපාලනය කරන්න නෙමෙයි . එතැන ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි’. ජගත් කීවේය.
ඇමැති විදුර වික්‍රමනායක කීවේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැමිණ සිටින බව ය. එහෙත් ප්‍රසන්න රණතුංග කීවේ පාර්ලිමේන්තු රැස්වීම ද පැවැත්වෙන බැවින්, ඒ ගැන වෙනම වේලාවක් වෙන්කරගෙන සාකච්ඡා කළ හැකි බව ය.


ඒ සමගම ඔහු කීවේ මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට  අකමැති නම්, මේ සතියේ එය විවාදයට නොගෙන කල් දමමු කියාය.
අනතුරුව කතාබහට ලක්වුණේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විපක්ෂය,  සභාව කල්තබන අවස්ථාවේ ගෙන එන යෝජනාව සම්බන්ධයෙනි.
බොහෝ දෙනා කිව්වේ එම  විවාදය කල් දමමු කියා ය. ඊට  හේතුව ලෙස ඔවුන් කීවේ විගණකාධිපතිවරයාගේ වාර්තාව ද ලැබුණු පසු ඒ ගැන සාකච්ඡා කළ හැකි බව ය. රොෂාන් රණසිංහ ඇමැතිවරයා කියා සිටියේ, ඒක විපක්ෂයේ ඉල්ලන විවාදයක්. ඒ නිසා අපි මේ විවාදය දෙන්න ඕනැ කියාය.

පොහොට්ටු මන්ත්‍රීලා අගමැතිට දුක කියති

ආණ්ඩුපක්ෂ රැස්වීම හමාර වී යද්දී පොහොට්ටුවේ, තිස්ස කුට්ටිආරච්චි, යූ.කේ. සුමිත් ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් අගමැතිවරයා හමුවී  දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළහ. ඔවුන් කීවේ පොහොට්ටුවද සම්බන්ධ ආණ්ඩුවක් තිබුණත් ඔවුන්ට කිසිදු සැලකිල්ලක් නො ලැබෙන බවය. අඩුම තරමින්, ඇමැතිවරුන් තමන් කියන දේවල්වත් ගණන් නොගන්නා බව ඔවුහු  කියන්නට වූහ. අගමැතිවරයා කිව්වේ ඒ සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බව ය.

රාජ්‍ය ඇමතිලා කනස්සල්ලෙන්

රාජ්‍ය ඇමතිවරුන් මුහුණ දෙන ගැටලු‍ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොහොට්ටුවේ රාජ්‍ය ඇමැතිවරු පිරිසක් බ්‍රහස්පතින්දා  හවස කොළඹ දී රැස්වූහ. එය සම්බන්ධීකරණය කරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර විසිනි. ජානක වක්කුඹුර, තේනුක විදානගමගේ, ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ, ප්‍රමිත  බණ්ඩාර තෙන්නකෝන්, පියල් නිශාන්ත, සනත් නිශාන්ත ඇතුළු පොහොට්ටුවේ රාජ්‍ය ඇමැතිවරු විසි දෙනෙකු පමණ ඊට සහභාගී වී සිටි බව වාර්තා විය. රාජ්‍ය අමාත්‍යවරුන් මුහුණ දෙන ගැටලු‍ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර, ඔවුන් කියා සිටියේ බොහෝ දෙනකුට  ඔවුන්ගේ කැබිනට් අමාත්‍යවරුන් වැඩ කරන්නට ඉඩ නොදෙන බවය. ඒ හේතුවෙන් තමන් කාර්යාලවලට කොටු වී සිටින බවද ඔවුහු කියන්නට වූහ. ‘‘අපිට අමාත්‍යාංශවල වැඩ පවරලා නෑ වැඩබෙදලා නෑ. අපිට වැඩ කරන්න ලේකම්වරයෙකු නෑ’’, රාජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක් කියන්නට වූහ.

එහිදී ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යංශ නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරුන් කියා සිටියේ තමන්ට එවැනි ගැටලු‍වක් නොමැති බවය. රාජ්‍ය ඇමැති  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය ඇමැතිවරයා කීවේ තමන්ට එවැනි ගැටලු‍වක් මතුවී නැති බවය. ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශවල අනෙක් රාජ්‍ය ඇමැතිවරුන් පිරිස ද කියා සිටියේ එවැන්නකි. එහිදී  ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය  ඇමැතිවරයා, නිමල් සිරිපාල ද සිල්වා  ඇමැතිවරයා ගැන දැඩි විවේචනයක් එල්ල කළේය.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ද ඔහු  නිමල් සිරිපාලට එම චෝදනාව නැඟුවේය. එම හමුවේදී ප්‍රේමලාල් කීවේ මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් නිමල් ඇමතිවරයා  වරායට සහ ගුවන්තොටුපොළට බදුල්ලෙන් සෙනඟ ගන්නා බවය. මන්ත්‍රීවරුන්ටද දෙදෙනා බැගින් දෙන ලෙස දැනුම් දී ඇතැයි ඔහු කීවේය. ඔහු කීවේ තමන්ට  අමාත්‍යාංශය  තුළ කිසිවක් කිරීමට නොහැකි බවත් අඩුම තරමින් උත්සවයකට වත් ආරාධනා නොකරන බවත් ය. ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමැතිවරයාද කීවේ එවැන්නකි.


පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා ද ඒ ගැන කතා කළේය. ඔහු කීවේ තමන්ගේ අමාත්‍යංශයේ ලේකම්වරයා විශ්‍රාම ගොස් සිටියදී ඔහු නැවත ගෙන්වාගෙන ඇති බවය. රාජ්‍ය  අමාත්‍යංශවලට ලේකම්වරුන් නොමැතිවීම ගැටලු‍වක් බව ඔහු ද කීවේය. මේ කතාබහ දිගට ඇදී යද්දී රාජ්‍ය අමාත්‍යවරුන් වැඩිදෙනෙකු කීවේ අගමැතිවරයා හමුවී මේ ගැන සාකච්ඡා කරමු කියාය. එහෙත් බොහෝ දෙනෙකුගේ අදහස වූයේ අගමැතිවරයා සමඟ ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමෙන් ඵලක් නැති බව ය. එබැවින් ජනාධිපතිවරයා හමුවී  තමන්ටද විෂයපථයන් සහ ආයතන වෙන්කර ගැසට් නිවේදනයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් කිරීමට තීරණය විය. එමෙන්ම තමන්ට ද අමාත්‍යාංශ ලේකම්වරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට ඔවුහු තීරණය කළහ.

 ශ්‍රීලනිප අවුල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සර සමුළුව සම්බන්ධයෙන් පසුගිය සතිවල දැඩි ආන්දෝලනයක් මතු වූයේ හෙට්ටිපොළ පැවැත්වීමට නියමිතව තිබූ සංවත්සර සමුළුව කොළඹ පැවැත්වීමට තීරණය කිරීම හේතුවෙනි. ශ්‍රීලනිපයේ සිටින මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් චෝදනාව එල්ල කළේ ආණ්ඩුවට එක්ව ඇමැති ධුර දරන ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට ය. දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායමක්  කීවේ හෙට්ටිපොළ පවත්වන්නට තිබුණු සංවත්සර සමුළුව ශ්‍රී ජයවර්ධනපුර ‘මොනාක් ඉම්පීරියල්’ හෝටලයේ දී පවත්වන්නට තීරණය කළේ නිමල්  සිරිපාල, මහින්ද අමරවීර ඇතුළු ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායමේ අවශ්‍යතාව මත බවය. එම තත්‍ත්වය, දයාසිරි ජයසේකර ඇතුළු පිරිස සිටියේ සමුළුව කල් අරින අදහසකය.  සමුළුව සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවලට ද මේ පිරිස පසුගිය දිනවල  සහභාගී නොවූහ. පක්ෂයේ  සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මේ ඇතිව තිබෙන තත්ත්වය විසඳීමට  ගිය සතියේ මැදිහත් විය. ඔහු දයාසිරි ඇතුළු කණ්ඩායමට දිගින්  දිගටම දුරකථන ඇමතුම් දෙමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන  ලෙසය

ඒ අනුව දයාසිරි ජයසේකර, ෂාන්  විජයලාල් ද සිල්වා, දුෂ්මන්ත මිත්‍රපාල,  අංගජන් රාමනාදන් යන  මන්ත්‍රීවරු ඉකුත් බ්‍රහස්පතින්දා සැන්දෑවේ පක්ෂ මූලස්ථානයේදී හිටපු ජනාධිපතිවරයා හමු වූහ. එහිදී මෙම මන්ත්‍රීවරුන් පිරිස හිටපු ජනාධිපතිවරයා හමු වූයේ පක්ෂයේ පසුගිය කාලයේ සිදු වූ කටයුතු සම්බන්ධයෙන් විවේචනාත්මක ලිපියක් බාර දෙමිනි.

එම සාකච්ඡාවේ දී ඔවුන් කියා සිටියේ  ආණ්ඩුවට එක්ව සිටින නිමල් සිරිපාල, මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායමේ අවශ්‍යතා මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ළඟට රැගෙන  යාමට දරන උත්සාහයට විරුද්ධ බවය. තමන්ටද ආණ්ඩුවට  සම්බන්ධ කිරීමට හැකියාව තිබූ නමුත් තමන් එසේ නොකළේ පක්ෂය සම්බන්ධයෙන් තිබෙන බැඳීම නිසා බව ඔවුහු කීහ. එබැවින් එක එක්කෙනාගේ අවශ්‍යතා  මත ආණ්ඩුවට යෑමේ උවමනාවක් තමන්ට නැති බව ඔවුහු  කියා සිටියහ. 
ආණ්ඩුවට එක් වූ නිමල් සිරිපාල, මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායමේ අවශ්‍යතා මත සමුළුව කොළඹ දී පවත්වන්නට තීරණය කිරීම ගැන ද ඔවුන්ගේ විවේචනයක් තිබිණි. එහිදී පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කියා තිබුණේ ආණ්ඩුවේ පිරිසගේ අවශ්‍යතා මත පක්ෂය ජනාධිපතිවරයා ළඟට රැගෙන යාමට තමා ඉඩ නොදෙන බවය. 

 

■ ගජබා 



අදහස් (0)

තැන තැන ගිනි කෙළි

ඔබේ අදහස් එවන්න

 

 
 

කරලියේ කතාබහ

පොහොට්ටුවෙන් පූට්ටුවක්
2024 ජුලි මස 22 779 0

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර ඇති නමුත් පොහොට්ටුව දිගින් දිගටම


මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 1038 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 747 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 559 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 476 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 401 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 39 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site