IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


අතීතකාමී විපරිතයා රණතුංග ද?

යළි උපන්නෙමි යළි කියවමු - 3

 

 

දැන් අපි යළි උපන්නෙමි වෙත එළැඹුණහොත් එහි කතා නායකයා වූ රණතුංග මව කෙරේ ඇලුනකු බව සිහිපත් කළ යුතුය. රණතුංගගේ පසුකාලීන ලිංගික ජීවිතය සහ ප්‍රේමය ඔහු විසින්ම මවා ගනු ලැබූ පාරිශුද්ධ බවකින් යුතු විය. ඔහු ගැහැනියක වෙතින් පතන ප්‍රේමය මවගේ ප්‍රේමය මිස අන් කිසිවක් නොවීය. විමලා නමැති ගැහැනිය සමග පැවැත්වූ ප්‍රේමය කෙලවර වන්නේ මන්දැයි පැහැදිලි කරන වාක්‍යයක් දෙවැනි පරිච්ඡේදය ආරම්භයේදීම දැක්වේ.

“මා ඈට ආලය නොකරතියිද මා ආලය කරන්නේ සිතින් මවාගත් දෙයකට යැයිද චෝදනා කොට ඈ මට ලියුමක් එව්වේ දැනට මාස හතකට පෙරය.”

- යළි උපන්නෙමි

 

සැබවින්ම විමලාගේ නිගමනය නිවැරදිය. රණතුංග ආලය කරන සිතින් මවාගත් දෙය අන් කිසිවක් නොව ඔහුගේම මවය.

විශ්වවිද්‍යාලයේදී හමුවන සෝමා තුළ ඔහු සොයන්නේ ද මවය. මේ සියලු ප්‍රේම සබඳතා එක දිගට පවත්වාගෙන යා නොහැකි වීමේ හේතුව කුමක්ද? ඔහු ලිංගික ඇසුර යනුවෙන් නිර්වචනය කරන්නේ කායික අශ්‍රයකින් තොර වූ සිතින් මවාගත් නිර්මල අශාරීරික ප්‍රේමයකි. එවැනි ප්‍රේමයක වස්තුව විය හැක්කේ තමාගේම මව පමණකි. එහෙත් ඔහු මව වෙනුවට වෙනත් ආදේශකයක් ලුහු බඳී. මෙය කෙලවර වන්නේ ඔහු ලිංගික ජීවිතය තුළ විපරිත මිනිසකු බවට පත් වෙමිණි.

මා මෙලෙස ලියාගෙන යන විට ඔබට එක් ගැටලුවක් වන බව මට දැනෙයි. ඇත්ත නම් ඔබේ ගැටලුව මගේ පළමු ලිපියේ පවා මා අනුමාන කර ඇත. ඔබ නගන ප්‍රශ්නය මෙවැන්නකි.

මෙම මනෝවිශ්ලේෂණිය යයි කියා ගන්නා ඔබගේ කියැවීම තුළ කලාත්මක විනිශ්චය නම් කරුණ මතු කරන්නේ නැහැ නොවේද? එලිසෙබෙත් රයිට් නමැති ලේඛිකාවට අනුව මනෝ විශ්ලේෂණීය කියැවීමකදී කතුවරයාගේ සවිඥානික වූ ප්‍රතිභාව මතු කර ගත නොහැකිය. ඇයට අනුව මනෝ විශ්ලේෂණීය කියැවීමක් යනු කලාකරුවා පිළිබඳ අධ්‍යයනය කෙරෙන රෝග විනිශ්චය කලාවකි. එහෙත් කලාකරුවා ,කලා කෘතිය සහ සහෘදයා හෝ පාඨකයා යන තුන් වර්ගය අතර ඇතිවන සංක්‍රාමණය නැතහොත් තිරෝහරණය (transference) පිළිබඳ අධ්‍යයනයක් තුළ වියමනෙහි කලාත්මක බව පිළිබඳ විනිශ්චය රඳාපවතී. මා එසේ කියන්නේ කලාකරුවකු නිර්මාණයක් කරන්නේ මනෝ විශ්ලේෂණය පිළිබඳ හාංකවිසියක් නොදැන බැවින් සහ මනෝ විශ්ලේෂණීය කියැවීමකට ඉන් අපූර්ව අවස්ථාවක් සැපයීම ඔහුගේ ප්‍රතිභානය තුළ සිදුවන්නක් වන බැවිනි.

යළි උපන්නෙමි පිළිබඳ මෙම කියැවීම ආරම්භයේදීම රෝගය අමරසේකර වන අතර රෝග ලක්ෂණය යළි උපන්නෙමි වන බවත් මම කීවෙමි. එහෙත් සංක්‍රමණික ක්‍රියාවලියකදී මේවා උඩුයටිකුරු වේ. රෝගය වියමන ලෙස පවතින විට පාඨකයා මනෝ විශ්ලේෂකයාගේ භූමිකාවේ සිටී. එහෙත් සංක්‍රාමණික ලෙස පාඨකයා රෝගියා වීමටත් කතුවරයා හෝ වියමන මනෝ විශ්ලේෂක භූමිකාවට මාරු වීමටත් ඉඩ ඇත. යළි උපන්නෙමි වෙත යළි ඍජු එළැඹීමකට පෙර මෙම න්‍යායික පදනම පැහැදිලි කර ගත යුතුව ඇත.

පසුගිය ලිපිය අවසන් කළ තැනින් පටන් ගතහොත් රණතුංගේ ලිංගික ජීවිතයේ විපරිත බව ඊඩිපස් අවධිය නිසිලෙස පසු නොකිරීමේ ඛේදවාචකයක් වේ. ඒ අනුව නවකතාවේ කේන්ද්‍රීය තේමාව ඊඩිපස් සංකීර්ණයයි. ෆ්‍රොයිඩ්ට අනුව ඊඩිපස් සංකීර්ණය (Oedipus complex) යනු ආශාව (desire) අවරෝධනය සහ ලිංගික අනන්‍යතාව යන කරුණුවල න්‍යෂ්ටියවේ. ජීවිත කාලයක් පුරාම තහංචි සහ නීති (taboos and laws) රකින්නේ හෝ කඩන්නේ ඊඩිපස් සංකීර්ණයෙන් ඉතිරිවන දේ නිසා ජනිත උභයාවේගී ප්‍රතිචාරය හේතුවෙනි.

සංකීර්ණතාව ක්ෂය වී යනවිට සුපිරි අහම (super ego)නිර්මාණය වී එය මනසේ භූමි චිත්‍රයේ (topography of the psyche) කොටසක් බවට පත්වේ.කොටින්ම ඊඩිපස් සංකීර්ණය ජය ගැනීමේ අරගලය කවදාවත් සන්සිඳෙන්නේ නැත. එය නියුරෝසියානු රෝග තත්වයකට හේතු වීමෙන් මනෝ විශ්ලේෂණීය ක්‍රියා සන්තතියකට මග පාදයි. ඉන් අධිකාරය (authority) සමග ගනුදෙනු බේරා ගැනීමට ලැබීම නිසා රෝගියාට අලුත් වීමට අවස්ථාවක් සැපයේ. මනෝ විශ්ලේෂණීය හමුවීමක් යනු සංක්‍රාමණය හරහා පැරණි නාඩගම යළි රඟ දැක්වීමකි.

අප මේ හදාරමින් සිටින්නේ වියමනක් මනෝ විශ්ලේෂණීය කියැවීමකට බඳුන් වන්නේ කෙසේද යන්නයි. එහිදී සංක්‍රාමණය (transference)සහ ප්‍රති සංක්‍රාමණය (counter-transference) සැලකෙන්නේ මනෝ විශ්ලේෂණයේ පාඨක න්‍යාය ලෙසය. එහිදී වියමන සහ පාඨකයා අතර සබඳතාව රෝගියා සහ මනෝ විශ්ලේෂකයා අතර ගනුදෙනුවට සමාන වේ. එහෙත් මෙහිදී අප අවධාරණය කළයුතු දේ නම් රෝගියා දක්වන විරෝධය (resistance) ඔහුගේ අවරෝධිත ආශාවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට බාධා පමුනුවන්නා සේම එම විරෝධය විග්‍රහ කිරීම තුළ එම අවරෝධිත ආශාවන් වෙත සමීප වීමට මනෝ විශ්ලේෂකයා අවස්ථාව සාදා ගන්නා බවයි.

වියමන මනෝ විශ්ලේෂණයට බඳුන් වන රෝගියා වන්නේ නම් පාඨක කියැවීමකදී එකී වියමන තුළ ඇති විරෝධය අන් කිසිවක් නොව ලේඛකයාගේ භාෂාත්මක වූ යථාර්ථවාදී විග්‍රහයක්‍ ය. වියමන සහ පාඨකයා/ විචාරකයා සංක්‍රාමණික අවස්ථාවකට පිවිසෙන්නේ එම විරෝධතා සමග ගැටීමෙනි. එබැවින් ඊඩිපස් අවදිය නිසි ලෙස පසු නොකළ රණතුංගේ අවරෝධිත ආශාව (repressed desire) වටහා ගැනීමට ඔහුගේ හැසිරීම අධ්‍යයනය කිරීමට සිදුවේ. ක්‍රියාශීලී ගැහැනුන් ඉදිරියේ ලිංගිකව හැකිලී යන රණතුංග, නන්දා නම් වෙසඟන කෙරේ වශීකෘත වන්නේ මන්ද?යළි උපන්නෙමි නවකතාව මුල හරියේ මවගේ උණුසුම පිළිබඳ රණතුංගේ හැඟීම් මෙසේ දැක්වේ.

“ඉක්බිති මා සිහි ලබන්නේ අම්මාගේ ඇඟට තුරුලු වී නිදා ඉන්නා අතරය. මගේ ඇඟ පත පුළුන් පොදක් සේ සැහැල්ලුවී දැනෙයි. මගේ සිත අඩ නිදි මතින් පියවී යයි. අම්මගේ ඇඟේ උණුසුම මා සිත මුකුලිත කරයි. මා පිට දිගේ අතක් යවා තමා වෙතට තුරුලු කර ගන්නා අම්මා එතනින් ඉවත් වන්නේ මට නින්ද ගිය පසුය. අප්‍රාණික මා ගත ඈ තුරුලෙහි වැතිර ඇත. ඈ එක් කකුලකින් ඇඳට තට්ටු කරන්නේ මා ඉක්මනින් නිදි කරවනු පිණිසය.

- යළි උපන්නෙමි 24 පිටුව

 

ඉබාගාතේ යන මිනිසකු ලෙස රණතුංග සමාජය තුළ සැරි සරන්නට පටන් ගන්නේ අහිමි වූ මවගේ සිරුරට ආදේශ්කයක් සොයමිනි. අවසන නන්දා මවට අනන්‍ය කොට ගනිමින් ඇයට ආශක්ත වේ. නන්දා සමග පවත්වන ඔහුගේ කායික සබඳතාව මෙසේය. “අම්මා සිටියත් කරන්නේ මේකම නේදැයි කී ඈ සුරත මා හිස කෙස් අතර යවා පිරිමදින්නට වූවාය. අපට හැමදාම අම්මගෙ තුරුල්ලෙම ඉන්නට බැහැනෙ. මම ඇය ළය මත මුහුණ රඳවා වැතිර ගන්නේ දයාවෙන් සහ කරුණාවෙන් පිරුණ සිතින් යුතුවය. ඈ මා හිසත් මුහුණත් දෙතොලත් සිම්බාය. අලුත් ජීවයක් පිඹින ලද කලෙක මෙන් මා ගත සිත අවදිව නැගිට සිටියේ ස්නේහයෙන් තෙමෙන හදවතින් ය. මම ඈ වෙත තව තවත් තුරුලු වෙමි.”

- යළි උපන්නෙමි 226 පිට

 

එහෙත් රණතුංගේ අවරෝධිත ආශාව ස්පර්ශ කිරීමට නවකතාකරුවා අවකාශ සලසන්නේ නැත. ස්ත්‍රීන් කෙරෙන් ඔහු පතන්නේ කායික නොවූ උත්තරීතර ප්‍රේමයකැයි මුළා කරනසුලු ක්‍රියා සන්තතියක පාඨකයා අතරමං වෙයි. දැන් මම මේ නවකතාව කර්කශ විවේචනයට බඳුන් වීමට හේතු වූත් කතුවරයා විසින්ම එය හෙළා දකිනු ලැබීමට තුඩු දුන්නා වූත් කොටස මෙහි උදුරා දක්වමි. “පිට අතුල්ලන මගේ දෙඇස් ඇගේ සිරුර වෙත ඇදී යන්නේ ඉබේය. සුදු පැහැති ඇගේ සියුමැලි ඇඟ කොයි තරම් පියකරුද?ළපැත්ත වෙතින් පටන් ගන්නා මගේ දෙඇස් ඇගේ ළැම වෙත ඇදී යයි. “මද වේලවකින් අම්මා ඇඳ සිටින දිය රෙද්ද ලිහිල් කොට එය පහත් කරයි. අඩ නිරුවත් ඇගේ පියකරු සිරුර මා නෙත් ඇදී යනු කෙසේ වැළැක්විය හැකිද?” මෙය කිය වූ සමහර පාඨකයකු කෝප වූයේ මන්ද? වියපත් වන කල අමරසේකරට පවා තමා ලියූ දේ දිරවා ගත නොහැකි වූයේ කුමක් නිසාද? පාඨකයා සහ වියමන අතර සබඳතාව සායනික නොවූ මනෝ විශ්ලේෂිත අවස්ථාවක් නම් මෙතැනදී වන්නේ සංක්‍රාමණික ලෙස පාඨකයා නැතහොත් විචාරකයා රණතුංගට අනන්‍ය වීමය. තමාගේ සිතිවිලි පිළිබඳව රණතුංග කම්පා වන්නා සේම අර පාඨකයා තුළද කම්පනයක් ඇති කරයි.

20 පිටුවේ විස්තර කර ඇති පාපී බියකින් පාඨකයාද පෙළෙන්නට ගනී. රණතුංග නින්දට යන්නේ දසමාසේ උරේ කත්වා යනාදී ලෙස මවගේ දෙපා වැඳය. එලෙස වියවුල් සහගත සිතිවිලි පලවා හැර බුදුගෙට වදින විට දැනෙන පිවිතුරු සිතිවිල්ලෙන් තම සිත පුරවා ගැනීමට ඔහු ප්‍රයත්න දරයි. දැන් ඔබට ප්‍රශ්නයක් ඇත. රණතුංග මෙන් මෙය කියවන පාඨකයා බිය ගන්නේ කුමක් නිසාද? මෙතැනදී වියමන මනෝ විශ්ලේෂකයා වී පාඨකයා/ විචාරකයා රෝගියා බවට පත් වී ඇත. එවිට සංක්‍රාමණික ලෙස සිදු වන්නේ පාඨකයාම තමාගේ අවිඥානය ස්පර්ශ කිරීමට නොහැකි බාධවක් නිර්මාණය කිරීමය. මෙය ගිනි තබා විනාශ කළ යුතු යයි කියන්නවුන්ගේ අවිඥානය රණතුංගට දෙවැනි නොවන බව වටහා ගැනීමට නම් සංක්‍රාමණික ක්‍රියාවලියක් තුළ සිදුවන දේ පිළිබඳව මදක් කල්පනා කර බැලිය යුතුය. අමරසේකර මහතා තමාගේම නවකතාව හෙලා දැකීම සහ පාඨකයා/විචාරකයා මෙය ප්‍රතික්ෂේප කිරීම අතර වෙනසක් නැත.දෙදෙනාම මහත් වූ බියකින් පෙළෙති. එහෙත් අමරසේකර මහතා තමාගේ බිය වටහා ගත නොහැකි අති මහත් වූ විරෝධතා කන්දකින් ආවරණය කර ඇත. මේ ප්‍රතිරෝධය නන් කිසිවක් නොව අතීතකාමී වූ ජාතික චින්තනයයි. එහෙත් අපට වටහා ගත නොහැකි කිසිවක් නම් අමරසේකර මහතාගේ අතීතකාමය සහ යළි උපන්නෙමි නවකතාවේ රණතුංගගේ අතීත වේදනාව එකක් මිස දෙකක් නොවන බවය. රණතුංග තමාට අහිමි වූ අව්ස්තුව සොයද්දී ආදේශක (substitutes) කන්දරාවක් ලුහු බඳී. ඔහුගේ ජීවිතය නම් වූ ෆැන්ටසි සවාරිය අවරෝධනය කළ ආශාව ගවේෂණය කළ හැකි සාක්කි කන්දරාවක් වෙයි. මේ නිසා රණතුංගගේ ජීවිතය අධ්‍යයනය කිරීම තුළ ඊඩිපස් අවදිය නිසිලෙස පසු නොකළ විපරිතයකු හමු වන්නා සේම යළි උපන්නෙමි ප්‍රතික්ෂේප වීම තුළ නිර්මාණය වන විපරිත චින්තනයද අපට වටහා ගත හැකි වනු ඇත. නිමි



අදහස් (0)

අතීතකාමී විපරිතයා රණතුංග ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ග්‍රන්ථ විචාරය

අරුන්දතී රෝයි කැරිස්මාව
2025 අප්‍රේල් මස 22 293 0

එක්තරා කාලයක අරුන්ද රෝයි අපේ රටේ සාහිත්‍යකරුවන් අතර අධිනිශ්චය වී තිබිණි. කොටින්ම සති අන්ත සිංහල පුවත්පත්වලට අරුන්දතී රෝයි නැතුවම බැරි විය.


පොත් නොකියවා විචාර ලිවීමෙි විකාරය
2025 අප්‍රේල් මස 08 252 0

සමන් නන්දලාල් මුහුණු පොතෙහි සටහනක් තබමින් තමන් පොතක් ගැන ලංකාදීප ’’මතුමහල’’ විශේෂාංගයට ලියන ලිපිය නවත්වන බව නිවේදනය කර තිබිණ. ඒ අතරම තමාගේ ලිවීම විචා


නිර්මාණ සාහිත්‍යයට විලංගුලන ස්ත්‍රීවාදය
2025 මාර්තු මස 25 70 0

රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව


සුනේත්‍රාගේ ප්‍රේමපුරාණය නිදහස් කාමිනියකගේ ආත්ම ප්‍රකාශනයක් ද?
2025 මාර්තු මස 18 116 0

මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම


ක්‍රිෂාන්තිගේ ’’ලැකානියානු ඇස’’ මනෝවිකාරයක්
2025 මාර්තු මස 11 311 0

පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්


සිරිල් බීගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ අමරණීය නවකතාවක්
2025 මාර්තු මස 04 154 0

සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 986 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 245 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1292 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site