
ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දාරක ප්‍රේමයත් කරුණරසයත් දනවයි.
ලොව බොහෝ පෙම්බැඳුම් ඇතිවී නැතිවී යයි.එහෙත් මවුපියන්ට දරුවන් කෙරෙහි ඇතිවන දාරක ප්‍රේමය අතිශයින් ප්‍රබලය.දරුවන්ගේ දාරක ලෝකයට සෑම වැඩිහිටියකුම ප්‍රිය කරයි.දේපළ සබඳතාවලින් මතුව එන තරගය හා ඊර්ෂ්‍යාව එහි නැත. දුදන ගතිවලින් චිත්ත දූෂණය නොවූ බාලක ලෝකය අහස් කුස පාවෙන සැහැල්ලු වලාකුලක් බඳු නොවෙිද?මවට දුවක මිස කීවාට පියකුට දියණියකගේ අගය ඊටත් වඩා තදින් දැනේ.පරපුර ඉදිරියට ගෙන යෑමට පමණක් නොව පවුලේ ගෞරවය,අභිමානය පවත්වා ගෙන යන්නෝ ද දියණියෝ ය.සිග්මන් ෆොයිඩ්ගේ ඊඩිපස් සංකීර්ණය( Edipus complex ) අනුවද පියකු සහ දියණියක අතර අැතිවනුයේ අවියෝජනීය බැඳීමකි.ඇතැම් දියණයෝ කසාද බැඳ නිවෙසින් බැහැරව ගියද තම පියාට දක්වන ආදරය,ගෞරවය.ළෙන්ගතුකම කිසිදු මොහොතක අඩු නොකරති.ඔවුහු ඇතැම්විට සැමියාටත් වඩා තම පියාට ඇලුම් කරති.ආදරය,ගෞරවය දක්වති.දියණියන්ගේ ලෝකයේ රජ්ජුරුවෝ පියවරු වෙත්.
දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණියනේ
කාලයෙ රියසක මහලු මගෙන් නුඹ
ඈතට ගෙන යන්නේ
මෙි ගීතයේ කථකයා ද උදාර පියෙකි.ඔහු තම දියණයගේ පැටිවිය සිහිපත් කරමින් කල්පනා යානයට ගොඩවෙයි.තම ප්‍රාණසම දියණිය දෑතේ එල්ලී තොදොල් වෙමින් හුරතල් කතා තෙපලපු අවදිය ඔහුගේ මතකයට නැගෙයි.එහෙත් කාලයේ වැලිතලාවට එකී සොඳුරු අතීතය යටපත් වී ඇති බව ඔහුට දැනෙයි."කාලයේ රියසක" වැනි රූපකයක් යොදාගැනීම රචකයාගේ නිර්මාණශීලිත්වය මොනවට පැහැදිලි කරයි.මෙි වනාහි ධ්වනිතාර්ථපූර්ණ,රමණිය කාව්‍යෝක්තියක් නොවෙිද? තමා වයසට යනවිට බොහෝදේ තමන්ගෙන් ඈත්වන බව ඔහුට සිහිපත් වෙයි.අතීත ආවර්ජනයක් ඔස්සේ මතක පටු මංපෙතේ ඉදිරියට ඇදෙන කථකයාට අවසානයේ වැටහෙන්නේ කුමක් ද? තමන්ගෙන් ඈතට ඇදෙන අනෙකුත් දෑ අතර තම දියණිය ද සිටින බවය.තම දියණිය සමග එකල ගෙවූ පැහැබර අතීත මතකය ඔහුගේ සිතට සතුටක් ගෙන දුන්න ද වරෙක ඇති කරනුයේ කඳුළක් හා සුසුමක් පමණි.
බොළඳ මියුරු බස්
සවන් නිවාලූ
කැකුළු සිනා රස
සිත සනහාලූ
අතීත සිහිනය
බොඳවී දියවී
ඈතට පාවෙන්නේ
එකල දියණියගේ මුවගින් නැගුණු බොළඳ මියුරු බස් කනට මීපැණි සේ කන්කලුය.ඇයගේ වතකමලින් නැගුණු සමන් පිච්ච කැකුළක් බඳු සිනාව ද ඇසට රසඳුනකි.එහෙත් එදා මෙන් නොව එකී අතීතය මෙදා සිහිනෙන් ගෑ මුදු සුවඳක් ම පමණි.එය දැන් ඈතට පාවී ගොස් අවසන්ය.තම දියණියගේ ළමා ලෝකයේ පරමරමණීයත්වය වින්දනය කළ මෙබඳු පියවරු වාසනාවන්තයෝය.
පරපුර වඩන ලෙසින්
වෙහෙසෙන ඔබ
ඇස නැළවූ සිත පිනවූ
මතක වරායෙන් නොපෙනෙන ඈතක
වැලිබත පාවෙන්නේ
දියණිය උස්මහත් වන විට තමා මහලුවියට පා තබා ඇති බව කථකයාට හැඟෙයි.සොබාදමෙි හැටි එසේ නොවෙිද? එකල තම දෑතේ පැටලී සිටි කුඩා දියණිය අද දරුමල්ලන් හදමින් පරපුර වැඩීමට වෙහෙසෙන හැටි කථකයා දකියි.එහෙත් ඔහුට එම දසුන ඇසට මෙන් සිතටද රසඳුනකි.මෙහිදී මතක වරාය යනු කිම?මෙි වූකලී තම දියණියගේ සොඳුරු මතක ගබඩා කළ නැංගුරම් ලා ඇති මහ නැවකි.මෙකී නැවෙි එදා දියණිය වෙරළේ හැදු වැලිබත ද ඇත.එහෙත් එකී මතක ගබඩාව නමැති මහනැව අද වරායෙන් පිටවී යයි.සිතිජයේ ඈත කෙළවරට ඇදෙන මතක නැව දෙස බලමින් එදා දියණිය හැදු වැලිබත ඔහු සිහිපත් කරයි.
COMMENTS