IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


බොරුවට පණදීමේ ආනිසංස

වර්තමාන මාලිමා ආණ්ඩුව යනු යහපාලන ආණ්ඩුවේ තාර්කික අවසානයයි. බොරුව සමාජගත කිරීම හරහා දේශපාලන බලය ලබා ගැනීම ආරම්භ වූයේ එම ආණ්ඩුවත් සමගයි. සිත්ගන්නා සුළුම කාරණය වන්නේ, වර්තමාන මාලිමා ආණ්ඩුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවකු ද වීමය.

එහි දී ඔවුන්ගේ භූමිකාව වූයේ දේශපාලන නිෂ්පාදන අලෙවිකරණයේ කොඳුනාරටිය වන ප්‍රචාරක මෙහෙයුමය. එදා රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ගෙනගිය සියලු‍ ප්‍රචාර පිටුපස ගාමක බලවේගය වූයේ ජවිපෙ ය. ඔවුන් ඒවා නිර්මාණය කළා ද යන්න අප නිශ්චිතව දන්නේ නැත. බොහෝ විට ඒවා නිර්මාණය කරන්නට ඇත්තේ එම කඳවුරේ ප්‍රධානතම ප්‍රචාරක විශේෂඥයකු වූ නැසීගිය මංගල සමරවීර ය. කෙසේ වෙතත්, ජවිපෙ තරම් අන් කිසිවකු ඒ තරම් ඒත්තු ගන්නවන ලෙස බොරුව සන්නිවේදනය කළේ නැත. අද වන විට එම ගොබෙල් සන්නිවේදනයේ ලංකා නියෝජනය මෙරට දේශපාලන බලය අත්පත් කරගෙන තිබේ. එම සිදුවීම බොහෝ පැතිවලින් මේරට දේශපාලන කතිකාවට කරන මෙහෙය මිල කළ නොහැකි තරම් ය.

දශකයකටත් අධික කාලයක් මෙරට දේශපාලන සංවාදය තුළ ඉහළින්ම වැජඹුණු කතන්දරයක් වූයේ ‘චිචීගේ රොකට්ටුවයි’. එනම්, මහින්ද රාජපක්ෂ මහතාගේ බාලම පුත් රෝහිත රාජපක්ෂ විසින් රජයේ මුදල් ඩොලර් මිලියන 300ක් වියදම් කරමින් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කළ බවත්, දැන් ඊට සිදු වූ දෙයක් නොමැති බවත්, තම පුතුන්ගේ සෙල්ලක්කාර වැඩවලටද මහින්ද රාජපක්ෂ රජයේ මුදල් කෝටි ගණනින් විනාශ කළ බවත් ය.

ලංකාවේ මෙම කතාව නොදන්නා කෙනකු නැති තරම් ය. ඒ විතරක් නොව, මෙය දන්නා බොහෝ අය, ඊට මහින්දට එරෙහිව දෙස් දෙවොල් තැබූහ. කොටින්ම 2012න් පසු රාජපක්ෂ පාලනය දුර්වල කිරීමට රොකට් කතාව කළ බලපෑම අතිමහත්ය. කාලයත් සමග එහි උණුසුම අඩු වුව ද, මෙවැනි බොරු සමාජ දේශපාලන විඥානය තුළ අහෝසි කර්ම නොවී දශක ගණනාවක් පැවතීමේ හැකියාව ඔප්පු කරමින් අවශ්‍ය ඕනෑම විටෙක එය මතුපිටට ගෙන දේශපාලන ප්‍රහාරයක් ලෙස යොදා ගැනීමේ හැකියාව නොනැසී තිබේ. පසුගිය සතිය වනතුරුම එය එසේ ම පැවැතුණි.

පසුගිය දා අගමැති හරිනි අමරසූරිය පාර්ලිමේන්තුව තුළ පත්තු කළේ බෝම්බයකි. ඇය ප්‍රකාශ කළේ විවාදාපන්න ‘චීචීගේ රොකට්ටුවට’ රජය විසින් එක තඹ සතයක් වියදම් කර නැති බවය. ඒ මතු නොව, අදාළ ‘රොකට්ටුව’ (සත්‍ය වශයෙන්ම මෙය චන්ද්‍රිකාවකි. රොකට්ටුවක් යනු චන්ද්‍රිකාවක් කක්ෂගත කරන වාහකයකි) මගින් පසුගිය කාලය පුරාවට රුපියල් කෝටි 8750ක් තරම් අතිවිශාල මුදලක් ආදායම් ලෙස උපයා ඇති බවත් ඇය ප්‍රකාශ කළා ය.

ඇගේ කතාවෙන් රටම තක්බීර් වී ගියේ ය. එවන් කම්පනයක් අපගේ සමාජ දේශපාලන සංවාදයට මේ තරම් වැරෙන් නොදැනී ඇති සේ ය. ඇගේ කතාව කිසිසේත් ම අපේක්ෂා නොකළ පිරිසක් සිටියහ. ඒ අගමැතිනියගේම ජවිපෙ-මාලිමා ප්‍රේක්ෂකාගාරයයි. අගමැතිනිය කළ කතාව තරම් ජවිපෙ- මාලිමා අනුගාමිකයන් අසන්නට අප්‍රිය කරන අන් කිසිදු කතාවක් නැති තරම් ය. අද වන තුරු ඔවුන්ට සිදුවූයේ කුමක්ද යන්න අදහාගත නොහැකි තරම් ය. තම දේශපාලන පදනමේ ප්‍රධානතම කුලු‍නක් තමන්ගේම අගමැතිනිය විසින් පුපුරුවා හැර ඇත. අහෝ ඛේදයකි !

මෙවැනි සමාජය පුරා පැතිරී ගිය කතන්දර ගැන අලු‍ත් සංවාදයක් ඇරැඹිය යුත්තේ ඇයි? ඒ මේවාට මිලක් ඇති නිසාය. සාමාන්‍ය මිලක් නොවේ, අතිවිශාල මිලක් ඇති නිසා ය. මේ අප එම මිල ඩොලර් මිලියනවලින් ගෙවා දැමූ අවස්ථා කීපයකි.

කොළඹ වරාය නගරය ගැන නිර්මාණය කළ බොරුව ඔබට අමතකව නැතැයි අපි සිතමු. මේ සඳහා ගල් කියුබ් කෝටි 8ක් යන බවත්, මෙය නිර්මාණය කිරීමෙන් පසු ලංකාවට අදාළ නගරය ඉහළින් පියාසර කිරීමට පවා චීනයෙන් වීසා අවශ්‍ය වන බවත් ප්‍රචාරය කළේය. රාජපක්ෂ පාලනයට එරෙහිව කළ එම ප්‍රචාරවල ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරියේ දී මහින්ද රාජපක්ෂ පරාජය කර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වූ අතර, අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පත් විය. බලයට ඒමට කළ බොරු ප්‍රචාරයට පණ දීම සඳහා කළේ වරාය නගරයේ වැඩ අත්හිටුවීම ය. මාස 6ක් පමණ එය අත්හිටුවා තැබිණි. පසුව සිදුවූයේ කුමක් ද? අභූත චෝදනා මත අත්හිටවූ ව්‍යාපෘතිය වෙනුවෙන් චීන සමාගම නඩු මගට ගිය අතර, සිදුවූ පාඩුවට ඩොලර් මිලියන 143ක් සමාගමට වන්දි ගෙවන ලෙස ශ්‍රී ලංකා රජයට නියෝග කෙරුණි. රජපක්ෂලාට එරෙහිව ගොඩ නැගී තවත් එවැනි බොරුවක් වූ කොළඹ නෙළුම් කුලු‍නට ගිය සමස්ත වියදම ඩොලර් මිලියන 108 ක් පමණි. ඔබට බොරුවේ මිල සිතාගත හැකි ය. දේශපාලන බොරුවක ප්‍රතිඵලයක් ලෙස ලංකාව ඩොලර් මිලියන 143ක් හෙවත් රුපියල් කෝටි 4290ක් නිකරුණේ මහජන මුදලින් වැය කළේ ය.

තවත් මෙවැනි මිල අධික බොරුවක් නිසා ලංකාවට ඩොලර් මිලියන 93ක දඩ ගෙවීමට සිදු විය. ඒ ශ්‍රී ලංකන් එයාර්ලන්ස් විසින් ප්‍රංශයේ එයාර්බස් සමාගමෙන් ඇණවුම් කරන ලද නවීතම ගුවන් යානා 4 අවලංගු කිරීම නිසා ය. එවක ප්‍රචාරය කළේ මහින්ද රාජපක්ෂට සැප ගැනීමට මේවා ඇණවුම් කර තිබෙන බවය. අන්තිමට සිදුවූයේ තවත් නෙළුම් කුලු‍නකට ගිය වියදමට ආසන්න මුදලක් වූ ඩොලර් මිලියන 93ක් වන්දි ලෙස ගෙවීමට සිදුවීමය. වර්තමානයේ ද එම දඩය ශ්‍රී ලංකන් විසින් කොටස් වශයෙන් ගෙවා දමමින් ඇත. ශ්‍රී ලංකන් සමාගම දැඩි මූල්‍ය අර්බුදයකට යෑමට මෙය ප්‍රධාන සාධකයක් විය.

සාම්පූර්හි ඉදිකිරීමට ගිය ගල් අඟු‍රු බලාගාරය රටට අහිමි වන්නේ ද ජවිපෙ බොරුවක් නිසා ය. ව්‍යාජ පරිසර සංවිධාන අටවාගෙන බලාගාරයට එරෙහිව එවක දැවැන්ත මඩ ප්‍රහාරයක් කියාත්මක කළ අතර, අධිකරණය තුළ නඩු ද ගොනු කළේය. 2015 දී යහපාලන රජය පත් වන අතර, එහි ප්‍රධානතම කොටස්කරුවා වූ ජවිපෙ බලපෑම මත, එවක විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා අධිකරණයට ගොස් පොරොන්දු වන්නේ, බලාගාරය අවලංගු කිරීමට කටයුතු කරන බවටය. ඒ ලෙස ම සිදු විය. 2016 වන විට රටේ විදුලිබල පද්ධතියට මෙගාවෝට් 500ක් එකතු කිරීමට අපේක්ෂා කළ බලාගාරය අවලංගු කිරීමෙන් වසරකට මෙරටට අහිමි වූ මුදල ඩොලර් බිලියනක් බව ගණන් බලා තිබේ. ඒ අනුව, එදා මෙදා තුර රටට අහිමි වූ මුදල ඩොලර් බිලියන 9කි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නේ ද ඩොලර් බිලියන 2.9ක් බව අමතක නොකරන්න. එම ණය වැනි තුන් ගුණයකටත් වඩා අප සාම්පූර් අහිමි කර ගැනීමෙන් නැති කරගෙන ඇත.

මේ අතර, තවත් බොරු ප්‍රචාරයක් නිසා අපට අහිමි වීමට ගොස් අනූනවයෙන් බේරුණ ව්‍යාපෘතියක් වන්නේ උමාඔයයි. එය ද යහපාලන රජය විසින් අත්හිටු වූ අතර, රටේ කිසියම් හෝ වාසනාවකට ඉදිරියට ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස අද රටේ ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන මෙගාවෝට් ප්‍රමාණය 120කි. ශුෂ්ක කලාපයේ සරු කරන ගොවිබිම් ප්‍රමාණය අතිවිශාල ය.

ඉහත සඳහන් කළේ අප ඉතා හොඳින් දන්නා සහ අප මතකයේ තදින් සටහන්ව ඇති බොරු සහ ඒවායේ විපාක ය. තව ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ ආයෝජන ව්‍යාපෘති කීයක් නම් පතුරුවාහල බොරු ප්‍රචාර නිසා රටට අහිමි වී ද? ඒවායේ මූල්‍ය වටිනාකම කොතරම් ඩොලර් ද ! කොතරම් රුපියල් ද!

රෝහිත රාජපක්ෂ සම්බන්ධ සුප්‍රිම්සැට් චන්ද්‍රිකාවට අදාළ සමාගම මගින් කළ මුදල් ආයෝජනය, මඩ කාගෙන හෝ රට තුළ පැවැතීම නිසා අද ඉන් රටට රුපියල් කෝටි ගණනින් ආදායම් නිර්මාණය කර ඇත. ‍එය ද හකුළාගෙන ගියේ නම් ඔබට ඉන් සිදුවන අලාබය ගැන අමුතුවෙන් කිවයුතු නැත.

සත්‍ය හෙළිකිරීම පිළිබඳ අපි අගමැති අමරසූරියට ස්තුති කරන්නෙමු. කෙසේ වෙතත්, ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් තවමත් සිදු කරමින් සිටින්නේ, මේ ගැන විවිධ කටකතා පතුරු හැරීමයි. ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක පසුගිය අඟහරුවාදා දින ප්‍රකාශ කර තිබුණේ සුප්‍රිම්සැට් නම් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයේ නොපවතින බවය. ජනමාධ්‍ය ඇමැතිවරයා ද වන ඔහු මෙවැනි බොරු ප්‍රචාර සමාජ ගත නොකළ යුතු ය. සුප්‍රිම්සැට් 1 යනු ආයෝජනය කළ සමාගමේ නමය. එම සමාගම කළේ චයිනාසැට් නම් චන්ද්‍රිකාවේ හිමිකාරිත්වයෙන් කොටස් තමන් සතු කර ගැනීමය. ලෝකයේ බොහෝ රටවල් කරන්නේ ඒකය. මන්ද චන්ද්‍රිකා කක්ෂගත කරන ලොව රටවල් ඇත්තේ එක අතක ඇඟිලි ගානට ය. බොරුව වසා ගැනීමට තවත් බොරු කීමට ගොස් මේ නිරාවරණය වන්නේ ආණ්ඩුවේ පැහැදිලි නිරුවතයි.

මෙරට පුරවැසියා මේ ශෝචනීය බොරු දේශපාලනය දැන්වත් තේරුම් ගත යුතු බව අපි අවධාරණය කරන්නෙමු. එසේ නොවන්නට අපට සිදුවන්නේ, මේ ඉහත පෙන්වා දුන් සේම ඒවාට අපගේ ම මුදලින් වන්දි ගෙවීමටය. රටවල් හැදීගෙන එන විට මෙවැනි බොරු ප්‍රචාර සිදුකර ඒවා වැට්ටවීම පිටුපස විදේශ බලවේග ද සිටින බව සිහිකටයුතුය. වර්තමානයේ අප රට මුහුණ දෙන ආර්ථික අර්බුදයට මග පෑදු 2015 ජනවාරියේ මහින්ද රජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට ඉහත සඳහන් කළ දේශීය මෙන්ම විදේශීය බලවේග ද විවිධ භුමිකාවල සිට කටයුතු කළේය. එවන් විනාශකාරී දේ නැවත ඇති නොවීමට නම් අප මේ පාඩම ඉගෙනගත යුතුමය. එම විනාශ නිර්මාණය කිරීමට ප්‍රමුඛතම දායකත්වය සැපයූ දේශපාලන බලවේගය අද ආණ්ඩුවට විත් මේවා හෙළි කිරීම නම් මෙරට සත්‍යකාමී ජනතාවගේ ජයග්‍රහණයකි. එහෙත් අප බොහෝ ප්‍රමාද බව නම් නොකියාම බැරි ය.

(***)



අදහස් (1)

බොරුවට පණදීමේ ආනිසංස

Vipula Saturday, 16 August 2025 09:11 AM

ඔබගේ වාර්තාව තවමත් බොරුවක් කියලා හිතන ජේවීඵ් ඩෝබිලා ඉන්නවා. හැබැයි මෙසේ ශ්‍රීලංකාව දියුණුවට වලවල් කපාපු අයගේ අවාසනාවන්ත කාලය ගෙවී යන්නේ. හැබැයි ඉහත ආකාරයෙන් රටේ සීඝ්‍ර දියුණුව, පහසුකම් වැඩි කරන නායකයෙක් නැවතත් ලැබෙයි ද යන්න ප්‍රශ්නයක්...!

:       7       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 116 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1057 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site