IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දිට්වාගේ ආර්ථික සුනාමිය

මෙවර කිවිදා දැක්ම ලියන්නට වී තිබෙන්නේ විශාල ස්වාභාවික විපතකින් පීඩාවට පත් රටක් පවතින මොහොතකය. නිවාස, ගොවිපොළ, පාසල්, වැසිකිළි, නිවාස, ජීවිත වැනි බොහෝ දේ එකම දින කීපයක දී විනාශ වී ගියේය. බිඳ වැටුණේය.

මේ වනවිට ජල හානිය පාලනය වී ඇතත් ඇතිවූ හානිය සමාජ, ආර්ථික, පරිසර හානිය හා ආධාර අවශ්‍යතා සම්පූර්ණයෙන්ම තක්සේරු කර නැත. විවිධ ජාත්‍යන්තර ආයතන සපයන පළමු අදියර තොරතුරු අතර සහ රජයේ මැදිහත්වීමේ වාර්තා අතර තිබෙන සමහර පරස්පරතා නිසා මේ අනතුරේ සත්‍ය ප්‍රමාණය අපට තවම තේරුම් ගත නොහැකි ව පවතියි. ජනාධිපතිතුමා කීවේත් මෙහි සම්පූර්ණ හානිය තවමත් ගණන් බලා නැති බවය.

මේ සතියේ කිවිදා දැක්ම ලියන්නේ මේ අනතුර සම්බන්ධවය. ඇත්තටම මේ ව්‍යසනයෙන් තොරව යමක් මේ මොහොතේ ලිවිය නොහැකිය. ඒ අනුව මෙම ලිපියේ මා අවධානය යොමු කරන්නේ (1) අනතුරේ තරම පිළිබඳ සරල නියම තක්සේරුවකට යා හැකිද? (2) මෙම විපත්තිය සහ  IMF  එකඟතාව මත වූ ආර්ථික පදනම අතර තිබෙන සම්බන්ධය සහ විදෙස් සංචිත සම්බන්ධ අභියෝග ජය ගන්නේ කෙසේද? (3) මෙවැනි අර්බුදයක් හමුවේ ක්‍රියාත්මක විය හැකි රට තුළ පවතින නීතිමය ආකෘතිය, ආපදා කළමනාකරණ පනත සහ ජාතික පරිසර පනත නිසි පරිදි යොදා ගැනීමෙන් මෙවැනි අවදානම්වලින් ගැලවීමේ පූර්ව සූදානමක් ගොඩ නැගිය හැක්කේ කෙසේද යන කාරණයයි.

අනෙක් පැත්තෙන් මෙහිදී අපේ අවධානයට ලක් විය යුතු පසු චින්තනය විය යුත්තේ ස්වාභාවික විපත්තියක් එන්නේ අහම්බෙන් පමණක් නොව, අපේ ආර්ථික දුර්වලතා, පරිසර කළමනාකරණ හිඟය සහ නීති ක්‍රියාත්මක කිරීමේ පද්ධතියේ පවතින ගැටලු‍කාරීත්වය යන හේතුවල එකතුවක් ලෙසින් බවයි.

 

අනතුරේ තත්වය තක්සේරු කිරීම

ජාත්‍යන්තර ආයතන විසින් පළ කරන ලද පළමු තක්සේරු වාර්තා හෝ rapid assessment  වාර්තා අනුව, මෙවර කුණාටුවෙන් ඇතිවූ හානි ජීවිත හානි, ගොවියාගේ ආදායම් අහිමිවීම්, පාසල් හා මාර්ග විනාශය, පුරවැසියන්ගේ නිවාස හානි, වාරිමාර්ග හානි යන සියල්ල සලකා බැලූ විට මෙය ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදූවූ ස්වාභාවික විපත් අතරින් ඉතා ගැඹුරු එකකි. මෙය දෙවැනි වන්නේ 2004 පැමිණි සුනාමියට යැයි කීමේ වැරැද්දක් නැත.

UN-OCHA, IFRC, WFP ආයතන මේ අනතුර පිළිබඳව දක්වන්නේ ලංකාවේ ස්වාභාවික හා දේශගුණික විපර්යාසයේ තරම කොතරම් ද යත් ඒවා පවතින සමාජ ආර්ථික ප්‍රශ්න සමගින් ගැටගැසී ඇති බවයි. ඔවුන් කියන්නේ මෙසේය. “Sri Lanka’s climate vulnerability is no longer an isolated environmental crisis; it is a compounded socio-economic shock.” සමහර ප්‍රදේශවල ජලය රඳා සිටීමේ ප්‍රමාණය අඩි 15-20 පමණ ඉහළ ගොස් තිබුණේය. මගේ පෞද්ගලික අත්දැකීමක් ලෙසින් කටුගම්පොළ ආසනයේ ගිරිඋල්ල නගරයේ සිදුවූ ජල ගැල්ම පෙන්වා දිය හැකිය. නගරය සහ මහඔය යනු දෙකක් නොව එකක් බවට පත් විය. මහඔයේ පාලම උඩින් ජලය ගලා ගියේය. ජලයට අසුවී ගලා ගියේ පොඩි පොඩි දේවල් පමණක් නොව විශාල ප්‍රමාණයේ ඒවා ද ඒ අතර විය. එක් අවස්ථාවක ජලයේ ගහගෙන යන බවුසරයක් රූපවාහිනී කැමරා මගින් පෙන්නුවේය.

මෙවැනි තත්වයක, රජයේ ආධාර, හදිසි ආහාර බෙදාහැරීම් සහ පහසුකම් ලබා දීම සිදු වුව ද, ඒවා ක්ෂණික සහන මිස ඇති වූ තත්වයෙන් සම්පූර්ණ ගැලවීමක් නොවන බවයි. මෙවැනි විපතකින් පසු ඇතිවන ආර්ථික පසුබෑම ක්ෂණික එකක් නොව දීර්ඝ කාලීන එකකි.

මෙහි දී අපේ අවධනය යොමුවිය යුතු කාරණය වන්නේ රටේ ආර්ථිකය කියන ලොකු චිත්‍රය’ සමග බැලූ විට මෙහි තත්වය තේරුම් කර ගන්නේ කෙසේද කියාය.

 

අතමිදීම, ආර්ථික ගැටලු‍ව සහ  IMF  ආකෘතිය

2022 දී සිදුවූ දෙයින් අපි පාඩම් ඉගෙන ගත යුතුය. ඒ කියන්නේ ඉක්මනින් විදේශ සංචිත නිමාවීම, ණය ගෙවිය නොහැකි තත්වයක් ඇතිවීම, රට තුළ ඩොලර් හිඟය, ආහාර හා ඖෂධ හිඟවීම, ඉන්ධන ආනයනය නතරවීම වැනි දේවල් මෙහි දී අපේ මතකයේ පවතින ඒවාය. මේ මොහොතේ එවැනි තත්වයක් නැති බව සැබෑවකි. එහෙත් මේ නව තත්වය රටේ ආර්ථිකයේ ඉදිරි පැවැත්ම කෙරෙහි බලපාන්නේ කෙසේද යන කාරණය ගැන අපේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත් ය.

2025 පිළිබඳ දත්ත අනුව, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත තත්වය IMF ආකෘතියේ සැලසුම් කර ඇති ඉලක්කවලට සාපේක්ෂව තවමත් දුර්වලය. IMF සම්මුතියෙහි අනුව 2024 අවසාන භාගයේ දී  reserves uplift  වීමේ සූත්‍රයක් තිබුණ ද, එය ප්‍රායෝගිකව සම්පූර්ණ නොවී ඇත. නැවතත් IMF  එකඟතාවේ මේ කොටස මතක් කර ගත්තොත් හොඳය. ඒ අනුව අපේ රට 2025 වර්ෂය අවසාන වනවිට ඩොලර් බිලියන 8.2 විදේශ සංචිත ලෙසින් ගොඩනගා ගත යුතුය. දැනට රටේ තිබෙන්නේ සංචිත ඩොලර් බිලියන 6 ක පමණ ප්‍රමාණයකි. 2025 වසර නිමා වෙන්නට තව ඇත්තේ දවස් 20 පමණක් ය. දවස් විස්සකින් ඩොලර් බිලියන 2 ක් සෙවිය නොහැකි බව කවුරුත් දන්නා කාරණයකි. 2026 වර්ෂයට  IMF  එකඟතාවේ තියෙන්නේ අපි ඩොලර් බිලියන 10.9 පමණ ගොඩ නගා ගන්නා බවය. මේ වසරේ ඩොලර් බිලියන 2 ක අඩුවක් සමගින් ඊළඟ වසරට යන අතර ඒ වසරේ බිලියන ගණන හදා ගන්නට නම් දැන් ඩොලර් බිලියන 12 ක් වත් 2026 වසර තුළ ගොඩනගා ගත යුතුය. එපමණක් ද නොවේ. 2027 වසරේ දී ඩොලර් බිලියන 14.3 ක් ගොඩනගන බව  IMF එකඟතාවේ දක්වා තිබේ. ඒ ගාණ හදා ගත යුත්තේ මේ වසර දෙකේ අඩුවන දේවල් ද එකතු කර ගැනීමෙනි.

මෙහිදී මා පෙන්වීමට කැමැති ප්‍රධාන කාරණයක් වන්නේ IMF ආකෘතියෙන් 2025 වසරේදී ලැබිය යුතු වූ ආරක්ෂිත සංචිත මට්ටම ලබා ගත නොහැකි බැවින්, 2026-2027 වසර දෙක තුළත් රට විදේශ මුදාහරණය (forex liquidity)  අන්තයෙන් පීඩාකාරී තත්ත්වයක පවතිනු ඇති බවය. එම තත්වය මේ ස්වාභාවික අනතුර නිසා තවත් වර්ධනය විය හැකි බව ඉතාමත් පැහැදිලිය.

 

2028  ISB  ගෙවීමට ඇති අසාර්ථකතාව

මා ඉහතින් කී විදේශ සංචිත කාරණයේ තවත් වැදගත් දෙයක් තිබේ. ඒ එකඟතාවට අනුව අපි රටක් ලෙසින් එකඟ වී තිබෙන්නේ 2028 දී ගෙවීමට නියමිත ණය ගෙවීම සඳහා International Sovereign Bond (ISB)  මගින් ඩොලර් බිලියන 1.5 ලබා ගන්නා බවය. එය කරන්නට නම් මා කියූ ආකාරයෙන් විදේශ සංචිතවල ප්‍රමාණය ඩොලර් බිලියන 14.3 ක තබා ගත යුතුය. මෙය කරන්නට නොහැකි වුවහොත් බරපතළ ගැටලු‍ ගණනාවක් ම ඇතිවිය හැකි බව ඉතාමත් පැහැදිලිය. IMFආකෘතිය මත පදනම්ව 2028  ISB  එක ගෙවීම ප්‍රායෝගික දෙයක් නොවන තැනට තත්වය මෝරමින් යයි. රටක් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් නැවත ණය වෙළෙඳපොළෙන් ගෙන ‍‍‍පරණ ණය ගෙවීමට ඉඩ ලැබෙන්නේ IMF ප්‍රතිසංස්කරණ සම්පූර්ණ ලෙස ඵලදායී වූ විට පමණක් බව මෙහි දී අවධානයට ගැනීම වැදගත් ය. එහෙත් 2025 සිට 2027 දක්වා සංචිත ගොඩ නොනැගීම නිසා මෙම අවශ්‍යතාව ඉටු වීමට ඇති ඉඩ ඉතාමත් අවම බව පැහැදිලිය. ප්‍රධාන කරුණු දෙකක් මත මේ තත්වය සංකීර්ණ විය හැකි බව මගේ අදහසය. 1. ශීඝ්‍රව සංචිත ගොඩ නොනැගීම මෙහි ඇති එක කාරණයක් ය. 2. එහි ප්‍රතිඵලයක් ලෙසින් නැවතත් ණය ගැනීමට තිබෙන අවස්ථා අඩුවීමේ අවදානමක් ගොඩනැගෙන බව එහි ඇති අමිහිරි සත්‍යයයි.

මෙය විශාල තර්කයකි. 2028 ISB ගෙවිය නොහැකි නම්, රට නැවතත් semi-default zone  එකකට වැටෙන අවදානම ඉතා ඉහළය.

 

ස්වාභාවික අනතුර සහ රාජ්‍ය වගකීම

කුණාටුවක් ඉකුත් වූ පසු, මානව අපහසුව පමණක් නොව, රටේ පාලන ව්‍යුහය හා නීති ක්‍රියාත්මක වීම පිළිබඳව ද ගැටලු‍ මතු වන බව ඉතාමත් පැහැදිලිය. මෙහි දී මගේ අවධානය යොමු වන්නේ ප්‍රධාන නීති දෙකක් වෙතටය. එනම් 1. 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනත සහ 2. 1980 අංක 47 දරන ජාතික පරිසර පනත යන නීති දෙකයි. මෙම පනත් රටේ විපත් අවදානම අවම කිරීමට ඇත්තේ මූලික වගකීම් සහිත නීති දෙකකි. එහෙත් ඒවා එසේ වූවාට ඒවායේ භාවිතයන් නිසි පරිදි වූවා ද යන්න සොයා බැලීම වැදගත් ය.

ආපදා කළමනාකරණ පනත (2005) තුළ තිබෙන වගකීම් ක්‍රියාත්මක වන වේගය ඉතාමත් මන්දගාමී බව මගේ අදහසය. ඒ පනතට අනුව රජයට ඇති වගකීම් වන්නේ (1) ජාතික ආපදා කළමනාකරණ මණ්ඩලයක් (NDMC)  පත් කිරීම, (2) ගංවතුර හා භූමිකම්පාවන අවදානම් සිතියම් (hazard maps)  සකස් කිරීම (3) අධික වැසි සහ ජලදත්ත පද්ධති සඳහා උචිත early warning systems  එකක් නිර්මාණය කිරීම (4) අධි අවදානම් කලාප හෙවත්  high-risk zones  හඳුනාගැනීම (5) නාය යෑමේ අවදානම පවතින ප්‍රදේශවල ඉදිකිරීම් සීමා කිරීම වැනි දේවල්ය.

ඒ කෙසේ වෙතත්, 2025 කුණාටුවෙන් පසුව අප හමුවේ ඇති එක් ප්‍රශ්නයක් වන්නේ මෙම වගකීම් ක්‍රියාත්මක වීමට පූර්ව සූදානම තිබුණාද? යන්නයි. මගේ අදහස වන්නේ අවදානම් සිතියම් (hazard maps)  නවීකරණය නොවීම, ගංවතුර ඉසව්  flood zones  හඳුනා ගැනීමේ දත්ත ප්‍රාදේශීය මට්ටමින් නොමැතිවීම, ඉඩම් විකාශනය සඳහා දැඩි අවදානම් අනුමත ක්‍රියාවලිය high-risk approval process  අනුගමනය නොකිරීම, පූර්ව ආපදා අනතුරු ඇඟවීම් early warning messages ප්‍රායෝගික මට්ටමින් ප්‍රචාරය නොවීම වැනි කාරණා මෙහිදී බරපතළ ආකාරයෙන් මතුවී තිබූ බව පෙනී යයි.

ජාතික පරිසර පනතේ (NEA) මූලික අරමුණ වන්නේ නියමිත ප්‍රදේශවල පරිසර මට්ටම් රැකවරණය, EIA/IEE  ක්‍රමවේදය හරහා දූෂණ, අවිධි ඉදිකිරීම්, ජල ධාවන පාලනය හෝ පාරිසරික අවදානම් අවම කිරීම වැනි මූලික කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමය. එහෙත්  NEA  ක්‍රියාත්මක වීමේ තත්වය එතරම් සාධනීය නොමැති බවයි. 2025 කුණාටුවෙන් පසු පෙනී යන කාරණයක් වන්නේ  (1) EIA  නොමැති සංවර්ධන කටයුතු (2) ජල ධාවන මාර්ග (natural drainage paths)  වසා දමන ඉදිකිරීම්, (3) වගුරු බිම් පුරවා වාණිජ ගොඩනැගීම, (4) පරිසර බලපත්‍ර  (EPL permits) අනුගමනය නොවීම වැනි දේවල් මගින් පෙනෙන්නේ පරිසර පනතේ අක්‍රීය භාවිතයයි.

 

කුණාටුවෙන් පසු

මේ අනුව මගේ යෝජනාව වන්නේ මේ කුණාටුව මගින් අපේ ඇස් විවර කර තිබෙන්නේ පරිසරය දෙසට පමණක් නොව ආර්ථිකය දෙසටත් අවධානය යොමු කළ යුතු අවධි ලක්ෂ්‍යයකටය. ඒ කියන්නේ හැරවුම් ලක්ෂ්‍යයකටය. පරිසරය වැටුණොත් ආර්ථික ක්‍රියාකාරකම් වැටෙනු ඇත. ආර්ථික ක්‍රියාකාරකම් වැටුණොත් යළිත් 2028 පසු තත්වය අර්බුදජනක වනු ඇත. මේ පිළිබඳව අවධානයෙන් වැඩ කිරීම අවශ්‍ය බව මගේ මේ සතියේ කිවිදා දැක්මය.

(***)



අදහස් (0)

දිට්වාගේ ආර්ථික සුනාමිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site