මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාත් එම තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව විරුද්ධ පක්ෂවල දේශපාලනඥයෝ දැඩි ලෙස ප්‍රශ්න කරති.
ඊට පෙර එම දේශපාලනඥයෝ එම පත්වීම් දෙක ප්‍රශ්න කළහ. ඒ ඔවුන් දෙදෙනා ජාතික ජනබල වේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ මුල් පෙළේ සාමාජිකයන් දෙදෙනකු ලෙස මාස ගණනකට පෙර ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනමාධ්‍ය හමු පැවැත්වුවන් යැයි කියමිනි.
ඊට පිළිතුරු වශයෙන් බිමල් රත්නායක මහතා පවසා තිබුණේ ඔවුන් දෙදෙනා එම තනතුරුවලට පත් කරනු ලැබුවේ 2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ ප්‍රධාන වින්දිත ප්‍රජාව වන කතෝලික ජනයාගේ ප්‍රධානියා වන මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීමක් අනුව බවයි.
දැන් විපක්ෂයේ ඇතැමුන් ප්‍රශ්න කරන්නේ එම ප්‍රකාශයි. ඒ අතර ප්‍රධාන වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් හා ජාතික ජන බලවේග ආණ්ඩුව සමග නිතර පැටලෙන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරයි.
එහෙත් වත්මන් ආණ්ඩුවේ දේශපාලන පත්වීම් සම්බන්ධයෙන් මීට පෙර ආණ්ඩු පක්ෂවල සිටි කිසිම පුද්ගලයකුට ප්‍රශ්න කිරීමට සදාචාරමය අයිතියක් නැත. මන්දයත් මෙතෙක් බලයේ සිටි සෑම පක්ෂයක්ම කිසිදු හිරිකිතයක් නැතිව අදාළ සුදුසුකම් නැති පුද්ගලයන් පවා දේශපාලන හා ඥාති මිත්‍ර සබඳතා මුල් කරගෙන රජයේ තනතුරුවලට පත් කර ඇති හෙයිනි.
නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති දුරයට පත් කරනු ලැබුවේත් ජාලිය වික්‍රමසූරිය හා උදයංග වීරතුංග යන දෙදෙනා ඇමරිකාවේ හා රුසියාවේ තානාපතිවරුන් ලෙස පත් කරනු ලැබුවේත් ඔවුන් රාජපක්ෂවරුන්ගේ ඥාතීන් වූ හෙයිනි.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2001 දී හා 2015 දී අගමැති ධුරයට පත්වූ අවස්ථා දෙකේදීම සිය මිතුරු රාමලිංගම් පාස්කරලිංගම් මහතා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කර ගත්තේය. සමගි ජනබල වේගයේ නායකයන් හා ආධාරකරුවන් අතිබහුතරය ඒ අවස්ථාවලදී සිටියේ එජාපයේය. මෙම පක්ෂ විසින් කරනු ලැබූ දේශපාලන පත්වීම් ලැයිස්තුගත කළහොත් ඒවායේ සංඛ්‍යාව දස දහස් ගණනක් විය හැකිය.
දේශපාලන පත්වීම් වැරැදිය යන්න පොදුවේ පිළිගත් මතයක් වුවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරයි. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා දින කිහිපයකට පෙර පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පවසා තිබිණි. ‘‘අපි කල්පනා කරන්නේ දේශපාලනිකව හිතවාදී පිරිසක් රජයේ ප්‍රධාන ආයතනවල මුල් පුටුවලට පත් වෙන්න ඕනෑ කියලයි. එහෙම නොවුණොත් ආණ්ඩුව දෙන නියෝග ක්‍රියාත්මක කර ගන්න බැරි වෙනවා. ඒ ගැන නොහිතා තමයි ජාතික ජනබලවේගය දේශපාලන වේදිකාවේ පමණ ඉක්මවා සමාජවාදය ගැන කතා කරන්න පටන් ගත්තේ. ආයතන ප්‍රධානියකු විදියට සුදුසුකම්වලින් හොරෙක් පත් වෙන්න පුළුවන්. සුදුසුකම් තිබුණත් අදක්ෂයෙක් වෙන්න පුළුවන්. සුදුසුකම් තිබුණත් ආණ්ඩුවට විරුද්ධ මතවාද දරන්නෙක් ආයතන ප්‍රධානියෙක් වුණොත් මොකද වෙන්නේ?’’
තමන් පසුගිය කාලයේ විරුද්ධ වූයේ ආණ්ඩු හිතවාදීන් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස පත්කර ගෙන එම ආයතන සූරා කෑමටයැයිද නාගමුව මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය. න්‍යායිකව මීට එරෙහිව තර්ක කළ හැකි වුවද ඔහුගේ ප්‍රකාශ ප්‍රයෝගිකව පිළිගත හැකි එකකි.
සුදුසුකම් තිබුණද ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට අකැමැති පුද්ගලයන් ආයතන ප්‍රධානීන් වූ විට සිදුවන දේ ගැන නාගමුව මහතා නගන ප්‍රශ්නයට දැනටමත් ජාතික ජනබලවේගය ආණ්ඩුව මුහුණ දී සිටී. ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත මහතාත් කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතාත් පසුගිය කාලයේ ප්‍රසිද්ධ ප්‍රකාශ කළහ. ඊළඟ සුනාමිය එන්නේ එවැනි නිලධාරීන්ට එරෙහිව යැයි ලාල් කාන්ත මහතා ප්‍රකාශ කර තිබිණි. පසුගිය ආණ්ඩුවල දේශපාලනඥයන් සමග එක්ව දූෂිත ක්‍රියාවල නිරත වූ නිලධාරීන් වෙනස්වීමට සූදානම් නැතැයි හඳුන්නෙත්ති මහතා කියා තිබිණි. වෙනස් වෙන්නට සූදානම් නැති නිලධාරීන් වෙනස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වරක් ප්‍රකාශ කළේය.
ශානි අබේසේකර හා රවි සෙනෙවිරත්න යන දෙදෙනාගේ පත්වීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරයද සකස් විය යුත්තේ නාගමුව මහතාගේ ප්‍රකාශය අනුවය. අපරාධ පරීක්ෂකයකු වශයෙන් අබේසේකර මහතාගේ හැකියාව හා දක්ෂතා පිළිබඳව මෙතෙක් කිසිවකු ප්‍රශ්න කර නැත. ඔහු සිය සතුරකු සේ සලකන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවා එවැනි ප්‍රශ්න කිරීමක් කර නැත. 2023 සැප්තැම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ ශානි අබේසේකර මහතාට යළි බාර දෙන්නැයි එවක ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර යන දෙදෙනාගේ පත්වීම් ප්‍රශ්න කරන්නේ පොලීසිය දේශපාලනීකරණය වීම පිළිබඳ සිත්තැවුලකින් නොවේ. එම පක්ෂය හා එම පක්ෂයේ පූර්වගාමීන් වූ පොදුජන එක්සත් පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිදු සැලකීමකින් තොරව දේශපාලන පත්වීම් කළ පක්ෂයි. පසුගිය සතියේ අප පෙන්වා දුන් පරිදි ඔවුන් අද මෙම පත්වීම් දෙක ප්‍රශ්න කරන්නේ එම දෙදෙනා පොදුජන පෙරමුණේ දේශපාලනඥයන් බොහෝ දෙනකුට එරෙහි පරීක්ෂණ මෙහෙය වූ නිලධාරීන් දෙදෙනකු වූ හෙයිනි. 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ සැණින් ගත් මූලික පියවර අතුරින් එකක් වූයේ අබේසේකර මහතා රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීමය.
මෙම පත්වීම් දෙක දැන් මාතෘකා බවට පත්වී ඇත්තේ ඒවා පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ කර බිමල් රත්නායක මහතා කළ ප්‍රකාශයක් නිසාය. එම ප්‍රහාරය ජාත්‍යන්තර අවධානය ඇදගත් මහා ඛේදවාචකයක් වුවද එය මේ වනවිට බරපතළ ලෙස දේශපාලනීකරණය වී තිබීම නිසා එම ප්‍රහාරයට අදාළව මතු කෙරෙන ඇතැම් ගැටලු නිරාකරණය කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.
විශේෂයෙන්ම දැනට අත්අඩංගුවට පත්ව සිටින හා මියගිය පුද්ගලයන්ට අමතරව මෙම ප්‍රහාරය පිටුපස වෙනත් ‘‘මහමොළකරුවකු’’ සිටියේද, සිටියේ නම් ඒ කවුරුන්ද යන ප්‍රශ්නය අතිශයින්ම දේශපානීකරණය වූ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ප්‍රහාරයෙන් පසු ජාතිවාදය අවුළුවමින් ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළි කරන බවට පොරොන්දු වෙමින් දේශපාලන වශයෙන් තමනට වාසිදායක තත්වයක් ගොඩනගා ගෙන 2019 දී බලයට පැමිණි පොදුජන පෙරමුණ දකින්නේ මෙය අවසන් වූ තවදුරටත් විසඳීමට කිසිවක් නැති ප්‍රශ්නයක් ලෙසය.
ඔවුන්ගේ මතය අනුව මෙම මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවේ මහමොළකරු අනෙකකු නොව 2019 පාස්කු ඉරිදා දිනයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ ප්‍රහාරයේදී මියගිය, ජාතික තව්හිද් ජමාඅත් සංවිධානයේ නායක සහ්රාන් හාෂීම්ය. ප්‍රහාරයට ඍජුව හා වක්‍රව සම්බන්ධ වූ සියලු දෙනා අත්අඩංගුවට ගෙන හමාරය. ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ යනු අවසන් කරන ලද කටයුත්තකි.
එහෙත් මහමොළකරුවන් හෙළි කරන බවට පොදුජන පෙරමුණ පොරොන්දු වන විටත් සහ්රාන් මිය ගොසිනි. අත්අඩංගුවට පත්වූවන්ගෙන් වැඩි දෙනකු එසේ අත්අඩංගුවට ගනු ලැබුවේද ඊනියා යහපාලන ආණ්ඩු කාලයේදීය.
වෙනත් බොහෝ පක්ෂ හා කතෝලික සභාව සලකන්නේ මෙම පරීක්ෂණ අවසන් වී නැතැයි කියාය. විශේෂයෙන්ම ඔවුහු තවමත් හෙළිදරව් නොවූ මහමොළකරුවකු සිටිතැයි විශ්වාස කරති. නැත්නම් කියති. ඇතැමුන් මෙම මහමොළකරු ලෙස සලකන්නේ පොදුජන පෙරමුණේ නායකයන්ය. 2023 දී බ්‍රිත්‍යාන්‍යයේ චැනල් 4 නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකදී දැනට සිරගත වී සිටින නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මව්ලානා පවසා තිබුණේද මේ අදහසමය. ඔහු පැවැසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීමට අවශ්‍ය දේශපාලන පසුබිම සකස් කිරීම සඳහා රාජ්‍ය බුද්ධි සේවය ජාතික තව්හිද් ජමාඅත් සංවිධානය යොදාගෙන මෙම බෝම්බ ප්‍රහාර මාලාව ක්‍රියාත්මක කළ බවය.
වත්මන් ආණ්ඩුවේ ඇතැමුන්ද එවැනි මතයක සිටින බව පෙනේ. මෙම ප්‍රහාරය පිළිබඳ විවාදයකදී බිමල් රත්නායක මහතාද එවැනි අදහසක් ඉදිරිපත් කළේය. ඊට එරෙහිව ඉදිරිපත් කරන තර්කයක් වන්නේ අන්තවාදී මුස්ලිම් සංවිධානයක් සිංහල බෞද්ධ නායකයකු බලයට පත්කරන්නට මෙසේ මරාගෙන මැරෙනු ඇත්ද යන්නයි.
බැලූ බැල්මට මෙය ප්‍රබල තර්කයක් වුවද රටේ ජනාධිපතිවරයා කොටි සංවිධානයට ආයුද සැපයූ රටක, බලයට පත්වීම සඳහා දකුණේ නායකයන් කොටි සංවිධානයට මුදල් දී උතුරේ මැතිවරණ වර්ජන ඇතිකළ රටක මේවා විය නොහැකි දේවල් යැයි සිතිය නොහැකිය. එහෙත් එම චෝදනාව සාක්ෂි සාධක ඇතිව ඔප්පු කළ යුතුය. ප්‍රශ්නය ඇත්තේ එතැනය. ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් මස කටුවාපිටිය දේවස්ථානයේදී ප්‍රකාශ කළ පරිදි පූර්ව නිගමන මත පරීක්ෂණ පැවැත්විය යුතු නැත.
අනෙක් කාරණය නම් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූවන් නීතියේ රැහැනට හසුකර දඬුවම් දීමෙන් එම ප්‍රහාරයට මුල් වූ මතවාදය අවසන් වේද යන්නයි. එම මතවාදයේ මූලාශ්‍ර හා ප්‍රකාශන ලෙස ඒ දිනවල බොහෝ දෙනා දුටුවේ මෙරට ඇතැම් මුස්ලිම් පිරිමින් හා කාන්තාවන් අඳින අරාබි ඇඳුම්, මද්‍රසා යනුවෙන් හැඳින්වෙන මුස්ලිම් ආගමික පාසල්, මුස්ලිම් ජනතාවගේ වෛවාහික ආරවුල් විසඳන කාති උසාවි, කාත්තන්කුඩි ප්‍රදේශයේ සිටුවා ඇති රටඉඳිගස් හා එම ප්‍රදේශයේ ඇතැම් නාම පුවරුවල ඇති අරාබි නාමයි.
මේවා ඉතාමත් පටු අදහස් විනා සැබෑ තත්වය නොවේ. ඒවා තවමත් පවතින්නේ එබැවිනි. මෙහිදී සැලකියයුතු වැදගත් කාරණයක් නම් පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනතාව වෙතින්ම මුස්ලිම් අන්තවාදයට එරෙහි හඬක් නැඟීමය. ඒ පිළිබඳ මුස්ලිම් ජනතාව අතර ඉතා ඵලදායි සංවාදයක්ද ආරම්භ විය. එහෙත් ඒ දිනවල ඉස්මතු වූ මුස්ලිම් විරෝධී ජාතිවාදය අන්තවාදීන් හා අන්තවාදී නොවන මුස්ලිම් පිරිස්වලට එරෙහි පොදු ප්‍රහාරයක් වූයෙන් පෙරකී සංවාදය යටපත් වී ආත්මාරක්ෂාව මුල්තැනට පැමිණියේය. ත්‍රස්තවාදී අනතුරක් පෙනෙන්නට නැති වුවද එවැනි සංවාදයක අවශ්‍යතාව තවදුරටත් පවතී. එය ඉදිරියට ගෙන යා යුත්තෝ මුස්ලිම් නායකයෝය. එය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම තරම්ම වැදගත් කටයුත්තකි.
(*** එම්.එස්.එම්. අයුබ්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හිත මිතුරු පත්වීම් පටලැවිල්ල
Tissa senanayake Tuesday, 22 July 2025 08:58 AM
උනුත් ඒකයි මුනුත් ඒකයි...