පසුගිය 2024 සැප්තැම්බර් ජනාධිපතිවරණයෙන් අනුර කුමාර ජනාධිපති ලෙස පත් කෙරුණේ සියයට 50 ට වැඩි බහුතරයක් නොමැති පළමුවැනි ජනාධිපති ලෙසය. 1982 ඔක්තෝබර් 20 වැනිදා පැවැති පළමු ජනාධිපතිවරණයේ සිට එතෙක් සෑම ජනාධිපතිවරයකුම පත් වූයේ සියයට 50 ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමෙනි.
පසුගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස පත් වූ අනුර කුමාරට තිබුණේ සියයට 42.3 ක් පමණි. ඔහු ජනාධිපති ලෙස පත් වූයේ අනුන්ගෙන් ලබා ගනු ලැබූ දෙවැනි මනාපය එකතු කර ගැනීමෙනි. දෙවැනියා ලෙස ඡන්ද ලබා ගත් සජිත් ප්‍රේමදාසට වැඩියෙන් ඡන්ද ලක්ෂ 12 ක් පෙන්වීමෙනි. ඔහුගේ සියයට 42.3 ක ඡන්ද ප්‍රතිශතය ගැන දැන් කතාවක් නැත.
එහෙත් ජනාධිපති පුටුවේ වාඩි වූ පසු, විධායක ජනාධිපති ධූරයේ බලය තීන්දු වන්නේ, ලබා ගත් ඡන්ද ප්‍රතිශතය අනුව නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ය. එබැවින් ජවිපෙ - මාලිමා “රැල්ල” හැදෙන්නේ ඊළඟට නොවැම්බරයේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී විධායක බලය ඇතිව ජනාධිපති ලෙස අනුර කුමාර මෙහෙයවූ ඡන්ද ව්‍යාපාරයෙනි.
මැතිවරණ ප්‍රතිඵල එලෙස සැසඳීමට අවශ්‍ය වූයේ, ජවිපෙ - මාලිමාව සතුව ඇත්තේ ආණ්ඩු බලය රිසි සේ භාවිත කිරීමේ ජන වරමක් නොවේ යැයි කීමටය. එවැනි බලයක් ගැන ජන සමාජයේ ඇති කතාව, මිථ්‍යා මතයකැයි කීමට ය. එවැනි අනිසි බලයක් වෙනුවෙන් ජන සමාජය අවනත කරගත හැකි පිළිවෙත් දෙකක් ඇත. එකක් ජවිපෙ - මාලිමා පාලනයට අලුත් ජන වරමක් ලබා ගැනීමය. එය එක්තරා ආකාරයකට, තමන්ට බහුතර ඡන්දයක් ලබා ගත හැකි යැයි විශ්වාසයක් ඇතිනම් හෝ ඒ වෙනුවෙන් වෙනත් ක්‍රම තිබේ නම්, ලබා ගත හැක්කකි. 1982 දෙසැම්බරයේ දී ජයවර්ධන ජනාධිපති ජනමත විචාරණයක් පැවැත්වීමෙන් ලබා ගත්තේ එවැනි ආණ්ඩු බලයකි. ජවිපෙ - මාලිමා නායකත්වයට එවැනි ජනමතයක් ලෙස අවශ්‍ය නම් පළාත් සභා මැතිවරණය උරගා බැලිය හැකිය. අනෙක් ක්‍රමය වන්නේ දැනටත් ජවිපෙ නායකත්වය ඔවුන්ගේ ග්‍රාමීය ක්‍රියාකාරීන්ට රාජ්‍ය බලය ලබා දීමට කෙරෙන අනීතික උත්සාහය වේ.
ආණ්ඩුවේ එවැනි අධිකාරවාදී දේශපාලනයකට ඉඩ ඇත්තේ, විපක්ෂය ජන සමාජයෙන් ඉවත්වන ප්‍රමාණයට ය. අද ඇත්තේ එවැනි විපක්ෂ දේශපාලනයකි. ආණ්ඩු පක්ෂයේ අධිකාරවාදී උත්සාහයට ඉඩ දෙමින් ප්‍රධාන විපක්ෂය වන සජිත් ප්‍රේමදාසගේ සජබ තම දේශපාලනය පාර්ලිමේන්තුවෙහි කොටුකර තබා ගැනීම නිසා, පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂ දේශපාලනයක් නැත.
ඉන් අතරමංව ඇත්තේ, සමාජයේ දේශපාලනිකව අවදිව ඉන්නා පිරිස් ය. ඔවුන් ජවිපෙ - මාලිමා මැතිවරණ රැල්ලෙහි අනුර කුමාර වෙනුවෙන් බහුතර බලයක් ඇති ආණ්ඩුවක් හැදීමට ජනතාවට සහතික ලියා දුන් පිරිස් ය. ඔවුන්ගේ සහතික අවලංගු වන අයුරු ජවිපෙ -මාලිමා ආණ්ඩුවම ක්‍රියා කිරීම දරා ගත නොහැකිව ඔවුහු දැන් ජනාධිපති අනුර කුමාරටත් ආණ්ඩුවටත් ආඩපළි කියති. දොස් කියති. සජිත්ගේ නායකත්වය පිළිගැනීමට ද ඔවුන් සූදානම් නැත. එය සාධාරණ ය. එවැනි පිරිස් දිනා ගැනීමට හැකි ආකර්ෂණීය නායකත්වයක් දේශපාලනයක් සජිත්ට ඇත්තේ නැත. සජිත්ගේ නායකත්වයෙන් වන සජබ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනකු පාර්ලිමේන්තුවේ නිතර උස් හඬින් කතා කළ ද, ඒ කතා ජන සමාජයට ගෙන යාමක් නැත. සජිත්ගේ දේශපාලනය යනු සමාජයේ තෝරාගත් පිරිස් සඳහා සහන බෙදා දීමේ පුණ්‍යාධාර ව්‍යාපෘතියකි. පුණ්‍යාධාර බෙදූ පමණින් ඡන්දය ලැබෙන්නේ නැති බව, ඔහුත් ඔහුගේ උපදේශකයනුත් තේරුම් නොගන්නකි.
සවිඥානික සමාජ ස්ථර, තමන්ට ගැළපෙන දේශපාලන නායකත්වයක් තෝරා ගැනීමට නොමැතිව, අතරමංව ඉන්නා අතර, දිට්වා සුළි කුණාටුවේ මහ විනාශය හමුවේ, ආණ්ඩුව සහ විපක්ෂය “පශ්චාත් දිට්වා ශ්‍රී ලංකාව” සඳහා ඔවුන්ගේ සැලසුම් ගැන කතා නැත. එවගේම කතා නොවන ගැටලුව වන්නේ මේ මහ විනාශය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හා මග පෙන්වීම් සමග ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන කටයුතු කළ නොහැකිය යන්න ය. ඒ වෙනුවෙන් වාර්ෂික වැය කිරීම් අලුතින් සකස් කරන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අතර ඉඩක් නැත. එනිසා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා වෙනත් ආදායම් මාර්ග සෙවිය යුතු වන්නේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ගෙවීම් හා ණය ගැනීම් ගැන නැවත සාකච්ඡා කිරීමය. ඔවුන්ගේ කොන්දේසි අලුත් කර ගැනීම ය. එවැනි අවකාශයක් සඳහා කතා කිරීමට ඉඩ ඇත්තේ ඔවුන්ගේ වාර්තා සමග 2026 ජනවාරියේය. එතෙක් අනාථ වූවන් හා විනාශ වූ සියල්ල අවිනිශ්චිතයක් සමග තබා ගෙන සිටිය නොහැකිය.
මේ විනාශයට විසඳුම් ඇත්තේ විදේශ ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමෙහි ද නොවේ. මේ විනාශය ඉල්ලා සිටින්නේ කැඩුණු බිඳුණු යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම පමණක්ම ද නොවේ. මේ විනාශය ඉල්ලා සිටින්නේ ඉදිරියේ දී නැවත මෙවැනි ආපදා නොවන්නට, අවදානම් ප්‍රදේශ මග හරින නැවත පදිංචිවීම් සමග පරිසර සංරක්ෂණයක් වෙනුවෙන් යටිතල පහසුකම් අලුතින් සැලසුම් කිරීමකි. එය ජාතික සංවර්ධන සැලසුමක ප්‍රධාන අංගයක් විය යුතුය.
මේ විනාශයේ දැනට ආර්ථික ගණන් හැදීම, අනුමාන වශයෙන් ඩොලර් බිලියන 06 ත් 07 ත් අතර යැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කියා තිබිණ. 2004 දෙසැම්බරයේ සුනාමි ව්‍යසනය මෙන් එය තෙගුණයකි. මේ විනාශය ඊට වැඩි වන්නට ද ඉඩ ඇත. අනෙක් කාරණාව නම්, විනාශයෙන් අහිමි වූ කෘෂි හා අපනයන නිෂ්පාදන වියදම, අපේ ආර්ථිකය දරා ගන්නේ කෙසේද යන්නයි. ප්‍රධාන වශයෙන් තේ වැවිලි කර දිස්ත්‍රික්කවල විනාශ හේතුවෙන් තේ කර්මාන්තයේ ආදායමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අපට ඉදිරි මාස ගණනාවක අහිමි වනු ඇත. පසුගිය අවුරුද්දේ තේ කර්මාන්තයෙන් ලද ආදායම ඩොලර් මිලියන 1,430 කි. මේ ආපදාවෙන් ඉන් තුනෙන් පංගුවක (සියයට 35) ආදායමක් අහිමි වුවහොත් එය ඩොලර් මිලියන 477 කි.
ඒ සමග අපනයන නිෂ්පාදන කර්මාන්තයට ද දිට්වා සුළි කුණාටුව සැලකිය යුතු ලෙස බලපා ඇත. ඇඟලුම් ක්ෂේත්‍රයේ නිෂ්පාදකයන්ගේ සම්මේලනයේ උපසභාපතිට අනුව, විශාල ඇඟලුම් කර්මාන්ත 300 ත් 350 ත් අතර සංඛ්‍යාවක් ඇත. අවම වශයෙන් ඉන් කර්මාන්ත ශාලා 15 ක් ආපදාවට පත්ව ඇත. සේවක සේවිකාවන්ගෙන් සියයට 20 ක් පමණ සේවයට වාර්තා කර නැත. ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියෙහි පවතින ඇණවුම් තරගයේ දී මේ බිඳ වැටීම්, අපට අවාසිදායක විය හැකි යැයි ද මතයක් ඇත.
කෙසේ නමුත් මේ සුළි කුණාටුවෙන් වූ විනාශය මතු කරන්නාවූ මූලික ප්‍රශ්නය වන්නේ, මින් අප එගොඩ විය යුත්තේ “පූර්ව-දිට්වා” තත්වයට ද නැතිනම් වඩා දියුණු අලුත් සමාජ තත්වයකට ද යන්න ය. පූර්ව-දිට්වා තත්වයට යෑම යනු දූෂිත, පිරිහුණු සමාජයක් සමග නුදුරු අනාගතයේ තවත් මෙවැනි විනාශයකට අප ඉඩ තබා ගන්නේ යැයි යන්න ය. එහෙත් දියුණු අලුත් සමාජ තත්වයක් සඳහා සැලසුම් කර ගැනීමෙන් අපට දූෂණයෙන් හා පිරිහුමෙන් තොර, වඩා ආරක්ෂිත අනාගතයක් වෙත යා හැකිය. එය පැහැදිලිවම, අවුරුදු 45 ක් පුරා අසාර්ථකවූ අන්ත දූෂිත, පිරිහුණු, සදාචාරයක් විනයක් නොමැති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර ඇති ගිවිසුම අනුව, විවෘත වෙළෙඳපොළ ආර්ථිකය සමග පැමිණි මේ ගමන, අත් හැරීමකි.
එය මේ සමාජයේ විකල්ප, විද්වත් කතිකාවක අවශ්‍යතාව මතු කරන්නකි. එවැනි කතිකාවක් වහා ආරම්භ කළ යුතු සේම, එය ජවිපෙ- මාලිමා නායකයන් හා සජිත්ගේ නායකත්වයෙන් කළ හැක්කක් නොවේ. වෙන කිසිවක් නිසා නොව, ඔවුන් විදේශ ආයෝජන ගෙන්වා ගැනීමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවත් අලුතින් තව ණය ගැනීමේ විවෘත වෙළෙඳපොළ ආර්ථික ආකෘතියෙන් පිටත කිසිවක් දකින්නේ නැති නිසා ය. ඔවුන් අතර “විකල්ප යෝජනා” ගැන සිතිය හැකි සම්පත්ධාරීන් නොමැති හෙයින්ය. එනිසා යැයි, මේ විනාශය සඳහා සුපුරුදු පරිදි කැඩුණු බිඳුණු යටිතල පහසුකම් පූට්ටු කර, අවතැන් වූවන් නැවත සිටි තැන්වලම පදිංචිකර “ගොඩ යෑමක්” ගැන කෙරෙන ආණ්ඩුවේ කතාවලට ඉඩ නොතැබිය යුතුය.
සමාජ ආර්ථික ගැටලු සඳහා ලොව අලුත් විසදුම් සකස් කර ඇත්තේ ආණ්ඩු හා දේශපාලන පක්ෂ පමණක් නොවේ. ඔවුන්ගේ නොහැකියාව අබිබවා යන සමාජ ව්‍යාපාරවල දැනුවත් නායකත්ව ඒ හිඩැස පිරවූ අවස්ථා ඕනෑ තරම් ඇත. එබැවින් ආණ්ඩුවේ සහ විපක්ෂයේ අනුවණ කම් හා නොහැකියාවට දොස් නගමින් විවේචකයන්, සමාජ ක්‍රියාකාරීන් නතර නොවිය යුතුය. සමාජ කථිකාවකට මුල පිරුම, දැනුවත් සවිඥානික සමාජ නායකත්වයේ ද වගකීමකි.
(*** කුසල් පෙරේරා)
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුළි කුණාටුව - ආණ්ඩුව විපක්ෂය