IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විශේෂඥ වෛද්‍ය හිඟයේ අනතුර හඳුනා ගනිමු

අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් වර්තමානයේ නිතර ම අසන්නට ලැබෙන්නේ හදගැස්ම වැඩි කරවන පුවත් ම ය. ඒ අතුරින් අලු‍ත් ම පුවත වාර්තා වුණේ හම්බන්තොට මහ රෝහලෙනි. එම රෝහලේ සේවය කරමින් සිටි එක ම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා කාටත් නොදන්වා විදේශගත වීම එම පුවත වෙයි. දින කිහිපයක කෙටි නිවාඩුවක් ලබාගන්නා බව පවසා රෝහලෙන් පිටව ගිය ඔහු, තමා විදේශගත වූ බව එම මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට දැනුම් දී තිබිණි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයකින් පෙළෙන අපේ රටේ රෝහල් පද්ධතියට තවත් එක් විශේෂඥ වෛද්‍යවරයකු අහිමි වීම යනු බරපතළ හිඩැසක් ඇති කිරීමකි. එම විශේෂඥ වෛද්‍යවරයා නිර්වින්දන විශේෂඥයකු වන විට හිඩැස වසා දැමීමට තිබෙන අවකාශය තවත් ඉතා සීමිත වෙයි.

හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකක දෙකක ප්‍රතිකාර ලබමින් සිටි අසාධ්‍ය රෝගීන් සහ සැත්කම් සඳහා පොරොත්තු ලේඛනවල සිටි රෝගීන් ද මේ හේතුවෙන් මුහුණ දී සිටියේ දැඩි අවදානමකට ය.

කෙසේ වුව ද එම අවදානම මඟහරවා ගනිමින් සැත්කම් 30කට ආසන්න ගණනක් එම රෝහලේ ම සිදු කිරීමට පියවර ගත් බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර අපගේ ‘‘ලංකාදීප’’යට ප්‍රකාශ කර තිබිණි. ඒ සඳහා එම රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහාය හිමි වූ බව ද වාර්තා විය.

හම්බන්තොට රෝහලේ සේවයේ නියුතු ව සිටි එක ම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා නොදන්වා විදේශගත වූයේ කුමන හේතුවක් නිසාදැයි අපි නොදනිමු. එය හොර රහසේ රටින් පිටව යාමක් ද නැතහොත් සැලසුම් සහගත ව සිදු කෙරුණු ගමනක් ද යන්න ගැනත් අපට වැටහීමක් නැත. එහෙත් විශේෂඥ වෛද්‍යවරුන් රටින් පිටව යාමේ වේගය සම්බන්ධයෙන් සලකා බලන විට මෙය තද රතු සංඥාවක් බව පැහැදිලි ව හඳුනාගත හැක.

විදෙස්ගත ව පුහුණුව ලැබූ මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 263 දෙනකුගෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනකු ඇතුළු ව විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනකු පසුගිය වසර එකහමාර තුළ දී කිසිවකුට නොදන්වා විදේශගත වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සේවා පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු ප්‍රකාශ කර තිබිණි.

විදෙස්ගතව පුහුණුව ලබන කාලය අනුව මේ බොහොමයක් වෛද්‍යවරු මෙරට වසර 08ක් අනිවාර්යයෙන්ම සේවය කළ යුතු බවට ගිවිසුමකට බැඳී සිටිති. එහෙත් ගැටලු‍ව වන්නේ මෙසේ පුහුණුව ලබා ආපසු පැමිණ සති කිහිපයක් ගතවෙද්දීම මේ ඇතැම් වෛද්‍යවරුන් කිසිවකුට නොදන්වා විදේශගත වීම ය.

මෙය වර්තමානයේත් බරපතළ ගැටලු‍වකි. හම්බන්තොට නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ සිද්ධියෙන් පෙන්වා දෙන්නේ අනාගතයේ දී මේ ගැටලු‍ව තවදුරටත් අසාධ්‍ය තත්ත්වයකට පත්වන බව ය. එසේ වුවහොත් එම ගැටලු‍ව විසඳීම හදවත් බද්ධ කිරීමේ සැත්කමකටත් වඩා බරපතළ සහ සංකීර්ණ තත්ත්වයකට පත්වනු ඇත.

වෛද්‍යවරුන් මෙසේ විශාල වශයෙන් රට යන හේතු සාධක හඳුනා ගැනීමකින් තොරව ගැටලු‍වට විසඳුම් ලබාදීම පහසු නැත. වගකිව යුතු ඇතැමුන් පවසන්නේ විශේෂඥ වෛද්‍යවරුන් හොර රහසේ විදෙස් ගතවන බව ප්‍රකාශ කිරීමට සහ එම ක්‍රියාවේ වැරැද්ද දැකීමට බොහෝ දෙනකු සිටියත් ඔවුන් මුහුණ දෙන වෘත්තීය ගැටලු‍ සම්බන්ධයෙන් සොයා බැලීමට කිසිවකුත් නැති බව ය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුරුගේ කර තිබූ ප්‍රකාශය තුළ මේ තත්ත්වය ඇතිවීමට හේතුව පෙන්වා දී තිබිණි. ඔහු ‘‘ලංකාදීප’’යට කියා තිබුණේ රජය පනවා ඇති අධික බදු සහ රටේ පවතින අස්ථාවරභාවය වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධාන ම හේතුව බව ය. විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමෙන් රෝහල් සේවය අර්බුදයකට මුහුණපා සිටින බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් නිර්වින්දන විශේෂඥයන් කොතරම් හිඟ වුවත් මැති ඇමැතිවරුන් ඇතුළු සමාජයේ වරප්‍රසාදලත් පංතියට එහි බලපෑමක් නැත. අපේ රටේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයෙන් බැට කන්නේ රජයේ රෝහල් කරා එන සාමාන්‍ය පුරවැසියන් පමණි. මේ බරපතළ සෞඛ්‍ය ගැටලු‍ව හමුවේ තවදුරටත් නිර්වින්දන තත්ත්වයෙන් නොසිටින්නැයි අපි රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

(***)



අදහස් (5)

විශේෂඥ වෛද්‍ය හිඟයේ අනතුර හඳුනා ගනිමු

ajith Thursday, 17 August 2023 04:43 PM

වෛද්‍යවරුන් හෝ වෘතිකයින් රට හැරයාම ලෝකයේ සිදුවන දෙයක්. නමුත් ලංකාව වැනි වෛද්‍යවරුන් සීමිත සංක්‍යාවක් පමණක් පුහුණු කල හැකි සංවෘත පද්ධතියක් ඇති රටක, ඔවුන් රට හැරයාමෙන් අවසානයේ අසරණ වන්නේ මුකුත් කරකියා ගත නොහැකි රෝගීනුයි. මේ තත්වයට මුහුණ දීම සඳහා ලංකාවේ වෛද්‍යවරුන්ට පිටරට ගොස් සේවය කළහැකි සේම, විදේශීය වෛද්‍යවරුන්ටත් ලංකාවේත් පහසුවෙන් සේවය කිරීමට හැකියාව ලබාදිය යුතුයි. මෙය SAARC රටවල වෛද්‍යවරුන්ගෙන් ආරම්භ කළ යුතුයි. මෙය මේ රටට අලුත් දෙයක් නොවේ. මීට වසර 50 කට පමණ පෙර ඉංග්‍රීසි බසින් විද්‍යා විෂයන් ඉගැන්වීම කළ සමයේ, බොහෝ ඉන්දියානු ගුරුවරුන් ලංකාවේ සේවය කළා.

:       2       7

බද්රානිSaturday, 19 August 2023 03:38 PM

ඔබ, නිවැරදියි අජිත් මහත්මයෝ... ලංකාවේ වෛද්‍යවරුන්ගේ පවතින හිඟකම නිසා තමයි මොවුන් මේ විදිහට රෝගීන් හා රජයන් අපහසුතාවයට පත් කරන්නේ... ලංකාවෙන් වෛද්‍යවරු බිහිවීමට හැකිතරම් අකුල් හෙලන මොවුන් ලංකාවේ දේශපාලනයටත් ඍජුවම බලපෑම් කරන තත්වයකට පත්වී සිටිනවා. වර්තමානයේ මෙය මාෆියා සංවිධානයක් බවට පත්වී තිබෙනවා. (GOMA). මේ විදිහට වෛද්‍යවරුන්ට විශේෂ වරප්‍රසාද දෙන්නේ කොයි රටේද..? ඒ විතරක්ද, අධිකරණය මගින් දඬුවම් ලබාදෙන දේශපාලකයින්ව ලෙඩ කරන හැටි නම්, හරි අපුරුයි නේද...? ඔය සෙල්ලම් පිටරටවල කරන්න ලැබෙන්නේ නැහැ.

:       1       3

ජනතාව Friday, 18 August 2023 05:18 PM

දේශපාලන හා රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන මහබැංකු, මුදල් අමාත්‍යංශ හා අනෙකුත් ඉහළ නිලධාරීන්ගේ අධූර දර්ශී තීරණ නිසා ශ්‍රී ලංකාව අතිශය ආර්ථික ප්‍රපාතයකට ඇද දමා ඇත. නිලධාරීන් සැමවිට වසර 5කට පමණ තාවකාලිකව බලයේ ඉන්නා දේශපාලුවා සතුටුකර ගොන් තීරණ ගෙන තම විශ්‍රාම දිවියේදී කොමිසමකට හෝ තානාපති කාර්යාලයකට හේත්තු වීමට සැමදා කටයුතු කළා. එහි අමිහිරි ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳිමු...

:       0       4

ජනතාව Friday, 18 August 2023 05:23 PM

මොවුන් අතිශය කලකිරීමකට පත්ව ඇත්තේ රට මෙවන් අගාධයකට ඇද හෙලා ඔවුන්ගේ ජීවන තත්වය හා දරුවන්ගේ අනාගතය අවිනිශ්චිත තත්වයකට පත්කළ නිසායි. මොවුන් ලද පළමු අවස්ථාවේදීම පවුල් පිටින්ම වෙනත් රටක පදිංචි වීමට උත්සහ කරනවා ඇත. ඉන්පසු මෙරට සිදුකළ යුතු වගකීම් යුතුකම් සඳහා ලංකාවේදී ඉතිරිකළ මුදල් හා මෙරට දේපලවල කුලී මලී යොදා ගෙන කරනවා ඇත...

:       0       5

Deepal Nirosh Thursday, 24 August 2023 08:48 PM

රජයේ ඕනෑම සේවකයකුට ණය දිය හැකි සීමාව ගෙවුම් වාරිකය උපරිම වශයෙන් 40%ක් ලෙසයි සීමා කරලයි තිබෙන්නේ... ඒ නිලධාරියාගේත් රජයේත් මූල්‍යාතනවලත් රැකවරණයට. එහෙත් මේ සමහර වෛද්‍යවරු වගේම සමහර නිලධාරීන් ලබාගත්තු ණය වාරික වැටුපින් 75% ත් ඉක්මවනවා. මුළු වැටුපම ඇපයට තමා අසීමිතව ණය වෙලා පුද්ගලික සේවාවලින් හරි හම්බ කරගෙන තමා ජීවත් වෙන්නේ. ඒක අයිතියක් කියමුකෝ... හැබැයි ඉතින් රජය අවශ්‍යතා අනුව බදු වැඩි කරනකොට ඒකට මුහුණ දෙන්න බැරුව රටින් පලායන්න තමයි වෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site