කෙළවරක් නැති අලි - මිනිස් ගැටුමේ තවත් එක් ප්‍රතිඵලයක් ලෙස මෙරට සිටි විශාලතම වන ඇතා කාවන්තිස්ස පසුගියදා  රැදුරු වෙඩි ප්‍රහාරයකින් මියැදිම කාගේත් කතා බහට ලක් වූ කාරණයක්. සාධාරණ පිළිතුරක් නොමැති  මේ ගැටුමේ යථාර්ථය කුමක්දැයි  විමසා බලමු.

“අලි මිනිස් ගැටුම දෙස බලන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සංචාරක කර්මාන්තයේ නියැලිලා ඉන්න අය,ඒ අයට අලි ගැන වටිනාකමක් තියෙනවා. මුදල් උපයන සම්පතක්. ඒ වගේම ඉහළ ආදායම් ලබන නාගරික ප්‍රදේශවල  ඉන්න අය අලියා දකින්නේ කලාතුරකින්, ඒ කියන්නේ අලි ජීවත් වෙන ප්‍රදේශවලින් බැහැරව ඉන්න අය අලින්ට කැමතියි. ඒ අයටත් අලි ගැන වටිනාකමක් තියෙනවා අලි දකින්න ආසයි. අලියා කියන්නේ ලෝකෙ හරි හිඟ සතෙක් නිසා. අලි ජීවත් වෙලා ඉන්නේ ලෝකෙ රටවල් කිහිපයක නිවර්තන කලාපීය රටක  ඝර්ම කලාපීය රටවල්වල විතරයි. මේ නිසා පිටරට සංචාරකයොත් , දේශීය සංචාරකයොත් අලින්ට හරිම කැමතියි අලි දකින්න ආසයි. කෙටියෙන් කීවොත් අලි ඉන්න ප්‍රදේශවල ජීවත් නොවෙන අය අලින්ට ආදරෙයි. නමුත් අලිත් එක්ක ජීවත් වෙන ප්‍රදේශවල අය මීට වැඩිය වෙනස්. ඒ අය තමයි  අලි මිනිස් ගැටුමට මැදිහත් වෙන්නෙ.  ඔය දෙගොල්ලොම ඇත්ත වශයෙන්ම ගත්තොත් අලින්ට හරි ආදරෙයි. මේ අලි මිනිස් ගැටුම තියෙන ප්‍රදේශවල මිනිස්සු වුණත් අලියෙක්ව මරන්න, අලියෙක්ව ඝාතනය කරන්න  කැමති නෑ. නමුත් අර බීලා යාළුවො ගහගත්තාමත් යාළුවො මැරෙනවනෙ. ඒ වගේ වෙලාවක අලි මුහුණට මුහුණ සටනකට ආවයින් පස්සෙ මේ තත්ත්වයම උදා වෙන්න පුළුවන්.  උදාහරණයක් ගත්තොත්  කාවන්තිස්ස ඇතාට වෙඩි වැදුනෙ කොතනදිද කියලා විග්‍රහයක් නෑ. කෙනෙකුට හිතාගන්න පුළුවන් කාවන්තිස්ස මේ නිදාගෙන ඉන්නකොට, එහෙම නැත්නම් ඇවිදගෙන යනකොට කාවන්තිස්සට වෙඩි තිබ්බා කියලා. සමහර වෙලාවට කාවන්තිස්ස මිනිහෙක් පස්සෙ පන්නන්න පුළුවන් හේනක, පැලක, එතකොට එයාට කරගන්න දෙයක් නැතිව, එයා වෙඩි තිබ්බා වෙන්න පුළුවන්. වෙඩි තියලා ගියාකියලා හිතමු, පස්සෙ තමයි අලියා මැරෙන්නෙ. එතකොට මෙන්න මේ අලි මිනිස් ගැටුමේ යථා ස්වභාවය තේරුම් ගන්නෙ නැතුව මිනිස්සු විවිධ ප්‍රකාශ නිකුත් කිරීම සහ මේ පිළිබඳ කිඹුල් කඳුළු හෙලීම මං හිතන්නෙ කිසිසේත්ම සාධාරණ නෑ.

අලින්ගේ කුසගින්නත් ගොවීන්ගේ කුසගින්නත් සමානයි

අපි යාල පැත්තට ගියොත්, එහෙම නැත්නම් මින්නේරිය, ඊළඟට කවුඩුල්ල සහ වනාතවිල්ලුව පැත්තට ගියොත්, ඔය ප්‍රදේශවල මේ සංචාරක කර්මාන්තය පුළුල් වශයෙන් සිද්ධ වෙනවා. ඒ සංචාරක කර්මාන්තයේ නියුතු වෙන හෝටල් අයිතිකරුවෝ, සෆාරි වාහන තියෙන අය, රෙස්ටොරන්ට්ස් කරන අය, ට්‍රැවලින් ටිකට් ඒජන්සීස්, මේගොල්ලො ඔක්කොම මේ අලියා ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරිපත් වෙනවා. ඒක හරි, මොකද, ඒගොල්ලො ජීවත් වෙන්නෙ ඒකෙන්. එතකොට ඒගොල්ලො අලියා ආරක්ෂා කරගන්නවා. කවුරුත් කැමති නෑ අලි පන්නන්න, අලින්ට වැටවල් ගහලා අලි හිර කරනවට ඒගොල්ලො කොහෙත්ම කැමති නෑ.  අලි මිනිස් ගැටුම විසඳන්න ගියාම ඔය ප්‍රශ්න එනවා. ඊළඟට  අලි කැලේ විතරක් නෙවෙයි, මෙයා ගම් හරහා ඇවිදගෙන යනකොට මිනිස්සුන්ගෙ වගා බිම් හමුවෙනවා.  උදාහරණයකට කෙනෙක් අක්කර තුනයි කරලා තියෙන්නෙ, අක්කර දෙකයි කරලා තියෙන්නෙ, නැත්නම් අක්කරයයි කරලා තියෙන්නෙ. එයා පවුලෙ පස් දෙනෙක්, හය දෙනෙක් ජීවත් කරන්න ඕන. ඒ පවුලෙ තාත්තා එහෙමත් නැත්නම් වෙනත් සාමාජිකයෙක් වකුගඩු රෝගයෙන් පෙළෙනවා. ඊට පස්සෙ ඒ මනුස්සයට බෙහෙත් ටික අරන් දෙන්න ඕන, ළමයට පොත්පත් ටික අරන් දෙන්න ඕන. එතකොට ජීවත් වෙන්නෙ මේහේන් ගොවිතැනින්. නමුත් සමහර වෙලාවට එක කන්නයක් අලින්ගෙන්ම විනාශ වෙලා යන්න පුළුවන්. , එක්කො වැස්ස නෑ. ස්වභාව ධර්මය මටක්ක්මේ ගොවියගෙ ඉරණම තීරණය වෙන්න පුළුවන්. එතකොට එහෙම අමාරුවෙන් ගොඩනගාගත්ත වට්ටක්කා හේනක්, බඩඉරිඟු හේනක්, එහෙම නැත්නම් වී වගාවක් අලි කීප දෙනෙක්, පනහක් හැටක් හරි, දහයක් පහළොවක් හරි, එකෙක් දෙන්නෙක් හරි ඇවිල්ලා කෙසෙල් වගාවක් විනාශ කරද්දි ඒ ඇතිවන හැඟීමත් අර ප්‍රමාණයටම තේරුම් ගන්න ඕන. එතකොට ඇතිවන වෛරය සහ කේන්තිය අලියා මරාගෙන කන සතෙක් නම් මරාගෙන මේ මිනිස්සු කනවා. ඒ තරම් තරහක් ඒ මිනිස්සුන්ට ඇතිවෙනවා. ඒක මේ නගරේ ඉන්න මිනිස්සුන්ටවත් සංචාරකයන්ටවත් ඒ කර්මාන්තයේ නියැලිලා ඉන්න අයටවත් දැනෙන්නේ නැහැ. තේරෙන්නෙත් නැහැ. එතකොට මේ ගැටුම දැන් සෑහෙන කාලයක් තිස්සේ, අවුරුදු හතළිහක් පනහක් තිස්සේ ක්‍රමානුකූලව වර්ධනය වෙලා ඇවිත්.

මේ ගැටලුවට හේතු ගණනාවක් කියනවා. සමහරු කියනවා අලි ගහනය වැඩි වුණා කියනවා. තවත් අය කියනවා මිනිස්සු මේ අලි ජීවත් වෙන ප්‍රදේශ අල්ලා ගත්තා කියලා. මීට පෙරත් ඉතිහාසය ගත්තත්, ශතවර්ෂාධික කාලයකට එහා ගත්තොත් මිනිස්සු කුඹුරුවල හේන් කළා, කැලෑවල හේන් කළා, ඔය විදිහට අලි-මිනිස් ගැටුම බරපතළ තත්ත්වයක් බවට පත්වෙලා තිබුණෙ නැහැ. දැන් මේ පාරිසරික බලපෑම, ඒ කියන්නේ climate change, දේශගුණ විපර්යාස කියන එක මිනිසුන්ට වගේම සත්තුන්ටත් බලපානවා. ඒගොල්ලන්ගෙ ශරීර උෂ්ණත්වය ඉහළ යනවා, ඒගොල්ලන්ගෙ heat circle එක, ඒ කියන්නෙ ඒගොල්ලන්ගෙ ප්‍රජනන කාලපරිච්ඡේදයන් සහ සිදුවීම් වෙනස් වෙනවා, වනාන්තර ඇතුළෙ ආහාර හිඟ වෙනවා. ඒ වගේ කාරණාත් එක්ක මේ අලිත් වෙනදාට වඩා යම් ප්‍රචණ්ඩකාරී හැසිරීමකට ලක්වෙනවා. මිනිස්සුත් තමන්ගෙ තාක්ෂණ හැකියාවන් පුළුල් කරගෙන තියෙනවා. අලින් පලවා හැරීම වෙනුවට අලින් ඝාතනය කිරීමට මිනිස්සුත් පෙළඹෙනවා. මොකද හේන් කුඹුරු තියෙන කාලෙ ඉස්සර අලියෙක් මරන්න තාක්ෂණයක් මිනිස්සු ළඟ තිබ්බෙ නැහැ. තුවක්කු තිබුණෙ නැහැ. එතකොට මිනිස්සු හීතල වලින්, හෙල්ල වලින් විදලා අලි මරන්න බැහැනෙ. ඒක හින්දා තමයි හෙන්ඩුවෙන් ගහලා අලි හීලෑ කරගත්තෙ. එතකොට ඒ විදිහට දැන් අපිට හක්කපටස් තියෙනවා, වෙඩි තියෙනවා. ඒකෙන් අලි පලවා හරිනවා වගේම අලි ඝාතනය කිරීමේ තාක්ෂණයකුත් දැන් මිනිස්සු අතරෙ දියුණු කරගෙන තියෙනවා.

ලංකාව ඇතුලේ අලි වැට, මෙරට වෙරළ තීරයටත් වඩා වැඩි වටප්‍රමාණයක්

මේ කාරණා ටික සමථයකට පත්කරන්න පසුගිය රජයන් හෝ දැන් තියෙන රජයන් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද බලන්න වෙනවා.මේ අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් පුද්ගලික වශයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සහ අනෙක රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග.  මේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අලි වැට ඉදිකරනවා. ඒක තමයි ලංකාවෙ  ජනප්‍රියම ක්‍රමය. අලි මේ වෙනකොට අලි වැට ගහලා තියෙනවා දිග කිලෝමීටර් 4800කට 5000කට එහා. සාමාන්‍යයෙන් ලංකාව වටා තුන් වතාවක් විතර මේ අලි වැට ගහන්න පුළුවන් size එකක්, ලංකාවෙ වෙරළ තීරයට වඩා වැඩි ප්‍රමාණයක් අලි වැට තියෙනවා ලංකාවෙ ඇතුළෙ. ඒත් අලි-මිනිස් ගැටුම නතර කරන්න බැහැ. ඒකට හේතුව අලින්ට ඕන කරන ආහාර සහ අලියාගෙ දිනචර්යාවට බලපෑම් ඇති කරලා අලියාව නවත්තන්න මිනිසුන්ට බැහැ. එයාට බඩගින්න ආවට පස්සෙ එයා ගන්න තීන්දු එයා ගන්නවා. එතකොට අපි මේකට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ගන්නට ඕනෙ, අලින් නිශ්චිත ප්‍රදේශ වලට සීමා කරගන්න වෙනවා. අලින්ට අවශ්‍ය කරන ආහාර ටික සහ ජලය, සහ ජෛව විද්‍යාත්මක චර්යාවන් කරගන්න ඉඩ සැලසෙන විදිහට මේ කළමනාකරණය කළ යුතුයි. අපේ  තියෙන සෑම අලි-මිනිස් ගැටුම වළක්වන ක්‍රමෝපායක්ම තියෙන්නෙ, අලියාගෙ ආහාර සීමා කිරීමෙන් හෝ අලියාගෙ චර්යා රටාවන් නතර කිරීමෙන් හෝ බාධා කිරීමෙන් අලියාව පාලනය කිරීමයි. එතකොට මෙන්න මේ කාරණා සියල්ලම එකතු කරගත්තොත් මේ අර්බුදය තව තවත් දුරට යනවා. ඉතින් මේක නතර වෙන පාටක් හෝ නතර කරන්න පේන තෙක් මානයක ගත්ත විද්‍යාත්මක ක්‍රියාවලියක් නැහැ. අලි-මිනිස් ගැටුම වළක්වන්න අලි වැටට බැරි බව දැන්වත් අපට වැටහෙන්න ඕනෙ.

අලි - මිනිස් ගැටුම, ආහාර ගැටළුවක්

​එකක් තමයි දැන් අලින් සහ මිනිසුන් කියන්නේ එකිනෙකාට පරස්පර විරෝධී සත්ව වර්ග දෙකක් නෙවෙයි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් කොටි සහ මිනිස්සු ගත්තොත්, වලස්සු සහ මිනිස්සු ගත්තොත් පරස්පර මේ සත්තු දෙන්නෙක්නෙ. එක්කෙනෙක් සර්ව භක්ෂකයි, අනිත් එක්කෙනා මාංශ භක්ෂකයි. ඒ නිසා කොටියෙකුට මිනිහෙක් අහුවුනොත් මරාගෙන කනවා. හැබැයි අලියා මිනිසාව මරලා ආහාරයට ගන්නෙත් නෑ. මිනිසා අලියාව මරලා ආහාරයට ගන්නෙත් නෑ. එතකොට මේ දෙන්නාම අනවශ්‍ය ප්‍රශ්නෙක ගැටගැහිලා ඉන්නේ, අලියත් මිනිහත් කරන්නේ මරලා දානවා විතරයි . කාටවත් ප්‍රයෝජනයක් නෑ. අලියටත් නෑ මිනිසාටත් නෑ. එතකොට මේ ගැටුම ඇතිවෙන්නේ මිනිසාගේ ආහාර වලටම අලියාත් වග කියන නිසා. එහෙම නැත්නම් අලියාගේ ආහාර තියෙන තැන් ගිහිල්ලා අපි අත්පත් කරගන්න නිසා. එතකොට මේක ආහාර ගැටලුවක්. මිනිස්සුන්ට ආහාර ගැටලුවක් තියෙනවා වගේම අලියාටත් ආහාර ගැටලුවක් තියෙනවා. මිනිසුන්ට වතුර ඕනෙ, මූණ හෝදගන්න ඕනෙ, නාන්න ඕනෙ, ඇවිදින්න ඉඩකඩ ඕනෙ, මිදුලක් ඕනෙ, ස්වභාවික පරිසරය රස විඳින්න ඕනෙ වගේම අලියටත් තමන්ගේ වර්ගයා බෝ කරගන්න එක, ආහාරපාන වගේම තමන්ගේ පරිසරය, ඇවිදින්න තියෙන පරිසරය, ආහාර මීළඟට වතුර ටික, මේ වගේ ජෛව විද්‍යාත්මක අවශ්‍යතා ප්‍රමාණයක් ඔහුටත් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව හරි අධ්‍යයනයක් කරලා අලියාට බාධා කරන්නෙත් නැතුව, මිනිස්සුන්ට බාධා කරන්නෙත් නැතුව ජාතික අලි මිනිස් ගැටුම වලක්වාලීමේ ප්‍රතිපත්තියක් අපි රාජ්‍ය මට්ටමෙන් ආරම්භ කළ යුතුයි.

​ඒ සඳහා දැන් උවමනා තරම් විශේෂඥයන් ඉන්නවා. ඒ නිර්දේශ මත නිර්දේශ අනන්ත දීලා තියෙනවා. සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙන්නේ උදා වෙලා තිබෙන කඹ ඇදිල්ල නිසා. සංචාරක කර්මාන්තයේ ඉන්න අයට අලි ඉන්න ඕනෙ. කුඹුරු කරන අයට මේ අලියා නැති වෙන්න ඕනෙ. එතකොට සමහර ප්‍රදේශ තියෙනවා අලියා සමග සහජීවනයෙන් ජීවත් විය හැකි ප්‍රදේශ. එහෙම ඕන තරම් ඉන්නවා කැලෑවල අලියා එනවා යනවා. ප්‍රශ්නයක් නෑ. අලියත් ආහාර ගන්නවා, අපිත් තියාගන්නවා. ඊළඟට අපි චර්යා රටාවන් අවබෝධ කරගෙන ඒ වෙලාවට මඟඇරලා, අලියත් අපිව මඟහරිනවා, අපිත් අලියා මඟහරිනවා. ඒ විදිහට සහජීවන ක්‍රියාමාර්ගයක් හරහා අපිට මේක විසඳුම් සොයන්න පුළුවන්. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. පහුගිය ආණ්ඩු ඔක්කොටෝම මේ අලි පිළිබඳ පර්යේෂණය කරන අය විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කළා. නමුත් ඒවා හරි හැටි ක්‍රියාත්මක වුණේ නැහැ.

​අලින්ට ප්‍රමාණවත් පානීය ජල පහසුකම් නෑ

ඊළඟට තව එකක් තමයි අලියට කැලේ ඇතුලෙ ඉන්න බැරි තත්ත්වයක් අපි නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම කැලේ ඇතුලේ ඔය වැව්, ගංගා වැව් පද්ධති වල 40%ක් තියෙන්නේ කුළු වැව්. ඒ කියන්නේ අලින් හැම වැවකින්ම වතුර බොන්න නැ. අලියා ඔය මහා වැවෙන් වතුර බොන්නෙත් නෑ. අලියා ඇළවල් වලින් වතුර බොන්නෙත් නෑ. අලියා බොන්නේ උල්පත් ජලය පමණයි. පොළොවෙන් උනන උල්පත් ජලය. එතකොට මේ උල්පත් ජලයෙන් තමයි කුළු වැව් පිරිලා තියෙන්නෙ. එතකොට අලියා එළියට එන්නේ කේන්තියට මිසක් ඇවිල්ලා ළිඳක් කඩලා වතුර බොන්ඩ  නෙවෙයි. ඔහු ආහාර සොයාගෙන නම් එනවා. වතුර සොයාගෙන එන්නෙ නෑ. එතකොට කැලේ තියෙන කුළු වැව් ටික වැව්වා නම්, සකස් කළා නම් ඒ එක කුළු වැවක් වටා වර්ග කිලෝමීටර් කිහිපයක් ඒ සීතලට තණකොළ වර්ධනය වෙනවා. එතකොට තණකොළ වර්ධනය වීම නිසාත්, ශාක වල වර්ෂය පුරාම දළුලන නිසාත් සත්තුන්ට, කැලෑ වල අලින්ට ආහාර හැදෙනවා. අද ගිහිල්ලා කැලේකට බැලුවොත් මේ කුළු වැව් කඩලා විනාශ වෙලා ඒවා ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා අලින්ට වතුරත් නෑ. වතුර නැති වීම නිසා ආහාරත් නෑ. ඒ නිසා ඔවුන් පොඩි පෑවිල්ලක් ආපු ගමන් එළියට එනවා. ඉතින් මේ කාරණා නිසාතමයි ගැටලු සිද්ධ වෙන්නේ. , ඒ වගේම වැවක තියෙන කට්ටකාඩුව සකස් නොකිරීම, වැව් පද්ධති ප්‍රතිසංස්කරණය නොකිරීම, හේන් වගාව අතහැර දැමීම වගේ සියලු කාරණා බලපාලා තියෙනවා.

​වඳුරන් දඬුලේනන්ගේ  ගැටලුව වගේම අලි මිනිස් ගැටුමටත් අවධානය අවශ්‍යයි

කැලේ වැව් හදනකොට, ගංගා වැව් ප්‍රතිසංස්කරණය කරද්දි මේගොල්ලො ප්‍රජනන හැකියාව වැඩි කරගන්නවා. ඒ කියන්නෙ අර වැව් බැම්ම පදනම් කරගෙන අලි තමන්ගෙ ප්‍රජනන ක්‍රියාවලිය වර්ධනය කරගන්නවා. එතකොට ඒකත් එක්ක අලි බෝවීම දැන් ගොඩක් වැඩිවෙලා තියෙනවා. එතකොට මේ ගැන හරි සංගණනයක් කරලා තිබිය යුතුයි.  අලියෙකුට ඇවිදින්න අඩුම වශයෙන් අක්කර හතක් දවසකට ඕනෙ. ඒ ප්‍රමාණයට ඒ ඒ අභයභූමි හෝ වනජීවී කලාප වල අලි යම් පමණකට සීමා කරලා, අලි වර්ධනය වීම පාලනය කරන්න උපත් පාලන ක්‍රමයක් ඇති කරලා,ඉන්න අලි පරිස්සමෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙල සම්පාදනය කළ යුතුයි. නමුත් අපිට දැන් පේනවා මේ රජයත් ආරම්භ වෙනකොට පටන් ගත්තා මේ සියල්ල කරන්න ඕනෙ කියලා. හැබැයි මේ වෙනකොට වී ගොවියන්ගෙ ප්‍රශ්නෙත්,වඳුරන් සහ දඬුලේනන්ගෙ ප්‍රශ්නෙ වගේම මේ අලි-මිනිස් ගැටුම පිළිබඳවත් යෙදිලා තියෙන අවංක අවධානය ඉතාම දුර්වල මට්ටමක පවතිනවා. මේසඳහා ක්‍රම යෝජනා කරලා තියෙනවාඕන තරම්, පර්යේෂණ තියෙනවා විශ්වවිද්‍යාල වල. ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාවයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නෙ.

අලින්ට වෙඩි තියන්නේ අමනුස්සයෝද?

මිනිහෙක්ගේ පස්සෙ අලියෙක් පන්නනකොට එයා අතේ තුවක්කුවක් තියෙනවනම් ඒ මිනිහා තමන්ගේ ජීවිතය බේරගන්න අනිවාර්යෙන් අලියට වෙඩි තියෙනවා.  මං හිතන්නේ නෑ ලංකාවේ කිසිම මිනිහෙක් විනෝදෙට අලි වෙඩි තියනවා  කියලා. එහෙම කරන්නෙ තමන්ගේ වගාව හරි, ඒ ජීවනෝපාය ආරක්ෂා  කර ගන්න හරි තමන්ගේ දරුවන්ගේ කුසගින්න බේරගන්න හරි,තමන්ගේ ජීවිතයේ බේරගන්න මිසක්  අලියව මරාගෙන කන්න නෙමෙයි. එතකොට මේ ගැන නොතේරෙන සේවා අංශය සහ කර්මාන්තාංශයේ සේවයේ නියුතු පුද්ගලයින් ඒ අය අල්ලලා සිරගත කරන්න කියලා කිව්වහම ඒකෙන් ආයෙත් මොකක්ද සිද්ධ වෙන්නේ?.වෛරය තවත් වැඩි වෙනවා. ඒ පොඩි එවුන්ගේ හිතේ වෛරය තවත් වැඩි  වෙනවා. ඒ අය ලොකු වෙලා අලින්ට වෛර කරන්න ගන්නවා මේකෙන් වෙන්නේ අලි මිනිස් ගැටුම තවත් දිග් ගැස්⁣සෙන එක විතරයි. මිනිහා එන්නෙත් තමන්ගේ දරුවන්ට කන්න බොන්න හොයන්න, අලියා එන්නෙත් උගේ දරුවන්ට කන්න හොයන්න. මේ දෙන්න මේ පැටලිලා ඉන්න ගැටලුව ලෙහන්නේ නැතුව  ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න බැහැ. මේ ගැන දන්නේ නැති සීතකාමරවල ඉන්න අය මේ දිහා පටු විදිහට බලලා කිඹුල් කඳුළු හෙලන එක සාධාරණ නැහැ.”

 

මහාචාර්ය නිශාන් සකලසූරිය

භූ විද්‍යා අංශාධිපති

කැලණිය විශ්වවිද්‍යාලය

 

D.N.අභයවර්ධන.