IMG-LOGO

යළි කරළියට එන අලුත් ව්‍යවස්ථා පොරොන්දුව

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ජාතික ජනබලවේගයේ පොරොන්දුව පසුගිය සතියේ යළිත් සංවාදයට ලක්විය. ඒ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී මතු කළ වාචික ප්‍රශ්නයක් හේතුවෙනි.

තමන් බලයට පත්වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බව සමගි ජන බලවේගය මෙතෙක් පොරොන්දු වී නැත. ඒ අනුව පෙරේරා මහතා මෙම ප්‍රශ්නය අසන්නට ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව නිසා නොව එම ප්‍රශ්නය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දුන් පොරොන්දුව ඔවුනටම යළි සිහිපත් කරන්නට විය යුතුය. නැත්නම් එසේ සිහිපත් කර ආණ්ඩුව පොරොන්දු  ඉටු නොකරන බව කියා පෑමට විය යුතුය.

ඔහුගේ අරමුණ කුමක් වුවත් ඔහුගේ එම ප්‍රශ්නයට පිළිතුරු දුන් අගමැතිනිය හරිනි අමරසූරිය මෙනවිය නව ව්‍යවස්ථාවක් සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ආරම්භ  කර ඇති බවත් වත්මන් ආණ්ඩුවේ නිල  කාලය තුළ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවත් පැවැසුවාය.

මැතිවරණයට පෙර මෙම කාරණය ගැන කතා කිරීමේදී ජාතික  ජන බලවේගය ඒ සඳහා නිශ්චිත කාල සීමාවක් සඳහන් කළේ නැත. පසුගිය නොවැම්බර් මාසයේ දී ජාතික ජනබලවේගය නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබුණේ වසර තුනකින් එනම් 2028 දී නව ව්‍යවස්ථාව සම්මත කර ක්‍රියාත්මක කරන බවය.

පසුගිය දෙසැම්බර් මාසයේ පුවත්පතකට මේ ගැන තවත් ප්‍රකාශයක් කළ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා 2025 ජනවාරි මාසයෙදී එම කටයුත්ත සඳහා වූ මූලික කටයුතු ආරම්භ කරන බව සඳහන් කළේය. දැන් අගමැතිනිය ද එම මූලික කටයුතු ආරම්භ කර ඇති බව පවසන අතර තමන්ගේ නිල කාලය තුළ එනම් 2029 අවසානයට පෙර එම කටයුත්ත සම්පූර්ණ කරන බව පවසයි.

ජනවාරි මාසයේදී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වූ මූලික කටයුතු ආරම්භ කරන බව අධිකරණ ඇමැතිවරයාත්, එම මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව අගමැතිනියත් කළ ප්‍රකාශ අතර ගැළපීමක් තිබුණද ජනවාරි මාසයේ සිට මාස හතක් ගතවී ඇතත් එවැනි මූලික කටයුත්තක් ගැන කිසිදු පුවතක් කිසිදු ජනමාධ්‍යක හෝ ආණ්ඩුවේ නිල වාර්තාවක් හෝ මෙතෙක් පළ වී නැත.

විරුද්ධ පක්ෂයක් ලෙස සිටියදි ජාතික ජන බලවේගයත් එහි ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණත් ඉතා ප්‍රබල සන්නිවේදන වුවද බලයට පත්වූ  ජාතික ජන බලවේගය සන්නිවේදනය අතින් බොහෝ සෙයින් දුර්වල වී ඇති සෙයින් නව ව්‍යවස්ථාව  සඳහා වූ මූලික කටයුතු පිළිබඳ අධිකරණ ඇමැතිවරයාගේත් අගමැතිවරයාගේත්  ප්‍රකාශ පිළිගැනීමට හේ ප්‍රතික්ෂේප කිරීමට හෝ නොහැකි තත්වයක පසුවේ.

කෙසේ වෙතත් නව ව්‍යවස්ථාවක් හදිසියේ සකස් කර සම්මත කරගත නොහැකි යැයි අගමැතිනිය පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. එය තාවකාලික යම් පක්ෂයක දේශපාලන අරමුණු වෙනුවෙන් නොව දීර්ඝ කාලීනව අනාගතයේදී ඇතිවිය හැකි ජාතික හා ජාත්‍යන්තර ආර්ථික, සමාජීය හා දේශපාලන වෙනස්වීම්වලට ඔරොත්තු දෙන අයුරින් සහ නිතර සංශෝධනය කිරීමට අවශ්‍ය නොවන අයුරින් සම්පාදනය කළ යුත්තකි.

පසුගිය කාලයේ නිශ්චිතවම සඳහන් කරන්නේ නම් 1977 න් පසු ගත වූ වසර පනහකට ආසන්න කාලයේ අලුත් ව්‍යවස්ථා ගෙන එනු ලැබුවේත් එම ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලැබුවේත් යම් යම් පාලකයන්ගේ හා දේශපාලන පක්ෂවල තාවකාලික  හා ක්ෂණික දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහාය.

1972 දී හඳුන්වා දෙනු ලැබූ පළමුවැනි ජනරජ ව්‍යවස්ථාව 1977 දී සංශෝධනය කරමින්  විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ විවෘත ආර්කථි ක්‍රමය හඳුන්වා දීමේදී ඇතිවිය හැකි මහජන විරෝධය මර්දනය කිරීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට බලය ලබා ගැනීමේ අරමුණෙනි. එසේම 1978 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා නව ව්‍යවස්ථාවක් (දෙවැනි ජනරජ ව්‍යවස්ථාව) සමග සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නේ එතෙක් සෑම මැතිවරණයකදීම පාහේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් එජාපයට සැමදා බලයේ සිටීමටය.

1994 දක්වා වූ එම එජාප පාලන කාලයේදි ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා සංශෝධන ගණනාවක අරමුණ වූයේද එජාපයේ හා ජනාධිපති ජයවර්ධන මහතාගේ බලය තහවුරු කර ගැනීමය. එසේම රාජපක්ෂවරුන් බලයේ සිටියදී සම්මත කරනු ලැබූ 18 වැනි හා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනවල අරමුණ වූයේද ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම විනා රටේ සමාජ ආර්ථික ප්‍රශ්න විසඳීම නොවේ.

නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේදී ඒ සඳහා ජනතා අදහස් විමසීමත්, විවිධ ජන කණ්ඩායම්වල හා විශේෂඥයන්ගේ අදහස් ලබා ගැනීම ඒවා විශ්ලේෂණය කර නීතියක් බවට පත් කිරීමත් අතිශයින් සංකීර්ණ ක්‍රියාවලියක් වන හෙයින් ඊට සෑහෙන කාලයක් ගතවනු ඇති බවත් අගමැතිනිය පෙරේරා මහතාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පවසා  ඇත. එයද පිළිගත හැක්කකි. එහෙත් නව ව්‍යවස්ථාවක් පිළිබඳ විවිධ ආණ්ඩු කටයුතු කර ඇති ආකාරය අනුව එම කාර්යය සඳහා වත්මන් ආණ්ඩුවේ ප්‍රමාදය සම්බන්ධයෙන්ද කෙනකු සැක ඇති කර ගැනීම සාධාරණය.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ක්‍රියාත්මක කරන බවට 1960  ගණන්වල සිට විවිධ දේශපාලන පක්ෂ මැතිවරණ කාලවලදී ජනතාවට පොරොන්දු දී ඇත. එහෙත් එසේ නව ව්‍යවස්ථා සම්මත කරගනු ලැබුවේ 1970 දී බලයට පත් එජාප පාලන කාලයේ දී පමණි.

1972 දී සමගි පෙරමුණ ආණ්ඩුව බ්‍රිතාන්‍ය සමග වූ සියලු දේශපාලන හා පරිපාලන සබඳතා අත්හැර ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශ කරමින් නව ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත් කළේය. 1977 දී එම ව්‍යවස්ථාව සංශෝධනය කළ එජාපය විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා  දුන්නේය. ඉන්පසු 1978 දී 1972 ව්‍යවස්ථාව මුළුමනින්ම අහෝසි කර නව ව්‍යවස්ථාවක් සම්මත කළේය. එය දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ලෙස හැඳින්වේ. ඒ අවස්ථා දෙක හැර අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ විවිධ පක්ෂවල පොරොන්දු ඉටු නොවීය.

දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ‘‘ජේ. ආර්. ගේ බහු බූත ව්‍යවස්ථාව’’ ලෙස හැඳින්වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බව 1994 මහ මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී පොරොන්දු වූවාය. එහෙත් ඒ සඳහා ඇයට එම වසරේදි හෝ 2000 මහ මැතිවරණයේදී හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණේ නැත. එසේ වුවද 2000 අගෝස්තු මාසයේදී ඇය නව ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. එහෙත් ඊට විපක්ෂයේ සහාය නොලැබිණි. එජාප මන්ත්‍රීවරු එහි පිටපත් පාර්ලිමේන්තු සභා ගර්භය තුළදීම ගිනි තැබූහ. 

ඉන්පසු 2005 දී ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු විය. එහෙත්  ඔහුට ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්  එවර ලැබුණේ නැත. 2010 දී ඔහුට එම බලය ලැබුණ ද ඔහු කළේ විධායක  ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොව එය ශක්තිමත් කිරීමය.

2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ  මහතා බලයට පැමිණියේ ද නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු වෙමිනි. යහපාලන ආණ්ඩුව ලෙස තම ආණ්ඩුව හඳුන්වා ගත් ඔහු 2016 දී නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම  සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්  කළහ. නව ව්‍යවස්ථාවක් සඳහා මහජන  අදහස් ද ලබා ගැනිණි. එම අදහස් අනුව නව නීති නිර්දේශ  කිරීම පිණිස පාර්ලිමේන්තු  අනු කමිටු හයක්ද පත් කෙරිණි. ඒවායේ යෝජනා අනුව නව ව්‍යවස්ථාවේ වගන්ති කෙටුම්පත් කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක්ද පත් කෙරිණි.

එම මෙහෙයුම් කමිටුව නව ව්‍යවස්ථාවක් පිළිබඳව අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය සිංහල හා දෙමළ ජාතිකවාදී පිරිස් විසින් ප්‍රතික්ෂේප කරනු  ලැබූහ. ඒ සමගම ඇති වූ ආණ්ඩුවේ අභ්‍යන්තර ආරවුල් පළාත් පාලන මැතිවරණ පරාජය හා දේශපාලන අර්බුද ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් නව ව්‍යවස්ථාවක් පිළිබඳ එම ආණ්ඩුවේ උත්සාහය ද යටපත් වී ගියේය.

2019 දී බලයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා ද නව ව්‍යවස්ථාවක් සම්මත කරන බවට පොරොන්දු විය. එහෙත් ඔහු ඊට පෙර 2020 දී පවතින ව්‍යවස්ථාව සංශෝධනය කර (20 වැනි  සංශෝධනය) මහින්ද රාජපක්ෂ මහතා කළාක් මෙන් විධායක ජනාධිපති ධුරය තවදුරටත් ශක්තිමත් කර ගත්තේය. කොවිඩ් 19 ගෝලීය වංසගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් නව ව්‍යවස්ථාවක් පිළිබඳ ඔහුගේ පොරොන්දු සදහටම යටපත් විය.

ජාතික ජන බලවේගය නව ව්‍යවස්ථාවක් පිළිබඳ පොරොන්දුව දුන්නේ ඒ පසුබිම යටතේය. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව පිළිබඳව, 1978 දෙවැනි ජනරජ  ව්‍යවස්ථාව පිළිබඳව රටේ පොදු එකඟතාවක් ඇති වූයේ නම් ඉන්පසු බලයට පත්වූ ආණ්ඩු මෙසේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නට උත්සාහ කළ යුතු නැත. දැන් ජාතික ජනබලවේගය හමුවේ එම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති ප්‍රධාන අභියෝගය නම් මෙවැනි පොදු එකඟතාවක් ඇති කර ගැනීමය. රට පාලනය කළ හැක්කේ කොළඹ හතෙන් හෝ වලව්වකින්  පැවැත එන්නන්ට පමණකැයි බොහෝ උගතුන් පවා සිතන රටක මෙය එතරම් පහසු කටයුත්තක් නොවේ.

කෙසේ වෙතත් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේදී විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමය හා ජනවාර්ගික ප්‍රශ්නය පොදු එකඟතාවක් ඇති කර ගැනීමට දුෂ්කර  අතිශයින් වැදගත් කාරණා තුනකි. විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් පිළිබඳ උත්සාහ කිහිපයක්ම අසාර්ථක වයේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සොයන්නට යාමේදීය.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 2000 දී ඉදිරිපත් කළ නව ව්‍යවස්ථා කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාව කලාප සංගමයක් ලෙස හැඳින්විණ. ඒ ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය බවට දෙමළ නායකයන් කරන ඉල්ලීමක් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු යැයි සිංහල නායකයන් දරන අදහසත් තුලනය කිරීමේ උත්සාහයක් වශයෙනි. එහෙත් එම කෙටුම්පතට ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ එජාපය වෙතිනුත් සිංහල ජාතිකවාදී කණ්ඩායම් වෙතිනුත් දැඩි විරෝධයක් එල්ල විය.

මෙම ෆෙඩරල් - ඒකීය මතභේදය සමථයකට පත් කිරීම සඳහා 2017 දී එවක පැවැති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පත් කරන ලද මෙහෙයුම් කමිටුවෙන් ද විසඳුමක් ඉදිරිපත් කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස සිංහලෙනුත්  ‘‘ඔරුමිත්ත නාඩු’’ යනුවෙන් දෙමළෙනුත් හැඳින්වීමට යෝජනා විය. ‘‘ඔරුමිත්ත නාඩු’’ යන්නෙහි තේරුම එක්සත් රට හෝ එක්වූ රට යන්නයි. මෙම යෙදුමෙන් ෆෙඩරල් ක්‍රමයක් අදහස් කෙරෙන බව කියමින් සිංහල කණ්ඩායම් ඊට එරෙහි විය. එයින් තමන් ඉල්ලා සිටින ෆෙඩරල් ක්‍රමය ප්‍රකාශ නොවන බව කියමින් දෙමළ කණ්ඩායම් ඊට විරුද්ධ විය.

ජාතික ජනක බලවේගයට ද අනිවාර්‌යයෙන්ම මෙම ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවනු ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදේශයක කළ සංචාරයකදී ඔහුගේ කමිසයේ බොත්තම් නිසි පිළිවෙළට නොදැමීම නිසා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා බිඳ වැටෙනු ඇතැයි තර්ක කළ විපක්ෂයක් සිටින රටක වත්මන් ආණ්ඩුව ජනවාර්ගික ප්‍රශ්නයට අත ගැසුවොත් විපක්ෂය වෙතින් ඇතිවිය හැකි ඝෝෂාව සිතා ගත හැකිය.

ඒ අනුව  එක් අතකින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කටයුතු ප්‍රමාදවීම ආණ්ඩුවේ සෞඛ්‍යයට හොඳ දෙයකි. අනෙක් අතට විවිධ නායකයන්ගේ හා දේශපාලන පක්ෂවල ක්ෂණික අවශ්‍යතා අනුව අණ්ඩ දැමූ ව්‍යවස්ථාවකින් සමාජ පරිවර්තනයක් කළ නොහැකි හෙයින් ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සඳහා වූ කටයුතු ද  ඉක්මනින් ආරම්භ කළ යුතුව ඇත.

(*** එම්.එස්.එම්. අයුබ්.)



අදහස් (0)

යළි කරළියට එන අලුත් ව්‍යවස්ථා පොරොන්දුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 342 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site