IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


මාලිමා අයවැය මැද මාවතේද?

මෙවර අයවැය ලේඛනය සුව පහසු අවකාශයක සිට ඉදිරිපත් කළ එකකි. 2024 වසරේ දී සහ මෙම වසරේ ආර්ථික වර්ධනයට අදාළ සංඛ්‍යා දත්ත පරීක්ෂා කිරීමේ දී එම සුව පහසු පරිසරය තේරුම් ගත හැකි ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ ඇතැම් ඉලක්ක ඉක්මවා යෑමට සමත් වී තිබීමෙන් ද පෙනෙන්නේ ආර්ථිකයේ සුව පහසු පදාසයක් නිර්මාණය වී ඇති බව ය. පෙර වසරවල අයවැය සකස් කිරීමේ දී ආදායම් වියදම් සමබර කිරීම විශාල අභියෝගයක් වුව ද 2026 අයවැය සකස් කිරීමේ දී වත්මන් ආණ්ඩුවට එය විශාල අභියෝගයකින් තොරව මටසිලු‍ටු ආකාරයට කිරීමට හැකි විය.

මෙපරිදි සුවපහසු පරිසරයක සිට අයවැය ඉදිරිපත් කිරීමට රජයට හැකියාව ලැබුණේ ඉලක්කගත බදු ආදායම් ඉක්මවා ලැබීම නිසා ය. 2025 වසර සඳහා ඇස්තමේන්තුගත ආදායමට වඩා ඉහළ ආදායමක් ද ලැබිණ. එපරිදි රාජ්‍ය ආදායම් වැඩිවීමට බලපෑ හේතු අතර අයි.එම්.එෆ්. ස්ථායීකරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වීමත් එහි ප්‍රතිඵල ලැබීමත් ප්‍රධාන වේ. දෙවැනුව, එම ස්ථායීකරණ වැඩපිළිවෙළේ කොටසක් වශයෙන් බදු පදනම පුළුල් කිරීම මගින් බදු ආදායම් යහපත් මට්ටමකට පැමිණීම ය. තුන්වැනුව, ආණ්ඩුවට ලැබෙන වක්‍ර බදු ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම ය. ඒ සඳහා එකතු කළ අගය මත බදු (වැට්) සහ ආනයන මත අය කරන බදු ප්‍රධාන වශයෙන් ඉවහල් වී තිබේ.

වියදම් පාර්ශ්වය සැලකීමේ දී ණය ගෙවීම් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු වී තිබේ. ණය ගැනීම අඩුවීම ඊට එක් හේතුවක් විය හැකි ය. මහ බැංකුව විසින් මධ්‍යම ආණ්ඩුවට ණය ලබාදීම නතර කර තිබීමත් ඊට හේතු වූවා වන්නට පිළිවන. ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදම් අඩු වී තිබීමත් රජයේ වියදම් අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු අගයක් ගැනීමට හේතු වී තිබේ. එහෙත් ප්‍රාග්ධන වියදම් පහළ අගයක් ගැනීම ආර්ථිකයට කොතරම් දුරට සුබදායක ද යන පැනය මතු වේ. මෙනයින් පැහැදිලි වෙන්නේ රජයේ බදු ආදායම් වැඩි වී තිබීම සහ වියදම් අඩු වී තිබීම හේතුවෙන් සුවපහසු තැනක සිට 2026 අයවැය සකස් කිරීමට හැකි වී ඇති බව ය.

මෙම අයවැයෙහි ආදායම් පාර්ශ්වය සලකන විට බදු ව්‍යුහයේ විශාල වෙනස්කම් කර නැති බව මගේ වැටහීම යි. එහෙත් ඉදිරියේ දී නොයෙක් වෙනස්කම් සිදු විය හැකි ය. බදුවලට අදාළව ප්‍රධාන වෙනස්කම් දෙකක් කර ඇත. එකක් වැට් බද්දෙහි පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට 36 දක්වා පහත හෙළීම ය. වැට් බද්ද යනු පාරිභෝගිකයා ගෙවන වක්‍ර බද්දකි. එම බද්දට ලියාපදිංචි ව්‍යාපාර සහ ආයතන පාරිභෝගිකයන්ගෙන් එය අය කර ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලබා දෙයි. වැට් බද්දට යටත්වන ආදායම් සීමාව අඩු කිරීමට ගෙන ඇති තීරණය මට තරමක් අපැහැදිලි ය. මේ බද්දෙන් රජයට ආදායම් අඩුවෙන් ලැබීම හෝ නොලැබීම ඊට හේතුව ද යන්න මම නොදනිමි. එසේ නම් සිදු වී ඇත්තේ එක්කෝ මෙතුවක් කල් පාරිභෝගිකයාගෙන් අය කරන ලද වැට් බදු මුදල් ව්‍යාපාරිකයන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලබා නොදී තබා ගැනීම ය. නැතිනම් පාරිභෝගිකයන් එය නොගෙවීම ය. වැට් බදු අය කරනු ලබන ව්‍යාපාර ආයතනවලින් සහ අය නොකරනු ලබන ආයතනවලින් එකම භාණ්ඩය සමාන මිලකට මිලදී ගන්නා විට එක් ආයතනයකින් මෙම බද්ද අය කිරීමත් අනෙක් ආයතනයෙන් අය නොකිරීමත් තේරුම් ගැනීම අපහසු ය.

දෙවැනි වෙනස නම් තීරු බදු නොවන ආනයනික භාණ්ඩ මත අය කරනු ලබන වෙනත් බදු (Para traiff) ඉවත් කිරීමට යෝජනා කර තිබීම ය. එය දශක ගණනාවක සිට ඉදිරිපත් වූ ඉල්ලීමකි. මෙම අයවැයෙන් එම බදු ඉවත් කිරීමට යෝජනා කර ඇතත් එය කරන්නේ තීරු බදු සියයට 30 ක අනුපාතයකට ගෙන ඒමෙන් බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී කීවේ ය. කෙසේ වෙතත් තීරු බදු නොවන වෙනත් බදු ඉවත් කිරීම ලංකාවේ පවතින සංකීර්ණ බදු ව්‍යුහය සරල කර ගැනීමට උපකාරී වේ. වෙළෙඳාමේ විනිවිදභාවය ඉහළ නංවා ගැනීමටත් ජාත්‍යන්තර වෙළෙඳාමෙහි නිරතව සිටින ලාංකික ව්‍යාපාරිකයන්ට එය දකින්නට ලැබීමත් යහපත් තත්වයක් වශයෙන් සැලකිය හැකි ය.

මධ්‍යම ආදායම් ලබන රටවල සෘජු බදු අනුපාතය සියයට 40 ත් 50 ත් අතර අගයක පැවැතිය ද ලංකාවේ එම අනුපාතය පහළ අගයක පවතී. ජනාධිපතිවරයා අයවැයෙන් යෝජනා කළේ දැනට සියයට 25:75 අගයක තිබෙන සෘජු වක්‍ර බදු අනුපාතය සියයට 40:60 දක්වා ගෙන ඒමට කටයුතු කරන බව ය. මෙය අවශ්‍යතාවක් වුවත් එම ඉලක්කය වෙත ළඟා වීමේ දී කාරණා දෙකක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වේ. පළමුවැන්න තනි පුද්ගල බදු සහ ව්‍යාපාර බදු අය කිරීම් ක්‍රමවත් කිරීම ය. ඊට අදාළව අප යම් ප්‍රගතියක් අත් කරගෙන ඇතත් තව දුර යා යුතු ය. පුද්ගල බදුවලට ඉහළ දායකත්වයක් සපයන්නෝ විධිමත් රැකියාවල නිරත වන්නෝ වෙති. අවිධිමත් අංශයේ රැකියාවල නියුතු අය ඔවුන් ලබන ආදායම් මත ස්වේච්ඡාවෙන් බදු ගෙවීමට ඉදිරිපත් වන සංස්කෘතියක් තවම බිහි වී නැත. පරමාදර්ශීය වශයෙන් සිදු විය යුත්තේ රටේ සියලු‍ පුරවැසියන්ගේ ආදායම් සහ වත්කම් පිළිබඳ තොරතුරු නූතන තාක්ෂණය භාවිත කරමින් එක් තැනකට ගෙන ඒම ය. මිලියන 22 ක ජනගහනයක් සහිත රටකට එය අසීරු දෙයක් නොවේ.

ව්‍යාපාරික බදු අය කිරීම ද ක්‍රමවත් නැත. ව්‍යාපාරිකයන් කරන වියදම් සම්බන්ධයෙන් ද ලංකාවේ සීමාවක් නොමැත. ඉන්දියානු රජයට නොදන්වා ඉන්දියානු රුපියල් 50,000 ඉක්මවා වියදම් කළ නොහැකි ය. එහෙත් ලංකාවේ රජයට නොදන්වා රුපියල් මිලියන ගණනින් වුව වියදම් කළ හැකි ය. මේ හේතුවෙන් ලංකාවේ සෘජු බදු ගෙවීම පැහැර හැරීම විශාල වශයෙන් සිදු වේ. මෙරටේ වක්‍ර බදු අනුපාතය ඉතා ඉහළ අගයක පවතී. ඊට සියයට 18 වැට් බද්ද, සුරා බදු සහ ආයාත බදු ගණනාවක් අයත් ය. වියට්නාමය ඔවුන්ගේ වැට් බදු අනුපාතය සියයට 10 සිට 8 දක්වා මෑතකදී අඩු කළේ ය. ව්‍යාපාර පුළුල් වීමටත් ඉල්ලු‍ම අඩු වීමටත් වක්‍ර බදු පහත හෙළීම අවශ්‍යය යන පදනමින් ඔවුහු ඒ තීරණය ක්‍රියාත්මක කළහ. එසේ වුවත් ලංකාව ගමන් කරන්නේ එහි අනිත් පැත්තටය. මෙම ප්‍රශ්නවලට ආමන්ත්‍රණය නොකර සෘජු-වක්‍ර බදු අනුපාත ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට නොහැකි ය.

ශ්‍රී ලංකාවට සම්පූර්ණ කිරීම අපහසු එක් අයි.එම්.එෆ්. නිර්දේශයක් නම් මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ නංවා ගැනීම ය. මාස ගණනාවක් තිස්සේ සංචිත පවතින්නේ ඩොලර් බිලියන 6 අගයකය. එසේම විදේශ විනිමය ඉපැයීම්වලදී තවමත් අප කතා කරන්නේ සංචාරක ආදායම් සහ විදේශ ප්‍රේෂණ පිළිබඳ පමණි. අප අවධානය යොමු කළ යුත්තේ අපනයන ප්‍රවර්ධනය සඳහා ය. ඒ සඳහා සාධනීය සූදානමක් ඇති බව නොපෙනේ. අපනයන ප්‍රවර්ධනය අරබයා අයවැයෙන් නොයෙක් දේවල් යෝජනා කර ඇතත් ඊට අදාළව ප්‍රතිසංස්කරණ ඉදිරියේ දී ඇති කළ යුතු ය.

වසර 2025 අවසානයේ දී ආර්ථික අර්බුදයට පෙර පැවැති තත්වයට රටේ ආර්ථිකය ගෙන යා හැකි බවට ජනාධිපතිවරයා කී කතාව යථාර්ථයක් වීමට නම් සාධක කිහිපයක් සම්පූර්ණ විය යුතු ය. එකක් ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 සීමාවට පැමිණිය යුතු ය. කොවිඩ්‍ වසංගතයට පෙර මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 සීමාව ඉක්මවා තිබිණ. එහෙත් දරිද්‍රතාව වේගවත් වී ඇති බව අමතක නොකළ යුතු ය. කර ඇති නොයෙක් අධ්‍යයන හා සමීක්ෂණවලින් හෙළි වන තොරතුරුවලට අනුව මිලියන 6 ත් 8 ත් අතර පිරිසක් දුප්පතුන් හැටියට සැලකිය හැකි ය. එය රටේ සමස්ත ජනගහනයෙන් තුනෙන් එකකි. මධ්‍යම පාන්තිකයන් විශාල පිරිසක් දරිද්‍රතා රේඛාවට පහළින් සිටින බව බොහෝ අයට ඇස ගැටෙන්නේ නැත. එහෙත් යථාර්ථය එයයි. ඔවුන් එයින් එළියට ගැනීම සඳහා අර්බුදයට පෙර පැවැති ආර්ථික තත්වය ළඟා කර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ අරබයා ඔවුන් සිටි ජීවන තත්වය වෙත ළඟා වීමට ද සිදු වේ. ඒ සඳහා තවත් වසර ගණනාවක් ගත වන වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. දරිද්‍රතාව දුරු කිරීමට නම් නව රැකියා අවස්ථා බිහිවීමත් ආදායම් ඉහළ යෑමත් සිදු විය යුතු ය. ඒවා සිදු වීමට නම් ආර්ථික වර්ධනය, අපනයන ප්‍රවර්ධනය සහ ආයෝජන ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය වේ.

දැන් තිබෙන්නේ සෑහෙන දුරකට කළමනාකරණය කරගෙන ඇති අයවැය හිඟයකි. අයවැය හිඟය බිංදුවට ගෙන ඒම යනු නිරර්ථක කතාවක් නොවේ. දියුණු වන රටක් හැටියට කළමනාකරණය කරගත හැකි අයවැය හිඟයක් පැවැතීම ගැන විරුද්ධ විය නොහැකි ය. එමෙන් ම දරාගත නොහැකි අයවැය හිඟයක් දැන් නොමැත. සියයට 4 ත් 5 ත් අතර අයවැය හිඟයක් පැවතීම සාමාන්‍ය තත්වයක් බව මගේ අදහස යි. ප්‍රාග්ධන වියදම් ද ඇතුළුව වියදම් පාලනය කිරීමෙන් අයවැය හිඟයට අදාළ ප්‍රගතිය අත්කර ගෙන තිබේ. එපරිදි අත් කරගත් ස්ථායීතාව ඉදිරියට පවත්වා ගැනීම මත අයවැය හිඟය කළමනාකරණය කිරීම තීරණය වනු ඇත. ආර්ථික වර්ධනයට සාපේක්ෂව අයවැය හිඟය තවත් අඩු විය හැකි අතර අප අපේක්ෂා කළ යුත්තේ ද එයයි. රාජ්‍ය ආදායම් ඉහළ යෑමෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික ශේෂය ධන වී ඇති අතර එයත් යහපත් වර්ධනයකි. වැදගත් වන්නේ මේ වර්ධන අඛණ්ඩව පවත්වාගෙන යෑම ය.

මැදි කාලීන සියයට 7 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව ද අයවැය කතාවේ දී ප්‍රකාශ විය. එය හොඳ අපේක්ෂාවක් වුව ද ඒ සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. එවැනි වැඩසටහනකට අවැසි ඇතැම් යෝජනා අයවැයෙහි අන්තර්ගත ය. ආයෝජන ආකර්ෂණය, වෙළෙඳාම ඉහළ නංවා ගැනීම, නිදහස් වෙළෙඳ කලාප, ඩිජිටල්කරණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය ආදී අංශවලට අදාළ යෝජනා ඊට උදාහරණ වේ. ජාත්‍යන්තර වෙළෙඳාමට ඇති බාධක ඉවත් කිරීම නව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් වීම ආදී තවත් බොහෝ දේවල් ඇතුළත් කරගනිමින් තව දුර යා යුතු ය.

මේ සියලු‍ තත්ව විචාරයට ලක්කිරීමේ දී කිව හැක්කේ සුබසාධනයට පමණක් සීමා නොවී ආර්ථික සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කළ මිශ්‍ර අයවැයක් වශයෙන් 2026 අයවැය ලේඛනය හැඳින්විය හැකි බව ය.

(*** සාකච්ඡා සටහන  උපුල් වික්‍රමසිංහ)



අදහස් (0)

මාලිමා අයවැය මැද මාවතේද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 105 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 946 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2552 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site