IMG-LOGO

මාලිනී ෆොන්සේකා ජීවන ගමනේ අමරණීය මතක

දැන් අවුරුදු හැත්තෑවත් පැනලා ?

ඔව්.

ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම බැලු‍වොත් දශක හත පුරාම කලා නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා. මේ දශක හත දිහා ආපහු හැරිල බලද්දී මොකද්ද හිතෙන්නෙ ජීවිතේ ගැන?

සාමාන්‍ය මනුෂ්‍යයො එක්ක කල්පනා  ‌කරද්දී, මට දැනෙනවා මම මේ රටේ සුවිශේෂී වෙනස්ම පුද්ගලයෙක් හැටියට මේ ගමන ඇවිල්ල තියෙනවා කියන එක. ඒ මුල් කාලෙ මට දැනුණෙ නැහැ, මම විශේෂ කෙනෙක් කියන එක. ඒ ගැන ලොකු හැඟීමක් තිබුණෙ නැහැ. ඒත් දැන් හිතෙනවා මම සුවිශේෂයි කියලා. හිතට ලොකු තෘප්තියක් දැනෙනවා. සතුටක් දැනෙනවා.

 

ඒ වගේ සුවිශේෂී පුද්ගලයෙක් බවට පත්වීම සඳහා පාදක වෙන්නෙ වාසනා ගුණයම විතරක්ම නෙවෙයි. සමහරවිට බොහෝ කැපවීම්, බොහෝ වෙහෙසීම් කරන්න සිද්ද වෙනවා.

ඔව්... ඇත්තටම මුල් කාලයෙදී මා ඉන්න, මා වගකිව යුතු මේ ක්ෂේත්‍රය ගැන ලොකු හිතේ බයක් චකිතයක්, ලොකු හැඟීමක් තිබුණෙ නැහැ. වගකිව යුතු වටින දෙයක් කියන හැඟීමක් තිබුණෙ නැහැ. බොහොම සරල බවක්, හිතේ සැහැල්ලු‍වක් තිබුණෙ. ඔයා කිව්වට වාසනා ගුණය මගෙ හිතේ හැඟීමක් තියෙනවා බුද්ධාගමේ ව්දියට පෙර කළකර්මය කියල. මට පස්සෙ හිතුණා ලේ උරුමයකුත් තියෙනවා කියලා.

මගේ සීයා නාඩගම් කලාවේ තිර කතා රචකයෙක්. ඒ වගේම එයා පොතේ ගුරාටත් රඟපාලා තියෙනවා. කොණ්ඩෙ බැඳපු කෙනෙක්. හැබැයි පස්සෙ තමයි ටික ටික දැනුණෙ මේ ක්ෂේත්‍රයට ඇවිල්ල වැඩ කරද්දී, කර්මාන්තය ගැන තේරුම් යද්දී, අනිත් අය ගැන තේරුම් ගනිද්දී දැනුණා ලොකු වගකීමක් තියෙනවා කියලා. දුක් කරදර වින්දා තමයි.

හැබැයි ඒක දුකක්, කරදරයක් කියල කොයි වෙලාවකවත් මගෙ හිතට දැනුණෙ නැහැ.

අදටත් දැනෙන්නෙ නැහැ. අදටත් මං හරී සතුටින් මගේ ක්ෂේත්‍රය ගැන හරි ක්ෂේත්‍රයේ කටයුත්තකදී හරි ඉන්නෙ. ඒ ගැන ධනාත්මක විදියට හිතන්න පුරුදු වෙලා ඉන්නෙ. මේ මොන කරදරයක්ද, මහන්සි වෙන්න බෑ මෙච්චර කියල කොයිවෙලාවකවත් මගෙ හිතට දැනිල නැහැ. මා ඒ ගැන සතුටු වෙනවා. එහෙම හිතුණොත් සමහරවිට මම මේ ගමන නවතින්නත් පුළුවන්. එහෙම හිතිල නෑ කවදාවත්.

 

දැන් ඔබ කිව්ව වගේම, පුංචි කාලෙ සීයගෙ පවුලෙ පසුබිමේ යම් කලා පසුබිමක් තිබීම ඔබට යම්කිසි උත්තේජකයක් වුණාද මේ පැත්තට ඔලු‍ව හැරෙන්න ?

නෑ. මෙහෙමයි. උත්තේජකයක් වුණේ නෑ. මොකද මට ඒ ගැන ලොකු දැනුමක් තිබුණෙ නැහැ. පස්සෙ කාලෙක එයාගෙ තාත්ත මේ විදියයි කියලා අම්මා කිව්වට, අපිට කවදාවත් ඒ නාඩගම් බලන්න දුන්නෙ නැහැ. අපිව ගෙයින් එළියටවත් බැස්සුවෙ නැහැ. එච්චර තදබල එක්කෙනෙක් සීයා. අල්ලපු වත්තෙ තාත්තා නාඩගමක් නටවද්ද‌ී, ආච්චිත් එක්ක අම්මයි, නංගියි හොරෙන් ගිහින් බලල අහුවෙලා. බූවලු‍ කැඩෙනකල් ගහලා තියෙනවා.

හරීම තදබල පරිසරයක හැදුණෙ. මං ලොකුම මිණිබිරී අපේ සීයගෙ. සීයා කීයටවත් කැමති වුණේ නෑ මාව මේවට සම්බන්ධ වෙනවට. අම්ම මාව යැව්ව කියලා තරහා වෙලත් හිටියා. බැන්නා අපේ අම්මව ගෙන්නල. මමත් කතා නොකර මූණ බලන් නැතුව උන්නා. මොකද මම හරි ආදරෙයි සීයට. සීයත් මට හරි ආදරෙයි.

අපේ ඉස්කෝලෙ ඩාන්සින් පන්ති වෙනම පීරියඩ් එකක් තිබුණා. එස්. මලල්ගොඩ කියල ගුරුතුමෙක් තමයි ආවෙ. එයා නැටුම්වලට මාව යොමු කළා. මම තමයි, නැටුම් කණ්ඩායමේ ප්‍රධානියා. එහෙම ඉන්නකොට පොඩි හැඟීමක් ආවා.

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් තමයි අපේ ඉස්කෝලෙ හැදුණෙ. දෙකම තිබුණෙ එක ඉඩමක. ඒ විශ්වවිද්‍යාලෙ හිටියේ හාමුදුරු ගොල්ලොත් පිරිමි ළමයිනුත් විතරයි. ගැහැනු අය නැහැ. ඒකෙ කලා සංගමයෙ පළවෙනි නාට්‍යය උදුම්බරා. ඒකෙ ගැහැනු චරිතවලට සහ නැටුම්වලට ගැහැනු ළමයි ටිකක් එවන්න කියලා අපේ මලල්ගොඩ සර්ට කියලා තිබුණා. ඒ එක්දාස් නවසිය හැට තුනේ. අපි ගිහින් නැටුම් පුරුදු වෙද්දි, මගෙන් ඇහුවා ඔයා කැමති ද මේකෙ ප්‍රධාන චරිතය කරන්න කියල.

මාව නිකං ගැස්සිල හිටියා. මං කිව්වා අම්මගෙන් අහන්න ඕන කියල. එතකොට කිව්වා නෑ නෑ අපි සීලවතී අක්කගෙන් අහල තියෙන්නෙ කිව්වා. මොකද අම්මයි, ඒගොල්ලයි එක ගමේ. පෑලියගොඩ. එයා ගිහිල්ල කලින් අහලා. මොකද දන්නවනෙ සීයගෙ පරිසරේ. අම්ම කියල කැමතියි ඒ වුණාට තාත්තා මොනව කියයි ද දන්නෙ නෑ කියල. අපේ තාත්තත් කැමති වෙලා නෑ. මොකද ඉගෙනගන්න කාලෙ හින්දා. ඒවට යවන්න එපා අපේ පරම්පරාවෙ කිසි කෙනෙක් ඕව කරල නෑ කියල කතා වෙලා. දැන් මගෙ අයියල දෙන්න විශේෂයෙන් ලොකු අයිය ආසයි මේ පැත්තට. එයා ඉඳල හිටල ෆිල්ම්ස් ගැන කියනවා. ෂූටිං බලන්න ගියා කියනවා. පින්තූර එකතු කරනවා. පස්සෙ කොහොම හරි කරලා මාව මේකට තෝර ගත්තා. ඉතින් ඒ පසුබිම තමයි මාව මේවට එන්න යොමු කළේ.

 

හරී, ඉතින් උදුම්බරාගෙන් පස්සෙ?

තවත් නාට්‍යයක රඟපෑවා. නොරත රත. හැබැයි ඒ නාට්‍යයත් ඉස්කෝලෙටයි, විශ්වවිද්‍යාලයටයි සම්බන්ධයි. එස්. කරුණාරත්න කියන නාට්‍යකරුවා දන්න අඳුනන අය හිටියා අපේ පැත්තෙ. කරූ ඒ දවස්වල ගුත්තිල කරනවා. ඒකෙ ගුත්තිල වීණා වයද්දී සුරංගනාවියො නටනවනෙ. ඒ ගොල්ලන්ට ළමයි ටිකක් හොයන කොට මම ගැනත් කවුද කියල මටත් එන්න කියල කිව්වා. මුලින්ම ප්‍රසිද්ධ වේදිකාව කියල ඒක තමයි කියන්න පුළුවන් විශ්වවිද්‍යාලයට අමතරව. ඒකෙ එක සුරංගනාවක් හැටියට නැටුවා. ඊට පස්සෙ නාට්‍යවලට එක එක්කෙනා කතා කළා.

 

වේදිකා නිළියක් හැටියට නමක් දිනාගන්නවා ඒ කාලේ ?

හැට පහේ අකල් වැස්ස නාට්‍යයෙන් මා හොඳම නිළිය හැටියට තේරෙනවා. ඒක දයා අක්කාගෙ (දයා ද අල්විස්) කෙටිකතාවක් ඇසුරෙන් ආලෝක අයියා (සුමන ආලෝක බණ්ඩාර) හදපු නාට්‍යයක්. මේ වෙද්දී හුඟක් අය මාව ටික ටික දන්නවා.

ලේක්හවුස් එකේ එඩ්මන්ඩ් පෙරේරා කියල හිටියා. එයාල ෆිට්ස්වලට සම්බන්ධයි. එයා අම්මට ඇවිත් කතා කරල මට ස්විප් ටිකට් එකේ කැරැක්ටර් එකකට එන්න කිව්වා. මං එතකොට ගොඩක් පොඩියි. මට එහෙම ආස හිතුණෙ නැහැ. ඒත් පුංචි බබා කරන්න අඬගහන කොට තිස්ස වීරසූරීය ගැන හෙම දැනුමක් තිබුණා. ජෝ අබේවික්‍රම ගැන එහෙම දැනුවත් වෙලා තිබුණා. ඒ කාලෙ මම විශ්වවිද්‍යාලයකට ගියා වගේ දැනුමක් ලැබුවා. ඔය අතර මම හරියට කියවනවා.  කේමදාස සර්ගෙ නාට්‍යයකටත් කතා කළා. නාට්‍ය කණ්ඩායම්වල අය හරියට සාකච්ඡා කරනවනේ. සයිමන් නවගත්තේගම, සුනන්ද මහේන්ද්‍ර, හෙන්රි ජයසේන වගේ අයගෙන් මං දැනුවත් වුණා.

 

ඔබ වේදිකාවේ යම්කිසි නමක් කීර්තියක් දිනාගෙන සිටින අතරම චිත්‍රපටවලටත් සම්බන්ධ වෙනවා. ඔබ කිව්වා වගේ ගෙදරත් විශාල පවුලක්. ඒක නිසා යම් යම් ආර්ථික අපහසුකම් මැද්දෙ තමයි ජීවිතය ගත කරන්නේ. ඒත් ඔබ නාට්‍ය දෙක තුනක් කරලා චිත්‍රපටයකටත් සම්බන්ධ වුණාම අතට යම් කිසි මුදලක් ලැබෙනවා. ඒ විදියටගේ ඇතුලේ ඔබේ ආර්ථික ආධිපත්‍යය පටන් ගන්නෙ කොහොමද?

දැන් ළමයින්ට නම් ඉතිං ඉස්කෝලෙ යන්න කීයක් හරි අතට දෙනවානේ. මට එහෙම හම්බ වෙන්නෙත් නෑ. මොකද ඉස්කෝලෙ තියෙන්නෙ පයින් යන දුරනේ. සත පහක් ඉල්ලගන්නෙත් හරී අමාරුවෙන්. ඒ කාලේ සත පහ, සත දහය ඔය වගේ ගණන්නෙ හම්බ වෙන්නේ. හැබැයි තාත්තා පඩි අරගෙන ආපු දවසට මම හෙමීට කෝට් එකට බහිනවා.

ඒකෙන් සත පනහක් කොහොම හරි ගන්නවා. ඒක තාත්තා දන්න නිසා එයා සත පනහක්සාක්කුවේ තියලා තියනවා. මොකද තාත්තා දන්නවා මම හොරෙන් ගන්නවා කියලා. ඒක අරගත්තම ලොකු දෙයක් ඉතිං. අතට ලොකුම මුදලක් හම්බවෙච්ච අවස්ථාව විදියට මට මතක. මම වැඩිවිය පැමිණුන අවස්ථාවේ සීයා රුපියල් 550ක් දුන්නා. ඒ කාලේ ඉතිං ඒක ලොකු ගාණක්. ඒ හැම එකක්ම අපි දෙන්නෙ අම්මාට. මොකද අම්මා තමයි අපේ කේන්ද්‍රය වෙලා අපිට ශක්තිය දුන්නෙ. අම්මාට හුඟක් දේවල් ගැන පුදුම දැනීමක් තිබුණා.

මට මතකයි ඉස්සෙල්ලාම ෆිල්ම් එකකට එන්න කියලා ජෝ අයියලා ගෙදරට ඇවිල්ලා මට කතා කළා. විස්තර කතා කරලා දැන් ඔයාට කීයක්ද අපි ගෙවන්න ඕනෙ. කියලා ඇහුවම නෑ මම සල්ලිවලට නෙමෙයි රඟපාන්නෙ කිව්වා. එතකොට එතකොට එයාලා හිනාවෙලා කිව්වා හරි, හරි ඒකට කමක් නෑ. හැබැයි මීට පස්සෙ චිත්‍රපටවලට අඬගැහුවොත් ඔයාට කියන්න බැරිනම් අම්මට හරි කියන්නකෝ ගාණක් කියන්න කියලා කිව්වා. එහෙම කියලා රුපියල් 1250කුත් දුන්නා.

අපේ ගෙදර උදව්වට කියලා කවුරුවත් හිටියේ නෑ. අපිට හිටියේ ආච්චි කෙනෙක්. එයා අපේ අම්මාගෙත් ආච්චි. එයා අපිව බලා ගත්තා. අපේ අම්මයි තාත්තයි කවදාවත් ගෙදර තිබුණ අඩුපාඩු අපිට දැනෙන්න දුන්නෙ නෑ. අද සමහර දේවල් නැහැ කියලා දැනෙන කොට අම්මා කොහොමද මේවා කළේ කියලා හිතෙනවා. මට බාල කට්ටියට මේ තරම්වත් ප්‍රශ්න දැනුණේ නෑ. මොකද ඊට පස්සේ මගේ දායකත්වය ලැබෙනවානේ. සෑහෙන  ‌කාලයක් තාත්තාගේ කාර්යයෙන් භාගෙට භාගයක් මගේ අතින් සිදු වුණා. ඒක මම කළ යුතුව තිබුණ දෙයක්. මම අදටත් සමහර වෙලාවට ගෙදර අය ගැන, කන බොන ඒවා ගැන හිතනවා. ගෙදර යනකොට මොනවා හරි අරගෙන යන එකෙන් මම ලොකූ සතුටක් වින්දා.

 

සිනමාවේ හැත්තෑවේ දශකය පටන් ගන්නකොට ඒක මාලිනී යුගය බවට පත් වෙනවා. ඒ කියන්නේ සිනමාවෙ ප්‍රධාන නිළි භූමිකාව මාලිනී බවට පත් වෙනවා. අසූව දශකයේ දීත් ඒක ඉස්සරහට ගලාගෙන යනවා. පුංචි බබා චිත්‍රපටයෙන් එළියට ඇවිල්ලා ඊට පස්සෙ ලංකාවේ සිටින ජනප‍්‍රියම සහ වඩාත් ආකර්ෂණීයම නිළිය බවට ඔබ පත් වෙනවා. එකක් ඇරෙන්න එකක් චිත්‍රපටල ඔබට රඟපාන්න සිද්ධ වෙනවා. කලින් ගත කරපු ලේසි පහසු සරල ජීවිතයෙන් හැලහැප්පිලි වැඩි සංකීර්ණ ජීවිතයකට ප්‍රවිශ්ට වන්න සිදුවනවා. චිත්‍රපට පැත්තෙන් ගත්තම විවිධ චිත්‍රපටවල විවිධ භූමිකා නිරූපණය කරන්න සිදුවෙනවා. ඒකත් එක්කම නිළියක් හැටියටත් පන්නරය ලබනවා. මෙලෙස එක පාරටම ලැබුණ පිබිදීම ගැන මොකද හිතෙන්නෙ?

මගේ පළමුවැනි චිත්‍රපටය රීලීස් වෙන්න ඉස්සරවෙලා මට චිත්‍රපටි පහක් හම්බ වෙනවා. ඉතිං මට හිතුණා ඒකාලේ ලොකු අවශ්‍යතාවක් තිබිලා තියෙනවා කවුරුහරි අලු‍ත් මූණක් ක්‍ෂේත්‍රයට ඕනෙ වෙලා තිබුණා කියලා. සන්ධ්‍යා කුමාරි, ජීවරාණි, විජිත මල්ලිකා, පුණ්‍යා, අනුලා, සෝබනී, ක්ලැරීස් පවා හිටපු කාලේ. ඉතිං එක එක විදියේ චරිත මට ලැබුණා. ඒ නිසා මම හරියට කාර්ය බහුල වුණා. දවස ගානේ වැඩ. උදේ එකක වැඩ කළොත් හවස

තව එකක වැඩ. ඒ මොනවා වුණත් ආදර සම්බන්ධතා වගේ දේවල්වලටත් මට හරි ආසයි.

තව කෙනෙක් එක්ක ආදර සම්බන්ධතාවක් ඇති කරගන්න එකට මං හරි ප‍්‍රියයි.

ඉස්කෝලෙ යන කාලේ තිබුණ ආදර සම්බන්ධතා නම් වැඩිය දුර දිග ගියපු ඒවා නෙමෙයි. ඒත් මේවට ආවට පස්සේ මුණගැහෙන අයත් එක්ක ඒ වැනි හැඟීම් ඇති වුණා. එහෙම ඇති වුණ සම්බන්ධතාවලට ගෙවල්වලිනුත් ලොකු විරුද්ධත්වයක් තිබුණා. ඒ හිටියා අපේ පවුලට සමීප කෙනෙක්. එයා ගැන හිතක් පහළ වෙලා අන්තිමට එයත් මම ගැන හිතුවා. ඒ මම මේ ෆිල්ඩ් එකට එන  ‌කාලේ. ඊට කලින් මට නාට්‍යවල හිටපු කෙනෙක්ගෙන් ප්‍රොපෝසල් එකක් ආවා. ඒක වැඩිය දුරදිග ගියෙ නෑ. මොකද මට කසාද බඳින්න ඕනකමක් තිබුණේ නෑ. කසාද බඳින එක මට මහ කරදර වැඩක්. මම බඳින්න ආස නෑ කියලා ඒ අයියටත් කිව්වා. ඊට පස්සෙ තමයි අර රොමෑන්ටික් හැඟීමක් ඇවිල්ලා සින්දු කියනවා දැකලා ආස වෙලා පිට පෙනුමත් හරි ලස්සනයි නිසා ඒ සම්බන්ධය ඇති වුණා. අම්මා ඒකටත් විරුද්ධ වෙනකොට හොරෙන් ගිහිල්ලා කසාද බැන්දා. කසාද බැඳලා අවුරුදු දෙකහමාරක් තුනක් විතර ජීවත් වෙද්දී මට තේරුම් ගියා යා දෙක නොරත රත වගේ තමයි ගැලපීමක් නැහැ කියලා. එක පැත්තකින් මම හරියට බිසී වෙනවා. ඒත් එයාට රස්සාවක්වත් නැහැ. අවුරුදු තුනක් කිට්ටු වෙද්දී විවාහය හොඳටම කඩාකප්පල් වෙලා අයින් වෙන සයිස් එකේ හිටියේ. ඒ ඉන්න අතරතුර තමයි ජීවිතේ පළමු වැනි වතාවට මට විජේව මුණ ගැහෙන්නෙ. එතැනදී තමයි මනුෂ්‍ය සම්බන්ධතාවක් කියන්නේ මොකක්ද කියලා මට තේරුම් ගියේ. ඔහුව මුණ ගැසුණට පස්සෙ මට වෙන ලෝකයක් තිබුණේ නැති තරම්. ඒ වගේම අපි දෙන්නම එකම ක්ෂේත්‍රයේ වැඩ කළා.

ඒ අතරෙ ඉතිං ඉරිසියාව නිසා ඇති වෙන දේවල් තියෙනවානේ. ඇයි අරයා එක්ක කතා කළේ? අරයා දිහා බැලු‍වේ ඇයි? වගේ පැටළිලි අනන්ත අප්‍රමාණව සිදුවෙලා තියෙනවා. ඊට පස්සේ අපි කසාද බඳින්න ඕනෙ කියලා ලෑස්ති වුණා. එක වතාවක් ඒක මග ඇරුණා. දෙවැනි වතාවෙත් මග ඇරුණා. තුන්වෙනි වතාවේ කසාද බඳින්න යනකොට හෙට උදේ කසාද බඳිනවා නම් අද රෑ එයාගේ අයියා නැති වුණා. ඒකත් එතැනම නතර වුණා. මට තේරුණා මේක හරියන දෙයක් නෙමෙයි කියලා. ඔහු ජීවතුන් අතර නැති නිසා ඔහුගේ චරිතය ගැන දැන් මොනවත් කියන්න බැහැ. නමුත් පෞද්ගලිකවම හිතුවම ආදරය කරන කෙනෙක් හැටියට ඔහු මට ගැලපෙන්නෙ නැහැ. ඔහු ඒ පැත්ත ගැන හිතන්නේ මම හිතන පතන විදියට නෙමෙයි. ඒ නිසා මම තීරණය කළා අයින් වෙනවා කියලා. අයින් වෙලා තනියම ඉන්නවා කියලා හිතුවා. ඊට පස්සේ දුරස් වෙලා වෙනස්ම විදියට ඒ පැත්ත ගලා ගෙන ගියා. මම ජීවිතය එපාවෙන තරමට කම්පනය වෙලා කළකිරීමෙන් හිටියේ. දෙපාරක් විතර ජීවිතය නැති කරගන්නත් හැදුවා.

එත් හැම තිස්සෙම මට වෙනමම මාව බේරගන්න කෙනෙක් හිටියා. ඒ තමයි මගේ රැකියාව. ඒක මට ලොකු ශක්තියක් වුණා. මොකද අර දේවල් ගැන හිතලා මානසිකව කඩන් වැටිලා ඉන්න මට චාන්ස් එකක් දුන්නෙම නෑ. මම කොච්චර ඇඬුවත් මෙතන ඇවිල්ලා ලස්සනට හිනාවෙලා ලව් සීන් කරලා රඟපාන්න ඕනෙ. ඒකට අර හැමදේම අමතක කරන්න ඕනෙ. මම මගේ ඇතුළෙන්ම දෙන්නෙක් හොයා ගත්තා.

එහෙත් මම මට වැටෙන්න දුන්නෙ නැහැ. මොකද මම පරාජය භාරගන්න කැමැති වුණේ නැහැ. මගේ එහෙම පොඩි අහංකාරකමකුත් තියෙනවා. සමහර විට ඒක ආත්මාර්ථකමක් වෙන්නත් පුළුවන්. ඒත් මට මගේ හිත හදා නොගෙන බැරි වුණා. මොකද මම හිටපු ක්ෂේත්‍රය හින්දා. මම හුඟක් කාර්ය බහුල වෙලා හිටියේ.

 

ඔය ඔක්කොම ජීවිත හැලහැප්පීම් මැද්දෙන් ඔබ සිනමා නිළියක් හැටියට භූමිකාව අඛණ්ඩව ඉස්සරහට ගෙනියනවා. ඒ ගෙනියනවා විතරක් නෙමෙයි ඊට පසු ඔබ අධ්‍යක්ෂණයටත් යොමු වෙනවා. එවැනි අභියෝගාත්මක කඩඉම් නිර්මාණාත්මක ජීවිතයේ දී වගේම පෞද්ගලික ජීවිතයේදීත් ඔබ භාරගන්නවා. කොහොමද ඒ ශක්තිය ඇතිවුණේ?

ඇත්තටම සමහර වෙලාවට මම ටිකක් කම්මැළියි. හැබැයි හිටපු ගමන් මොකක් හරි ආසාවක් ඇති වුණොත් මට ඒක කරන්නම ඕනෙ. ඉස්සර ඉඳලම ලෙනින් මොරායස්, මිස්ටර් පීරිස්, යසපාලිත වගේ කෙනෙක් මාව අධ්‍යක්ෂණය කරන කොට එයාලා අනිත් අයව හසුරවන්නෙ කොහොමද කියලා මම බලාගෙන ඉන්නවා. එහෙම මට පොඩි ආසාවක් ආවා ඩිරෙක්ටර්කම් කරන්න ඕනෙ කියලා. තව කෙනෙක්ගේ ඇක්ටින් කොහොමද ගන්නෙ කියන එක මට කරන්න පුළුවන් කියලා මම හිතුවා.

එහෙම මම ස්ක්‍රිප්ට් එකක් හොය හොය හිටියා. ඒ අතරේ හදිස්සියෙම වගේ සසර චේතනා ස්ක්‍රිප්ට් එක මගේ ඔළුවට ආවා. මං කොහොමටත් වීරත්වය කියන එකට ආසයි.

 

මාලිනී 60 දශකයේ සිනමාවට සම්බන්ධ වෙලා අද වෙනකම්ම ක්‍ෂේත‍්‍රයේ ඉන්නවා. ඔබ අධ්‍යක්ෂණයට සම්බන්ධ වුණා. ඒ වගේම ඔබ නිෂ්පාදනයට සම්බන්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, ලංකාවට  ‌ටෙලිවිෂන් එන කොට ඔයා බයක් හැකක් නැතුව ටෙලිෂන්වලට යොමුවෙනවා ඇයි ඒ ?

ඔව්... මම හැම තිස්සෙම දකින්නෙ තිරයක් කියන්නෙ ඒක විශාල ද, පුංචි ද කියන එක නෙමෙයි. ඒත් එතැනදී සම්බන්ධතාව තියෙන්නෙ ප්‍රේක්‍ෂකයා, රංගනය සහ නිර්මාණකරුවා අතර. එතකොට මොන ක්‍ෂේත්‍රයක රඟපෑවත්, රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් හැටියට සාර්ථක රඟපෑමක් තිබුණෙ නැත්නම් මොන විදියකටවත් වැඩක් නෑ. ඒ නිසා මට නිකන් ඉවෙන් වගේ හිතුණ ටෙලිවිෂන් අපේ ඉස්සරහට එන අලු‍ත්ම මග කියන එක. ඉතින් එහෙම හිතලා මම නිරුපමාලා ටෙලි නාට්‍යය නිර්මාණය කළා. මම තමයි ලංකාවෙ පළමුවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරීය. අදට වුණත්, මේ තියෙන මාධ්‍යයට වඩා වෙනස් විදියේ මාධ්‍යයක් තව අනාගතයේ හම්බ වුණොත් මම අවුරුදු 80, 90 ක් ජීවත් වුණත් හරි මම ඒක පිළිගන්නවා. ඒකෙ හොඳ, නරක දෙක තියෙන්න පුළු‍වන්. ඒත් මම හිතනව ඒක තමයි ලෝකය යන විදිය කියලා.

 

හැබැයි ඔබ වරක් මාත් එක්ක කියල තියෙනවා ටෙලිවිෂන් කැමරාවක් ඉස්සරහ රඟපාන්න කිව්වම නිකන් බැරී බැරී ගතියක් දැනුණා කියලා?

මම එන කාලෙ තිබුණු සිනමා කැමරා හරි සද්දයිනෙ. ඔන් කරාම ර්ර්... ගාල සද්දෙ එනවනෙ. ඒත් ටෙලිවිෂන් කැමරාව සද්ද නෑ. ඉතින් එහෙම තැන්වල දී මුලින් මුලින් මම අපහසුතාවන්ට පත් වුණා. කැමරාවේ සද්දෙ නැති වුණාම කිසිම වැඩක් නැහැ වගේ.

අනික අපි පුරුදු වෙලා හිටියෙ ඩබින්වලට. පස්සෙ දෙබස් කවද්දී, කැරැක්ටර් එක තව තව වැඩි දියුණු කරන්න අපි කටහඬ යොදා ගත්තා. ටෙලිෂන්වලදී එහෙම නෑ. අපි හිතමු කෑ ගහලා අඬන්න තියෙන සීන් එකක් කියලා. ලොකු සෙනඟ පිරිල ඉන්න තැනක කෑ ගහලා අඬන්න වුණාම පොඩි චකිතයක් තියෙනවනෙ. සිනමාවෙදී අපි කරන්නෙ මූණෙ තියෙන ඇක්ෂන් එක පෙන්නලා, සාමාන්‍ය විදියට එහෙන් මෙහෙන් අඬලා ඩබ් කරන වෙලාවට නියම ඇඬිල්ල කරලා චරිතය සාර්ථක කරගන්න එක. ඒකටයි අපි පුරුදු වෙලා හිටියෙ. අනික ඩබින් කරද්දිත් මම මගේ ඉස්සරහ කාටවත් ඉන්න දෙන්නෙ නෑ. එහෙම වුණොත් මට ඩිස්ටර්බ් වෙනවා.

ඔන්න ඔය නිසා තමයි ටෙලිවිෂන් මට ටිකක් අපහසු වුණේ. කැමරාවෙ සද්දෙ නෑ. ඩබ් කරන්න නෑ. දැන් අපිට පුරුදු ඩිරෙක්ටර් කැමරා එක ළඟ හිටගෙන ඉන්න එකනේ.

මොනිටර් එක මතක නෑනෙ. ඉතින් මම එතන හිටගෙන බලන් ඉන්නවා. පස්සෙ මතක් වුණා අර මොනිටර් එකෙන්නෙ බලන්නෙ කියලා. පස්සෙ තමයි මොනිටර් එකෙන් බලන්න පුරුදු වුණේ. ඉතින් ඒ දෙකේ වෙනස ඉගෙන ගත්ත හරි සතුටින්.

 

දැන් අපි ලාංකේය සිනමාව ගත්තොත්, ඒ ලාංකේය සිනමාවට චරිතාංග නිළියක් හැටියට ඔබ කරපු සේවය ඉතා විශිෂ්ට, උත්කෘෂ්ට සේවයක්. එතකොට මම හිතන්නේ 2010 විතර සී.එන්.එන්. ආයතනය ආසියාවේ හොඳම රංගවේදීන් 25 දෙනා අතරට ඔබවත් ඔසවා තබනව. එය විශාල කීර්තියක්. ඒ වගේම ජාත්‍යන්තර සම්මාන ගණනාවකුත්, දේශීයසම්මාන ගණනාවකුත් ඔබ ලබා ගන්නවා, ඔබ කරපු විවිධ චරිත නිසා. දැන් මේ රඟපාපු චරිත, නැත්නම් මේ භූමිකා දිහා ආපහු හැරී බලද්දි විවිධ ආකාරයේ භූමිකා. වඩාම කැමති චරිත තියෙනවද?

මම ඇත්තටම හැම චරිතයක්ම හරි සතුටෙන් බාර අරගෙන කරා. කවදාවත් මේ චරිතෙ අයියෝ මේක මහ කරදරයක්. එහෙම මම හිතුවෙ නැහැ.

 

ඒ කියන්නෙ කවදාවත් අකමැති චරිත තිබුණේ නැද්ද?

කවදාවත් මම එහෙම වුණේ නැහැ. හම්බ වුණ හැම චරිතෙකටම මම හරි කැමතියි. එහෙම පොඩි හරී ඉවක් තිබුණ නම් මේක මට හරී නෑ, මට දුක් වෙන්න වෙයි කියල මම බාර ගත්තෙ නෑ. ඒ මම හරියට රීෆියුස් කරපු චරිත ගොඩක් තිබුණ. ෆිල්ම්ස් තිබුණ. ඉතින් ඒ ගොඩේ හැබැයි මුල්ම කාලෙ ඉදල ගත්තොත්, මුලින්ම පුංචි බබාගෙ චරිතෙ ගත්තොත් සාමාන්‍ය, හරී අහිංසක චරිතයක්. ඊට පස්සෙ මට ලැබුණෙ ඇත්තටම අක්කර පහ වගෙ. එතකොට නිධානය. අනික දහසක් සිතුවිලි.... මට ඒ ෆිල්ම් එකේ වෙනමම විදියක්. නිහාල් අයිය කැමරමන්. ජී.ඩී.එල් අයියා ඩිරෙක්ට් කරන්නෙ වෙනස්ම විදියකට. හෙන්රි අයියා, දෙනවක ආන්ටි වගේ ස්ටේජ් එකේ අය හිටියෙ. ඉතින් ඒ ස්ටයිල් එක වෙනස්. පොඩි කැරක්ටර්ස් මම ආසාවෙන් කළා. බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්. සොල්දාදු උන්නැහේ. මේ ගමන ඉතින් අන්තිමට ආකාස කුසුම් දක්වා එනවා.

 

දැන් මම ඔබව වෙනම පැත්තකට යොමු කරන්න කැමතියි. ඔබ දේශපාලනයට සම්බන්ධ වෙනවා. ඇයි ඒ?

මනුස්සයන්ගෙ, විශේෂයෙන්ම කාන්තාවන්ගෙ ප්‍රශ්න ගැන මට ලොකු උනන්දුවක් තිබුණා. මම පෞද්ගලික මට්ටමෙන් ඒ අයට කරලා තියෙන උදව් උපකාර අනන්තයි. දේශපාලනයට ගියොත් මේ වැඩ තවත් ලොකුවට කරන්න පුළුවන් නේද කියලා සිතිවිල්ලක් මට තිබුණා. හැබැයි දේශපාලනයේ ඇතුළාන්තය මොකද්ද කියන එක මට දැනීමක් තිබ්බේ නැහැ. හැඟීමක් තිබ්බේ නැහැ. විශේෂ දේශපාලන දැනීමක් තිබුණේ නැහැ. මම ෆිල්ම්ස්වලට ඇවිත් පොපියුලර් වෙලා ඉන්න අලු‍ත. ආර්. ප්‍රේමදාස මහතාට සහය වෙන්න එන්න කියලා ආරාධනාවක් ලැබුණා. ඒ කාලේ කතාවක් කරගන්නවත් මට තේරෙන්නේ නෑ. මට මතකයි ප්‍රේමදාස මහත්තයා මට කිව්වා මාලනී කතාවක් පවත්වන්න බැරි නම් කවියක් හරි කියන්න කියලා. කාලයක් ගිහින් යුද්ධය ඉවර වුණාට පස්සේ මට ලොකු හැඟීමක් ඇතිවුණා යුද්ධය ඉවර කරපු එක ලොකු දෙයක් කියලා. ඊට පස්සේ මට හිතුණා දේශපාලනයට සම්බන්ධ වෙන්න ඕන කියලා. මහින්ද මහත්තයා මට කතා කළා. මම කිව්වා මට ඡන්දේ නම් ඉල්ලන්න නම් බෑ කියලා. ආ එහෙම ද බලමුකෝ කියලා දවස් දෙකකින් මට කෝල් එකක් ආවා. ඩලස් මහත්තයාගෙන්. ඩේට් ඔෆ් බර්න්, අයි ඩී නම්බර්ස් ඇහුව. මම ඒ ඇයි කියලා ලොකුවට තේරුණේ නැහැ. ඒ අය මාව ජාතික ලැයිස්තුවට දාලා තිබුණා. පස්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමකුත් ලැබුණා. ඉතින් ඒ අවුරුදු පහ හොඳයි. මම කැමතියි ඒ කාලයට. මම ඒ හිටපු ටිකට ලොකු දෙයක් ඉගෙන ගත්තා.

 

ක්‍රියාකාරී දේශපාලනයේ සිටි වසර පහ ගැන ඔබට දුකක් නෑ?

නෑ. මගේ ප්‍රේක්ෂකයෝ හුඟක් අය කැමති වුණේ නැහැ යනවට. මට නිල් පාට ප්‍රේක්ෂකයොත් ඉන්නවා. කොළ පාට ප්‍රේක්ෂකයොත් ඉන්නවා. කහ පාට ප්‍රේක්ෂකයොත් ඉන්නවා. රතු පාට ප්‍රේක්ෂකයොත් ඉන්නවා. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරයේ පොඩි පළුදු වීමක් වුණා කියන එක මම පිළිගන්නවා. ඒත් මම ගියේ අවංකවම. ඒ කිසිම පක්‍ෂ පාඨයක්, ප්‍රේක්ෂකයන් එක්ක කිසිම බේදයක් නැතිව. ලැබුණු විමධ්‍යගත මුදල්වලින් මට පුළුවන් හැමදේම මම කරා. පත්තරවලට කියන්න ගියේ නැහැ. පබ්ලිසිටි දුන්නේ නෑ. මම ගිහින් හොයලා බලලා ඉස්කෝලවලට සංගීත භාණ්ඩ දුන්නා. අඩුපාඩු හදලා දුන්නා. පත පොත අරන් දුන්නා. ඒකත් හරි සතුටක් ජීවිතයේ ඇත්තටම.

 

ඔබේ මස්සිනා ප්‍රසන්න හදනවා ආකාස කුසුම්. ඔබ ඒකේ රඟපාන්නේ වයෝවෘද්ධ සිනමා නිළියකගේ චරිතයක් සන්ධ්‍යාරාණි. බොහෝ අය මේක සංසන්ධනය කරන්න ගත්තා මේ චරිතය අපේ රටේ හිටිය යම් යම් නිළියන් එක්ක. සමහරු කිව්වා රුක්මණීදේවි බේදවාචකය කියලා. තවත් සමහරු කිව්වා මාලනීගෙන් කතන්දරේ මේක තමයි කියලා. මාලිනීටත් කවදාහරි මේක වෙන්න පුළුවන් කියලත් කිව්වා. මේ කතන්දර නිසා ඔබට පීඩනයක් දැනුණේ නැද්ද?

මට ඕකට කතාකරද්දී මුල් දවස්වල මට ඒක කරන්න බැහැ කියලා හිතුණා. ඇක්ට්‍රස් කෙනෙක් විදිහට එහෙම චරිතයක් කරන එක හොඳ නෑ කියලත් හිතුණා. ඒත් ටික දවසක් ගිහිල්ලා මම ඇත්තටම හිතුවා නෑ, මේක මම කරන්නම ඕන කියලා. මම මේක දිහා මීට වැඩිය වෙනස් විදියකට බලන්න ඕන කියලා. මොකද මේ චරිතේ කොටස් අපි හැමෝගෙම තැන් තැන්වල තියෙනවා. මගේ ජීවිත පොඩි කොටසකුත් මේ චරිතෙ කොහෙ හරී තැනක තියෙන්න ඇති. සන්ධ්‍යාරාණි කියන චරිතය මේ සමස්ත රංගන ශිල්පිනියන්ගේ ජීවිතය. ඒ මේ අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙම රංගන ශිල්පිනියන්ගේ ජීවිතය. රංගන ශිල්පිනියකට විතරක් නෙවෙයි ඕනම් ක්ෂේත්‍රයක කෙනෙකුට ඔය තත්වය ජීවිතයේ අවසාන කාලයේ දී උදාවෙන්න පුළුවන්. සමහරවිට එහෙම නොවෙන්නත් පුළුවන්.

අනික මගේ පෞද්ගලික හැල හැප්පීම් රාශියකට මම මුහුණ දුන්නා. මට හැදිච්ච් ලෙඩ කන්දරා ලැයිස්තුව හරි දිගයි. කෙනෙකුට හැදෙන්න පුළුවන් අමාරුම අසනීපය මට හැදුණා. කැන්සර් එක කියන එක. ඉතිං ඒක ඒ හැදුණාමත් මම කඩාගෙන වැටුණේ නැහැ. ඉන්දියාවේ ගිහිල්ලා තමයි ට්‍රීට්මන්ට්ස් ‌කරේ. හැම තිස්සේම මම මතක් කරනවා ටී. අර්ජුන්ව. මාව හරියට බලාගත්තා. එහේ ඉන්දියාවේ ඉන්න හොඳම දොස්තරලාට එක්කන් ගිහිල්ලා මාව පෙන්නුවා. එතන දී ලංකාවේ වෛද්‍යවරු වගේම ඒ ගොල්ලොත් මට හරියට ශක්තිය වුණා. ඒ ගොල්ලොත් හරි සතුටින් මට ට්‍රීට්මන්ඩ් කළේ. එයාලා කිව්වා ඔයාව අපිට හම්බවෙච්ච හොඳම ලෙඩෙක්, රෝගියෙක් කියලා. කොන්ඩෙත් හිතාගන්න බැරි විදියට වැටුණා. හිතන්නත් බැරී තරමට. එහෙත් ඊට පස්සේ ආයෙත් හෘද සැත්කමකට මූණ දුන්නා. මොන ලෙඩක්ද හැදුණේ. ඒ හැම එකකටම මට මුහුණ දෙන්න ශක්තිය තිබුණා.

 

ඔබ කිව්වා වගේ හැම දෙයක්ම ප්‍රශ්න ගණනාවක් මැද්දේ ඒ සියල්ලටම මුහුණ දීලා ධනාත්මකව හිතලා ඔබ හැමවෙලාවකම මුහුණ පුරා සිනාවකින් හැම ප්‍රශ්නටම මුහුණ දීලා ඉන්නවා. මේක අසාමාන්‍ය ශක්තියක්. අපි ලැයිස්තුවක් හැදුවොත්; ආදරය අහිමි වුණා. විවාහ ජීවිතය අහිමි වුණා. ශරීර සෞඛ්‍ය අහිමි වුණා. තව බොහෝ දේ අහිමි වුණා. හැබැයි මේ සියල්ල මැද්දෙ ඔබ නැගී සිටිනවා ශක්තිමත්ව. මේ ශක්තිය තියෙන්නේ කා ළඟ ද? මාලිනී ළඟ ද? සෙනෙහෙලතා ළඟ ද? ෆොන්සේකා ළඟ ද?

(නිධානයේ අයිතන් සිහිපත් කරනවන සුන්දර සිනාවකින්....) හ්ම්...ම්...... මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා ළඟ..!!

 

(***)
මාලිනී ෆොන්සේකා ජීවන ගමනේ 70 විය පසුකළ දා
ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි සමග කළ සාකච්ඡාවක්



අදහස් (0)

මාලිනී ෆොන්සේකා ජීවන ගමනේ අමරණීය මතක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 645 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 497 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site