පසුගිය සඳුදා ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී භාවිත කළ පාර්ලිමේන්තුවට නුසුදුසු වචන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයට උපදෙස් දුන් බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊට පසු දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව පැවැත්වෙන බොහෝ දිනවල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට නුසුදුසු වචන භාවිත කරන බවට චෝදනා එල්ල වෙද්දී එක් දිනෙක සිදුවීම ගැන පමණක් පරීක්ෂණ පැවැත්වීමට කතානායකවරයා තීරණය කළේ කුමක් නිසාදැයි පැහැදිලි නැත.
ඇතැම් විට ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මෙම නොමනා හැසිරීම නැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට නිශ්චිත එක් දිනෙක සිදුවීම් පිළිබඳව සොයා බලා පොදු ක්‍රියාමාර්ගයක් ගන්නට කතානායකවරයා අදහස් කරනවා විය හැකිය. කෙසේ වෙතත් මෙම භාෂා භාවිතය නතර කළ හැකි ද යන්න ප්‍රශ්නයකි.
මන්දයත් පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන්නට පුද්ගලයකුගේ ගුණාත්මක භාවය පෙන්නුම් කරන කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීමත් නිශ්චිත වෙනත් රැකියාවක නිරත නොවීමක් ගත වූ සත් වසර තුළ සය මසකට වැඩි සිර දඬුවමක් විඳ නොසිටීමත්, මානසික රෝගියකු බවට නීතියෙන් තහවුරු නොවීමත් වයස අවුරුදු දහඅටට වැඩි වීමත් පමණක් මන්ත්‍රීවරයකු වීම සඳහා ප්‍රමාණවත් වේ. එසේම පුද්ගලයකු පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගන්නා ඡන්දදායකයකු වන්නට ද අවශ්‍ය වන්නේ නිශ්චිත රැකියාවක නිරත වීම පිළිබඳ ඉහත සඳහන් කොන්දේසිය හැර මෙම සුදුසුකම්මය.
එසේම තම මන්ත්‍රීවරුන්ගේ ගුණාත්මක බව දේශපාලන පක්ෂවලට ද වැදගත් බවක් පෙනෙන්නේ නැත. ප්‍රේමලාල් ජයසේකර මහතා මිනීමැරුමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටිය දී එක්සත් ජනතා නිදහස් සන්ධානය 2015 දී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඔහුට නාම යෝජනා දුන්නේය. එපමණක් නොව 2020 දී ද ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාම යෝජනා දුන්නේය. එම පක්ෂයේ සභායෙන් තමිල් මක්කල් විඩුදලයි පුලිගල් (දෙමළ ජනතා විමුක්ති කොටි) පක්ෂයේ නායක සිවනේසතුරයි චන්ද්‍රකාන්න් හෙවත් පිල්ලයාන්ද මිනීමැරුම් චෝදනාවකට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටිය දී 2020 මහ මැතිවරණයේදී නාම යෝජනා භාර දුන්නේය.
ඔවුන් තරග කළ දිස්ත්‍රික්කවල ජනතාව ද ඔවුන්ගේ පක්ෂවලට දෙවැනි නැත. ප්‍රේමලාල් ජයසේකර 2015 දී මෙන්ම 2020 දී ද මැතවරණයෙන් ජයගත්තේ විශාල මනාප ඡන්ද සංඛ්‍යාවකිනි. පිල්ලයාන් ද එසේමය.
පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පාලනය කෙරෙන්නේ ස්ථාවර නියෝග මගිනි. එම නියෝග අනුව කිසිදු මන්ත්‍රීවරයකු සාකච්ඡාවට භාජන වෙමින් තිබෙන කාරණයට අදාළ නොවන කිසිවක් ගැන කතා නොකළ යුතුය. එකම දේ යළි යළිත් නොකිව යුතුය. අනෙක් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අයුතු මතයක් ආරෝපණය නොකළ යුතුය. පාර්ලිමේන්තුවට නොගැළපෙන භාෂාවක් භාවිත නොකළ යුතුය. කතා කරමින් සිටින මන්ත්‍රීවරයා ඉඩ නොදෙන්නේ නම් ඔහුගේ කතාවට බාධා නොකළ යුතුය.
එහෙත් මේ සියල්ල සැමදාම පාහේ සිදුවේ. 1990 ගණන්වල මුලදී දිනක් මන්ත්‍රීවරයකු කතා කරමින් සිටින විට තවත් මන්ත්‍රීවරයකු නැගිට පෙර සඳහන් මන්ත්‍රීවරයා ප්‍රශ්නයට අදාළව කතා නොකරන බව කතානායක එච්.එම්. මොහමඩ් මහතාට පෙන්වා දුන්නේය. එදින ආරම්භයේ සිටම පාර්ලිමේන්තුව ගාලගෝට්ටියක් බවට පත්වී තිබූ දිනයකි. එහෙයින්. ‘‘නෑ...නෑ... ලෝකේ හැම දෙයක්ම ඔය කතාවට අදාළයි. ඔබතුමා කතා කරගෙන යන්න’’ කතානායකවරයා පැවසුවේ සභාව සිනා ගන්වමිනි. ඔහු එසේ කීවේ මන්ත්‍රීවරයකු කතා කරන දේ අදාළ නැතැයි කී විට ඒ මන්ත්‍රීවරයා විශාල වටයක් ගොස් හෝ තමන් කියන දේ සාකච්ඡාවට ලක්වන කාරණයට අදාළ බව කීම එදින කිහිප වතාවක්ම සිදු වූ නිසාය.
වෙනත් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වැරැදි ආරෝපණ නොකළ යුතු යැයි ස්ථාවර නියෝගවල සඳහන් වුවද වෙනත් මන්ත්‍රීවරුන් සොරුන්, වංචාකරුවන් ස්ත්‍රී දූෂකයන්, සමලිංගික කටයුතුවල යෙදෙන්නන් ලෙස හැඟෙන අයුරින් මන්ත්‍රීවරු කතා කරති. 2021 දී පොදුජන පෙරමුණේ තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සජබ මන්ත්‍රීවරියක හා වම්බටු, පලා ආදිය සම්බන්ධ කරමින් ඉතා අශෝභන අදහසක් පළ කළේය. එය ඉතා විශාල ආන්දෝලනයක් ඇති කළ නමුත් එම පෙරමුණේ උගත් මහාචාර්යවරුන් වන මන්ත්‍රීවරුන් පවා සිටිය ද ඔවුන් එය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඔහුට කීවේ නැත.
සති කිහිපයකට ඉහත දී සජබ මන්ත්‍රීවරයෙක් සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේද ගුරුවරියක වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් එවැනි ආරෝපණයක් සහිත යැයි පෙනෙන අදහසක් පළ කළේය. පාර්ලිමේන්තුවේ විනය කෙසේ වෙතත් මෙවැනි අදහස් පළ කරන මන්ත්‍රීවරු තමන් කරන ප්‍රකාශ ගැන දැනගත් විට තම දරුවන් හා මවුපියන් තමන් ගැන කුමක් සිතනු ඇත්දැයි තේරුම් නොගනිති.
පාර්ලිමේන්තුවට නොගැළපෙන වචන භාවිතය පිළිබඳව ස්ථාවර නියෝගවල කුමක් සඳහන් වුවද බොහෝ මන්ත්‍රීවරු එය තුට්ටුවකටවත් නොසලකති. ඇතැම් අවස්ථාවල ඔවුහු අන්‍යෝන්‍ය වශයෙන් බල්ලා බූරුවා වැනි වචනවලින් එකනෙකා ආමන්ත්‍රණකර ගනිති. රනිල් වික්‍රමසිංහ මහතා කවුද හොරා යැයි අසද්දී මහින්ද හොරා යැයි එජාප මන්ත්‍රීවරුන් කිහිප විටක්ම පෙළපාලියක සටන් පාඨයක් මෙන් කියූ වීඩියෝව තවමත් යූ ටියුබ් අවකාශයේ තිබේ.
මන්ත්‍රීවරියන් සමග පාර්ලිමේන්තුව තුළදී මත ගැටුමක් ඇති වුවහොත් ඇතැම් මන්ත්‍රීවරුන් කරන්නේ ප්‍රශ්නය පැත්තක තබා අදාළ මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් ලිංගික ආරෝපණයක් සහිත ප්‍රකාශයක් කර ඇය නිහඬ කිරීමට උත්සාහ කිරීමය.
දින කිහිපයකට ඉහත දී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා දෙස බලා නොගැළපෙන වචනයක් කීවේය. එහෙත් ඔහු ඊට විරෝධය එල්ල වත්ම එය ඉල්ලා අස්කර ගත්තේය. ඒ ආසන්න දිනෙක සජබ මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට කට වහපන් යැයි කීවේය. සති කිහිපයකට ඉහත දී සභානායක හා ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලපයි සිපයි යනුවෙන් කීවේය. එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බව කතානායකවරයා පැවැසීය. සජබ ප්‍රධාන තනතුරක් දරන මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියකට පිළිතුරු දෙන විට ඔයා කැතයි කීවේය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු කක්කුස්සිය යන වචනය භාවිත කළ විට අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා එය පාර්ලිමේන්තුවට නොගැළපෙන වචනයකැයි තර්ක කළේය. එහෙත් එය නොපිළිගැනිණි. එම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් නිතර අන් අය සමග ගැටේ. ඔහු මෑතක දී ඉතා සුළු කාලෙකින් විශාල ප්‍රසිද්ධියක් ලැබූ දේශපාලනඥයෙකි. ලබන ජනාධිපතිවරණයේදී තරග කිරීමට තරම් ජනප්‍රියත්වයක් ලබා ගැනීමට තමන් උත්සාහ කරන බව ඔහු පැවසී යැයි මෑතක දී දෙමළ පුවත්පතක සඳහන් විය.
පාර්ලිමේන්තුවට නොගැළපෙන වචන ගැන කතා කිරීමේ දී හාස්‍යජනක සිදුවීම් ද සිදුවේ. හිටපු ඇමැතිවරයකු වූ වාසුදේව නානායක්කාර මහතා දශක දෙකකට පමණ පෙර කළ ප්‍රකාශයක් නොගැළපෙන වචන ගැන සඳහන් කරන විට බොහෝ දෙනාට මතක් වේ. තවත් දිනෙක, එනම් 1988/ 89 ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේදී තමන්ගේ පක්ෂයේ බදුල්ල දිසා ලේකම්වරයා හමුදාවෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් ඔහු බලන්නට ගිය විට හමුදා නිලධාරියෙක් ඉංග්‍රීසියෙන් කුණුහරුපෙන් බැන වැදුණු බවත් කියමින් නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී එම කුණුහරුපයද ප්‍රකාශ කළේය. සාමාන්‍යයෙන් අශෝභන කතාවලට පැටළෙන්නේ නැති ඇමැතිවරයකු වූ ගාමිණී දිසානායක මහතා ඒ මොකක්දැයි විහිළුවට ප්‍රශ්න කළේය. මින් කෝපයට පත් නානායක්කාර මහතා සිංහල තේරුම ද අහන්නේ කියා එය සිංහලෙන් කියත්ම සභාව එකම ගාලගෝට්ටියක් බවට පත් විය.
අනෙක් මන්ත්‍රීවරුන්ගේ කතාවට බාධා නොකළ යුතු යැයි ස්ථාවර නියෝගවල සඳහන් වුවද පාර්ලිමේන්තුවේ දී එය පිළිගත් දෙයකැයි සිතෙන තරමටම නිතර සිදුවේ. ඒ සඳහා මන්ත්‍රීවරුන් නිතර කරන්නේ ‘‘රීති ප්‍රශ්නයක්’ ඇති බව කියා කතා කරමින් සිටින මන්ත්‍රීවරයා නිහඬ කිරීමය.
රීති ප්‍රශ්නක් මතු කෙරෙන විට කතාකරමින් සිටින මන්ත්‍රීවරයා කතාව නතර කළ යුතු යැයි ස්ථාවර නියෝගවල සඳහන් වේ. මෙයින් ප්‍රයෝජන ගන්නා මන්ත්‍රීවරු රීති ප්‍රශ්නයක් ඇතැයි කියා කතා කරන්නට තමන්ට අවස්ථාවක් පාදාගෙන එතෙක් කතා කරමින් සිටි මන්ත්‍රීවරයාට පිළිතුරු දෙයි. නැත්නම් තමන්ට කියන්නට ඇති දෙයක් කියයි.
Manthrolk නම් වෙබ් අඩවිය 2012-2014 කාල පරිච්ඡේදයේ කළ සමීක්ෂණයක් අනුව එම කාලයේ මන්ත්‍රීවරුන් විසින් මතු කරන ලද රීති ප්‍රශ්න 1222න් සියයට 53ක්ම මෙසේ සභාව නොමග යැවීම් විය.
එහෙත් ඉතා ගරුසරු ලෙස වෙනත් මන්ත්‍රීවරුන්ගේ කතාවලට මන්ත්‍රීවරුන් මැදිහත් වූ අවස්ථා ද අපට සිහිපත් වේ. වරක් එජාපයේ කේ.එන්. චොක්සි මන්ත්‍රීවරයා කතා කරමින් සිටිය දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක එම්.එච්.එම්. අෂ්රෆ් මහතා නැගිට මට මීට මැදිහත් විය හැකිදැයි චොක්සි මහතාගෙන් විමසීය. දෙදෙනා අතර වූ අන්‍යෝන්‍ය අවබෝධය නිසාදෝ චොක්සි මහතා අසුන් ගත්තේය. අෂ්රෆ් මහතා එම කතාවට අදාළව විනාඩි කිහිපයක් අදහස් දක්වා අසුන්ගත් පසු චොක්සි මහතා යළි කතාව කරන්නට විය.
යළිත් අෂ්රෆ් මහතා මැදිහත් වන්නට අවසර ඉල්ලීය චොක්සි මහතා ද යළිත් අසුන් ගත්තේය. ඔහුගේ කතාව අතරතුර අෂ්රෆ් මහතා මෙසේ කීහිප වතාවක්ම අවසර ඇතිව අන්‍යෝන්‍ය ගෞරවයෙන් ඔහුගේ කතාවට මැදිහත් විය. එහි දී කිසිදු ගැටුම්කාරී තත්වයක් ඇති නොවීය.
1984 දී පමණ කල්මුණේ පුරවැසි කමිටුවේ සභාපතිවරයා හමුදාව තරුණයන් 35 දෙනකු පණපිටින් වැළලූ බවට චෝදනා කර තිබිණි. මේ ගැන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවේගම මහතා පාර්ලිමේන්තුවේ දී කතා කළේය. එවිට නැගී සිටි ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා මෙම ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කළ බවත් එවැන්නක් සිදු වී නැති බවත් පැවැසීය. එවිට මුත්තෙට්ටුවේගම මහතා තමන් කලින් දැක් වූ අදහස් ඔප්පු කරන්නට නොගොස් ඔබේ ප්‍රකාශය සත්‍ය එකක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මොකද මම අයත් ජාතිය එතරම් අමානුෂික යැයි අසන්නට මම අකැමැතියි යනුවෙන් පිළිතුරු දී සිය කතාවේ ඉතුරු කොටසේ දී ඒ ගැන කිසිවක් සඳහන් කළේ නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නීති සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය මුල්‍ය කටයුතු අධීක්ෂණය හා තම ජනතාව නියෝජනය කිරීම යන අරමුණු හතර සම්බන්ධයෙන් සුදුසුකම් ලද්දන් විය යුතු යැයි මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු හා හිටපු ඇමැතිවරයකු මෙන්ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායක වන ඩිව් ගුණසේකර මහතා 2020 මහ මැතිවරණය ආසන්නයේ දී පවසා තිබිණි.
එහෙත් ජනතාව මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ දී බොහෝ විට එසේ කරන්නේ බුද්ධියෙන් නොව හැඟීම්වලිනි.
(*** එම්.එස්.එම්.අයුබ්)
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැතිසබේ අවුළුවන කුණුකතා