IMG-LOGO

මේ කාලෙ නිර්මාණ පෙණ බුබුළු වගේ

වෙසක් පුන් පොහෝ දිනය තරමටම පොසොන් පුන් පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට වැදගත් වන්නේ පොසොන් පෝදා සිදුවූ මිහිදු මහ රහතන් වහන්සේගේ වැඩමවීමේ ඓතිහාසික සිදුවීම නිසාය. එම ඓතිහාසික සිදුවීම මෙරට සාහිත්‍යය, ලේඛනය, ජන ජීවිතය ඇතුළු ලාංකික සභ්‍යත්වයේ ද ආරම්භය විය. අදට යෙදී ඇති පොසොන් පුන් පොහෝ දිනයේ අප යළි යළි සිහිපත් කළ යුත්තේ බුදු දහමින් අප ලද දායාදයේ අර්ථාන්විතභාවය වඩාත් නිවැරැදි ලෙස මතු අනාගතයටද රැගෙන යා යුතු අන්දමය.

අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් සමග කළ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසෙන්නේ උන්වහන්සේගේ බෞද්ධ ගීතාවලිය පිළිබදවත් එදා මහින්දාගමනයෙන් ආරම්භ වූ සාහිත්‍ය කලා භාවිතාවන්ගේ අවශ්‍යතාව වර්තමාන සමාජයට සමීප කරවිය යුත්තේ ඇයි ද යන්නත් සංක්ෂිප්තව හෝ විමසා බැලීමේ අපේක්ෂාව ඇතිවය. අතීතය සිහිනයක් පමණයි, බෝධියෙන් වට බෝපතක් සේ, දනමන පිනවා රඟ දක්වාලා, ලොවේ දුක දැක දයාබර වී, ඇතුළු අගනා ගීත රැසක් උන්වහන්සේ රචනා කළ ගීත අතර වේ. පහන නිවී දොළොස් මහේ, අතීතය සිහිනයක් , සීතල ගඟුල වගෙයි, සඳ මඬල වී යන ගීත පද සංග්‍රහ උන්වහන්සේගේ කෘති අතර කැපී පෙනේ. ඉන්දියානු මධ්‍යම රජයට අයත් ප්‍රමුඛ උසස් අධ්‍යාපන ආයතනයක් වන වාරාණසී සාරානාත් හි ටිබැට් උසස් අධ්‍යාපන ආයතනය මගින් පල්ලේගම නාහිමියන් වෙත පසුගියදා ආචාර්ය උපාධියක් ද පිරිනැමුණි. පල්ලේගම හේමරතන නාහිමියන් බුදු දහමේ ථෙරවාදී ධර්ම මූලස්ථානයක් නියෝජනය කරමින් ඉටු කරන ධර්ම ශාස්ත්‍රීය සේවාවත් සාහිත්‍ය ආගමික හා ජාතික වශයෙන් සිදු කරන සේවාවත් මූලික කරගෙන මෙම සම්මාන ආචාර්ය උපාධිය පිරිනමා තිබේ.

අද වැනි උතුම් පොසොන් පොහෝදාවක අනුරාධපුර පූජා භූමිය ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී යාම සුලබ දසුනකි. සුදුවතින් සැරසී ශ්‍රී මහා බෝධි සෙවණේ ශීල සමාධිගතව සිටින විට අප කාටත් සිහියට එන සිත නිවන ගීයක් තිබේ. ඒ පල්ලේගම නාහිමියන් රචනා කොට පණ්ඩිත් අමරදේවයන් ගැයූ බෝධියෙන් වට බෝපතක් සේ ගීතයයි.

 

බෝධියෙන් වට බෝපතක් සේ

සුමුදු වැලි මළුවේ

වැතිර ඉන්නට වරම් මට කොහිදෝ

දුමිදු හෙවණේ සිහිල් පවනේ

නිවී සැනහී රැඳී ඉන්නම්

සැලෙන බෝපත් සැණින් මුමුණන

මියුරු බුදුගුණ සරින් සැනැහී

දුමිදු හෙවණේ සිහිල් පවනේ

නිවී සැනහී රැඳී ඉන්නම්

ළදලු‍ බෝපත් තෙමා වෑහෙන

රිදී වන් සඳ දියෙන් නැහැවී

දුමිදු හෙවණේ සිහිල් පවනේ

නිවී සැනහී රැඳී ඉන්නම්

 

මේ ගීතය රචනා වූ අත්දැකීම් පල්ලේගම නාහිමියන්ගෙන් විමසා බලන්නට අපට සිත් වූයේ ඒ ගීතය ඒ තරමටම අප නිවා සනහන බැවිනි. පල්ලේගම නාහිමියන් එම අත්දැකීම විස්තර කළේ මෙලෙසිනි.

“මේ ගීතය ලියැවෙන්නෙ මම 1977 අගභාගයේ ඉඳලා 1988 අගභාගය දක්වා ශ්‍රීමහා බෝධියේ තේවා රාජකාරි භාරව සිටින කාලයේදී. හිමිදිරි උදේ අවදිවුණාට පස්සෙ ඊළඟ පැය ගෙවෙන්නෙ බෝධින් වහන්සේ ළඟ. හවස් කාලයේත් එහෙම තමයි. බෝධිය ළඟ ඉන්නවිට වරින් වර ශ්‍රී මහා බෝධියේ බෝ පත්‍ර මළුවට වැටෙන හැටි මට පේනවා. පහළ මළුවෙ ඉන්න සැදැහැවතුන් මේ බෝ පත්‍ර කෙරෙහි දක්වන ශ්‍රද්ධාව, භක්තිය, කැමැත්ත, ගෞරවය ඔවුන්ගේ මුහුණුවලින් පෙනෙනවා. ඒ වැටෙන බෝ පත්‍රයක් තමන්ගෙ අතට ලැබෙන තුරු ඔවුන් බොහෝ වේලාවක් බලාගෙන ඉන්නවා. මේ පරිසරය තමයි මේ ගීතයට පදනම වුණේ . අපේ අවට ලෝකය මහා කලබලකාරී හිත් රිදවීම් ජීවන අරගලවලින් පිරුණු එකක්. මට හිතුණෙ එබඳු පරිසරයක ජීවත්වන අප මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සුදු වැලි මළුවෙ බෝධියෙන් වැටුණු බෝ පත්‍රයක් වගේ තව කෙනකුගේ හිතක් සනසලා නිවී සැනසිල්ලේ ඉන්න තියෙනවානම් ඒක මොනතරම් නිරාමිස ප්‍රීතියක් ද කියලා මට හිතුණා. මට දැනුණෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ පත්‍ර බුදු ගුණ මුමුණන හැටි. ඒ බෝපත් මතට සඳ එළිය වැටිලා හිත ශාන්ත කරන හැටි. මළුවට වැටුණු බෝපතක් වගේ ඉන්න වරම් මට කොයින්ද කියන එක තමයි ගීතයේ කියන්නෙ.

ඇත්තටම මේ ගීතය මුලින් පොඩ්ඩක් විසිරිලා තිබුණෙ. ඒත් පණ්ඩිත් අමරදේවයන් මුණගැහිලා කතා කළාට පස්සෙ එතුමාගේ යම් යම් මගපෙන්වීම් මත ඒ විසිරුණු බව නැතිකරලා මුළු ගීතයම බෝපතෙන් එහාට යන්නෙ නැතිවෙන විදියට ඒකාත්මික කළා.

පල්ලේගම නාහිමියන් රචනා කළ බොහෝ ගීතවලට බෞද්ධ මූලාශ්‍ර රැසක් පසුබිම් වී ඇති බව පෙනේ. අතීතය සිහිනයක් පමණයි , දන මන පිනවා රඟ දක්වාලා, ලොවේ දුක දැක දයාබර වී ආදී සෑම ගීතයකම මේ ලක්ෂණය දැකිය හැකිය.

අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ

 එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියොවක් නැ.

පල්ලේගම හේමරතන නාහිමියන් මේ ගීතය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ මෙවැන්නකි.

”‍ මේක තමයි හේතුඵල ධර්මය. බුදු දහමේ හරය තමයි එතන තියෙන්නෙ. බැඳීමක් නැති තැන හිත නිවෙනවා. ලෝක ස්වභාවය තේරුම් ගැනීම තමයි ඒකෙ උපරිම අවස්ථාව.

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ කියන්නෙ ඒකයි. මේ ලෝකයේ තියෙන සියලු‍ම දේ සොබාදහමට යටත්. ඒක ඉක්මවා යන්න කාටවත් බෑ. මේ සියල්ලම මධ්‍යස්ථ වශයෙන් හිතන්න පුළුවන්නම් අපට එන දුක්ඛ දෝමනස්ස මැදහත් සිතින් විඳ දරාගන්න පුළුවන්. එබඳු පරිසරයක දුකක් වේදනාවක් ආපු පමණින් දිවි නසාගන්න හෝ තව කෙනකුට හානියක් කරන්න හෝ මානසික ව්‍යාධියක් ඇතිවන්නේ නෑ.

විශාරද ගුණදාස කපුගේ මහතා ගායනා කරන ලොවේ දුක දැක දයාබර වී ගීතයද මෙරට රසික සම්භාවනාවට පාත්‍ර වූ ගීතයකි.

 

ලොවේ දුක දැක දයාබර වී

නෙතින් කඳුළක් නොහෙළුවේ නම්

ඔබේ නාමෙන්

කුමට සත්සර රාව නංවා

හිදිමි ගොළු වී මම්

මගේ මේ ගී ඔබේ ළය ගිනි

නිවනු වෙනුවට අවුළුවානම්

කුමට සත්සර රාව නංවා

හිඳිමි ගොළුවී මම්

මේ ගීතය රචනා කරන්නට පල්ලේගම නාහිමියන්ට මූලාශ්‍ර සපයන්නේ බෝධිචර්යාවතාරයයි. උන්වහන්සේ එම අත්දැකීම විස්තර කළේ මෙලෙසිනි.

“තව කෙනෙකුට මොනම ක්‍රමේකින් හරි සහායක් උපකාරයක් කරන්න බැරි නම් ඒ ජීවිතය කුමටද කියලා බෝධිචර්යාවතාරයේ ප්‍රශ්න කරනවා. සැබෑ බුද්ධ පූජාව නම් ඒ පරාර්ථකාමී හැඟීමයි. මේ කියන පරාර්ථචර්යාව අපට අපේ ධර්මය තුළම උගන්වනවා. ”‍

අප සමාජයක් ලෙස ඈත අතීතයේ පටන් පෝෂණය වන්නේම බුදු දහමෙන් ලබන ශික්ෂණයද සමගය. ඒ අනුව පැරැණි බෞද්ධ සාහිත්‍යයෙන් මෙරට සමාජයට ආගමික වශයෙන්ද සමාජිය හා සංස්කෘතික වශයෙන්ද ඉටු වූයේ අනුපමේය මෙහෙයකි. එහෙත් වර්තමාන සමාජය මහා සාගරයක් සේ පවත්නා මේ පැරැණි බෞද්ධ සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු කිරීමෙන් ඈත් වී ඇති වගට නිරන්ත‍රයෙන්ද චෝදනා නැගේ. මේ අදහස සම්බන්ධයෙන් පල්ලේගම හේමරතන නාහිමියන් දැක්වූයේ මෙවන් අදහසකි.

”‍ පැරැණි සම්භාව්‍ය සාහිත්‍යය පරිශීලනය නොකිරීමේ විපාක තමයි අද අපි භුක්ති විඳිමින් ඉන්නේ. නොයෙකුත් ක්ෂණික දේවල් වලට හුරු වීමෙන් චිත්තවේගයන් ඉක්මනින් පිටතට දැමීම නිසා අද වන විට සමාජයේ අපරාධ බහුල වෙලා තියනවා . අනුන්ගේ හෝ තමන්ගේ ජීවිත විනාශ වෙනවා. මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න පැරැණි බෞද්ධ සම්භාව්‍ය සාහිත්‍යය නිවැරැදි මාවතක් පෙන්වා දී තිබුණා. එය අධ්‍යයනයෙන් ලැබෙන ශික්ෂණය ඉතාම විශාලයි. මෑතකාලයේ උදාහරණ ගත්තොත් මාර්ටින් වික්‍රමසිංහ මහතා, සරච්චන්ද්‍ර මහතා වගේ පර්මාදර්ශී සාහිත්‍ය චරිත ඔවුන්ගේ නිර්මාණ සදහා මූලාශ්‍ර කරගත්තේම මේ සම්භාව්‍ය සාහිත්‍යයි.

මම හිතන්නේ පැරැණි බෞද්ධ සාහිත්‍යයේ ඇසුර නූතන පරම්පරාවට නොලැබුණේ ඔවුන්ගේ වරදින් නොවේ. මේ පරම්පරාවට පෙර පරම්පරාව අතින් තමයි ඒක ගිලිහුණේ. එහෙම ගිලිහුණාට පස්සෙ ඔවුන්ට පුළුවන්කමක් තිබුණෙ නෑ අද පරම්පරාවට විධිමත්ව සම්භාව්‍ය සහිත්‍යය සමීප කරවීමට. ඒ රික්තකය තමයි අද අපට පුරවගන්න බැරිවෙලා තියෙන්නෙ. ඒ නිසා මේ තත්වය තේරුම් අ‍රගෙන අධ්‍යාපන බලධාරීන් හෝ මූලික වෙලා පාසල්වලට පැරැණි සාහිත්‍යය තවදුරටත් සමීප කරවීම ඉතාම වැදගත්. අද අපි කතා කරන සාරධර්ම, සදාචාරාත්මක ගතිපැවතුම් ආදිය අපට ලැබුණෙ අපේ දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් ආදි වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ආපු ඒවා. ඒත් අද තියෙන මේ තාක්ෂණික ලෝකයත් එක්ක ඒ බොහෝ දේ අපට මගහැරිලා තියෙනවා. ඒ මගහැරුණු බවවත් නොදැන අපි බොහෝ දුරක් ඇවිත් තියෙනවා. ඒ නිසාම අපේ හර පද්ධතීන් ගිලිහුණු තැන් අද අපට හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒක මහා ඛේදවාචකයක්. අපිට බොහෝ දෙනකුට මේ ඛේදවාචකය අද වන විට තේරුම් ගිහින් තිබුණත් ඒ අර්බුදයෙන් ගොඩ එන වැඩපිළිවෙළක් තවමත් පෙනෙන්නට නැහැ. ඇතැම් බලධාරීන්ටත් මේ ගැන නිසි අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැහැ . ඒ බොහෝ දෙනාත් නිද්‍රාවට පත් වෙලා. අද බොහෝ දේ ක්ෂණිකව මතුවෙලා ක්ෂණිකව විනාශ වෙලා යනවා.”‍

 “චිරන්තන සාහිත්‍යයේ ආභාසය, උදව්ව නොලැබෙන නිසා කාලයක් පවතින සාහිත්‍යමය රචනා අද හිඟවෙලා තියෙනවා. ඉතාම මධුර සංගීත රචනා හා මියුරු ගායනයන් වර්තමානයේ දකින්නට තිබුණත් සාහිත්‍යමය ගුණය තියෙන රචනා කලාවක් අද අපට නෑ. එක් කෙනෙක් දෙන්නෙක් ඉදල හිටලා හොඳ නිර්මාණයක් කළාට අද තියෙන ගොඩක් නිර්මාණ පෙන බුබුළු වගේ. බැලූ බැල්මට ලස්සනයි. ඊළග දවසට නෑ. ඒක කාගෙ වැරද්ද ද කියල හොයනවට වඩා මේ කාලෙ ස්වභාවය තේරුම් ගැනීමට මේ නිර්මාණ අවස්ථාවක් සලසනවා. ඒ නිසා මේ අර්බුදය තේරුම් අරගෙන හැමෝම එකතුවෙලා විධිමත් කතිකාවක් සංගායනාවක් කිරීම කාලෝචිතයි. මේ බරපතළ සමාජ නායයාම තේරුම් අරං ඒකට බැම්මක් බැදලා තියන ටිකවත් ඉතුරු කරගන්න පුළුවන්නම් ඒක වටිනවා.

කිසියම් සමාජයක මතුවන ආර්ථික අර්බුදයට වඩා එහි පැන නගින සංස්කෘතික අර්බුදය බලවත් බව විද්වතුන්ගේ අදහසයි. වර්තමානය වන විට අප සමාජය කිසියම් සංස්කෘතික අර්බුදයක සිටින බවත් ඔවුන්ගේ අදහසයි. මිනිසාගේ සංස්කෘතික වටිනාකම් එම සමාජයේ යහපත් වර්ධනයට හේතු වන්නේ කෙසේද? පල්ලේගම හේමරතන හිමියන් ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

“සංස්කෘතික අර්බුදය නිසා සමාජය නාය ගිහිල්ලා. සමාජයක් නාය ගියාට පස්සෙ ඒක නැවත ගොඩනැගීම ලේසි පාසු දෙයක් නොවෙයි. ආර්ථිකය නම් කුමන විකල්පවලින් හරි කවදා හරි යථා තත්වයට ගේන්න පුළුවන් වේවි. ඒත් සංස්කෘතික වශයෙන් මේ ගහගෙන ගියපු ප්‍රවාහය නැවැත්වීම ලේසි නෑ. එහෙම කරන්න පුළුවන් ශක්තිමත් වටපිටාවක් හැදෙයි කියලා හිතන්නත් බෑ. හැබැයි ඉතින් මේ ප්‍රවාහය අන්තිම අඩිය දක්වා ගිහින් යන්න දිහාවක් නැතුවට පස්සෙ විනාශම වෙලා ගියාට පස්සෙ ආයෙ කොහෙන් හරි ටික ටික අලු‍තින් මතුවෙලා යහපත් පරිසරයක් හැදෙන්න පුළුවන්. හරියට ලෝක ශිෂ්ටාචාර බිදවැටිලා නව ශිෂ්ටාචාර බිහිවෙනවා වගේ. එහෙම වනතුරු ක්ෂණික ආම්පන්නවලින් මේක කරන්න බෑ. එහෙම පරිසරයක හෙට උදේට අවදිවනවිට සාරධර්ම වලින් පිරුණු යහපත් සමාජයක් අපට දකින්න පුළුවන් වෙන්නෙ නෑ. ”‍

පල්ලේගම නාහිමියන්ගේ අදහස වන්නේ ප්‍රධාන දහරාවේ පටන් සමාජ මාධ්‍ය දක්වා සියල්ලන්ගේ වගකීම සමාජය හමුවේ හදුනාගතයුතු බවයි.

“ඒකාලෙ ගුවන්විදුලි, රූපවාහිනී සහ පුවත්පත්වල යම් යම් අඩුපාඩු මැද වුවත් තිබුණා යම් කිසි ශික්ෂණයක්. තක්සේරුවක් හා සංයමයක් තිබුණා. කිව යුතු දේ සහ නොකිව යුතු දේ ගැන තෝරා බේරා ගැනීමක් අවබෝධයක් තිබුණා. ඒ නිසාම ඇතිවුණා ස්වයං වාරණයක්. ඒත් අද සමාජ භාවිතයත් එක්ක බොහෝ දෙනෙක් මේ සමාජ භාවිතයේ හැසිරෙන්නේ නිරුවත්ව. ඒ මට්ටමට තාක්ෂණය මහා විනාශයක් කරලා තියෙනවා. එතකොට අපට පරමාදර්ශයක් හැටියට ගන්න හරි අනුගමනය කරන්න හරි දෙයක් ඉතිරි වෙලා නෑ. නොමේරූ අය කිසිදු වග විභාගයකින් තොරව කටයුතු කරනවා. ඉස්සර අපි කතාවට කියපු වල් බූරු නිදහස මේ සමාජ මාධ්‍ය අවකාශයේ තියනවා. ප්‍රධාන ප්‍රවාහය වසාගෙන ඒක නැගී සිටිනවා. කොහොම නමුත් දැන් කරන්න තියෙන්නෙ වරද කාගෙද කියල හොයනවට වඩා මෙන්න මෙහෙම වරදක් අඩුපාඩුවක් තියනවය කියන එක ඉතාම මෛත්‍රී සහගතව පෙන්වා දීමයි අපි මේ කරන්නෙ.”‍

අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් මේ අවධාරණය කරන කාරණා දෙස වඩාත් විමර්ශනශීලී ඇසින් විමසා බැලීම මේ යුගයේ දැඩි අවශ්‍යතාවක් බව නම් අවධාරණය කළ හැකිය.

(***)



අදහස් (0)

මේ කාලෙ නිර්මාණ පෙණ බුබුළු වගේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1441 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site