IMG-LOGO

නුවර වැවේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න දැන්ම බෑ

මේ දිනවල අනුරාධපුර නුවර වැව ගැන දැඩි කතාබහක් සමාජය තුළ හටගෙන තිබේ. ඒ නුවර වැව වටා ඉදි කර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කරන බවට වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම් සහ වාරි මාර්ග ඇමැති ලාල්කාන්ත මහතා රට හමුවේ පොරොන්දු දීමත් සමගය. එම පොරොන්දුව සමග මෙරට ජනතාව විශ්වාස කළේ සතියක් දෙකක් මාසයක් ඇතුළත නුවර වැව වටා ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු සම්පාදනය කරන බවය. ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරු එම මතය සත්‍යයක් බවට පෙන්වා දෙමින් එය යථාර්ථයක් යැයි පෙන්වීමට ද උත්සාහ ගත්හ.

නුවර වැව වටා ජල රක්ෂිත කලාපයේ ඇති අනවසර යැයි කියා හඳුනාගත් ඉඩම් 712 ක් පමණ ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද සනාථ කර ඇත. එම ඉඩම්වල ඉදිකිරීම් අතරට නිවාස, හෝටල්, රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි මෙන්ම වගා භූමි ද වෙයි. මෙම අනවසර ඉදිකිරීම් සඳහා ඉඩම් ලබාදීම කර ඇත්තේ ද පැවති දේශපාලන අධිකාරියයි. ඊට රාජ්‍ය නිලධාරින්ගේ සහය ද නොඅඩුව ලැබී ඇති බව නම් නොරහසකි. ජයභූමි, ස්වර්ණ භූමි ඔප්පු මෙන්ම බලපත්‍ර ඉඩම් ද ඒ අතර ප්‍රධාන වෙයි. මෙම ඉඩම් ලබාගැනීමේ දී ලබාදීමේ දී දේශපාලන බලපෑම් තිබූ බවට ඕනෑ තරම් සාධක තිබේ. පවතින නීතිය පසෙකලා නීතියට පිටින් දේශපාලකයන්ගේ බිරින්දෑවරුන්ට, හිතවතුන්ට, නෑදෑයන්ට නුවර වැව අවට ඉඩම් බෙදාදීම ජයටම ඒ කාලයේ සිදුකර ඇත.

නුවර වැවේ වැව් රක්ෂිතයේ හෝටල් හදපු දේශපාලකයන් සහ හිතවතුන් ගැන අපි මීට පෙර වාර්තා කළෙමු. එම වාර්තා කිරීම් හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉහළ පරිපාලන නිලධාරින් නීතිය ක්‍රියාත්මක ක්‍රියා කළේ මන්දගාමීව ය. ඒනිසා හිතු හිතු විදියට නුවර වැවේ වැව් රක්ෂිතය විනාශ කිරීමට ඇතැම් පිරිස් කටයුතු කළහ. වැව් රක්ෂිතයේ විනාශය ගැන මුල සිටම ඉහළ රාජ්‍ය නිලධාරින් අවධානයෙන් කටයුතු කළේ නම් මේ සා විනාශයක් නුවර වැවේ වැව් රක්ෂිතයට වෙන්නේ නැත. එහෙත් එම විනාශය නතර කිරීම ගැන රාජ්‍ය නිලධාරින් දැක්වූයේ මන්දගාමි ක්‍රියාදාමයකි. නුවර වැව රක්ෂිතය විනාශ කර ඇති බව දැන දැන ඇස් කන් වසා සිටි නිලධාරින් දැන් සිංහයන් මෙන් නැගිට නීතිය  ක්‍රියාත්මක කිරීමට යෑම විහිළු සහගතය. පටන් ගැන්මේම නතර කරන්න තිබූ ක්‍රියාදාමයක් වැව් රක්ෂිතය විනාශ කරන තෙක්ම සිට නිවැරැදි කිරීමට යෑම පහසු කටයුත්තක් නොවේ. ඒ මීට වගකිව යුතු රාජ්‍ය නිලධාරින්ගේ සහය ද ඊට ලැබී  ඇති හෙයිනි. එකලම එම නිලධාරින් නීතිය ක්‍රියාත්මක කළේ නම් වැව් රක්ෂිතය ද මේ වෙන විට ආරක්ෂා වෙයි.  

මේ ගැන ලිපි කිහිපයක් හරහා අපි රටට තොරතුරු ගෙන ආවෙමු. ඒ 2022 ජූලි 09 වැනිදා ඉරිදා ලංකාදීපය හරහාය. එම ලිපි මගින් වාර්තා කළේ නුවර වැව සහ වැව් රක්ෂිතයේ විනාශය ගැනය. එම ලිපි අතර “දේශපාලන හයිය අරන් නුවර වැවේ හෝටල් හදන ඥානක්කා” යන ලිපිය සමාජයේ දැඩි කතාබහට ලක් විය. ඥානක්කාගේ හෝටලයේ පිහිනුම් තටාකය  ඉදිකර ඇත්තේ වැව් රක්ෂිතයේ බවත් ඊට නීතිමය පියවර ගන්නා බවද  එකල රාජ්‍ය නිලධාරින් පෙන්වා දුණි.

 

2022 වසරේ දී නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම්ව සිටි රුවන් ඒකනායක මහතා ඥානක්කාගේ හෝටලය ගැන එකල පැවසුවේ මෙවැන්නකි.

“හෝටලය ඉදිකර ඇති කොටසකට පමණක් ඔප්පුවක් තිබෙනවා. ඒක පැරැණි පැවරීමක්. නව ඉඩම් කොටසකට ඔප්පුවක් නෑ. රක්ෂිත කොටසට සින්නක්කර ඔප්පු දෙන්න බෑ. ඔප්පු දෙන්න මැනුම් කරන කොට රක්ෂිතය අහුවෙනවා. එතකොට ඔප්පු දෙන්න බෑ. හෝටලය පිටුපසට යන කොටස රක්ෂිතයට හසුවෙනවා. ඒ නිසා ඒකට ඔප්පු දෙන්න බෑ. ඒක වාරිමාර්ග මැනුමක් අනුව තමයි තහවුරු වෙන්නේ. ඒ අය ඒකට ඔප්පු හදාගෙන තිබුණත් ඒක නීත්‍යනුකූල නෑ. කවුරු හරි ඔප්පුවක් ඉල්ලු‍‍‍වොත් මැනුම කරන්නේ අපි. වාරිමාර්ග එක එයාලගේ නිර්දේශ දෙනවා රක්ෂිත කොටස පෙන්නලා. ඒ අනුවයි ඔප්පුව දෙනවද නැද්ද කියා තීරණය වෙන්නේ” යැයි ඒකනායක මහතා එකල අප කළ විමසීමක දී පැවසීය.

 

2022 වසරේ දී  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නම සඳහන් කිරීමට අකැමැති වූ නිලධාරියකු එම හෝටලය ගැන දැරුවේ  මෙවන් මතයකි.

ඥානක්කාගේ හෝටලයට නඩු පැවරීමට කටයුතු කර ඇති බවත්  එතැන ඉඩම් දෙකක් ඇති බවත් එක් කොටසකට ඔප්පු ඇති බවත් අනෙක් කොටස නුවර වැව් රක්ෂිතයට අයත් බව ද කීය. නුවර වැව අවට තිබෙන එවැනි හෝටල් රැසකට මේ වෙන විට නඩු පැවරීමට කටයුතු කර ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව එදා තහවුරු කළේය. රක්ෂිත කොටස කියා නඩු පැවරීමට කටයුතු කළත් හෝටලයේ ඉදිකිරීම් නවතා නැති බවත් මේ ගැන පොලිසියට සහ දිස්ත්‍රික් ලේකම්වරයාද ප්‍රදේශීය ලේකම්වරයා ද දැනුවත් කළ බව ද අප වෙත තහවුරු කර තිබුණි. අනවසර ඉදිකිරීම් නවත්වන්න කියා නියෝග යවලා තියෙනවා. ඒකට එයාලා ඇහුම්කන් දෙන්නේ නැත්නම් බලෙන් කරනවා නම් වාරිමාර්ග ආඥා පනත යටතේ නඩු පවරනවා යැයි එම නිලධාරියා අපට තහවුරු කළ දේ අපි එකල වාර්තා කළෙමු. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් තමයි අපේ නිසි ඉඩම් බලධාරියා. එතුමගේ තීන්දුවකට අනුව නැවත මේ අයට රක්ෂිත කොටසේ අයිතිය පෙන්වන්න කියනවා. ඒක පෙන්වන්න අපොහොසත් වුණොත් නීතිපතිවරයා වෙත යොමුකොට නඩු පවරනවා. එහෙත් නුවරවැව අවට රක්ෂිත කොටසේ ඔප්පු ලබා දී ඇත්තේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවසරයකින් හෝ නිර්දේශයකින් තොර බවද වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරියා අප වෙත එදා තහවුරු කළේය.

2022 වසරේදී මේ ගැන අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා කියා සිටියේ වාරිමාර්ග රක්ෂිත කොටසක කවුරු හෝ අනවසරයෙන් ඉදිකිරීමක් කරනවා නම් ඒක නතර කිරීමේ බලය ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බවය. එසේම එම ඉඩම් සඳහා වැරැදි ලෙස බලපත්‍ර හෝ ඔප්පු ප්‍රාදේශීය ලේකම් කෙනෙක් ලබා දී ඇත්නම් ඊට ද නීතිමය පියවර ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බලය ඇති බව ද ඒ මහතා කීය. වැරැදි ඔප්පු දුන්න අයයි, ඉදිකළ අයයි දෙකොටසටම නීතිය ක්‍රියාත්මක කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට කළ හැකි බව දිස්ත්‍රික් ලේකම්වරයා එදා අප වෙත තවදුරටත් තහවුරු කළේය.

එසේම 2022 අප්‍රේල් 02 දා අප ඉරිදා ලංකාදීපයෙන් වාර්තා කළේ “නීතියට පයින් ගසා නුවර වැවේ වෙට්ටු දාන සේමසිංහ” නම් ලිපිය මගින්ද හිටපු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ නුවර වැව් රක්ෂිතයේ අලු‍තින් ඉදිකරන හෝටලයක් ගැන වාර්තාවක් ඉදිරිපත් කළෙමු.

එම වාර්තාවට අනුව හිටපු ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අජිත් මුණසිංහ මහතා එකල පෙන්වාදුන්නේ  ෂෙහාන් සේමසිංහ හිටපු ඇමතිවරයාට අයත් යැයි කියන ඉඩම් කොටස් දෙකම පිහිටා ඇත්තේ නුවර වැවේ සහ වැව් රක්ෂිතයේ බවය. ඒ බව තහවුරු කළේ අදාළ පිඹුරුපත්ද සමගිනි. එසේම එම ඉඩමේ අඩි 7ක පමණ උසට බැම්මක් බැඳ පුරවන බවත් එම පිරවීම සිදුවෙන්නේ වැව් රක්ෂිතයට අයත් 88.5 කොටසේ බවද අජිත් මුණසිංහ මහතා එකල තහවුරු කළේය.

එසේම නැගෙනහිර නුවරගම් පළාතේ හිටපු  ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා  ද සේමසිංහ මහතාගේ ඉඩම ගැන එකල පෙන්වා දුන්නේ මෙලෙසය. හිටපු ඇමති ෂෙහාන් සේමසිංහ මහතාට ඉඩම් බලපත්‍රයක් ලබාදීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් ලැබී නැති බව ප්‍රාදේශීය ලේකම්වරයා තහවුරු කළේය.

එහෙත් එසේ තිබියදී ගොඩනැගිලි ඉදිකොට බැමි දමා ඉඩම් පිරවීමට අවසර දුන්නේ කවුද යන්න සොයා බැලිය යුතු කරුණකි. එකල පැවති දේශපාලන බලපෑම් මත මෙම ක්‍රියාදාමයන් සිදුවූයේ නම් ඊට වගකිවයුතු නිලධාරින්ට ද දඬුවම් දීම අනිවාර්ය කරුණකි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රාදේශීය අධ්‍යක්ෂවරයකු වූ එස්. බී. මැදිවක මහතා එකල පෙන්වා දුන්නේ සේමසිංහ ඇමතිවරයාගේ ඉඩමට අදාළ බලපත්‍රය ලබාදීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කිසිම විටෙක අනුමැතිය ලබා දී නැති බව ය.

එසේ නම් ඒ ගැන සොයා බැලිය යුතුය. අප මේ උපුටා දැක්වූයේ නුවර වැවේ වැව් රක්ෂිතයේ හෝටල් ඉදිකිරීම ගැන කළ වාර්තා දෙකක් පමණි. හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මෙන්ම තවත් 712 දෙනෙකු වැව් රක්ෂිතයේ ඉඩම් ලබාගෙන ඊට බලපත්‍ර සහ ජයභුමි, ස්වර්ණ භූමි ඔප්පු ලබාගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ වෙන  විට තහවුරු කරගෙන ඇත.

මෙම අනවසර ඉදිකිරීම් වැව් රක්ෂිතයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පසුගියදා කීය. මෙරට වැව් රක්ෂිත 23ක සීමා සලකුණු කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද ඇමතිවරයා කීය. ඒ අනුව වැව් රක්ෂිතවල සීමා සලකුණු කිරීමේ වැඩපිළිවෙළ රජය අද ආරම්භ කර ඇත. පළමුවෙන්ම  නුවර වැවේ රක්ෂිතයේ සීමාවල සලකුණු කිරීම මේ වෙන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මිනුම් දෙපාර්තමේන්තුව එක්ව ආරම්භ කර ඇත.

අනුරාධපුර නුවර වැව රක්ෂිතයෙන් මෙම ක්‍රියාන්විතය ආරම්භ කෙරෙන බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී පසුගියදා සඳහන් කළේ මෙම කාර්යය වඩාත් තහවුරු කරමිනි. එම වැව් රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් කර විධිමත් වාර්තාවක් සැකසිය යුතු බවටත් එහිදී තීරණය කෙරුණි. ඒ අනුව නුවර වැව රක්ෂිතයේ ඉදිකර ඇති මහ ඇමති නිල නිවස, ආණ්ඩුකාර නිවස හා අබිමන්සල යන ඉදිකිරීම් ඉවත් කිරීමට ද එම කමිටුවේ තීරණයක් ගෙන තිබුණි.

එසේම එම මැනුම් කටයුතුවලින් පසුව අනවසර සියලු‍ ඉදිකිරීම් ඉවත් කිරීමට ආණ්ඩුව සැලැසුම් කළ ද එය කඩිනමින් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇත. වත්මන් ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව කියා සිටියේ මෙම අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට සැලැසුම් සකස් කර ඇති බවකි. එහෙත් මේ දිනවල සිදුවෙන්නේ මැනුම් කටයුතු සිදු කර ගල් දමා මායිම් සලකුණු කිරීමක් පමණි. එම මැනුම් කටයුතු සිදු කළ පමණින් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නොහැකි තත්ත්වයක් දැන් උද්ගතව ඇත.

ඊට හේතු වී තිබෙන්නේ මෙම අනවසර ඉදිකිරීම් ලබා දුන් රාජ්‍ය ආයතන සහ ඒවායේ හිටපු සහ දැනට ඉන්න ඇතැම් උසස් නිලධාරින්ගේ දේශපාලන ගැති බව නිසාය. වැව් රක්ෂිතයක් බව දැන දැනත් ඊට වක්‍ර ආකාරයෙන් නීත්‍යනුකූල බවක් ලියකියවිලි මගින් සනාථ කළ ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරින් නුවර වැව් රක්ෂිතයේ අනවසර ඉවත් කිරීමට දැඩි විරෝධයක් දක්වන බව ද මේ වෙන විට වාර්තා වෙයි. පැවති රජයන්වල දේශපාලන වද්දිභට්ටයන් වූ ඇතැම් නිලධාරින් කළ මෙම පාපතර ක්‍රියාදාමය හේතුවෙන් නුවර වැවේ වැව් රක්ෂිතය මේ වෙන විට විනාශ වී අවසන්‍ ය. එම නිසා මෙම විනාශයට ඍජු හා වක්‍ර ආකාරයෙන් දායක වූ සියලූම රාජ්‍ය නිලධාරින් ගැන ද වෙනම සොයා බලා නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඇතැම් රාජ්‍ය නිලධාරින් තමන් අතින් වූ වරද නිවැරදි කිරීමට සූක්ෂම උපක්‍රම භාවිත කරන බවක් නම් පෙනෙන්නට තිබීම ද සුවිශේෂ කරුණක් වී ඇත.

මේ වෙන විට නුවර වැවේ මැනුම් කටයුතු සිදුවෙන අතර, එම මැනුම් කටයුතු වැව් රක්ෂිත මායිම් 88.5 සලකුණු වෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් අපට කීය. වැව් රක්ෂිතයක 88 මායිම කියන්නේ අධි ගංවතුර මට්ටමය. 88.5 කියන්නේ වැව් රක්ෂිත මායිමය. මෙම මට්ටම නියම ලෙස ගන්නෙ නම් නුවර වැවේ නියම ජල මට්ටම 90.445 කියන මිම්මට එන්න ඕන. නුවර වැවේ බැම්මට අයිති වෙන ප්‍රමාණය තමයි 90.445 මට්ටම. ඒ නුවර වැවේ ජල ධාරිතාව මුහුදු මට්ටමේ සිට එන උස අනුව වැව් බැම්මේ ලෙවෙල් එක එන විදිය. එහෙත් නාගරික ප්‍රදේශයක වැව පිහිටා ඇති නිසා තමයි 88.5 මිම්ම ගන්නේ යැයි එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශ නැතුව ලබා දීපු බලපත්‍ර සහ ඔප්පු නිසා තමයි මෙම හානිය වෙලා තියෙන්නේ. අපේ නිර්දේශ නැතුව වුණත් මේවායේ සංවර්ධන කටයුතු වෙලා තියෙනවා. එවැනි ඉඩම් 712 ක් තියෙනවා. ඒවායේ ගොඩනැගිලි තියෙනවාද නැද්ද කියන එක දන්නේ නෑ. මෙම ඉඩම් ලබාදෙන කාලේ වගකිව යුතු අය මෙම විනාශයට විරෝධය මතු නොකළේ මන්ද යන්න ගැටලු‍වක් බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

 

88.5 වැව් රක්ෂිත මායිම් චක්‍රලේඛයක් ගැන අපි දැනගෙන හිටියේ නෑ නැනුප ප්‍රාදේශීය ලේකම් - සම්පත් ධර්මදාස

මේ සියලු‍ කාරණාවලට හේතු වූයේ දේශපාලන බලපෑමක් ද නැතහොත් නිලධාරින්ගේ වරද දැයි දැන ගැනීමට  නැගෙනහිර නුවරගම් පළාතේ  වත්මන් ප්‍රාදේශීය ලේකම් සම්පත් ධර්මදාස මහතාගෙන් ද විමසීමක් කළෙමු. එහිදී ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ මෙවැන්නකි. “අපි බලපත්‍ර ලබා දීලා තියෙනවා. එහෙත් ඒ කාලේ 88.5 කතාවක් තිබ්බේ නෑ. 88.5 චක්‍රලේඛය කියන්නේ 2014 එක. ඊට පෙර 2008 තවත් චක්‍රලේඛයක් නිකුත් කරනවා. ඊට පෙර 1986 තව එකක් නිකුත් කරනවා. 1986 චක්‍රලේඛයෙන් තමයි ලංකාවේ සියලු‍ම වැව්වල වාන් මට්ටම කියා තිබෙන්නේ. එම චක්‍රලේඛ තුනම නිකුත් කරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර චක්‍රලේඛයක් විදියට. එය පොදු  එකක් නෙමෙයි. ඒ කාලේ ඉඩම් අමාත්‍යංගයට හෝ දිසාපතිවරුන්ට හෝ මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට නිකුත්කරලා නෑ. මේ ප්‍රශ්නය ආවට පස්සේ තමයි අපි දැන ගන්නෙත් 88.5 කතාව. ප්‍රාදේශීය ලේකම්වරු මෙම චක්‍රලේඛ ගැන දන්නේ නෑ.

මෙම චක්‍රලේඛ නිකුත් වෙන්න කලින් වැව්වල මායිම් සලකුණු කළා වැවේ පතුල දම්වැල් මිනුම් භාවිත කරමින්. එය මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ මෙන්ම දිසාපතිවරුත් භාවිත කළා. එම මායිම් භාවිත කරමින් බලපත්‍ර සහ ඔප්පු ලබාදීම සිදුකළා. එම ඉඩම්වල භුක්ති වින්දා. 2014/08 චක්‍රලේඛය අනුව දැන් එක එක මායිම් හදලා පිහිටුවන්න හදනවා. එතකොට කලින් දුන්න මායිම්වලට වඩා වැවේ රක්ෂිත කොටස තව ඉදිරියට යනවා. මෙම මැනුම් කළේ කොහොමද කියල අපි දන්නෙ නෑ. ඒක මිනුම්දෝරු දෙපාර්තමේන්තුවෙන් අහන්න ඕන කාරණයක්. ඥානක්කාට 1986ට පෙර දුන්න ස්වර්ණ භූමි ඔප්පුවක් තියෙන්නේ. ඒ අනුව ගල් දාලා මායිම් දීලා තිබ්බා. ඒත් 2014/08 චක්‍රලේඛය අනුව දැන් එම හෝටලයේ කොටසක් 88.5 ඇතුළේ තියෙන්නේ. ඉතිං මෙම මැනුම් ගැන අපැහැදිලියි.

මෙම නීතියට හසු වූ ගොඩක් අය ඉන්නවා. දැන් මේක ප්‍රශ්නයක්. එම චක්‍රලේඛයේම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මායිම් ගැටලු‍වක් ආවොත් වන්දි දීලා අත්පත් කර ගන්න කියලා. ඒ අනුව තමයි නීතිය ක්‍රියාත්මක කරන්න වෙන්නේ. නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ලේකම්වරුත් ඉඩම් ලබාදීලා තියෙන්නේ නීතියට අනුව”.

 

 මේ වැරැද්ද කළේ ප්‍රාදේශීය ලේකම්වරු - ඉංජිනේරු ජයන්ත සිල්වා

අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු ජයන්ත සිල්වා මහතාගෙන අප කළ විමසීමක දී ඒ මහතා කළ  ප්‍රකාශයෙන් ද අප ඉහත කී කාරණා වඩ වඩාත් තහවුරු වෙයි. මේ දිනවල නුවර වැවේ මැනුම් කටයුතු මිනුම්දෝරු දෙපාර්තමේන්තුව සමග එකතුව සිදුකරනවා. එම මැනුම් කටයුතුවලදී 88.5 කියන වැව් රක්ෂිත මායිමට තමයි මැනුම් කටයුතු සිදු කරන්නේ. වැව් රක්ෂිත සීමාව කේන්ද්‍ර කරගනිමින් මෙම මැනුම් සිදුකර ගල් දාගෙන යනවා. මෙම  රක්ෂිත ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් තිබුණත් ඒවා ඉවත් කරනවා ද කියා දැන්ම කියන්න බෑ. අපි මුලින් කරන්නේ අපේ සීමා මායිම් සලකුණු කරන එක පමණයි. අනවසර ඉදිකිරීම් ඉවත් කරනවාද කියා තවම තීන්දුවක් නෑ. ඒ තීන්දුව ගන්න ඕන රජය. අපි කරන්නේ මැනුම විතරයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා ඉදිරිපත් කර ඇති සියලු‍ චක්‍ර ලේඛ නීත්‍යනුකූලයි. 80ගණන්වල තියෙන චක්‍රලේඛවලත් වැවේ ජල සීමාව ජල රක්ෂිත මායිම් පැහැදිලිව දක්වා තිබෙනවා. එම චක්‍රලේඛයෙත් 88.5 සීමාව පැහැදිලිව දක්වා තිබෙනවා. මේ වැරැද්ද කරලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරු. ඒ අය ඔප්පු දීලා බලපත්‍ර දීලා තියෙනවා අපේ අවසරයක් නැතුව. එහෙම කරලා ඒ අය එම සීමා දන්නෙ නෑ කියන එක විහිළු‍වක්. ඒ අය තමයි හිතුමතේ වැඩ කරලා තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම්ලා කියන්නේ බබාලා නෙමෙයි.

වැවක් ආසන්නයේ ඉඩමකට ඔප්පුවක් බලපත්‍රයක් දෙනකොට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශ ගන්න ඕන. එහෙම කිසිම නිර්දේශයක් අරගෙන නෙමෙයි බලපත්‍ර දීලා තියෙන්නේ. අනවසර 712කට වගේ වාරිමාර්ගයේ නිර්දේශ ලබා දීලා නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ කාලේ ඉඩම් සඳහා ජයභුමි ස්වරණ භුමි ඔප්පු දීලා මැනුමක් කරලා නෑ. පස්සේ මැනුම් කරන කොට වැව් රක්ෂිතයට අයිති  කොටස දීලා තියෙන්නේ. මේ විදියට අක්කර 30, 40, 50 අල්ලගත්ත අය ඉන්නවා. රජයේ ගොඩනැගිලිවලට ගන්න තීන්දුව රජය ගන්න ඕනෑ තීන්දුවක්. මෙම සමහර ගොඩනැගිලි ඒ කාලයේ දේශපාලන හයිය මත කළ ඒවා. මායිම් සලකුණු කළාට පස්සේ මේවා ගැන තීන්දුවක් රජය ගනීවි” යැයි ජයන්ත සිල්වා මහතා කීය.

මේ අතර නුවර වැව මායිමේ ව්‍යාපාර අරඹා ඇති පිරිස් ද පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පෙන්වා දුන්නේ තමන් වසර ගණනක් තිස්සේ සිය සේසතම මෙම ඉඩම්වලට යට කොට ඇති බවය. බැංකු ණය ලබාගෙන හෝටල් හදාගෙන තම ව්‍යාපාර අරඹා ඇති බවත් එම ඉඩම්වලින් තමන් ඉවත්වීමක් සිදු නොවෙන බවද එම පිරිස් පැවසූහ.

එසේ නම් පැවති නීතියට පටහැණිව කවුරුන් හෝ නුවර වැවේ වැව් රක්ෂිතය කොටස් කර විකුණා ඇත. දේශපාලන බලපෑම් මත ලබා දී ඇත. ඊට විරුද්ධවීමට එදා සිටි නිලධාරින් කටයුතු නොකිරීමේ පලවිපාක අද වෙන විට දක්නට ලැබෙයි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ නුවර වැවේ වැව් රක්ෂිතය විනාශවීම පමණි.

ඒ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා බවට පොරොන්දු දෙමිනි. එහෙත් මෙම ආණ්ඩුවේ ඇමතිවරුන් පසුගිය කාලයේ කියූ පරිදි නුවර වැවේ වැව් රක්ෂිතය අල්ලාගෙන ඉදිකර ඇති හෝටල් හෝ අනෙකුත් ගොඩනැගිලි ඉවත් කිරිම ලේසි පහසු නැත. මන්ද වත්මන් ආණ්ඩුවේ සිටින දේශපාලකයකුගේ ඥාතින් පිරිසක්ද වැව් රක්ෂිතයේ අනවසර ඉදිකිරීමක් කර ඇත. එහෙයින් නීතිය කාටත් පොදු ලෙස සලකා ක්‍රියාත්මක කිරීම පමාවෙනු ඇත.

(*** ප්‍රගීත් සම්පත් කරුණාතිලක)



අදහස් (0)

නුවර වැවේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න දැන්ම බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 194 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 350 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 687 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site