හංවැල්ලේ සිට තොටළඟ දක්වා කැලණි ගඟ දෙපස විශාල ප්‍රදේශයක් 1989 දී විශාල ගංවතුරකින් යට වී දස දහස් ගණනක් ජනතාව පීඩාවට පත් වූහ.
වසර 27කට පසු 2016 දීද එම ප්‍රදේශයම යළිත් එවැනිම මහා ගංවතුරකට යට විය. දහස් ගණනක් ජනතාව කල් තබා ප්‍රදේශයෙන් පිට වී දිවි බේරා ගත්හ. තවත් පිරිසක් ඈත ප්‍රදේශවලින් ස්වේච්ඡාවෙන් ධීවරයන්, වෙනත් පුද්ගලයන් හා නාවික හමුදාව විසින් ගෙන එනු ලැබූ බෝට්ටුවලින් ජලයෙන් යට නොවූ ප්‍රදේශවලට ගෙන යනු ලැබූහ.
ඉන්පසු 2017, 2018, 2022 හා 2024 යන වසරවල ද කැලණි ගඟ හංවැල්ලේ සිට තොටළඟ දක්වා බොහෝ තැන්වලින් පිටාර ගැලුවේය. බිය වූ එම ප්‍රදේශයේ බොහෝ දෙනා ඇඳුමක් දෙකක් හා වටිනා ලියකියවිලි කිහිපයක් රැගෙන ප්‍රදේශයෙන් පිට වූහ. දෙමහල් තෙමහල් නිවෙස් ඇති ඇතැම් පිරිස් උඩුමහලේ රැඳී තත්වය ගැන අවධානයෙන් සිටියහ.
1989 පෙර මෙම ප්‍රදේශයට වසර දෙක තුනකට වරක් හෝ අඩි දෙක තුනක් හෝ නිවෙස් තුළ ජලය පිරෙන තරමට ගංවතුර ගැලූ බව ප්‍රදේශයේ වැඩිහිටියෝ පවසති.
ගංවතුර නිවෙස්වලට ගලන වාරයක් පාසා තනි මහල් නිවෙස්වල ජනතාවගේ කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, ඇඳුම්, ගෘහ භාණ්ඩ ලිපි ලේඛන හා විදුලි උපකරණ වැනි නිවසේ ඇති බොහෝ දෑ යළි භාවිතයට ගත නොහැකි තරමට විනාශ වේ. ඔවුන් ඒ සෑම විටම ජීවිතය යළි මුල සිට ආරම්භ කළ යුතුවේ.
දෙමහල් තෙමහල් නිවෙස්වල ජීවත්වන පිරිස් බොහෝ විට තමන්ගේ මෙම භාණ්ඩ හා උපකරණ වැඩි ගණනක් උඩු මහල්වලට ගෙන ගොස් බේරා ගනිති. දිනකින් හෝ වරුවකින් හෝ මේ කටයුත්ත කිරීමට විශාල වෙහෙසක් දැරිය යුතුවේ. එසේ මෙම භාණ්ඩ හා උපකරණ බේරා ගත්තද ගංවතුර බැස ගිය පසු බිම් මහලේ බිත්ති තාප්ප හා පොළොව සෝදා යළි තීන්ත ගෑ යුතුය. දොර ජනෙල්වල මළකඩ කා ඇති නිසා ඒවා පිරිසුදු කර තෙල් දැමිය යුතුය. විදුලි ස්විච හා පේනු ගලවා මඩ ඉවත් කර පිරිසුදු කළ යුතුය. උඩු මහලට ගෙන ගිය භාණ්ඩ පහළට ගෙන ආ යුතුය. තනි මහලේ නිවෙස්වල ජීවත්වන පිරිස් තමන් සතු සියල්ල අහිමි කරගෙන මෙම පිරිසුදු කිරීමේ කටයුතු ද කළ යුතුය. නැවතත් සඳහන් කළ යුත්තේ ගංවතුර ගලන වාරයක් පාසා මේවා සිදුවේ යන්නය.
නායයන ප්‍රදේශවල ජනතාවට ඇත්තේ වෙනස්ම වූ ප්‍රශ්නයකි. ඔවුනට ක්ෂණයෙන් නිවාස පමණක් නොව සමහර විට ජීවිත ද අහිමි වේ. සමහර විට පවුලේ සාමාජිකයන් කිහිප දෙනකු සමගම නිවෙස අහිමි වේ. බොහෝ විට ඔවුනට තම පරම්පරාවම ජීවත් වූ ඉඩමද අහිමි වී ඔවුහු ලිපිනයක් නැති පිරිසක් බවට පත්වෙති.
1989 න් පසු කැලණි ගං මිටියාවතේ විශාල ගංවතුරක් ඇති වූයේ වසර 27කට පසුය. එහෙත් ඉන්පසු ඊටත් වඩා විශාල ගංවතුරක් ඇති වූයේ වසර 9 කිනි. එවර එය වෙනත් ගංගා ආශ්‍රිතවද දැකගත හැකි විය. ලෝකය පුරා බරපතළ ප්‍රශ්නයක් වී ඇති කාලගුණ විපර්යාස හේතුවෙන් ඇතැම් විට ඊළඟ ගංවතුර ඊටත් වඩා අඩු කාලයකින් නිවෙස් යට කරමින් ගලන්නට ඉඩ තිබේ.
මෙම ගංවතුර හා නාය යාමේ ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් ඇති බවක් නොපෙනේ. ගංවතුර ආපදාව ඉදිරියටත් ඇතිවනු ඇත. ඇතැම් දේශපාලනඥයන් පවසන ආකාරයට එය ජලාශවල වාන් දොරටු විවෘත කිරීම නිසාම ඇති වන්නක් නොවේ. නිල්වලා ගඟ විටින් විට ගම් බිම් යට කරමින් ගලන්නේ ජලාශවල ජලය මුදා හැරීම නිසා නොවේ. මෙවර වැඩිම දින ගණනක් ගංවතුරෙන් යට වී පැවැති කැලණි ගං මිටියාවතට ඉහළින් ඇති විශාලම ජලාශය වන මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු ගංවතුර පැවැති දිනවල විවෘත කෙරුණේම නැත. එය එතරම් පිරි තිබුණේ ද නැත.
ජලාශවලට ඉහළින් වැටෙන වැසි ජලය මුළුමනින්ම ජලාශවල රඳවා ගත්තද ඒවාට පහළින් ඇති ප්‍රදේශවලට මෙවර පතිත වූවා සේ මිලි මීටර් 400ක් 500ක් තරම් විශාල වර්ෂාවක් පතිත වුවහොත් ගංගා පිටාර ගලා නිවෙස් යට වීම නොවැළැක්විය හැකිය. එවිට ජලාශ විවෘත කිරීමෙන් සිදු විය හැක්කේ නාසයට උඩින්ම ගැලූ ජලය හිසටත් උඩින් ගැලීම පමණි.
ගංවතුර හා නායයාම් වැළැක්වීම කෙටිකාලීනව කළ නොහැකිය. එසේම එම අනතුර සහිත ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීම විසඳුමක් නම් එයද කෙටිකාලීනව කළ නොහැකිය. ආණ්ඩුව ද කතා කරන්නේ දීර්ඝ කාලීන විසඳුම් පිළිබඳව පමණකි. පසුගිදා පාර්ලිමේන්තුවේදී මේ ගැන අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාව ගංගා අසල හා කඳු මුදුන්වල නිවාස තනා ගැනීමත් ඒවාට බලධාරීන් අනුමැතිය දීමත් ප්‍රශ්න කළේය. මින් මතු අනවසර තැන්වල නිවාස ඉදිකිරීමට ඉඩ නොදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව ගංගා අසල විශේෂයෙන්ම පසුගිය කාලවල ගංවතුරට යට වූ ප්‍රදේශ හා නාය ගිය ප්‍රදේශ නිවාස ඉදිකිරීමට යෝග්‍ය නොවන, අනවසර ප්‍රදේශ ලෙස ආණ්ඩුව සලකන්නේද යන ප්‍රශ්නය මතුවේ.
ගංවතුරට යට වන ප්‍රදේශවලින් විශේෂයෙන්ම කොලොන්නාව ප්‍රදේශයේ ජනතාව ඉවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වූ පසුගිය ආණ්ඩුව ද පසුගිය වසරේ ප්‍රකාශ කළේය. අප කලින් සඳහන් කළ පරිදි පසුගිය වසරේ ද කැලණි ගඟ ස්ථාන ගණනාවකින් ගැලීය. එසේම ගඟට ගලා යන ඇළවල ජල මට්ටමද ඉහළ ගොස් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් ප්‍රදේශවල නිවාසවලට වතුර ගලා ආවේය. එම ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ගිය ජනාධිපති වික්‍රමසිංහ මහතා කොලොන්නාව නගරයේ අයි.ඩී.එච්. රෝහලත් මුල්ලේරියාව රෝහලත් ප්‍රදේශයේම උස් තැන්වලට ගෙන යන බව පැවැසීය.
එහෙත් අප දන්නා තරමින් කොලොන්නාව නගරය හා මුල්ලේරියාව අයි.ඩී,එච්. යන රෝහල් කිසිදා ගංවතුරට යටවී නැත. මේවා ආරක්ෂාකාරී ස්ථානවලට ගෙන යන්නට ප්‍රදේශයේ මීට වඩා උස් තැන් ඇත්තේ ද නැත.
වත්මන් ආණ්ඩුව ගංවතුරට යට වූ හා නාය ගිය ප්‍රදේශ අනාරක්ෂිත හා ජීවත්වීමට නුසුදුසු ප්‍රදේශ ලෙස සලකන්නේ නම් එම ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීම එතරම් ලෙහෙසි කටයුත්තක් නොවේ. මන්දයත් මෙම ප්‍රදේශවල ලක්ෂ ගණන් ජනතාව ජීවත් වෙති.
නාය යාම්වලට ලක්වන මධ්‍ය කඳුකරයේ ජනාවාසවලට සුදුසු ප්‍රදේශ පිළිබඳ අධ්‍යයනයක් කර දෙන්නැයි ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලීමක් කර ඇති බවත් එම බැංකුව ඊට එකඟවී ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ කතාවේදී සඳහන් කළේය.
කෙසේ වෙතත් මධ්‍ය කඳුකරයේ මුහුදු මට්ටමේ සිට අඩි 5000 ක් ඉහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ඉඩම් වන්දි ගෙවා පවරාගෙන වන වගාවක් ඇති කළ යුතු බවත් ඒ සඳහා කටයුතු කරන බවත් ඔහු එහිදී තවදුරටත් ප්‍රකාශ කළේය. එසේම ස්වාභාවික විපත්වලින් සිදුවන හානිය අවම කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නට සැලසුම් කර ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.
කඳුකරයේ අඩි 5000 ඉහළ කොටස්වල වන වගාව යනු ජනතා විමුක්ති පෙරමුණ එහි ආරම්භයේ සිටම එනම් 1960 ගණන්වල සිටම දැරූ මතයකි. ජවිපෙ එහි ආරම්භයේදී නවක ආධාරකරුවන් හා සාමාජිකයන්ට දේශපාලන දැනුම ලබාදීම සඳහා ඉදිරිපත් කළ සුප්‍රකට ‘‘පන්ති පහේ’’ පළමු පන්තිය වන ආර්ථික ‘‘අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වීම’’ යන්නෙහිද මෙම අදහස විස්තරාත්මකව සඳහන් විය. එහිදී ඔවුන් ඉදිරිපත් කළ මතය වූයේ කඳුකරයේ අඩි 5000ට ඉහළ කොටස්වල හා මුළු කඳුකරයේම අංශක 30කට වඩා වැඩි බෑවුම් ක්‍රමයෙන් වසරක් පාසා වනගත කළ යුතු බවයි. මෙම අංශක 30 කතාව දිසානායක මහතා තම කතාවේදී සඳහන් කළේ නැත.
1971 කැරැල්ලට මාසයකට පමණ පෙර අත්අඩංගුවට ගනු ලැබ යාපනය බන්ධනාගාරයේ රඳවා ගනු ලැබූ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා එම බන්ධනාගාරයේදී රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමකට 1971 ජූනි මාසයේදී දුන් ප්‍රකාශයේදී මෙම සැලැස්ම විස්තර කර ඇත. කඳුකරයේ වන වගාව මගින් එම ප්‍රදේශයේ සෝදා පාළුව හා ගංගාවල පහළ ප්‍රදේශවල ඇතිවන ගංවතුර ද පාලනය කළ හැකි බවත් අඩි 5000න් පහළ ප්‍රදේශවල ජලාශ හා උමං ඉදිකර තෙත් කලාපයට ගලන ජලය වියළි කලාපයට හැරවිය යුතු බවත් එමගින් වියළි කලාපයේ නියඟයෙන් ඇතිවන බලපෑම විසඳෙන බවත් ඔහු එම ප්‍රකාශ මගින් අදහස් දක්වා තිබිණි. 1977 ප්‍රකාශයට පත් කරන ලද ජවිපෙ ‘‘විල්පවීය ප්‍රතිපත්ති ප්‍රකාශන’’යේද මේ කරුණ අවධාරණය කරනු ලැබ ඇත.
ඇත්ත වශයෙන්ම මෙය විජේවීර මහතාගේ හෝ ජවිපෙ වෙනත් නායකයකුගේ අදහසක් නොව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායක අභාවප්‍රාප්ත දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතාගේ අදහසකි. විජේවීර මහතා කළේ එම අදහස විස්තරාත්මකව නිශ්චිතව ඉදිරිපත් කිරීමකි. මුල් කාලයේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව සිටි විජේවීර මහතා ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගා මෙම අදහස ඉදිරියට ගෙන ගියද දොස්තර වික්‍රමසිංහ මහතාගේ කොමියුනිස්ට් පක්ෂයට එවැනි අවශ්‍යතාවක් තිබුණේ නැත.
කෙසේ වෙතත් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ලෙහෙසි පහසු කටයුත්ත නොවේ. ගංගා නිම්නවලින් සහ කඳුකරයේ අඩි 5000 ඉහළින් හා අංශක 30කට වඩා ඇති බෑවුම්වල වන වගාව සඳහා එහි දැනට ජීවත්වන ජනතාව එම තැන්වලින් ඉවත් කර යළි පදිංචි කරන්නේ කොහිද? එසේ යළි පදිංචි කරනු ලබන ජනතාවගෙන් සෑහෙන පිරිසකට විකල්ප රැකියා අවශ්‍ය වනු ඇත. දරුවන්ට පාසල් අවශ්‍ය වනු ඇත. එසේම වතුකරයේ ජනතාව හා අනෙකුත් සුළු ජන කණ්ඩායම්වලට අයත් පිරිස් එසේ අලුත් ප්‍රදේශවල පදිංචි කිරීමට යාමේදී ඔවුන් විසිරී ගොස් ඔවුන්ගේ දේශපාලන නියෝජනය පිළිබඳ ප්‍රශ්න මතු විය හැකිය.
එසේ වුවද දිසානායක මහතා ඉදිරිපත් කළේ වැඩපිළිවෙළක් නොව අදහසක් පමණි. කඳුකරයේ ජනාවාස පිළිබඳව ආණ්ඩුවේ ඉල්ලීම පරිදි ආසියානු සංවර්ධන බැංකුව අධ්‍යයනයක් ආරම්භ කළ බවක්ද දැනගන්නට නැත.
අනෙක් අතට ශ්‍රී ලංකාව තවමත් 2021 / 22 ආර්ථික අර්බුදයෙන්ද මුළුමනින්ම ගොඩගනු ලැබ නැත. 2028 න් පසු ආණ්ඩුවට විදේශ ණය ගෙවීමේ ප්‍රශ්නයකටද මුහුණ දීමට සිදුවේ. මේ වසරේ ඇතිවූ ගංවතුර හා නායයාම් නිසා ඇතිවූ දේපළ හානියත් සමගින් ආර්ථිකයට ඇතිවූ බලපෑමත් අතිවිශාලය. එවැනි තත්වයක් යටතේ යළි පදිංචි කිරීමේ අතිවිශාල කටයුත්තකට අත ගසන්නට ආණ්ඩුවට දැන්ම හැකියාවක් තිබේද යන්නද ගැටලුවකි.
ආපදා තත්වය මුළුමනින්ම පහව ගිය පසු ආපදා අනතුරු ඇති ප්‍රදේශවල ජනතාවගේද මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ ආකල්පය වෙනස් විය හැකිය. ඒ අනුව මෙම අදහස වැඩපිළිවෙළක් බවට පත්වේද යන්න කාලය විසින් තීරණය කරනු ලැබිය යුතුය ප්‍රශ්නයකි.
(*** එම්.එස්.එම්.අයුබ්)
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශපාලනයට කොටු වුණු ගංවතුර