කච්චතිව් දූපත සෑම කලකම ලංකාවේත් ඉන්දියාවේත් දේශපාලනය කළඹන දූපතකි. යාපනයට අයත් දූපත් පෙළේ ඉන්දියානු ලංකා මුහුදු දේශ සීමාව වැටී ඇත්තේ කච්චතිව් අසලිනි.
1974 වසරේ දී ශ්‍රී ලංකා අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීම උඩ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනිය මෙම දූපත ලංකාවට සින්නක්කරවම පවරා දුන්නාය. එහෙත් තමිල්නාඩු දේශපාලකයන් මෙම තීන්දුව විවේචනය කරන අතර ධීවර ප්‍රශ්න මතුවනවිට හා මැතිවරණ ළංවනවිට කච්චදූව යළි පවරා ගැනීම ගැන තමිල්නාඩු දේශපාලකයෝ ප්‍රකාශ නිකුත් කරති.
දකුණු ඉන්දීය නළුවකු හා දේශපාලකයකු වන තලපති විජේ කච්චදූව යළි ඉන්දියාවට පවරා ගත යුතු බව මේ දිනවල කියමින් සිටියි.
ඉකුත් දිනවල යාපනයේ සංවර්ධන වැඩ කිහිපයකට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද යාපනය ධීවරයන් හමුවේ පැවසුවේ කච්චදූව කුමන ක්‍රමයකින්වත් අතහැරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බවය. ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
‘‘විශේෂයෙන්ම ධීවර ජනතාවට වැදගත් තැනක් කච්චතිව් කේන්ද්‍ර කරගෙන ගොඩනැගී තිබෙනවා. අපේ මුහුද ගොඩබිම අපේ අහස ආරක්ෂා කරන්න අපි කිසිදු බලපෑමකට යටත් නොවන බව ඔබට කියන්න කැමැතියි......’’ යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
යාපනය නිල සංචාරයේදී ජනාධිපතිතුමා කච්චතිව් දූපතට යාමට තීරණය කළේ හදිසියේය. එම ගමන නිල සංචාරයට ඇතුළත්ව තිබුණේ නැත. එහෙත් උතුරට ගිය පසු උතුරේ ධීවර ප්‍රජාව ඇතුළු මහජනතාව ජනාධිතිවරයාගෙන් විමසා ඇත්තේ කච්චදූව ලංකාවට අහිමිවේ ද? තමන්ට එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවීමට නොහැකිවේ ද වැනි ප්‍රශ්නය. කිසිදා රටට අයත් භූමි ප්‍රදේශ අහිමි වීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇති අතර කච්චතිව් නැරැඹීමට තමාට යා යුතු බවද පවසා ඇත. ඒ අනුව ගමන සූදානම් විය.
කච්චතිව් ශ්‍රී ලංකා රජයට අයත් දූපතක් ලෙස සින්නක්කර අයිතිය හිමිවීමට පෙර එම දූපත මෙරටට ඉන්දියාවේ සිට හොරෙන් අනවසර පදිංචිකරුවන් හෙවත් කල්ලතෝනින් ගෙන එන ප්‍රධාන තිප්පොල බවට පත්වී තිබිණ. එමෙන්ම ඉන්දියාවේ සිට මෙරටටත් මෙරට සිට ඉන්දියාවටත් හොරබඩු ගෙන යන්නන්ගේ තිප්පොලක් විය. නාවුක මුර යාත්‍රා බහුලව නොතිබූ එකල මෙම දූපත පැවතුණේ ඉන්දියානු ජාවාරම්කාර මුදලාලිලා සතුවය. කච්චදූවට රවටා ගෙන යන පුද්ගලයන් සිය ගණනක් රඳවාගෙන වහල් වැඩ ගත් ආකාරය 1968 වර්ෂයේ එම දූවෙන් පැන ආ පුද්ගලයකුගේ ප්‍රකාශයක් ආශ්‍රයෙන් ඇත්ත පුවත්පතේ ප්‍රධාන පුවත ලෙස පළකර තිබිණ. ‘‘කච්චදූවේ වහල් කඳවුරු වටලන්න බලයක් ලංකාවට නෑ......’’ යන මැයෙන් පළවූ එම ප්‍රධාන පුවතේ මෙසේ ද සඳහන් විය.
‘‘කච්චදූවේ වහල් කඳවුරු 32ක වහල් වැඩ කිරීමට සිංහල තරුණයන් යොදවා ඇති නමුදු ඔවුන් බේරා ගැනීමට හෝ එම වහල් කඳවුරු වැටලීමට හෝ ලංකා පොලිසියට අයිතියක් නැති බව අනාවරණය වී තිබේ.’’
මෙම වහල් කඳවුරක සේවය කරමින් සිට ඉන් පැන ආ තිස්සමහාරාම වීරවිල එදිරිසිංහ නිශ්ශංක නමැති 28 හැවිරිදි තරුණයා පොලිස් මූලස්ථානයට ගොස් මෙම වහල් කඳවුරු ගැන පැමිණිලි කළ අවස්ථාවේ පොලිස් පරීක්ෂකවරයෙක් කරුණු පැහැදිලි කරමින් ලංකාණ්ඩුවට කච්චදූව ගැන බලයක් නොමැති බව පවසා ඇත.
ඔහු කලක් සේවය කර ඇත්තේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේය. එහි රැකියාව නැතිවූ පසු දිනක් ඔහුව හමුවූ පුද්ගලයෙක් රැකියාවක් සොයා දීමට පොරොන්දු වී මෝටර් බෝට්ටුවකින් මෙම දූපතට ඔහු කැඳවාගෙන ගොස් ඇත. එම දූපතට ගොඩ බසිත්ම රයිපල් රැගත් දෙදෙනකු පැමිණි බවත් ඔවුන් වාඩි තුනකට කැඳවාගෙන ගොස් නවාතැන් දුන් බවත් එම තරුණයා පවසයි. මෙවැනි වාඩි 32ක සිංහල තරුණයන් 600ක් පමණ වහල් සේවයේ යොදවා ඇති බව එම තරුණයා පසුව දැනගෙන ඇත. එම වාඩි පාලනය කළේ දමිල ජාතිකයන්ය. එම කඳවුරට රෑට කල්ලතෝනින් පිහිනා එන බවත් එහි දී යාපනයට ගෙන යාම බෝට්ටු මගින් කරන බවත් තරුණයා දැක ඇත. ලණු ඇඹරීම, කරවල වේළීම, ලංකාවේ සිට ඉන්දියාවට පිටමං කරන මැණික්, කුරුඳු, තේ, රබර් ආදිය බෝට්ටුවලට පැටවීම හා ඉන්දියාවෙන් හොර රහසේ ගෙන එන අබිං, රත්රන්, පතරොන් හා ඉන්දියන් සාරි වැනි දෑ බෝට්ටුවලින් ගොඩ බෑමත් මෙම වහල් තරුණයන්ට කිරීමට සිදු වූ රාජකාරිය බවද තරුණයා පොලිසියට පවසා ඇත. ඔහු තවත් අයකු සමග ඉතා අසීරුවෙන් ඉන් පැන ආ බවද පොලිසියට ප්‍රකාශ කර තිබේ.
කච්චදූව හෙවත් කච්චතිව් පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි ඩෙල්ෆ්ට් දූපතට ඈතිනි. උතුරේ දූපත් අතරින් ලංකාවට ඈතින්ම පිහිටා ඇත්තේ කච්චතිව් දූපතය. සංචාරක ධීවරයන් විසින් මෙම දූපතේ සාන්ත අන්තෝනි මුනිවරයාගේ පූජාස්ථානයක් ඉදිකරනු ලැබ තිබේ. මෙම දූපත දිගු කලක පටන් ඉන්දියානු මෙන්ම ලාංකික ධීවරයන් ද විවේක ගත් තැනකි. නිදහසෙන් පසු දශක හතරක පමණ කාලයක් මෙම දූපත හොරබඩු ජාවාරම්කාරයන්ගේ තිප්පොලක් විය. ඉන්දු- ලංකා දේශ සීමාව මේ ආසන්නයෙන් වැටී අති නිසා දෙරටේම එකල ඉතා සීමිත වූ ආරක්ෂක අංශවලට මෙම දූපත මුර කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත.
ශත වර්ෂයක කාලයක් ඉන්දියාව සහ ලංකාව කච්චතිව් දූපතට අයිතිවාසිකම් කීහ. ඉන්දියානු ආණ්ඩු කීපයක්ම මෙම ප්‍රශ්නය තදින් ග්‍රහණය කරගෙන සිටියේ තමිල්නාඩුවේ ධීවර ප්‍රජාවගෙන් ආ බලපෑම් නිසාය. ඉන්දියාවට අයත් මුහුදු ප්‍රමාණය සීමා වී ඇත්තේ තමිල්නාඩුවට සැතපුම් විස්සකට පමණ ඔබ්බෙන් ලංකාව පිහිටා ඇති නිසාය. දෙරට අතර පටු මුහුදු තීරුව ද ගල්පර ගහණ නිසා ධීවර කර්මාන්තයට නුසුදුසුය.
ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවල ධීවරයන්ට එරට බටහිර හා නැගෙනහිර මුහුදු තීරය ඇතත් තමිල්නාඩු ධීවරයන්ට ඇති පටු මුහුදු තීරය ප්‍රමාණවත් නොවීම නිසා ඔවුහු නිරතුරුවම ලංකා මුහුදු සීමාවට ඇතුළු වෙති. කච්චතිව් දූපත අසල මත්ස්‍යයන් විශාල වශයෙන් සිටින නිසා ඉන්දියානු ධීවරයන් ලංකාවට අයත් මුහුදු තීරයට පැමිණ මත්ස්‍ය සම්පත නෙළාගෙන යාම ලංකාවේ ධීවරයන්ට මහත් ප්‍රශ්නයක් වී තිබුණේය. මේ නිසා‘‘කච්චතිව්’’ දූපත දේශපාලන ප්‍රශ්නයක් බවට පත්ව තිබුණේය.
කච්චතිව් දූපතේ ප්‍රමාණය අක්කර 280කි. ලංකාවට වඩාත්ම දුරින් පිහිටි මෙරටට අයත් දූපත වන්නේ කච්චතිව් දූපතය. එය දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් නගරයට වඩාත් ආසන්නව පිහිටා තිබේ. කච්චතිව් සිට රාමේෂ්වරම්ට කිලෝමීටර් 24ක දුරක් ඇති අතර ලංකාවේ යාපනයට කිලෝමීටර් 63කි. යාපනයට වඩා කච්චදූව ඉන්දියාවේ රාමේෂ්වරමට කිට්ටු නිසා දකුණු ඉන්දීය දේශපාලන වේදිකාවේ නිතර කච්චදූවේ අයිතිය ගැන උණුසුම් මත පළවෙයි. එම වාගාලාප වඩාත් මතුවන්නේ දකුණු ඉන්දියාවේ මැතිවරණ සමය ළංවද්දීය. තලපති විජේ කච්චදූව ඉන්දියාවට පවරා ගත යුතු බවත් හමුදාවක් සමග හෝ ගොස් එය පවරා ගන්නා බවත් ඉකුත්දා පවසා ඇත්තේද තමිල්නාඩුවේ මැතිවරණ සමයක් එළැඹී තිබෙන නිසාය. මැතිවරණය අවසන්වූ පසු තලපති විජේ යළිත් පුරුදු සිනමා වෘත්තියටම යන නිසා මේ වටයේත් කච්චතිව් කතාබහ ද එතැනින්ම නිමවනු ඇත.
(*** ප්‍රේමකීර්ති රණතුංග)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තමිල්නාඩු විජේට කච්චතිව් පවරාගන්න පුළුවන්ද?