IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ගෑස් හිඟයට හේතු නොකියා ඉක්මනින්ම විසඳුමක් ඕනෑ

අපේ රටට සංවේදී වචන අතරේ පෝලිම් යනු අධි සංවේදී වචනයකි. පෝලිම් හේතුවෙන් ඇතිවූ ව්‍යාකූලභාවය දරුණු අර්බුදයක් බවට පෙරළී අවසානයේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සිය ධුර පවා අහිමි විය. ඉන්පසුව පත්වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් කෙටි කලකින්ම පෝලිම් යුගයට තිතක් තැබිණි. ඒ නිසාම රට තුළද කිසියම් සන්සුන් තත්ත්වයක් ඇතිවූයේ තෙල් සහ ගෑස් නොමැතිව සිටි ජනතාවට ඒවා පෝලිම්වලින් තොරව ලබා ගැනීමට හැකියාව ලැබීම හේතුවෙනි.

එවැනි තත්ත්වයක් පවතිද්දී යළිත් ගෑස් හිඟයක් හේතුවෙන් පෝලිම් ඇතිවීම ඇඟ හිරිවට්ටන ප්‍රවෘත්තියකි. ලාෆ්ස් ගෑස් වෙළෙඳපොළ තුළ එතරම් බහුල නොවූවද ලිට්‍රෝ ගෑස් ගෙන්වීම, ගබඩා කිරීම සහ බෙදාහැරීම ක්‍රමානුකූලව සිදුවෙමින් පැවතිණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා සිය වගකීම් හඳුනා ගනිමින් පාරිභෝගිකයාගේ අවශ්‍යතා සම්පූර්ණ කරදීමට කෙටි කලකින්ම සමත් විය.

එපමණක් නොව ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩුවීමට සමපාතිකව ලිට්‍රෝ ගෑස් මිලද පහත දැමීම ජීවන බරින් මිරිකෙමින් සිටි ගෑස් පාරිභෝගික ජනතාවට මහත් සහනයක් විය. ඉදිරියේදී යළිත් වරක් ලිට්‍රෝ ගෑස් මිල පහත දමන බවටද සභාපතිවරයා ප්‍රතිඥා දී තිබිණි. ලිට්‍රෝ සමාගම මගින් භාණ්ඩාගාරයට ආපසු ගෙවීමට නියමිත මුදලින් කොටසක් ගෙවා තිබෙන අතර මේ වසර අවසන් වනවිට එම සම්පූර්ණ මුදල ගෙවා අවසන් කිරීම තම බලාපොරොත්තුව බවද සභාපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

ගෑස් සඳහා යළිත් පෝලිම් ඇතිවෙන්නේ මේ පසුබිමේය. යළිත් ගෑස් හිඟයක් පිළිබඳ කතා පැතිරෙද්දී කොළඹ නගරයේ ගෑස් බෙදාහැරීමේ ප්‍රමාදයක් නැති බවට වූ ප්‍රකාශයක් පමණක් නිල නොවන මට්ටමින් මාධ්‍යයේ පළ විය. එහෙත් සෙසු නගරවලට ගෑස් සැපයීම අර්බුදයක් බවට පත්වී යළිත් පෝලිම් ඇතිවීම මේ අවස්ථාවේ හැටියට දැඩි ලෙස අවධානයට යොමුවිය යුතු කාරණයක් සේ අපි දකිමු.

ගෑස් හිඟය හේතුවෙන් දර ළිප ඇතුළු විකල්ප ඉවුම් පිහුම් ක්‍රමවලට හුරු වූ ජනතාවද ගෑස් බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟ යළිත් ගෑස්වලට පුරුදුවීම බලාපොරොත්තු විය යුත්තකි. විශේෂයෙන්ම මහල් නිවාස පදිංචිකරුවන් සහ කුඩා ඉඩම් ප්‍රමාණයක නිවෙස් ඉදි කරගෙන සිටින විශාල ජනකායක් මේ හේතුවෙන් යළිත් පීඩාවට පත්වීම නොවැළැක්විය හැක. කර මුලටම බදු වැදීමෙන් අසහනයට පත්ව සිටින පොදු මහජනතාවට මෙය ඇවිළෙන ගින්නට පිදුරු දැමීමකි.

මාස කිහිපයක් තිස්සේ රටපුරා පැවති අර්බුදකාරී වාතාවරණය ඇතිවීමට විවිධ හේතු බල පෑ අතර ගෑස් හිඟයත් නිවෙස්වල ගෑස් ටැංකි පුපුරා යාමත් එම හේතු අතර ඉදිරියෙන්ම තිබිණි. යළිත් වරක් එම හේතුව ඉස්මතු වීම වළක්වා ගැනීම බලධාරීන්ගේ වගකීම බව පෙන්වා දෙමු.ගෑස් හිඟවීම හේතුවෙන් කොළඹ පවා ඇතැම් පිරිස් යළිත් භූමිතෙල් සොයා යන බවට වාර්තා ද පළ විය.

මේ වාතාවරණය යටතේ ගෑස් සපයන සමාගම් දෙක නිහඬ වීම ජනතාව තුළ බරපතළ සැක සංකා මතුවීමට හේතුවෙයි. දැනගන්නට තිබෙන අන්දමට ගෑස් බෙදාහැරීමට බාධා පැමිණ ඇත්තේ ණයවර ලිපි නිකුත් කිරීමට බැංකු ඉඩ නොදීම හේතුවෙනි. එසේ නම් ඊට අදාළව ගතයුතු පියවර අප්‍රමාදව ගතයුතු බව බලධාරීන්ට පවසමු. ගෑස් පෝලිම්වල සිටින ජනතාව මේ වනවිටද දැඩි ලෙස නොසන්සුන්ව සිටින බවට පළවන වාර්තා කෙරෙහිද සැලකිලිමත් විය යුතු බවත් ඒ සමඟ පෙන්වා දීමට කැමැත්තෙමු.

ගෑස් හිඟයකට යළිත් රට මුහුණ දෙන අවස්ථාවේ ගෑස් වෙනුවට විකල්ප ක්‍රම භාවිත කිරීමට ජනතාව පෙළඹවීමට කිසියම් හෝ උත්සාහයක් දරන්නේ නම් එය ගඟට ඉනිකැපීමක් වන බවද අකැමැත්තෙන් වුවද පිළිගත යුතුව තිබේ. එක් විකල්ප මාර්ගයක් වූ විදුලි උපකරණ භාවිතය මේ වනවිට ජනතාව අතරින් ඈත්ව ගොස් ඇත්තේ දැරිය නොහැකි ලෙස විදුලිය ගාස්තු වැඩිවීම හේතුවෙනි.

දර භාවිතයද ඉහළ ගොස් ඇති මිල ගණන් සමඟ එතරම් පිරිමැසුම්දායක නොවන ක්‍රමයක් බවට පත්ව තිබේ. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සමඟ පොරබදන ජනතාවට පහසුවෙන් කෑම ටික උයාගැනීමට අවශ්‍ය ගෑස් හිඟයකින් තොරව ලබාදීමට අවශ්‍ය පියවර ගැනීම හැර වෙනත් විකල්පයක් නැත. එසේම ගෑස් සුලබවීමත් සමඟ යළි ආරම්භ වූ කුඩා හෝටල්, ආපනශාලා සහ ආප්ප, ඉඳිආප්ප ව්‍යාපාරද යළිත් ගෑස් නැතිවීම නිසා වසා දැමීමට සිදු වුවහොත් එයින් දහස් ගණනකගේ ආදායම් මාර්ග ඇහිරී යනු ඇත. එවැනි තත්ත්වයකට ඉඩක් නොතැබිය යුතුය.

උද්ගතව තිබෙන තත්ත්වයට හේතුව ඩොලර් හිඟකම බව එක් ගෑස් සමාගමක නිලධාරියෙක් ප්‍රකාශ කර තිබිණි. එය එසේ නම් වහාම පිළියම් යෙදිය යුතු තත්ත්වයට ගෑස් හිඟය තල්ලු‍ වෙමින් තිබේ. අවශ්‍ය වන්නේ එයට හේතු දැක්වීම් නොව ප්‍රායෝගික විසඳුමකි.

(***)



අදහස් (0)

ගෑස් හිඟයට හේතු නොකියා ඉක්මනින්ම විසඳුමක් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 370 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2165 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1642 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site