IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


කෘෂි ආර්ථික ගමන්මග කොයිබටද?

ජාත්‍යන්තර දේශපාලනයේ මතුවී තිබෙන සංකීර්ණ යුදමය තත්වය යම් තරමකින් අඩු වෙමිනල් පවතී. රුසියානු - යුක්ක්‍රෙන ගැටුම එක පසෙකිනුත් ඊශ්‍රායල් - ඉරාන ගැටුම තව පැත්තකිනුත් උත්සන්නවීම නිසා ලෝක ආර්ථියට බරපතළ බලපෑමක් සිදුවන්නට පටන් ගත් බව නොරහසකි.

අපේ රට වැනි කුඩා ආර්ථිකයක් සහිත රටකට මෙහි තිබෙන බලපෑම ඉතාමත් විශාලය. ජාත්‍යන්තර වෙළෙඳාම, තෙල් මිල වැනි සංවේදී කලාප මෙවැනි ලෝක ගැටුම් හේතුවෙන් බරපතළ ආකාරයෙන් වෙනස්කම්වලට භාජන බව බව පැහැදිලිය. කොවිඩ් උවදුර මතුවීමත් සමග අපේ ආර්ථිකය සංකෝචනය වූ ආකාරය 2019-22 කාලයේ සිදුවූ සිදුවීම්වලින් පෙනීගිය කරුණක්ය.

ඒ නිසා මැදපෙරදිග ගැටුම සමහන් වීම ඉතාමත් තීරණාත්මක බව පැහැදිලිය. ලෝක ආර්ථිකය (මුහුදු මාර්ග බාධා ඉවත් වෙමින්) ශක්තිමත්ව ඉදිරියට ඇදෙනු ඇතැයි අපි හැමගේ බලාපොරොත්තුවය.

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ යුද්ධය ගැන හෝ ලෝක ආර්ථිකයේ දිශානතීන් ගැන නොවේ. මා මෙවර සාකච්ඡා කරන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වැදගත් කරුණු කීපයක් පිළිබඳවය. මෙරට කෘෂිකර්මාන්තය පිළිබඳව පසුගිය මාස කීපයේ වැඩියෙන් කතා කෙරුණේ විශේෂයෙන්ම වන සතුන්ගේ වගාහානි පිළිබඳ කාරණය හේතුවෙන්ය. වන සතුන්ගේ වගා හානි පිළිබඳව සමීක්ෂණයක් ද සිදු කෙරුණු බව අපට මතකය.

 

වැදගත් අමාත්‍යාංශයක්

කෘෂිකර්ම අමාත්‍යාංශය කියන්නේ අපේ රටේ ඉතාමත් වැදගත් හා තීරණාත්මක අමාත්‍යාංශයකි. එය ඒ ඒ කාලවල භාරගත් නායකයන් අතර සිටි සමහරු ජනාධිපතිවරුන් බවට ද පත් වූහ. මගේ තේරුම් ගැනීම වන්නේ වත්මන් ආණ්ඩුවේ ද වඩාත්ම ප්‍රායෝගික ‘‘ගෝ ගෙටර්’’ (Go getter) වර්ගයේ ඇමතිවරයා බව පෙනෙන්නේ වත්මන් කෘෂිකර්ම ඇමතිවරයාය. ඔහුටම වාරිමාර්ග, මහවැලි සංවර්ධන සහ පශු සම්පත් යන විෂයයන් 03 ත් එකතු කර ලබාදීම ඉතාම වැදගත්ය. ඒ ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට අවශ්‍ය සියලු ආයතන (වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, NLDB ආයතන වැනි) සියල්ල එකම තැනකින් මෙහෙයවීම ඉතාමත් හොඳ වැඩක්ය.

මේ සියල්ල සමගින් කෘෂිකර්මාන්තයේ වර්ධනය සඳහා නිවැරදි ප්‍රතිපත්ති තීරණ, රෙගුලාසිකරණය සහ ප්‍රතිපත්ති/නීති ක්‍රියාත්මක කිරීම (Policy + Regulation making and implementation) යන ක්‍රියා 03 සිදුවෙනු ඇතැයි අපගේ බලාපොරොත්තුවය.

 

කෘෂිකර්මාන්තයේ ප්‍රශ්න කීපයක්

අපේ රටේ කෘෂිකර්මාන්තයේ ගැටලුව කුමක්දැයි තෝරා ගැනීම මෙහිදී මූලිකම අවශ්‍යතාවක්ය. සමහරුන් ප්‍රශ්නය තේරුම් ගන්නේ බාගෙටය. වන සතුන්ගෙන් සිදුවන හානිය ප්‍රධාන ගැටලුව බව සමහරුන් කියන බව සැබෑය. එහෙත් එය ප්‍රශ්නයේ ඉතාමත් කොනක තිබෙන කෑල්ලක් මිස ප්‍රශ්නයේ මූලික කාරණය නොවේ.

අපේ කෘෂිකර්මාන්තයේ තිබෙන ගැටලුකාරිත්වය ක්ෂේත්‍ර කීපයක් පුරාම විසිරී පවතින බව මගේ අදහසය. මුලින්ම කෘෂිකර්ම ප්‍රතිපත්තිය එල්ල කරගත යුත්තේ පරිභෝජනය සහ අපනයනය යන ක්ෂේත්‍ර දෙකම සම තත්වය තබාගෙනය. පරිභෝජනය සඳහා පමණක් කෘෂිකර්මාන්තය හදන්නට යාම නිසා එම ක්ෂේත්‍රයට නව තාක්ෂණය හා යාන්ත්‍රිකරණය එක් වන්නේ නැත. ‘‘තම තම ණැන පමණ ගොවිතැන් කිරීමට’’ ජනතාව පෙළැඹී ඇත්තේ මේ ප්‍රතිපත්ති වරද නිසාය.

දෙවැනුව අපේ රටේ භූමි පරිභෝජන සැලැස්ම හෙවත් Land use plan එකක් තවමත් හරියට අනුමත කර නැත. ඒ ඒ ආණ්ඩු සහ ඒ ඒ රාජ්‍ය ආයතන තමන්ගේ ආයතනික ආකෘතින්ට අනුව අනුමත කිරීම් සිදු කරන අතර ‘‘හැම දෙයක්ම හැම තැනම’’ සිදුවෙන ආකාරය භූමි පරිහරණයක් රටට කා වැදී ඇත. ප්‍රාදේශීය හා නගර සභා පාලනය ද තමන්ගේ ආයතන ව්‍යුහයක් තුළ මේ වැනි අතිශයෙන් වැදගත් ජාතික විෂයයක් පිළිබඳව (ජාතික භූමි පරිහරණ සැලැස්ම පිළිබඳව) තීරණ ගැනීම හේතුවෙන් මේ තත්වය තවත් ගැටලුකාරී වී ඇත.

කෘෂිකර්මාන්තයට යෙදිය හැකි භූමිය වෙනත් කාරණා සඳහා යොද ගැනීමත් හේතුවෙන් සහ අවිධිමත් භූමි පරිහරණය නිසා සිදුවූ භූමි නාස්තිය අති විශාලය. තුන් වෙනුව පාංශු සංරක්ෂණය යන විෂය මෙරට කෘෂිකර්මාන්තයේ එතරම් සාකච්ඡාවට ලක් නොවන අවැදගත් දෙයක් බවට පත්වී ඇත. පස යනු ඉබේ වර්ධනය වෙන දෙයක් හෝ හැමදාම සාරවත්ව තිබෙන දෙයක් නොවේ. එය සාරවත් කළ යුත, සංරක්‍ෂණය කළ යුතු දෙයකි. විශේෂයෙන්ම, පොහොර, කෘමිනාශක ඇතුළු විෂකාරක සමගින් පස තුළ සිදුවන කාබනික ක්‍ෂුද්‍ර ජීවි ක්‍රියාවලින් වෙනස්වීමත් අවධානයට ගන්නා විට පාංශු සංරක්‍ෂණ හා පාංශු පෝෂණ වැඩ පිළිවෙළක් ජාතික මට්ටමින් කෘෂිකර්මාන්තය වෙනුවෙන් දියත් කිරීම අත්‍යාවශ්‍යය.

හතර වෙනුව මෙරට කෘෂිකර්මාන්තයේ තිබෙන බරපතළ ගැටලුවක් වන්නේ බීජ තාක්ෂණය නිසි පරිදි යාවත්කාලීන නොකිරීමය. බීජ තාක්ෂණය යනු ඉතාමත් අත්‍යාවශ්‍ය විෂයකි. කෘෂිකර්මාන්තය පැත්තෙන් අපේ රටට ආදර්ශයට ගත හැකි සමාන රටක් වන ඊශ්‍රායලයෙන් ඉගෙන ගත යුතු පාඩමක් වන්නේ බීජ තාක්‍ෂණය අති නවීන ආකාරයෙන් දියුණු කරගෙන ඇති ආකාරයය. අනෙක් අතට අපනයනය මුල්කරගත් කෘෂිකර්මාන්තයක් පිළිබඳව අප විශ්වාස කරන්නේ නම් බීජ තාක්‍ෂණය සඳහා ආයෝජනය කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු කාරණයක්ය.

පස් වැනුව වැදගත් කාරණය වන්නේ ජල කළමනාකරණයයි. අපේ රට ජල කළමනාකරණය පැත්තෙන් ඉතිහාසයේ අනෙක් බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිටි බව අපි හැමෝම දන්නා කාරණයක්ය. පුරාණ මුතුන් මිත්තන් පමණක් නොව 1948 න් පසු ගල්ඔය ව්‍යාපාරය, උඩවලවේ ව්‍යාපාරය, රාජාංගන ව්‍යාපාරය, මහවැලි ව්‍යාපාරය වැනි ජල ව්‍යාපෘති හරහා විශාල එකතු කිරීමත් ඒ ක්ෂේත්‍රයේ සිදුකර ඇත. එහෙත් කුඩා කෘෂි ව්‍යාපෘති සඳහා ජලය සංවිධානය කිරීම තවමත් නිසි පරිදි සිදු වන්නේ නැත. විශේෂයෙන්ම භූගත ජලය වගාවන් සඳහා පාවිච්චි කළ හැකි ආකාරයේ ‘‘ජල බිංදු ක්‍රම’’ වැනි සමහර දියුණු තාක්‍ෂණය මෙරට කෘෂි කර්මාන්තයට හඳුන්වා දිය යුතුය.

හය වැනුව ඉතාමත් වැදගත් කාරණයක් වන්නේ දේශීය වෙළෙඳපොළ සහ විදේශීය වෙළෙඳපොළ සමග සම්බන්ධ කරගත් වාණිජ කෘෂිකර්මාන්තයක් වෙතට සුළු, මධ්‍ය පරිමාණ සහ විශාල කෘෂිකාර්මිකයන් බිහි කිරීමේ ක්‍රියාදාමයක් වෙත ගමන් කිරීමය. මෙහිදී අස්වනු කල් තබා ගැනීමේ ශීතාගාර කුලී පදනම මත සුළු හා මධ්‍ය පරිමාණ ගොවියන් වෙත ලබාදීම ඉලක්ක කරගත් ආයෝජන ද දිරිමත් කළ යුතුය. පසු අස්වැන්න කළමනාකරණය ඉතාමත් අවශ්‍ය ක්ෂේත්‍රයක් ලෙසින් පිළිගැනීම මෙහිදී අවශ්‍යය.

 

අපි ඉන්නේ කොහිද?

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අපි සිටින්නේ කොහිද යන කාරණය දත්ත සහ සංඛ්‍යා මත තේරුම් ගැනීම දේශපාලනයේ සිටින අය සහ රට පාලනය කරන අය අනිවාර්යයෙන්ම කළ යුතු කාරණයක්ය. මේ වන විට අපේ රටේ කෘෂිකර්මාන්තයේ විශාලතම කොටසක් දරන්නේ, නැගෙනහිර පළාත, වයඹ පළාත, උතුරු මැද පාලන සහ මධ්‍යම පළාත බව බැලූ බැල්මට පෙනී යන කාරණයකි. උදාහරණයක් වශයෙන් නැගෙනහිර පළාත සලකා බලන්න. ජාතික සහල් නිෂ්පාදනයෙන් සියයට 25 ක්, ජාතික කිරි නිෂ්පාදනයෙන් සියයට 17 සහ මාළු නිෂ්පාදනයෙන් සියයට 21 ගෙනෙන්නේ නැගෙනහිර පළාතය. වයඹ පළාත ගතහොත් පොල් නිෂ්පාදනයෙන් සියයට 25 ක් හා සහල් නිෂ්පාදනයෙන් සියයට 18 ක් ලැබෙන්නේ ඒ පළාතෙනි. පළාත් සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ දී මේ දත්ත අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය.

 

ජාත්‍යන්තරයට සාපේක්ෂව අපේ තත්වය

අපේ රටට ප්‍රමාණය අතින් ඉතාමත් සමාන ඊශ්‍රායලය වැනි රටක් සමග සාපේක්ෂව ගත් විට අපේ තත්වය පෙනෙන්නේ ඉතාමත් දුර්වල එකක් ලෙසින්ය. ඊශ්‍රායලයේ වගා බිම් ප්‍රමාණය මුළු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 20 කි. අපේ වගා බිම් ප්‍රමාණය මුළු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 30 කි. එහෙත් මේ රටවල් දෙකෙහි කෘෂිකර්මාන්තයේ ලබා දී ඇති ජයග්‍රහණ ප්‍රමාණය අහසට – පොළව තරම් වෙනස්ය. ඊශ්‍රායලය කෘෂිකර්මාන්තය පැත්තෙන් ස්වයංපෝෂිත වී ඇතිවා පමණක් නොව අපනයන කෘෂිකර්මාන්තයේ ප්‍රබලයෙක් බවට පත්වී ඇත.

 

පශු සම්පත් ක්ෂේත්‍රය

කෘෂිකර්මාන්තයට සම්බන්ධ තවත් ක්ෂේත්‍රයක් වන්නේ පශු සම්පත් සහ සත්ව පාලන අංශයයි. මිනිස් ප්‍රෝටීන අවශ්‍යතාව පැත්තෙන් පශු හා සත්ව අංශය ඉතාමත් වැදගත්ය. අපට රටක් ලෙසින් නිෂ්පාදනය කරගත හැක්කේ අපේ කිරි අවශ්‍යතාවෙන් සියයට 38 පමණය. ඒ රජය හා පෞද්ගලික අංශය සතුව කිරි ගවයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් සහිතව සිටිමින්ය. වසරකට කිරි ආශ්‍රිත ආනයන සඳහා ඩොලර් මිලියන 300 පමණ මේ වන විට වැය කරන්නට සිදුවී තිබේ.

රටේ දළ ජාතික නිෂ්පාදනයට සමස්ත කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වය සියයට 8 වන අතර පශු ක්ෂේත්‍රයේ අගය වන්නේ සියයට 1.2 තරම් කුඩා එකක්ය. පෝෂණය සහිත, ප්‍රොටීන් බහුල ආහාර වේලක් සඳහා රට තවමත් සිටින්නේ ඉතාමත් ප්‍රාථමික තත්වයකය.

මෙම අභියෝගය ජය ගැනීම කෘෂි ක්ෂේත්‍රයේ සියලු ව්‍යවසායකයන්ගේ වගකීම බවට පත්විය යුතුය.

 

නව නීති හා රෙගුලාසි අවැසි කාලයක්

මේ වන විට රටේ නව කෘෂිකාර්මික වාණිජ ව්‍යාපාරයක් ලෙසින් හඳුනාගත් ශාඛ සහ කෘෂි වගා වෙනුවෙන් ආයෝජනය කරන සමාගම් රාශියක් බිහිවී ඇත. ජනතාව මේ සමාගම් සඳහා ආයෝජනය කරන බව ද පෙනී යන කාරණයකි. විශේෂයෙන් භෝග වගා සඳහා ජනතාවට ආයෝජනය කිරීමේ හැකියාව සහිත සමාගම් පද්ධතියක් බවට මේවා පත් කිරීමට නම් ඒ සඳහා ප්‍රතිපත්ති සහ රෙගුලාසි ගොඩනැංවිය යුතුව ඇත. මේ සඳහාත් රජයේ අවධානය යොමුවීම ඉතාමත් වැදගත් බව මගේ අදහසය.

මේ අනුව කෘෂි ක්ෂේත්‍රයේ නව වෙනසක් ගොඩ නැගීමට නම් ප්‍රතිපත්ති + රෙගුලාසි + ක්‍රියාත්මක කිරීම් (Policy + Regulation and implementation) සඳහා නව කියවා ගැනීමත් අවශ්‍ය බව සඳහන් කරනු කැමැත්තෙමි.

(*** මහාචාර්ය - චරිත හේරත්)



අදහස් (0)

කෘෂි ආර්ථික ගමන්මග කොයිබටද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 286 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 247 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site