IMG-LOGO

කුමාරතුංග භාෂා වාදකයෙක්

කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ 138 වැනි උපත් සමරුව සහ කුමාරතුංග මුනිදාස සිසුවරම අනුස්මරණ ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්වුණි. කුමාරතුංග මුනිදාස පදනම මෙම උළෙල සංවිධානය කර තිබිණ. ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා මෙහිදී කළ දෙසුම ඇසුරින් මෙම ලිපිය සැකසුණි.

මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ කුමාරතුංග නම් භාෂා වාදකයා පිළිබඳවයි. කුමාරතුංග නම් මහා හෙළයා භාෂා වාදකයකු ලෙස මා මෙහිදී හඳුන්වන්නේ ඔහු වයලීනය තුරුලු කරගෙන වයලීනයේ තත් පිරිමැද වයලීනයෙන් මධුර ස්වර ගායනා කළ අයුරින් භාෂාව වාදනය කළ නිසයි. මට මතකයි ඒ දවස්වල අපේ අම්මා කියන කතාවක්. මම ඉපදුණු වෙලාවෙ අම්මයි තාත්තයි මගේ කේන්දරෙත් අරගෙන කුමාරතුංගයන්ගේ සෙවණ නිවෙසට ගිය වෙලාවෙ ඔවුන්ට ඇහිලා තියෙනවා ගේ ඇතුළෙන් වයලීන හඬක්.

වැලපෙව වැලපෙව මදුරු තතේ

තනිවම වැලපෙව අඳුරු පෙතේ

වාගේ ගීතයක් ගයමින් කුමාරතුංගයන් වයලීනය වාදනය කළ හඬ ගැන අපේ අම්මා මට කියා තිබෙනවා.

කුමාරතුංග සූරීන් භාෂාවේ සංගීතය වගේම භාෂාවේ ගැබ්ව ඇති සංස්කෘතියද මනාව දැන සිටියා. එතුමාගේ ඕනෑම ගද්‍ය හෝ පද්‍ය ප්‍රබන්ධයක කුමාරතුංග නම් භාෂා වාදකයා මුණගැසෙනවා. එම භාෂාත්මක සංගීතය තුළින් චින්තනය වින්දනය උසස් තලයකට ගෙන ගිය මහා ප්‍රාඥයකු ලෙස කුමරතුගුවන් හඳුන්වන්නට පුළුවන්. කුමාරතුංගයන් ප්‍රගුණ කළ භාෂාවේ සංගීතය යන්නට විශාල ප්‍රදේශයක් අයිති වන බැවින් මෙහිදී මා ටිකක් කියා හුඟක් හැඟවීමටයි උත්සාහ ගන්නේ. ඔහු බැලූ බැල්මට දිස්නේ දෙවන අෂ්ඨවංක මාණික්‍යයක් බඳුයි. කුමාරතුංගයන්ගේ මෙහෙවර විවිධ දෘෂ්ටිකෝණවලින් බලා ඇගැයිය හැකියි. කුමාරතුංගයන් මෙරට කලාත්මක ගීතයේ ප්‍රානේතෘවරයා හැටියට සැලකිය හැකියි. මහගම සේකර සූරීහුන් ඔහුගේ ගීත පොතේ පෙරවදනේ සඳහන් කරන පරිදි ඔහු ගීතයේ ස්වභාවය හඳුනාගන්නේත් දේශානුරාගී ගීත රචකයකු වන්නේත් කුමාරතුංග මුනිදාස මහතාගේ හෙළ මියැසිය පොත කියැවීමෙන් ලද මගපෙන්වීම නිසයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා කෝමල රේඛා සඳහා සපයන හැඳන්වීමෙන්ද වගතුග තීරුවලට ලියන ලිපිවලින්ද කුමරතුගුවන් ගැන දක්වන ඇගැයීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

කුමාරතුංග මහතා සහ ඔහු ඇරැඹූ හෙළ හවුල නිදහසට පෙර සමයේ දේශානුරාගය හා භාෂානුරාගය ඇති කිරීමට ගත් ප්‍රයත්නයට ජාතියේ නමස්කාරය පුද කළ යුතුයි. දේශානුරාගයත් භාෂානුරාගයත් සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට මේ රටේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත්, සැලසුම් සකස් කිරීමේදීත් කුමාරතුංග ගත් මග කියවා බැලිය යුතුයි.

කුමාරතුංග කීවේ

මා දෙස හෙළ දෙස වෙන කිසි දෙසකට

මා රැස හෙළ රැස වෙන කිසි රැසකට

මා බස හෙළ බස වෙන කිසි බසකට

මේ හිස නොනමමි නොනමමි කිසිවිට

කියලයි. මේ මගම හෙළ හවුලේ අනෙක් කවියන්ද ගත් බව පෙනෙනවා. අරීසෙන් අහුබුදුවන් ලියූ

 

ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා

පොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා

බලිතරු රාවණ ගැමුණු විජය බා නිරිඳුන් ලද ලංකා

පුලතිසි දැමි සිරි රහල් කුමරතුගු පඬුවන් ලද ලංකා

වගේ ගීතවලින් ද ඒ බව පැහැදිලියි. ඓතිහාසික විඥානයයි සෞන්දර්ය වින්දනයයි එක්තැන් කළ උදාර පිරිසක් වශයෙන් කුමාරතුංග හා හෙළ හවුල හඳුන්වා දිය හැකියි.

කුමරතුගුවන් පෙන්වා දෙන පරිදි නූතන කලාත්මක ගීතයට හා භාෂා වාදනයට බලපෑ අංග කිහිපයක් තිබෙනවා. ප්‍රබන්ධෝපදේශයේ වාක්‍ය ගුණ හැටියට දක්වන ප්‍රසාද ගුණය මෙහිලා සඳහන් කළ හැකියි. ගීතයක් යනු ශ්‍රවණ ගෝචර කලාංගයක්. අසන සැණින් වටහා ගැනීමට හැකිවීම ප්‍රසාද ගුණයේ ලක්ෂණයක්. යම් වාක්‍යයක් අසන්නාට සුවසේ තේරුම් යන්නේ නම් එය ප්‍රසාද ගුණයෙන් යුක්තයි. එහි මිතභානී බව තිබිය යුතුයි. මිතභානී බව යනු ප්‍රමාණයට පැවසීමයි. අර්ථය හා රසය සලකා එය සිදුවිය යුතුයි.

හෙළ මියැසිය ගීත ප්‍රබන්ධ මගින් කුමාරතුංග මුනිදාසයන් පෙන්වා දුන් ප්‍රබල ලක්ෂණයක් එය. මෙය භාෂා වාදනයට විශේෂයෙන්ම විනාඩි තුන හතරකට සීමා වන ගීතයක සංක්ෂිප්තභාවයට බලපාන්නක්. භාෂා වාදනය ගැන සඳහන් කරන විට ‘ඇ’ කාර භාවිතයට කුමරතුගුවන් අවධානය යොමු කිරීම තවත් වැදගත් කාරණයක්. හෙළ හවුලේ වෙනත් කවියන්ද සාර්ථකව මේ මග ගිය බව පෙනෙනවා. ‘ඇ’ ස්වරය ශබ්දාලංකාරයක් මෙන්ම අර්ථාවබෝධයට වැදගත් වන්නක් බව හෙළ හවුලේ කවියකු වන රැයිපියෙල් තෙන්නකෝන් කවියාගේ කුකුළු හැවිල්ල නිර්මාණයෙන් පැහැදිලි වෙනවා.

 

දුදනොද බිඳ

ලද තෙද කද

කද දෙව් රද සාමිනේ

එම ගීතයේ තිබෙනවා

පයින්මැ ගොස් ඇවිද වටේ

පොළොවැ උලා නළල් ඇටේ

කියලා. මෙහි පොළොවැ කියල යොදන්නෙ පොළොවෙහි කියන අදහසින්. එතන ‘ඇ’ කාරය යෙදුවෙ නැත්නම් අර්ථය සම්පූර්ණයෙන් විකෘති වෙනවා. ‘ඇ’ කාරයෙන් අර්ථයත් ශබ්දයත් දෙකම මතුවෙන විදිය මෙමගින් අවධාරණය වෙනවා. ඒත් කුමාරතුංගයන් ඇතුළු හෙළ හවුල ‘ඇ’ කාරය මේ විදියට අර්ථ සම්පන්නව භාවිතයට ගනිද්දී සමහරු කිව්වෙ ඒක කට ඇද භාෂාවක් කියලා. හෙළ හවුල කියන්නෙ දර්ශනයක් අරමුණක් ඇතිව කටයුතු කළ පිරිසක්.

කුමාරතුංගයන්ගේ ප්‍රබන්ධ පිටුපස තිබෙන ඉසියුම් සංගීතය අප වටහා ගත යුතුයි.

 

සුකොමල අකුරින්

බදලොල මිහිරෙන්

නොපහල බැහැරින්

හෙළ බසපේ

අක්ෂර රූපය හා ශබ්ද රූපය අතර බද්ධ වන සමාන රූපයක් පවතින බව කුමාරතුංග පැහැදිලිව ප්‍රකාශ කරනවා. අකුරේ කෝමල බව මෙන්ම ශබ්දයේද කෝමල බව පෙන්වමින් භාෂාවේ සංගීතයක් ඇති බව අවබෝධ කරවීමට කුමාරතුංගයන් මහන්සි ගත්තා. ඔහුගේ ගද්‍ය ප්‍රබන්ධවල මෙන්ම පද්‍ය ප්‍රබන්ධවලද පිටුපසින් ඇසෙන නෑසෙන හඬින් දිව යන සියුම් ඉරක් බඳු ස්වරයක අලංකාරයක් මම මේ භාෂාවේ දකිනවා. මම ඇසූ මධුරතම සංගීත සංධ්වනිය තමයි ඉරාන සංගීත සංධ්වනිය. එහි අග සිට මුල දක්වා සිහින් නූලක් සේ දිගට ඇදෙන ගුණයක් තිබෙනවා. කුමාරතුංගයන්ගේ භාෂාව ඇතුළේ මම මේ ගුණය දකිනවා. එය සංගීතමය නාද රූපයක් සිහිගන්වන්නක්. සුනිල් ශාන්තයන්ගේ දේශීය සංගීතයට පවා බලපෑවේ කුමාරතුංගයි. සුනිල් ශාන්ත ගී ඇසුරින් වෛද්‍ය රුවන් ඒකනායක සූරීහු කුමාරතුංග සහ හෙළ හවුලේ ගීත රචකයන්ගේ සංගීතමය නාද කාව්‍ය ශූරතාව අගනා ලෙස පෙන්වා දෙනවා.

කුමාරතුංග සූරීන් මේ රටේ වෙසෙසි ඥාන ගවේෂණයක් හා භාෂාත්මක වික්‍රමයක් කළ විරල ගණයේ පඬිරුවනක් බව මේ අනුව පැහැදිලියි. එතුමා භාෂාව වාදනය කර පෙන්වූ බවක් හෙළ මියැසියෙන් පැහැදිලි වෙනවා. තනුව, සරු සැරිය වගේ යෙදුම් කුමරතුගුවන් නිර්මාණය කළ වදන්.

ඓතිහාසික විඥානය ස්ථානීය වින්දනය කුමාරතුංග මහතා ඇතුළු හෙළ හවුලේ පඬිවරුන් අතර තිබූ පැහැදිලි ලක්ෂණයක්. කලින් හොඳින් සිතා හෙළ හවුලේ පඬුවන් පවසන අදහස් පසුව වෙනස් කරගැනීමට සිදුවූ අවස්ථා නෑ. ඉතිහාසය සම්බන්ධයෙන් අද විවිධ කතාබස් ඇති වී තිබෙනවා. ඉතිහාසයේ අගය කුමරතුගුවන් පෙන්වා දී තිබෙනවා. ඉතිහාසය ජාතියේ හැකියාව පෙන්වන කැටපතක්. වෛද්‍ය රුවන් ඒකනායක සූරීන් ලියා ඇති කුමාරතුංග මුනිදාස මහ හෙළයාණෝ - සමාජ විද්‍යාත්මක සංකල්ප ග්‍රන්ථයෙන් කුමාරතුංගයන්ගේ සමාජ දර්ශනය හඳුනාගත හැකියි.

කුමාරතුංග හා හෙළ හවුලේ වියතුන්ගේ වියරණ සාහිත්‍යය නව කවුළුවක් අපට විවෘත කර දෙන බව අප අමතක නොකළ යුතුයි. සන්දේශ සාහිත්‍ය විවරණවල නිරූපිත වන වැනුම් - පුර වැනුම් ආදියෙන් එදා ජයවර්ධනපුරය අපට හඳුනාගත හැකියි.

මේ අනුව කුමාරතුංගයන් පෙන්වා දුන් මග නිසි පරිදි වටහා ගැනීම අද ප්‍රබල අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා. අද භාෂාවේ තත්වය අනුව ඒ අවශ්‍යතාව දැඩිව දැනෙනවා. මහාචාර්ය විමල් දිසානායක පවසන පරිදි භාෂාවත් එක්ක හිතුවක්කාරකම් කරන්න බෑ. එහෙම වුණොත් භාෂාව විසින්ම ඔහු අතරමං කරනවා. වල්මත් කරනවා. මේ රටේ පිරිවෙන් අධ්‍යාපනයයි සෞන්දර්ය අධ්‍යාපනයයි නොතිබුණානම් අපි අනාථ ජාතියක් බවට පත්වෙන්න තිබුණා. සෞන්දර්ය ගුරුවරුයි සිංහල භාෂා ගුරුවරුයි නොහිටින්න අපේ රට විකෘති වෙලා.

අදටත් සිංහල භාෂාවටත් සමාජයටත් විවිධ උවදුරු ඇතිවෙමින් තිබෙන බව අප අමතක නොකළ යුතුයි. ප්‍රතිපත්ති සම්පාදකයන් සැලසුම් සකස් කරන්නන් කුමාරතුංග දර්ශනය අධ්‍යයනය කළ යුතුයැයි මා මුලින් කීවේ ඒ නිසයි. ඓතිහාසික විඥානය තේරුම් ගැනීම මේ සඳහා අත්‍යවශ්‍ය කරුණක්. අපි වුණත් නිර්මාණ කරද්දි මේ කාරණය බලපෑවා. මගේ ගීතවල ඓතිහාසික විඥානය, දේශානුරාගය, භාෂානුරාගය මතු කරන්න මට බලපෑවේ කුමාරතුංගයි.

මගේ රටට දළදා හිමි සෙවණයි

මගේ දැයට දළදා හිමි සරණයි

වගේ ගීත මා අතින් ලියැවුණේ කුමාරතුංගයන්ගෙන් ලද ආස්වාදය හා ආනුභාවය නිසයි. මවිසින් රචනා වී රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට සුනිල් එදිරිසිංහයන් ගායනා කළ රා රා රා බොම්බියේ ගීතයෙන් මේ දේශනය අවසන් කරන්න මම කැමතියි. මේ දේශනය මා අවසන් කරන්නේ කුමාරතුංග මුනිදාසයන් පෙන්වා දුන් දෙස, බස, රැස තුන් රුවනට කාගේත් හිත යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කරමින්.

 

කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා

දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා



අදහස් (0)

කුමාරතුංග භාෂා වාදකයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 113 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1054 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site