ආරක්ෂක නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් කතානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දෙන ලද විශ්වාසභංග යෝජනාවේ වලංගු බව මතභේදයට ලක්වී ඇත.
නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්ප්‍රදාය විරෝධී යැයි ද ජයසේකර මහතා නියෝජ්‍ය ඇමැතිවරයකු වුවද ඔහුට නිශ්චිත වගකීම් කිසිවක් පැවරී නැතැයි ද කියමින් ආණ්ඩු පාක්ෂිකයන් පමණක් නොව ඇතැම් නීතිවේදීන් පවා අදහස් දැක්වීම නිසා මෙම තත්වය උදාවී ඇත.
මේ හේතුව නිසා එම යෝජනාව විවාදයට ගැනීමට ඉඩ දෙනවාදැයි කතානායකවරයා තවමත් තීරණය කර නැත.
ජාතික ජනබලවේගය බලයට පත් වූයේ අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගීමේ ප්‍රධාන පොරොන්දුව මතය. අලුත් සංස්කෘතියක් ගොඩ නැගීම පැරැණි සම්ප්‍රදායන් මතම කළ නොහැකිය. අනෙක් අතට හිතුවක්කාරී ලෙස සම්ප්‍රදායන් වෙනස් කිරීම ද කළ නොහැකිය.
කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම නීති විරෝධී නොවන නිසා එවැනි කරුණක් සම්ප්‍රදාය පෙන්වමින් වළකාලීම අලුත් සංස්කෘතියක් කරා යන ගමනේ දී නුසුදුසු ක්‍රියාවකි. එය හිටපු ජනාධිපතිවරුන් හා මැති ඇමැතිවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමේ මුවාවෙන් මහජන මුදලින් ඔවුන්ට සුඛෝපභෝගී ජීවිතයක් දෙමින් ඔවුන් නඩත්තු කිරීම සාධාරණිකරණය කිරීමට සමානය.
අනෙක් අතට ආණ්ඩු පක්ෂයට හා එහි ඇමැතිවරුන්ට එරෙහිව පමණක් විශ්වාස භංග යෝජනා ගෙන ඒමේ සම්ප්‍රදාය කැඩුණේ 1981 දීය. ඒ එම වසරේ දී එවක විපක්ෂ නායකයා වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත කිරීම නිසාය. එවක එජාප ආණ්ඩුව එම යෝජනාව ඉදිරිපත් කළේ ඒවන විට ඉතා සෙමින් නමුත් වර්ධනය වෙමින් ආ බෙදුම්වාදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අමිර්තලිංගම් මහතාට චෝදනා කරමිනි.
කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමැතිවරයකු වශයෙන් ජයසේකර මහතාට නිශ්චිත නිල වගකීම් පැවරී නැති හෙයින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකිය යන මතයේ නම් තර්කානුකූල බවක් ඇත.
සමගි ජන බලවේගය ජයසේකර මහතාට එරෙහිව මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ 2019 පාස්කු ඉරිදා දින ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වූ කාලයේ ඔහු යුද හමුදාවේ නැගෙනහිර පළාතේ ආඥාපතිව සිටි හෙයින් දැනට එම ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට ඔහු බලපෑම් කළ හැකිය යන පදනමිනි. ඒ එදා ඔහු සිය වගකීම් හරි හැටි ඉටු නොකළේය යන පදනමිනි.
පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල වූයේ ප්‍රධාන වශයෙන්ම බස්නාහිර පළාතේය. එම ප්‍රහාරවලින් එකක් මඩකළපුවේ කිතුනු දේවස්ථානයකට එල්ල විය. එම ප්‍රහාරවලට පෙර ඒ සම්බන්ධ සිදුවීම් ගණනාවක් පුත්තලමේ (වයඹ පළාතේ) මාවනැල්ලේ (සබරගමුව පළාතේ) හා නුවරඑළියේ (මධ්‍යම පළාතේ) සිදුවී තිබිණි.
මේවා සම්බන්ධයෙන් හමුදාව වගකීම් පැහැර හැරියේ යැයි චෝදනා කරන්නේ නම් මේවාට, විශේෂයෙන්ම බස්නාහිර පළාතේ සිදුවීම් සම්බන්ධයෙන් ද චෝදනා කළ යුතුය. එසේ චෝදනා කළ හැකිදැයි සමගි ජන බලවේගයේ නායකයන් පසුගිය වසරේ එම පක්ෂයට බැඳුණු එවක හමුදාපති වූ විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් විමසිය යුතුව තිබිණි.
ප්‍රහාරවලට පෙරත් ප්‍රහාරයන් එල්ල වූ දිනයේත් හමුදා බුද්ධි අංශයේ කටයුතු සම්බන්ධයෙන් විවිධ සැක සංකා පහළ වී ඇත. ඒවා සම්බන්ධයෙන් ද හොඳින්ම කරුණු පැහැදිලි කළ හැක්කේ එවක සිටි හමුදාපතිවරයාටය.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් හමුදාවලට වඩා දෝෂාරෝපණ එල්ල වන්නේ පොලීසියටය. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව රුපියල් කෝටි හත හමාරක් වන්දි ගෙවන්නට සිදු වූයේ ද ඒ අනුවය. ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වූ කාලයේ නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා වූයේ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාය. 2019 අවසානය තෙක් පරීක්ෂණ කෙරුණේ ඔහු එම තනතුරේ සිටියදීය. එතැන ළැදියාවන් අතර ගැටුමක් ඇතැයි කිසිවකු කීවේ නැත.
ජාතික ජන බලවේගයට කතානායකවරයා හැර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 158 දෙනකු සිටින හෙයින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන්නට හැකි වුවද එය පරාජය වීම අනිවාර්යය. සමගි ජන බලවේගය එය නොදන්නවා නොවේ. ඔවුන් උත්සාහ කරන්නේ මෙම යෝජනාව උපයෝගී කරගෙන ඒ පිළිබඳ විවාදයේදී ආණ්ඩුවට හැකිතාක් පහරදී ප්‍රචාරක වාසියක් ගන්නටය. මේවා ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජතික ජනබල වේගය ද අතීතයේදී කළ දේවල්ය.
අරුණ ජයසේකර මහතා බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ ‘‘ රණවිරුවකු’’ වූ හෙයින් ඔහුට එරෙහිව මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම යෝග්‍ය නැතැයි ඇතැම් පිරිස් තර්ක කරති. එය යුද්ධයට දේශපාලන නායකත්වය දුන් හෙයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි 350ක් වටිනා රජයේ නිවෙසක් පරිහරණය කිරීමේ කිසිදු වරදක් නැතැයි කරන තර්කයට සමානය. රණවිරුවන් වූ හෙයින් කෙනකු තම වගකීම් පැහැර හැරීම හෝ මහජන මුදල් අවභාවිත කිරීම හෝ වෙනත් අපරාධවලට හවුල්වීම හෝ අනුමත කළ නොහැකිය.
දැන් ආණ්ඩුවට තවත් ඇමැතිවරයකු පිළිබඳ ගැටලුවකට ද මුහුණ දී සිටී. ඒ බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා 2015 දී රජයට අයත් පොහොර සමාගමේ ඉහළ නිලධාරියකු වශයෙන් මුදල් අක්‍රමිකතාවකට අනුබල දුන්නේ යැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට පළ වූ පුවත්පත් වාර්තාවක් හේතුවෙනි.
මෙහිදී සිදු වූයේ වෙනත් පුද්ගලයකු කළ ගනුදෙනුවක් ඉහළ නිලධාරියකු වශයෙන් තමන් අනුමත කිරීම පමණකැයිද එය තමන් අතින් වූ වරදකැයි ද පසුගියදා ජයකොඩි මහතා රූපවාහිනී සංවාදයකදී පැවැසීය.
මෙහිදී ජාතික ජනබලවේගය එක්තරා ආකාරයක සදාචාරමය අර්බුදයක පැටලෙයි. ජයකොඩි මහතා යටතේ සේවය කළ නිලධාරීන්ගේ වැරැදි මුල්‍යමය ගනුදෙනුවකදී හෝ දුෂණයක දී එහි වගකීම ඔහුද භාරගත යුතුය. දැනට අල්ලස් හෝ දූෂණ කොමිසමේ පරීක්ෂණවලට ලක්වී සිටින පසුගිය ආණ්ඩුවල ඇතැම් දේශපාලනඥයන් හා නිලධාරීන්ට විරුද්ධව ද එල්ල වී චෝදනාවලට අදාළ සිදුවීම් සිදුවී ඇත්තේ වසර දහයකට හෝ පහළොවක හෝ පෙරය. ඒ අනුව ජයකොඩි මහතාට චෝදනා එල්ල වන සිද්ධිය පැරැණි එකක් යන්න මෙහිදී අදාළ නොවේ. වරද නම් වරදමය.
එහෙත් ඔහු එම වරද කළේ වුවද එසේ කළේ ඔහු ජාතික ජන බලවේගයට සම්බන්ධවීමට පෙරය. ඒ අනුව අදාළ චෝදනා සම්බන්ධයේ ජාජබට චෝදනා කළ නොහැකිය. එහෙත් ජාජබ මෙම සිද්ධිය දැන දැන ඔහුට දේශපාලන හා ආණ්ඩුවේ වගකීම් සැමරුවේ නම් එතැන අවුලක් තිබේ. මන්දයත් ජාජබ ඈත අතීතයේ වැරැදි කළ වෙනත් පක්ෂවල දේශපාලනඥයන් හා නිලධාරීන් දූෂිතයන් වශයෙන් හඳුන්වන හෙයිනි.
ජයකොඩි ඇමැතිවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම ගන්නා පියවර අනුව ජාජබ ඔහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නා බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබිණි. එය කෙසේ හෝ ඔවුන්ට ගන්නට සිදුවන තීරණය කි. එහෙත් අදාළ සිද්ධිය පිළිබඳව කලින් නොදැන සිටියේ වුවද දැන් ජාජබ ඒ ගැන දනී. ජාජබ දන්නා බව රට ද දනී. ඒ තත්වය යටතේ ජාජබ කරන්නට යන්නේ කුමක්ද යන්න වැදගත්ය.
විරුද්ධ පක්ෂ මෙම ඇමැතිවරුන් පිළිබඳ ප්‍රශ්න උපයෝගී කර ගන්නේ ජාජබ ආණ්ඩුවේ සදාචාරය ප්‍රශ්න කිරීම සඳහාය. විශේෂයෙන්ම අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බවට නිතර කියන ජාජබ නායකත්වයේ සදාචාරය ප්‍රශ්න කිරීම සඳහාය. විරුද්ධ පක්ෂවල නායකයන් වැඩි දෙනා දූෂණය ඉහ වහා ගිය පසුගිය ආණ්ඩුවල කටයුතු කර ඒ පිළිබඳව වග උත්තර කියන්නට සිදුව ඇති තත්වය යටත් එම පක්ෂවල නායකයන් හට මෙම ඇමැතිවරුන් දෙදෙනාගේ ප්‍රශ්නය වැනි දෑ අතිශයින් වැදගත් වීම තේරුම් ගත හැකිය.
එහෙත් ජාජබ නායකයන්ගේ ඇතැම් අතීත ප්‍රකාශ හා වත්මන් ක්‍රියාමාර්ග අතර විශාල පරතරයක් ඇතැයි විපක්ෂයේ නායකයන් කරන චෝදනාව ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය. ජාජබ නායකයන්ගේ ඇතැම් අතීත ප්‍රකාශ හා පොරොන්දු ප්‍රායෝගික නොවේ. ඒ අනුව ඔවුන්ගේ ඇතැම් වත්මන් ක්‍රියාමාර්ග නොවැළැක්විය හැකිය.
උදාහරණයක් වශයෙන් 2023 අවසානය දක්වා ජාජබ නායකයෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කළහ. එහෙත් 2022 වනවිට රට පත්වී තිබූ තත්වය අනුව මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ හැර එම තත්වයෙන් මිදෙන්නට අන් මඟක් නැත. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙරම තමන් මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව කටයුතු කරන බව ජාජබ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හෙයින් ජාජබ ඒ කාරණයේ දී බොරු කියා ඡන්දය ගත් බව කීම නිවැරැදි නොවේ.
කැසිනෝ ප්‍රශ්නය ද එවැන්නකි. වත්මන් තත්වය යටතේ සංචාරක ව්‍යාපාරය රජයට අතිශයින් අත්‍යවශ්‍ය විදේශ විනිමය උල්පතක් වන හෙයින් එම කර්මාන්තයේ කැසිනෝ වැනි අංග පිළිගැනීමට ආණ්ඩුවට සිදුව තිබේ.
දේශපාලන පත්වීම් පිළිබඳ ප්‍රශ්නය තවත් එවැනි කාරණයකි. ප්‍රතිපත්තියක් වශයෙන් දේශපාලන පත්වීම්වලට ජාජබ විරුද්ධ වන්නේ තම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නට තරම් විශ්වාසදායි හා කැපවීමක් ඇති නිලධාරීන් පිරිසක් නැති වීමය. සමාජ ආර්ථික හා දේශපාලන ක්‍රමයේ වෙනසක් කරන්නට සිතන පක්ෂයකට එවැනි විශ්වාදායි හා කැපවීමක් ඇති පිරිසක් අවශ්‍ය වේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාද පසුගිය දිනෙක මෙය පෙන්වා දුන්නේය.
ජාජබ දුන් ඇතැම් පොරොන්දු කෙසේවත් ක්ෂණිකව ඉටුකළ හැකි ඒවා නොවේ. සහල් ප්‍රශ්නය විසඳීම, රජයේ ආයතනවල දූෂණය, නාස්තිය හා අකාර්යක්ෂමතාව දුරැලීම ක්ෂණිකව ඉටුකළ හැකි පොරොන්දු නොවේ. එහෙත් අද ආණ්ඩුව අමාරුවේ වැටී සිටින්නේ ඒවා ක්ෂණිකව විසඳන බවට හැඟීමක් රට තුළ ගොඩ නැගීම නිසාය.
ආණ්ඩුව තමන්ගේ තවත් ඇතැම් පොරොන්දු ඉටු නොකරන්නේ කුමක් නිසාදැයි සිතා ගත නොහැකිය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට විකල්ප පනතක් ගෙන එන්නට ප්‍රමාද වන්නේ මන්දැයි ආණ්ඩුවට පැහැදිලි කරන්නට නොහැකි වී තිබේ. පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් ද ආණ්ඩුව ඇල් මැරුණු ආකල්පයකින් කටයුතු කරයි. මේවා ආණ්ඩුව මුහුණ දෙන සදාචාරමය ප්‍රශ්නයි.
ආණ්ඩුව ආර්ථිකය කඩා නොවැටී ස්ථාවරව පවත්වාගෙන යන බව සැබෑවකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන පරිදි වසරක් පුරා ඩොලරය රුපියල් තුන්සියය මට්ටමේ තබා ගෙන සිටින බවද සත්‍යයකි. ජීවන වියදම ද මාස ගණනාවක් තිස්සේ පවතින තත්වයේම පවත්වාගෙන යාමට ආණ්ඩුව සමත්වී තිබේ. ඒ නිසා විපක්ෂයද ඒ කරුණු වෙත නොයයි. ඔවුන්ද ආණ්ඩුවට සදාචාරමය වශයෙන් අභියෝග කරන්නේ එබැවිනි. අතීතයේදී ඔවුන් කුමක් කළත් ආණ්ඩුව ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කරන්නටද බැඳී සිටී.
(*** එම්.එස්.එම්.අයුබ්)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ආණ්ඩුව හිරවුණ පටලැවිලි