ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 16කට ප්‍රමාණවත් පෝෂදායී ආහාර වේලක් නොලැබෙන බව මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වෙතැයි මෙරට මාධ්‍ය මගින් පසුගියදා අනාවරණය කෙරිණ. මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවට අනුව මෙරට පවුල් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කුසගින්න නිවා ගැනීම සඳහා ගන්නා ආහාර වේල් ගණන අඩු කිරීමට හෝ ආහාර වේලක් සඳහා ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමට හෝ තමන් කැමැති ආහාර ගැනීම අඩු කිරීමට හෝ පෙළැඹී සිටිති.
සියයට 12.2ක්ව පැවැති වයස අවුරුදු 5ට අඩු ළමයින් අතරේ මන්දපෝෂණය 2021- 2024 කාලයේ සියයට 17 දක්වා ඉහළ ගොස් ඇතැයි ද ආර්ථික අර්බුදයත් සමග මෙම කාලය තුළ මෙරට දුගීභාවය සියයට 24.5 දක්වා ඉහළ ගොස් ඇතැයි ද මෙම වාර්තාව සඳහන් කරයි.
මෙම වාර්තාව අනුව මෙරට දුගීභාවය පිළිබදව නැවතත් අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ. එබැවින් මෙරට දුගීභාවයට හේතු කාරණා කවරේදැයි විමසා බැලීම වටී. මෙරට ජනගහනයෙන් සියයට 1ක් පෞද්ගලික ධනයෙන් සියයට 31 ක් හිමි කරගෙන ඇත. එහෙත් පහළම මට්ටමේ සියයට 50කට හිමි වී තිබෙන්නේ පෞද්ගලික ධනයෙන් සියයට 4කි. මේ අනුව ලෝකයේ ආදායම් බෙදී යාමේ අසමානතා ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉහළම තැන් අතර සිටියි.
රටක ආදායම් බෙදී යාමේ අසමානතාව එරටේ දුගීභාවයට හේතුවන කාරණා අතර ප්‍රමුඛස්ථානයක් ගනී. මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 40ක-45ක පමණ දායකත්වයක් බස්නාහිර පළාත ලබා දුන්නත් ඌව පළාත හා නැගෙනහිර පළාත ගත්තොත් එහි දළ දේශීය නිෂ්පාදිත අගය ඉතාම පහළ මට්ටමක පවතී. එම පළාත් සමස්ත ශ්‍රී ලංකාවෙන් වඩාත් අඩු ආදායම් ලබන ප්‍රදේශ වශයෙන් සැලකේ. ලංකාවේ මෑත ඉතිහාසයේ ඇතැම් දේශපාලන සිදුවීම් සලකා බැලුවොත් මෙරට තරුණ නැගිටීම් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රදේශ හැටියට ද උතුර, නැගෙනහිර හා ඌව ප්‍රදේශ පෙන්වා දිය හැකිය. මෙම කාරණය ආදායම් බෙදී යාමේ විෂමතාව හා දිළිදුභාවයත් සමග දේශපාලනයේ දී ඇතැම්විට ඇතැම් කෙනකුට වාසි සහගතව භාවිත කළ හැකිය. මෙරට දේශපාලන බල ව්‍යාප්තිය ඉදිරියට ගෙන යාමේ දී දිගින් දිගටම දුප්පත්කම දේශපාලන අවියක් ලෙස දඩමීමා කරගත් බව පෙනේ.
දිළිදුභාවය පිළිබදව අවධානය යොමු කිරීමේ දී හඳුනාගත හැකි අනෙක් වැදගත් කාරණය නම් ලංකාවේ සාමාන්‍ය ජනයාගේ සිට බහුතරයක් ණය මත යැපීමය. මේ වන විට රටේ සමස්ත ජනගහනයෙන් තුනෙන් එකක් කුමන හෝ ණය මුදලක් ලබාගෙන ඇතැයි නවතම වාර්තාවල සඳහන් වේ. එම ණය එක්කෝ රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ලබාගත් ණය මුදල් ය. නැතිනම් අසංවිධානාත්මක ණය හැටියට එක් එක් පුද්ගලයාගෙන් ලබාගත් ණය මුදල් ය. දුප්පත්කම ඉහළ යාමට මෙම ණයගැතිභාවය ද තීරණාත්මක හේතුවකි. ණය චක්‍රය සාමාන්‍යයෙන් සැලකෙන්නේ දුෂ්ට චක්‍රයක් ලෙසය. ලංකාවේ ජනගහනයෙන් වැඩි කොටසක් මේ වන විට මෙම දුෂ්ට චක්‍රයට හසුවී සිටිති.
ජනතාව දිගින් දිගටම ණය චක්‍රයට හසුවීම දිළිදුභාවය ඇතිවීමට හේතුවකි. මෙයින් ජනතාව මුදාගැනීමට ප්‍රධාන වශයෙන් අසංවිධානාත්මක ණය දීම් සහ ණය ගැනීම් වැළැක්වීමේ ක්‍රමෝපාය හා නීති රීති දැඩි කිරීම වඩාත් අවශ්‍ය වේ. ඇතැම් අවස්ථාවල සියයට 20 - 25 පොලී මත පදනම්ව ලබාදෙන එවැනි අසංවිධානාත්මක ණය දීම් දැකිය හැකිය. එබදු ණය ලබාදෙන පුද්ගලයන් සහ මූල්‍ය ආයතන පිළිබදව සොයා බැලීම සහ එබදු පුද්ගලයන් සහ ආයතනවලට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නීති ප්‍රතිපාදන විධිමත් කිරීම ඉතාම වැදගත් ය.
ලංකාවේ බොහෝ දෙනකු ණය උගුලේ පැටලීමට විශේෂයෙන් හේතු වී ඇත්තේ නිසි මූල්‍ය සාක්ෂරතාවක් ඔවුන්ට නොමැතිකමය. පොදුවේ ගත් කල මෙරට බහුතර ජනතාවට නිසි මූල්‍ය සාක්ෂරතාවක් ඇති බවක් නොපෙනේ. මේ නිසාම බොහෝදෙනා අවශ්‍යතා කළමනාකරණය කර නොගැනීමෙන් අමාරුවේ වැටෙති. ත්‍රිරෝද රථයක් මිලට ගැනීමේ හැකියාවක් ඇති අයකුට වැගන්ආර් රථයක් ලබා දී දිනකට රුපියල් දෙදහසක් ගෙවන්නැයි යෝජනා කර ඊට අවස්ථාව දෙන විට ඔහු ඊට පෙළැඹේ. එය ගෙවීමේ නොහැකියාව මුලින් වටහා නොගන්නා ඔහු එමගින් අමාරුවේ වැටෙයි. එය සිදුවන්නේ මූල්‍ය සාක්ෂරතාවක් නොමැතිකමෙනි.
මෙම මූල්‍ය සාක්ෂරතාව ජනතාවට ලබාදීම අධ්‍යාපනයේත් වගකීමකි. වර්තමානය වන විට ජනතාවට ඩිජිටල් සාක්ෂරතාව ලබා දීම ද අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා රජයේ විශේෂ අවධානය යොමුවිය යුතුව තිබේ. ව්‍යවසායකත්වකරණයේ දී අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබා දීමේදී ද මේ සම්බන්ධ අවධානය වැදගත් ය. අනෙක් අතින් රටේ දිළිදුභාවය හඳුනා ගැනීමේ දී සුබසාධන ක්‍රම අවශ්‍ය වුවත් එය වඩාත් විධිමත් නොවීමේ ගැටලුවක් අපේ රටේ එදා සිටම පවතී. උදාහරණයකට අස්වැසුම හෝ වෙනත් සහනාධාරයක් ලබා දෙන්නේ නම් එය ලැබෙන්නේ සුදුස්සාටම දැයි විධිමත්ව සොයාබැලීම අවශ්‍ය වේ. වසර දෙකක් අස්වැසුම ලබාගත් තැනැත්තා තවදුරටත් සිටින්නේ දිළිදුභාවයේමද, ඔහු ඉන් මිදීමට යම් උත්සාහයක් දරා තිබේද, ඊට යම් වැඩපිළිවෙළක් සකස් වී තිබේදැයි පසුවිපරමක් කිරීම ඉතාම වැදගත් වේ. වසර කිහිපයක් සුබසාධන මතම යැපී තවදුරටත් ඔහු යැපුම් මානසිකත්වයම අපේක්ෂා කරයි නම් දිළිදුභාවය පිටුදැකීමේ මාර්ගය ඉන් විවර වන්නේ නැත. සහනාධාර ලබන ජනතාව සඳහා එබදු පැහැදිලි පසු විපරමක් බොහෝ රටවල ක්‍රියාත්මක වේ.
සියයට 12.2ක්ව පැවැති ළදරු මන්දපෝෂණය දෙදහස් විසිහතර වන විට සියයට 17 දක්වා වර්ධනය වී ඇතැයි මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් විය. එය සැලකිය යුතු තත්වයකි. රටේ සෞඛ්‍ය අංශ මේ කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුව තිබේ.
දිළිදුභාවය අවම කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන සැලසුම් අවශ්‍ය වේ. මූලිකව සැබෑ දිළිදු මට්ටමේ සිටින පිරිස හඳුනාගැනීම කෙටිකාලීනව වැදගත් වන අතර, එය දිගුකාලීන සැලසුම් සකස් කිරීමට ප්‍රයෝජනවත් වේ. මෙරට ජනතාවගෙන් සියයට 16කට හරිහමන් කෑමවේලක් නැතැයි මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාවේ වන සඳහන අනුව එය විමර්ශනය කරන්නේ නම් සියයට 16ට අයත් එම පිරිස නිවැරැදිව හඳුනාගැනීමත්, ඔවුන් වෙනුවෙන් සහනදායී වැඩපිළිවෙළක් සකස් කිරීමත් කෙටිකාලීනව කළ හැකිය. මධ්‍යකාලීන වශයෙන් ඔවුන් දිළිදුභාවයෙන් මුදාගැනීමට කළ හැකි ක්‍රමෝපාය හඳුනාගත යුතුය. විශේෂයෙන්ම ව්‍යවසායකත්වය කෙරෙහි ඔවුන් යොමු කිරීම මේ සඳහා එක් විකල්පයකි. දිගුකාලීන වශයෙන් දිළිදුභාවයෙන් මිදීමට මග පෙන්වන මනා අධ්‍යාපනයක්, මූල්‍ය සාක්ෂරතාව පිළිබද අවබෝධයක් හා ඩිජිටල් සාක්ෂරතාවක් ලබාදීම වැදගත් වේ.
එසේම දිවිනසාගැනීම්වල යම් ප්‍රවණතාවක් මෑතකාලීනව දැකිය හැකි අතර, ඊට ද පුද්ගලයන්ගේ දිළිදුභාවය සැලකිය යුතු මට්ටමින් හේතු වී තිබෙන බව පැහැදිලිය. බොහෝ දෙනා තුළ මානසික ආතතිය වර්ධනය වීම ද මෙහිම අතුරුඵලයක් ලෙස සැලකිය හැකිය. මුලින් අප සඳහන් කළ අධික ණය බරවලට ගොදුරුවීමත් ඉන් ගැලවීමට නොහැකිවීමත් හේතුවෙන් දිවිනසාගත් පුද්ගලයන් පිළිබදව තොරතුරු මෑතකාලීනව බහුල වශයෙන් වාර්තා විය. මෙම ඛේදවාචකයට ද අප මුලින් සඳහන් කළ මූල්‍ය සාක්ෂරතාව නොමැතිකම බලපා තිබේ. බුදු දහමේ උගන්වන අනන සුඛය මෙහිදී අවධානයට ගත හැකි ඉතාම වැදගත් කාරණයකි. අනන සුඛය යනු ණය නොවී සිටීමේ සැපතයි. එහෙත් අද වන විට අපි පුද්ගලයන් වශයෙන් පමණක් නොව රටක් හැටියට ද ණය බරින් මිරිකී සිටිමු. ඒ අතර විවිධ මූල්‍ය වංචාවලට ජනයා හසුවී සිටිති. මේ සම්බන්ධ ගැටලු හඳුනා ගැනීමත්, ජනතාවට නිසි දැනුම ලබා දීමත් සඳහා රජයේ නිසි සැලැස්මක් අවශ්‍ය වන අතර, ජනමාධ්‍යයට ද ඒ සම්බන්ධයෙන් පුළුල් වගකීමක් පැවැරී තිබේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෑතකාලීනව කළ සංගණන සහ අධ්‍යයන වාර්තා මෙම සැලසුම් සකස් කිරීමේ දී වඩාත් ප්‍රයෝජනයට ගත හැකිවනු ඇත.
දිළිදුභාවය අවභාවිත කිරීම අප රටේ බොහෝදුරට සිදුවන හානිකර තත්වයකි. ඊට කිසිසේත් ඉඩ නොතැබිය යුතුය. විශේෂයෙන්ම එය දේශපාලන වාසි ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිත කිරීමට ඉඩ තැබිය යුතු නොවේ. අවශ්‍ය වන්නේ දිළිඳුභාවය අවම කිරීමේ විධිමත් සැලසුමක් කෙටිකාලීනව, මධ්‍යකාලීනව සහ දිගුකාලීනව සකස් කර ක්‍රියාත්මක කිරීමය. කොළඹට සාපේක්ෂව වතු ආශ්‍රිත ප්‍රදේශවල ද බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල ද ජනතාව වැඩිවශයෙන් දිළිඳුභාවයට ලක් වීමට හේතු කාරණා සොයා බලා ඊට පිළියම් හඳුනාගැනීම විශේෂයෙන් අවශ්‍යය. ආදායම් බෙදී යාමේ විෂමතාව හඳුනා ගැනීමෙන් මෙම අර්බුදයට පිළිතුරු සෙවීම පහසු වනු ඇත.
මීට එක් විකල්පයක් ලෙස දරිද්‍රතා මට්ටම ඉහළ අගයක් ගන්නා ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන විශේෂ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ හැකිය. විශේෂයෙන් ඒ ඒ පළාත කේන්ද්‍ර කරගනිමින් සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර දියුණු කිරීමේ ක්‍රමෝපාය මාර්ග හඳුනාගත යුතුය. එමගින් ඊට අදාළ රැකියා අවස්ථා ද උදා වනු ඇත.
ඊටත් අමතරව දිළිඳුභාවය නැති කිරීමට නම් පුද්ගලයන්ගේ ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍යය. තවමත් මෙම ආර්ථික අර්බුදයේ දිග පළල පිළිබදව බොහෝ දෙනකුට වැටහීමක් ඇති බවක් නොපෙනේ. එය හරි හැටි වටහාගෙන ඊට මුහුණ දිය හැකි පරිසරයක් ගොඩ නගාගත හැක්කේ ආකල්පය නිවැරැදි නම් පමණි. උදාහරණයකට වරින් වර මතුවන වැඩ වර්ජන දැක්විය හැකිය. එම වැඩ වර්ජන ක්‍රියාත්මක කෙරෙන්නේ සාධාරණ පදනමක් මත දැයි තම තමන්ම කල්පනා කර බැලිය යුතුව ඇත. ආසියානු රටවල ආර්ථික අර්බුදයට මූලික වශයෙන් බලපෑවේ කොරෝනා වසංගතයයි. එහෙත් ශ්‍රී ලංකාවට කොරෝනා වසංගතයට පමණක් නොව, පාස්කු දා ප්‍රහාරයට ද මුහුණ දෙන්නට සිදු විය. දැන් අපි එම ආර්ථික අර්බුදයෙන් ක්‍රම ක්‍රමයෙන් ගොඩ එමින් සිටිමු. මේ ගමන විධිමත් වීමට නම් රට ගැන එහි සංවර්ධනය ගැන යහපත් ආකාරයෙන් සිතා බලා ක්‍රියා කරන මට්ටමේ ආකල්ප වර්ධනය කරගත යුතුව තිබේ. එසේ නොවනතාක් අපේ රටේ ඉදිරියටත් බිහිවන්නේ යැපුම් මානසිකත්වයක් ඇති අනන්‍යතාවක් නැති ජාතියකි. දෙස බස රැස පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතු බව කුමාරතුංග මුනිදාස මහතා එදා කීවේ නිකමට නොවේ.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අහේනියේ දේශපාලන යථාර්ථය