IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අලුත්ම දේශපාලන කස්තිරම

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රහස් පොලිසිය මගින් ඉකුත් 22 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීමත් ඉන් පසු ඔහු දින හතරක් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීමත් නීතිමය කාරණයක් පමණක් විය යුතු වුවත් අද වනවිට එය ඊට වඩා කැපී පෙනෙන දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වී ඇත.

ජාතික ජනබලවේගයට එරෙහි දේශපාලන පක්ෂ එම සිද්ධිය දැන් ආණ්ඩු  විරෝධි සන්ධානයක් ගොඩ නැගීම සඳහා යොදා ගන්නට උත්සාහ කරනු පෙනේ.

වික්‍රමසිංහ මහතාට එල්ල වී ඇති චෝදනාව නම් 2023  වසරේදී කියුබාවේ හා  ඇමරිකාවේ පැවැති ජාත්‍යන්තර සමුළු දෙකකට ජනාධිපතිවරයා වශයෙන් සහභාගි වී ආපසු එන අතර එංගලන්තයේ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීම හේතුවෙන් මහජන මුදල් අවභාවිත කළේය යන්නයි.

මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා වූ ගමන වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික කටයුත්තක් බවත් කියුබාවේ හා ඇමරිකාවේ සමුළුවලට රුපියල් ලක්ෂ පනහක් පමණක් වැය වී ඇතත් මෙම පෞද්ගලික කටයුත්ත සඳහා වික්‍රමසිංහ මහතා රුපියල් එක්කෝටි හැට දෙලක්ෂයක් වැය කර ඇති බවත්  අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය හමුවේ කියා සිටියේය.

වික්‍රමසිංහ මහතාත් ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට ගොස් ඇත්තේ වෙනම ගමනක් වශයෙන්  නොවේ. කියුබාවට හා ඇමරිකාවට ගොස් ආපසු එන දීර්ග සංචාරයක කොටසක් වශයෙනි. දැනට මතභේදයට ලක්වී ඇත්තේ එම කොටසයි.

ජනාධිපති කාර්යාලයේ කෙරුණු විගණනයකින් අනතුරුව එම කාර්යාලය මගින් කරනු ලැබූ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත් වූ රහස් පොලීසිය මෙහිදී චෝදනා කරන්නේ මෙම දීර්ඝ සංචාරයේ වොල්වර්හැම්ප්ටන් කොටස පෞද්ගලික සංචාරයක් බවත් ඒ සඳහා මහජන මුදල් වැය කිරීම මහජන මුදල්  අවභාවිත  කිරීමක් බවත්ය.

වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් ඊට පිළිතුරු වශයෙන් තර්ක දෙකක් ඉදිරිපත් කෙරේ. එකක් මෙම සංචාරය පෞද්ගලික සංචාරයක් නොවේ යන්නයි. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන ප්‍රබලතම සාක්ෂිය වන්නේ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අමතා එවන ලදැයි කියන ආරාධනා ලිපියයි. අනෙක් තර්කය නම් මෙය පෞද්ගලික සංචාරයක් වුව ද ජනාධිපතිවරයකුට එවැන්නක් සඳහා නීතිමය අනුමැතිය තිබිය යුතු බවයි.

මෙම ආරාධනා ලිපිය සත්‍ය එකක් දැයි සැකයක් ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පවසයි. ඒ ගැන පරීක්ෂණයක් කෙරෙන බව ද ඔහු සඳහන් කර තිබිණි. එවැනි ලිපියක් ජනාධිපති  කාර්යාලයේත්. විදේශ අමාත්‍යාංශයේත්, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේත් ලිපි ගොනුවල නැති බව අනාවරණය වී ඇති  බවත් එවැන්නක් ගැන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා හෝ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වූ සැන්ඩ්‍රා මහත්මිය හෝ නොදැන සිටි බවත් ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් දෙපාර්ශ්වයේ මෙම තර්ක පිළිබඳ අවසාන තීන්දුව දිය යුත්තේ අධිකරණයයි. එහෙත් මෙම සිද්ධිය නිසා තමන්ට ඇති අනතුරුදායක රෝගාබාධ පිළිබඳව වික්‍රමසිංහ මහතාට දැන ගැනීමට හැකි වී ඇත්තා සේම, ජනාධිපතිවරුන්, මැති ඇමැතිවරුන් හා ඊටත් පහළින් සිටින මහජන නියෝජිතයන් මහජන මුදලින් කරන වියදම්වල ඇති අපැහැදිලි බව රටට ද දැනගන්නට හැකිවිය.

මහජන නියෝජිතයන්ගේ වියදම් පැහැදිලි විය යුතුය. මන්දයත් ඒ සඳහා යෙදවෙන්නේ ගිනි අව්වේ දහඩිය හෙළන්නන්ගෙන් පමණක් නොව සිඟන්නාගෙන් පවා අය කෙරෙන සෘජු හා වක්‍ර බදු මුදල්ය. මෙම ජනතා නියෝජිතයන්ගේ කුමන කටයුතු සඳහා මහජන මුදල් වැය කළ යුතුද මහජන මුදල් වැය කළ යුතු අවස්ථාවලදී ද නාස්තිකාරී ලෙස එම මුදල් වැය කිරීම වළක්වන්නේ  කෙසේද යන්න පිළිබඳව නිර්නායක කිසිවක් ඇති බව පසුගිය කාලයේ වූ බොහෝ සිදුවීම්වලින් පෙනෙන්නට තිබිණි.

ඒවා අතුරින් අප්‍රසන්නතම සිද්ධිය විය හැක්කේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි 350ක් වටිනා වර්ග අඩි තිස් දහස ඉක්ම වූ රජයේ නිවෙසක් තම වාසය සඳහා තබා ගැනීමය. රට බංකොලොත්ව පැවැති කාලයේ එම නිවස පිළිසකර කරන්නට මහජන මුදලින් රුපියල් කෝටි 47ක් වැය කෙරුණු බවද පසුගිය දිනවල වාර්තා විය.

විශ්‍රාම ගිය මහජන නියෝජිතයකු වෙනුවෙන් මෙවැනි නිවෙසක් මහජන මුදලින් නඩත්තු කළ යුතුද යන ප්‍රශ්නය මතුවේ. ජාතික ජන බලවේගය පවසන්නේ මෙවැන්නක් තබා කුමන ආකාරයේ නිවෙසක්වත්  මහජන නියෝජිතයකුගේ නිල කාලය අවසන් වූ පසු ඔහුට හෝ ඇයට හෝ නොදිය යුතු බවයි. ජනාධිපතිවරයකුට නිල කාලයෙන් පසු නිවෙසක් දිය යුතුයැයි සිතන අයකු වුවද මේ සා විශාල මුදලක් ඒ සඳහා වැය කළ යුතු යැයි සිතන්නේ නැත. මහින්ද රාජපක්ෂ  මහතා යුද්ධය අවසන් කළ නායකයා ආදී තර්ක මගින් මෙය ඇතැමුන් සාධාරණීකරණය කරන්නේ මේ ප්‍රශ්නය දැන් දේශපාලනීකරණය වී ඇති හෙයිනි.

ඇතැම් දේශපාලනඥයන්ගේ නිල නිවාසවල මාසික විදුලි ගාස්තු රුපියල් ලක්ෂ ගණනක් වූ බවද පසුගිය කාලයේ වාර්තා විය. මැති ඇමැතිවරු බහුතරයක් තමන්ගේ නිල වාහන තමන්ගේ පෞද්ගලික ගමන්වලට පමණක් නොව තම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලටද යොදා ගනිති. ඒවායේ වියදමද අවසානයේදී දැරිය යුත්තේ බදු ගෙවන ජනතාවය.

මේ මහජන මුදල් නාස්තිය හා කොල්ලය දේශපාලනඥයන් පමණක් කරන දෙයක් නොවේ. ඒ බව පාසල්  ඇරෙන වෙලාවට එම පාසල් අසලට එන පොලීසියේ හා රජයේ ආයතනවල නිල වාහනවලින් මනාව පෙනේ.

වික්‍රමසිංහ මහතාගේ ප්‍රශ්නය මුල් කරගෙන ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවල හා සමාජ  මාධ්‍යවල පුළුල් සාකච්ඡාවක් කෙරේ. එහිදී ඇතැමුන් තර්ක කරන්නේ ජනාධිපතිවරයකුට නිල හා පෞද්ගලික යනුවෙන් ජීවිත දෙකක් නැති බවයි. ජනාධිපතිවරයකුට නිශ්චිත රාජකාරි වේලාවක් නැතැයි යන අර්ථයෙන් මෙය පිළිගත හැකිය. එහෙත් වියදම් සම්බන්ධයෙන් සලකා බලන කල මෙය බරපතළ ප්‍රශ්න මතු කරන තර්කයකි.

ජනාධිපතිවරයකු දින තුනකින් අවසන් කළ හැකි විදේශ සංචාරයකට ගොස් දින පහක් හෝ හයක් විදේශයක ගත කර එහිදී ඉතා මිල අධික හෝටල්වල නැවති පෞද්ගලික පරිභෝජනය සඳහා  මිල අධික භාණ්ඩ මිලදී ගෙන පැමිණෙන්නේ යැයි සිතමු. ඔහුට පෞද්ගලික හා නිල ජීවිතයක් නැතැයි යන අර්ථයෙන් මේ සියල්ල පිළිගන්නට සිදු වේ. එහෙයින් වියදම් සම්බන්ධයෙන්  ගත්කල ඔහුගේ හෝ ඇයගේ හෝ නිල හා පෞද්ගලික කටයුතු වෙන්කර පෙන්විය හැකි විය යුතුය. අනෙක් අතට නිල කටයුතුවලදී ද වියදම් සාධාරණ විය යුතුය.

අනෙක් අතට මෙහිදී ප්‍රායෝගික ප්‍රශ්න ද මතුවේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය මව බැලීම සඳහා ආරක්ෂක රථ 12ක් සමග ගිය බවත්, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, නන්දා මාලිනී බලන්නට නිල රථවලින් ගිය බවත් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු විභාගයේ දී ප්‍රකාශ කෙරිණි. ඒවාද මහජන මුදල් අවභාවිත කිරීමක් දැයි එහි දී ප්‍රශ්න කෙරිණි.

ජනාධිපතිවරයකුගේ ආරක්ෂාව හෑල්ලු කළ නොහැකිය. පෞද්ගලික ගමනකට වුවද ආරක්ෂකයන් කැඳවා ගෙන යාමට විරුද්ධ විය නොහැකිය. වික්‍රමසිංහ මහතා වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට යාමේදී  වුව ද ඔහුගේ  ආරක්ෂාව තහවුරු කළ යුතුය. එම ගමන නිල ද පෞද්ගලික ද යන්න එහි දී වැදගත් නොවේ.

ජනාධිපතිවරයකුගේ ඥාතියකු හෝ මිතුරකු මිය  ගියහොත් ඔහු එම අවමංගල්‍ය උත්සවයට සහභාගි විය යුතුය. නැත්නම් මියගිය තැනැත්තාගේ නිවෙසට හෝ ගොස් පැමිණිය යුතුය. එය පෞද්ගලික කටයුත්තකි. මෙහිදී ඔහු යා යුත්තේ නිල වාහනයෙන් ද පෞද්ගලික වාහනයකින්ද? ඔහුගේ ආරක්ෂකයන්ගේ වාහන ගැන කොහෙත්ම ප්‍රශ්න කළ නොහැකිය. වත්මන් ජනාධිපතිවරයා මෙන් පෞද්ගලික වාහනයක් නැති අයකු මෙවැනි ගමනක් යන්නේ කෙසේද? ජනාධිපතිවරයකු පෞද්ගලික කටයුතුවලට මහජන මුදල් යොදා නොගත යුතු යැයි සිතන්නේ නම් මතුවන ප්‍රශ්නය එයයි.

ජනාධිපතිවරයකුට හෝ ඇමැතිවරයකුට හෝ වෙනත් මහජන නියෝජිතයකුට හෝ නිල හා  පෞද්ගලික  ජීවිත යනුවෙන් ජීවිත දෙකක් නැතැයි පිළිගෙන ඒ අනුව වියදම් අනුමත කිරීම දුෂණයට හා නාස්තියට මග පාදයි. අනෙක් අතට ජනාධිපතිවරයාගේ නිල හා පෞද්ගලික කටයුතු වෙන් කර නිල කටයුතුවලට පමණක් මහජන මුදල් වැය කළ යුතුයැයි කීම ප්‍රායෝගික නොවේ. එහෙයින් මෙම තත්වයක් දෙක සලකා බලා ජනාධිපතිවරුන් හා අනෙකුත් මහජන නියෝජිතයන් සම්බන්ධයෙන්  වන වියදම් පිළිබඳ නීතිරීති අලුතින් සකස් කළ යුතුව ඇති බව පෙනේ. එහිදී ඔවුන්ගේ ඇතැම් පෞද්ගලික කටයුතු සඳහා වියදම් අනුමත කිරීමටත් එම වියදම්වලට උපරිම සීමා පැනවීමටත් සිදුවිය හැකිය.

එසේ නොවුණහොත් ඉදිරියේදී ආණ්ඩු  වෙනසක් වුවහොත් වත්මන් ජනාධිපතිවරයාටත් වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටත් නඩු විශාල සංඛ්‍යාවකට මුහුණදීමට සිදුවිය හැකිය.

වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය අනුව ඔහු කෙරෙහි විශාල අනුකම්පාවක් පැතිර ගියහොත් ඊට සාපේක්ෂව ආණ්ඩු විරෝධය උත්සන්න විය හැකිය. එසේම වික්‍රමසිංහ මහතාට එරෙහි චෝදනා ඔප්පු කිරීමට බලධාරීන් අසමත් වුවහොත් එය වත්මන් ආණ්ඩුවට විශාල පසු බෑමක් වීම නොවැළැක්විය හැකිය.

අනෙක් අතට මෙම කාරණය මත විරුද්ධ පක්ෂ අතර දේශපාලන සන්ධානයක් ගොඩ නැගේද යන්න සැක සහිතය. ඒ එවැනි සන්ධානයක නායකත්වය පිළිබඳව අනිවාර්යයෙන්ම මතභේද ගොඩ නැගෙන හෙයිනි. මෙම පක්ෂ අතර වැඩිම ජන සහයෝගයක් සමගි ජන බලවේගයට තිබියදී එම පක්ෂය එවැනි සන්ධානයක නායකත්වය අත් නොහරිනු ඇත. එසේම රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ වැනි නායකයන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිළිගනු ඇත්ද?

(*** එම් එස්.එම්.අයුබ්)



අදහස් (2)

අලුත්ම දේශපාලන කස්තිරම

AB Sunday, 31 August 2025 06:41 PM

රටක සිටින්නේ එක් ජනපතිවරයෙකි. ඔහුගේ වියදමට අයවැයෙන් මුදල් වෙන්කිරීමක් සිදුවේ. යම් අවස්ථාවල වසරවල අයවැයෙන් ලැබෙන්නා වූ මුදල් ඉතිරිවන්නටද යම් අවස්ථාවල ලබෙන්නා වූ මුදලට වඩා මුදල් වියදම් වන්නටද හේතු ඇතිවිය හැකියි. ප්‍රධාන වශයෙන්ම ආරක්ෂාව සම්බන්ධව සහ ස්වභාවික විපත් ඇතිවුණු අවස්ථාවල ඒ සදහා නිරීක්ෂණ කටයුතු හෝ වෙනත් අනපේක්ෂිත සිදුවීම් සදහා සහභාගි වීම සිදුවේ. එමනිසා ජනපතිගේ පුද්ගලික සහ නිල යනුවෙන් සහභාගි වීම් ඇතිවුවද මතුවුවද එම සහභාගි වීම සිදුවන්නේ පුද්ගලික මට්ටමින් නොව ජනපතිවරයා වශයෙන් නිසා ඔහුට ඒ සදහා අවස්ථාව තිබිය යුතුවේ. වත්මන් ආණ්ඩුව වෙනස් වුවහොත් ජනපතිට හෝ ආණ්ඩුවේ ඇමැති ඇමැතිවරුන්ට විරුද්ධව නඩු ඇතිවිය හැකියි... යන්නා වූ මතය වෙනුවට අනවශ්‍ය මුදල් වැය නොවන ආකාරයට විනිවිදව කටයුතු කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුවේ. රජය සේවයේ, පොලිසියේ සහ වෙනත් ආරක්ෂක අංශවල ඉහළ තනතුරු දරනා කිසිවකු රජයේ වාහන රියැදුරන් ඉන්ධන වැය කරමින් ඔවුන්ගේ පුද්ගලික කටයුතුවල නියැලෙන්නේ නම් එම කටයුතු නැවැත්වීමට නොහැකි නම් විසදුමක් වශයෙන් ඒ සදහා ඔවුන්ගේ වැටුපෙන් අඩුකිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීමට හැකියි.

:       0       1

Nimal Sunday, 31 August 2025 11:10 PM

ඔවුන් එතුමාට සේවය කිරීම වෙනමම කාරණයකි. හිටපු ජනපතිගේ විදේශ සංචරය පිළිබදව මාධ්‍යයට පැමිණ විවිධ අදහස් පළකිරීම එතරම් සුදුසු නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16748 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site