නිදහස ලැබූ දා සිට මේ දක්වා ගත වූ කාලයේ දී වසර 26 ක කාලයක් හැරෙන්නට අනෙක් සෑම වසරකදී ම කවර හෝ අර්බුදයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය. යුද්ධයෙන් පසු කාලයේදීත් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය, ආර්ථික අර්බුදය ආදී අර්බුද රාශියකට මුහුණ දීමට සිදු විය.
දිට්වා සුළිකුණාටුවෙන් හටගත් ආපදාවෙන් අතිවිශාල බලපෑමක් රටටත් ආර්ථිකයටත් සිදු වූ බව පැහැදිලි ය. එයින් ආර්ථිකයට සිදු වූ පාඩුව පිළිබඳ නිල ඇස්තමේන්තුවක් මෙතෙක් ඉදිරිපත්ව නැතත් අවම වශයෙන් ඩොලර් බිලියන 1.7 ක සහ උපරිම වශයෙන් ඩොලර් බිලියන 7 ක පාඩුවක් සිදුව ඇතැයි ඇස්තමේන්තු ගත කෙරේ. ඩොලර් බිලියන 1.7 ක මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් ආසන්න වශයෙන් බිලියන 500 කි. එබැවින් රජය පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව සැලකිය හැක්කේ ආපදාවෙන් සිදු වූ අවම පාඩුව ආවරණය කරගත හැකි මුදල් ප්‍රමාණයක් ලෙස ය.
උපරිම ඇස්තමේන්තුව වන ඩොලර් බිලියන 7 ශ්‍රී ලංකා රුපියල්වලින් බිලියන 2,100 කි. 2026 අයවැයෙන් එම වසර සඳහා ඇස්තමේන්තුගත කර ඇති රාජ්‍ය ආදායම රුපියල් බිලියන 5,300 කි. මෙම ව්‍යසනයෙන් ආර්ථිකයට ඩොලර් බිලියන 7 ක හෙවත් රුපියල් බිලියන 2,100 ක අලාභයක් සිදුව ඇත්නම් එය 2026 වසර සඳහා අපේක්ෂිත සමස්ත ආදායම සමග සැසඳීමේ දී සියයට 40 ත් 45 ත් අතර අතිරේක වියදමකි. එහි ඇඟවුම රාජ්‍ය ආදායම තවත් සියයට 40 -45 අතර ප්‍රමාණයකින් වැඩි කරගත යුතු බව ය. 2025 වසරේ දී සමස්ත ප්‍රාග්ධන වියදම් වශයෙන් වෙන්කර ඇති රුපියල් බිලියන 1,400 සමග ඉහත දැක් වූ අවම පාඩුව වන රුපියල් බිලියන 500 ක ප්‍රමාණය සන්සන්දනය කළ හොත් එම වෙන් කිරීම ප්‍රතිශතයක් ලෙස සියයට 35 ක් පමණ වේ.
මේ සන්දර්භයේ පරිපූරක ඇස්තමේන්තුව මගින් වෙන් කළ රුපියල් බිලියන 500 ක මුදල ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයකට දැඩි ලෙස දැනේ. එහෙත් රජය කියන්නේ එම මුදල් වෙන් කිරීම මගින් ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල නොවන බවත් භාණ්ඩාගාරය සතුව රුපියල් ට්‍රිලියනය ඉක්මවන සංචිත ප්‍රමාණයක් ඇති බවත් ය. වසර 2026 අයවැයට අනුව රාජ්‍ය ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 1,700 ඉක්මවයි. මහා භාණ්ඩාගාරය සතුව රුපියල් ට්‍රිලියනයට වැඩි මුදලක් ඇත්නම් ඒසා අයවැය පරතරයක් තබා ගන්නේ මන්දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. එම අයවැයෙහි වියදම් පාර්ශ්වය සැලකීමේ දී එම අගය රුපියල් බිලියන 7,000 ඉක්මවන අතර එයින් සියයට 30 ක ප්‍රතිශතයක් ආවරණය කරගනු ලබන්නේ ණයවලිනි. භාණ්ඩාගාරය සන්තකයේ මුදල් තිබෙන්නේ නම් ණය ගන්නේ ඇයිදැයි යනුවෙන් ද ප්‍රශ්න කළ හැකි ය.
ඇතැම් සංඛ්‍යා ලේඛන ද පරස්පර වේ. භාණ්ඩාගාරය සතුව ඒසා මුදලක් ඇතැයි කියන්නේ පසුගිය වසරේ ප්‍රාග්ධන වියදම් අරබයා වෙන් කළ රුපියල් ට්‍රිලියන 1.3 ත් 1.4 ත් අතර මුදල් ප්‍රමාණය මුළුමනින්ම වියදම් කර නැති නිසා විය යුතු ය. එනිසා රුපියල් ට්‍රිලියනයක මුදලක් තිබෙන බව ගිණුම්ගත වී තිබෙන්නට පිළිවන. නොඑසේ නම් එතරම් මුදල් ප්‍රමාණයක් භාණ්ඩාගාරය සන්තකයේ ඇතැයි කීම තේරුම් ගැනීම අපහසු ය.
ආර්ථිකය මත දැඩි පීඩනයක් තිබියදීත් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් විශාල වියදමක් දැරීම සම්බන්ධයෙන් රජයට ගෞරවය හිමි විය යුතු ය. විපතට පත් ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීම වැදගත් ය. එසේ නොකර ආර්ථිකය ඉදිරියට ගෙන යෑම අසීරු ය. මෙම මුදල් වෙන් කිරීමෙන් ආර්ථිකයට අහිතකර බලපෑමක් එල්ල නොවන්නේ යැයි ආණ්ඩුව කීව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නියෝජිතයා පසුගිය දවසක ප්‍රකාශ කළේ මෙයින් සැලකිය යුතු පීඩනයක් ආර්ථිකයට ඇති කරන බව ය. ඉදිරි වසරවල දී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.9 දක්වා පහත වැටිය හැකි බවට ද එම ආයතනය පුරෝකථනය කරයි. එම පුරෝකථනය සමග එකඟ විය හැකි ය. ආපදාවේ බලපෑම හේතුවෙන් ලබන වසරේ දී ආර්ථික වර්ධනය සෘණ වෙතියි අපේක්ෂා කළ නොහැකි ය. එහෙත් ආර්ථික වර්ධන වේගය අඩු වීමට පිළිවන. කෙසේ වෙතත් මෙම ආපදාවෙන් ආර්ථිකයට සිදු වූ සැබෑ හානිය තක්සේරු කිරීම සඳහා තවත් කාලය ගත වනු ඇත.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත හදිසි ආපදා සහනයක් වශයෙන් ඩොලර් මිලියන 200 ක මුදලක් ලංකාවට ලබා දීමට අනුමැතිය ලැබුණු බව ද අයි.එම්.එෆ්. ආයතනය නිවේදනය කළේ ය. එය ණයක් මිස ආධාරයක් නොවේ. එම ණයෙහි පොලී අනුපාතිකය සියයට 1.25 ක් වේ. එනයින් මේ ණය මුදලත් අප ගෙවිය යුතු ය.
මේ ආකාරයේ අනපේක්ෂිත වියදම් දැරීමට සිදු වන බව දැන දැනම අයවැය සම්මත කිරීම රජය කළ වරදක් හැටියට මම සලකමි. වසර 2026 ට අයවැය සකස් කිරීමේ දී උපකල්පන තිබුණ ද මෙයාකාරයේ ව්‍යසනයක් ගැන පුරෝකථන නොතිබිණි. එවැන්නක් පුරෝකථනය කිරීමේ හැකියාවක් ද නැත. එහෙත් දැන් විශාල මුදලක් වෙන් කිරීමට සිදුව තිබේ. එබැවින් රජය කළ යුතුව තිබුණේ අලුත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම ය. එසේ කළේ නම් අයි.එම්.එෆ්. ආයතනයේ ඇතැම් එකඟතාවලින් තාවකාලිකව එළියට ගොස් මුදල් වෙන් කිරීමට හැකියාව තිබිණි. මා සිතන හැටියට රජය එම පියවරට නොගියේ එමගින් අයවැය පරතරය තවත් ඉහළ යනු ඇති බවට තිබූ සැකය නිසා බව ය.
මේ රුපියල් බිලියන 500 ක මුදල සපයා ගැනීම සඳහා රජයට මුදල් ණයට ගැනීමට සිදු වේ. මේ මුදල සොයා ගැනීමට ඇත්තේ ක්‍රම දෙකකි. බදු ඉහළ දමා ආදායම් වැඩිකර ගැනීම එකකි. දෙවැන්න බදු නොවන මූලාශ්‍රවලට යා යුතු ය. පෙනෙන හැටියට රජයේ අභිලාෂය වී තිබෙන්නේ ආධාර වැඩි වශයෙන් ලබා ගැනීම වේ.
රුපියල් බිලියන 500 ක මුදලින් සහ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට ලැබෙන මුදල්වලින් ලබන වසර සඳහා වන ආපදා වන්දි සහ ආර්ථිකය ගොඩ නැගීමට අදාළ මූලික කටයුතු සිදු කළ හැකි වනු ඇත. එහෙත් මේ ව්‍යසනයෙන් වූ හානිය මීට වඩා විශාල ය. 2027 වර්ෂයේ දී තවත් මුදලක් වෙන් කිරීමට සිදු විය හැකි ය. උඩරට දුම්රිය මාර්ගයේ විනාශ වූ ස්ථාන මගින් ජනනය කරන පාඩුවට අමතරව එම මාර්ගයේ දුම්රිය ධාවනය කළ නොහැකි වීමෙන් ද දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් අහිමි වේ. මොරගහකන්ද ජලාශයට පහළින් පිහිටි පාලම කඩා වැටීමෙන් සිදු වුණු පාඩුව තවම ගණනය කර නැත. ඒවා විශාල අගයන් ය. එම වියදම් ඉදිරි වසරවල දී දරන්නට සිදු වෙනු ඇත. එබැවින් වසර 2027 සඳහා සකසන අයවැයට අතිරේක වැය බරක් නිර්මාණය වන අතර ඒ වෙනුවෙන් මුදල් සෙවීමට සිදු වේ.
ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අතර එකක් වන්නේ ලබන වසරට වෙන් කළ ප්‍රාග්ධන වියදම් කපා දැමීම ය. එසේ කිරීමෙන් වුව එකතු වන්නේ රුපියල් බිලියන 1,300 ක මුදලකි. එම මුදලෙන් මේ ව්‍යසනය ප්‍රතිපූර්ණය කිරීමට හැකි වෙතැයි මම විශ්වාස නොකරමි. එබැවින් ලබන වසරේ දී නිසැක ලෙසම අතිරේක මුදලක් සෙවීමට සිදු වේ.
සුනාමි ව්‍යසනය අවස්ථාවේ රටට ලැබුණු විදේශ ආධාර සමග සැසඳීමේ දී මේ අවස්ථාවේ ලැබෙන ජාත්‍යන්තර ආධාරවල විශාල අඩුවක් නිරීක්ෂණය කළ හැකි ය. සිදු වූ අවම හානිය හැටියට රුපියල් බිලියන 500 ක මුදලක් යෝජනා කර තිබියදීත් තවමත් රජයට ආධාර වශයෙන් ලැබී තිබෙන්නේ රුපියල් බිලියන 4 ක පමණ මුදලකි. මීට පෙර අපට ආධාර කළ ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය, ජපානය ලබාදෙන ආධාරවල ප්‍රමාණාත්මක අඩුවක් දැකිය හැකි ය. රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවල ගැටලුවක් ඊට හේතුවී ඇත්ද යන්න අපැහැදිලි ය. ජාත්‍යන්තර ආධාර සමුළුව කඩිනමින් පැවැත්වීමත් සිදුව ඇති හානිය පිළිබඳ පණිවුඩය රාජ්‍යතාන්ත්‍රිකව සන්නිවේදනය කිරීමත් ඉතා වැදගත් වේ. ඒ සඳහා පළමුව හානිය ඇස්තමේන්තුගත කර එය සමාජගත කළ යුතු ය. එවැනි ප්‍රවේශයක් අනුගමනය කළ හොත් බොහෝ රටවල් ආධාර කිරීමට ඉදිරිපත් වෙනු ඇත.
මෙයින් විදේශ සංචිතවලට යම් බලපෑමක් ඇති කිරීමට පිළිවන. මෙම ව්‍යසනය උද්ගත වීමට පෙර සිටම සංචිතවල අර්බුදයක් තිබිණි. අයි.එම්.එෆ්. ණයෙහි මීළඟ වාරිකය නිදහස් කිරීම පමා කිරීම සම්බන්ධ සාකච්ඡාව මතු වූයේ මේ ආපදාව ඇති වීමටත් පෙර සිට ය. 2025 වනවිට සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 8.2 ක් විය යුතුය යන්න අයි.එම්.එෆ්. නිර්දේශයකි. එහෙත් මේ වෙද්දී තිබෙන සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.2 කටත් වඩා අඩු ය. 2026 වනවිට සංචිත වටිනාකම ඩොලර් බිලියන 10 ඉක්මවිය යුතු ය. 2027 වෙද්දී එය ඩොලර් බිලියන 14.2 දක්වා වැඩි විය යුතු ය. ඩොලර් බිලියන 6 සිට 14 දක්වා සංචිත ඉහළ නැංවීමට එළැඹෙන වසර දෙකේ දී තවත් ඩොලර් බිලියන 8 ක් සෙවිය යුතු ය. ඒ සඳහා ඇති වැඩපිළිවෙළ කුමක් ද? රුපියල් ආදායම හොඳ මට්ටමක තිබුණ ද ණය ගෙවීමට අවැසි ඩොලර් ප්‍රමාණය රට සතුව තිබෙන්නේ ද යන්න ප්‍රශ්නයකි.
ඉහළ යමින් තිබෙන දේශගුණික විපර්යාස හේතුවෙන් ඉදිරියේදීත් මේ ආකාරයේ ස්වාභාවික ව්‍යසන සිදුවිය හැකි බැවින් ඒ සඳහා සූදානම්වීම වැදගත් වේ. ඒ අරබයා කළ යුතු පළමු කර්තව්‍යය වන්නේ අපේ සංවර්ධන ක්‍රියාවලිය ගැන යළි සිතා බැලීමයි. අප බොහෝවිට ආර්ථික වර්ධනය පිළිබඳ අවධානය යොමු කළ ද සංවර්ධනය එනම්, ආර්ථික වර්ධනයේ සමාජ ආර්ථික බලපෑම් ඇගැයීමට ලක් කරන්නේ නැත. ඉන් ඔබ්බට ගොස් තිරසාර සංවර්ධනය ගැන සාකච්ඡා කරන්නේ ද නැත. තිරසාර සංවර්ධනය අනුව රටක ආර්ථික වර්ධනය විය යුත්තේ පරිසරය ආරක්ෂා කරමිනි. බොහෝ ඉදිකිරීම්වලදී අපි පරිසරයට සෑහෙන හානියක් කළෙමු. ඒවායෙහි ප්‍රතිඵල ද මෙවැනි ව්‍යසනවලින් නිරූපිත ය. මේ පසුබිමේ සංවර්ධන ක්‍රියාවලිය නැවත සමාලෝචනය කළ යුතු ය.
යහපාලන රජය කාලයේ රට රක්ෂණය කළ යුතු බවට අයවැය යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඒ අනුව යමින් රට රක්ෂණය කෙරිණ. 2017 වසරේ ඇති වූ ජලගැලීම්වල දී රජයට විශාල පීඩනයක් ඇති නොවූයේ එම රක්ෂණය නිසා ය. එම අවස්ථාවේ ආපදා වන්දි රක්ෂණ ආයතන විසින් ගෙවන ලදී. අයවැයකින් ස්වාභාවික ව්‍යවසනයකට මුදල් වෙන් කළ නොහැකි වුව ද රටේ ජීවිත සහ දේපොළ රක්ෂණය කළ හැකි ය. ඒ ආකාරයට රක්ෂණය කළ හොත් අයවැයෙන් කළ යුත්තේ රක්ෂණ වාරිකය සඳහා මුදල් වෙන් කිරීම පමණි. එවිට මෙවැනි ව්‍යසනයක දී රජයට බරක් පතිත නොවන පරිදි ජාත්‍යන්තර රක්ෂණ සමාගමකින් විශාල මුදලක් ද ලබාගත හැකි ය. රජය මේවා ගැන නැවත සිතා බලමින් පූර්ව ආරක්ෂණ ක්‍රියාවලියකට ගමන් කළ යුතු ය.
(*** සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ)
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අර්බුදවලින් ගොඩ එන්නම බැරිද?