ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන පක්ෂ අතර තිබෙන්නේ එකම කාසියක දෙපැත්ත අතර සබඳතාවකි. වෙනත් ආකාරයකට කියන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන පක්ෂ අතර තිබෙන්නේ පුද්ගලයා සහ ඔහුගේ සෙවණැල්ල අතර සබඳතාවට සමාන එකකි. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දේශපාලන පක්ෂවලට පුළුල් කාර්යභාරයක් පැවරෙයි. එය ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද පොදු වූවකි.
නූතන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ක්‍රියාත්මක වන ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි රටවලත් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීමේ දී විපක්ෂය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු දැකගත හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විපක්ෂය යනුවෙන් අදහස් කෙරෙන්නේ පාර්ලිමේන්තුව තූළ සහ ඉන් පිටත ආණ්ඩුවට විරුද්ධව සිටින කණ්ඩායමය. වෙනත් ආකාරයකට කියන්නේ නම් පාර්ලිමේන්තුවේ සිටින විකල්ප ආණ්ඩුව වන්නේ විපක්ෂයය. පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ ආණ්ඩු පක්ෂය පාලනය කිරීම සහ ආණ්ඩු පක්ෂය නිසි මගකට යොමු කිරීමේ කාර්යභාරය පැවරෙන්නේ විපක්ෂයටය. ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් පවතින තත්වයක් තුළ මෙරට විපක්ෂයේ වගකීම සහ වගවීම පිළිබඳව සාකච්ඡා කිරීම කාලෝචිත වන්නේ විපක්ෂය ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සිදු කරන චෝදනා තීව්‍ර වී ඇති පසුබිමකය.
සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ ඒවා ක්‍රියාත්මක කිරීම බලයේ පවතින ආණ්ඩුව සිදු කරන අතර, ආණ්ඩුව ප්‍රතිචාරාත්මක සහ වගවීමක් සහිතව ක්‍රියාත්මක වන්නේදැයි නිරීක්ෂණය කිරීම සහ ආණ්ඩුව නිසි මගට යොමුකිරීමේ පළමු වගකීම පැවරෙන්නේ විපක්ෂයටය. එහෙයින් විපක්ෂය මගින් ඉටු කරනු ලබන කාර්යභාරය කරුණු කිහිපයක් ඔස්සේ විමසීම වැදගත්ය. බොහෝ විට විපක්ෂය පාර්ලිමේන්තු විවාද, ප්‍රශ්න කිරීම් හා විවිධ පාර්ලිමේන්තු කමිටු හරහා තම වගවීම සහතික කිරීමට කටයුතු කරන අතර, පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් පවතින රටවල සෙවණැලි ආණ්ඩුවක් ලෙස විපක්ෂය සිය වගකීම ඉටු කරයි. බහුතර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බහු ජනවාර්ගික සමාජ තුළ විපක්ෂයේ කාර්යභාරයක් වන්නේ ප්‍රබල හඬක් මතු කිරීමට අසමත් ආන්තීකරණයට ලක්වූ කණ්ඩායම්වලට නීති සම්පාදනයේ දී අවශ්‍ය නියෝජනයක් ලබා දීමය. අනෙක් අතට සිවිල් සමාජය ශක්තිමත් කරමින් නිහඬ ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවට ගෙන එමින් ඔවුන් ශක්තිමත් කණ්ඩායමක් බවට පත් කිරීමේ වගකීම පැවරෙන්නේ ද විපක්ෂයටය. එයට අමතරව පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාදාමය නිරීක්ෂණය කිරීමේ කාර්යභාරය සහ ප්‍රතිපත්ති සම්පාදනයට දායකවීම මෙන්ම ආණ්ඩුව ගෙන එන අණ පනත්, සංශෝධන විභාග කරමින් එහි අහිතකර ප්‍රතිවිපාක පෙන්වාදීමේ වගකීම පැවරෙන්නේ ද විපක්ෂයටය.
මෙරටට නිදහස ලැබුණු මුල් යුගයේ විරුද්ධ පක්ෂයට සැලකිය යුතු කාර්යභාරයක් හිමිවූයේ නැත. එහෙත් 1951-1959 කාලය තූළ විරුද්ධ පක්ෂය සුජාත කණ්ඩායමක් වශයෙන් කටයුතු කළ ආකාරය දැකගත හැකි විය. විශේෂයෙන්ම 1978 විධායක ජනාධිපති ක්‍රමයෙන් අනතුරුව විපක්ෂයේ කාර්යභාරය සහ වැදගත්කම කිසියම් ආකාරයක අඩු මට්ටමකට පත් වී ඇති බව පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තු ක්‍රමයක් තූළ විරුද්ධ පක්ෂයේ නායකයා විකල්ප අගමැතිවරයා වශයෙන් සැලකෙනු ඇත. එහෙත් ලංකාවේ විරුද්ධ පක්ෂයට හෝ විරුද්ධ පක්ෂයේ නායකයාට හෝ එවැනි පිළිගැනීමක් නැත. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1977 අගෝස්තු මාසයේදී පුවත්පතකට තම අදහස් ඉදිරිපත් කරමින් කියා සිටියේ, දියුණු රටවල විපක්ෂයට පවතින තත්වය ලංකාවේ විපක්ෂයට තිබිය යුතු නැති බවය.
1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙමින් ජේ.ආර්. ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයක් ලෙස දුර්වල කිරීම ආරම්භ කළ අතර, අනතුරුව බලයට පත් රණසිංහ ප්‍රේමදාස චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රාජපක්ෂ ආණ්ඩු මගින් විපක්ෂයේ කණ්ඩායම් තවදුරටත් ක්‍රමානුකූලව දුර්වල කිරීම තීව්‍ර කෙරිණි. 2015 යහපාලන ආණ්ඩුව පැවැති කාල පරිච්ඡේදය තුළ විපක්ෂය යම් මට්ටමකින් ශක්තිමත් ලෙස කටයුතු කරනු දැකිය හැකි වුවත් එය ද විධායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය තුළ යම් පසුබෑමකට ලක්විය. විපක්ෂයේ බිඳවැටීම තවදුරටත් තීව්‍ර වූයේ 2019 ගෝඨාභය රාජපක්ෂ පාලනයත් සමගිනි. මෙවැනි දේශපාලන සංස්කෘතියක් මත පදනම් වූ මෙරට ආණ්ඩු පක්ෂය නිරතුරුවම විපක්ෂය දෙස බලන්නේ තම හතුරකූ වශයෙනි. මෙමගින් පෙනී යන්නේ ආණ්ඩු පක්ෂය විපක්ෂය මර්දනය කිරීමට සෑමවිටම උත්සාහ ගන්නා බවකි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සැලකීමේ දී මෙය හිතකර තත්වයක් ලෙස සැලකිය හැකි නොවේ.
වර්තමාන ශ්‍රී ලංකාවේ ආණ්ඩු පක්ෂයට බහුතර බලයක් හිමිව ඇති තත්වයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී මුරබල්ලාගේ කාර්යභාරය විපක්ෂයට කොතරම් දුරට ඉටු කළ හැකි ද යන්න ගැටලු සහගතය. බොහෝ විචාරකයන්ට අනුව ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තුළ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පවතින තත්වයක් තුළ විපක්ෂයට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ නොහැකිය.
වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව විපක්ෂය දුර්වල කිරීම කෙරෙහි භාවිත කරන උපක්‍රමයක් ලෙස විපක්ෂය පවසන්නේ මහජන මුදල් අවභාවිත කිරීම හා නොමග යැවීම පිළිබඳ කාරණය මත පදනම්ව විපක්ෂයේ කණ්ඩායම් දඩයම් කරමින් පාලනය කිරීමට උත්සාහ කරන බවය. එමගින් විපක්ෂය විකල්ප ආණ්ඩුව යන ජනමතය දියකර හැරීම මගින් ආණ්ඩුව ශක්තිමත් කරමින් විපක්ෂය දුර්වල කිරීම කරන බව ඔවුන්ගේ මතයය. ඇක්ටන් සාමිවරයා විසින් 1887 දී ඇන්ග්ලිකන් බිෂොප්වරයකුට යොමු කරන ලද ලිපියකින් ප්‍රකාශ කර සිටියේ “බලය දූෂණයට නැඹුරු වන අතර, අසීමාන්තික බලය නියත වශයෙන්ම දූෂණය කරයි” යනුවෙනි. රටක විපක්ෂය දුර්වල වන තත්වයක් තුළ ආණ්ඩුවට ඕනෑම අණ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ආ හැකි අතර, එය කිසිදු අභියෝගයකින් තොරව සම්මත කර ගැනීම ද කළ හැකිය. එවැනි තත්වයක් තුළ සංවරණ හා තුලන සිද්ධාන්තය ක්‍රියාත්මක නොවන අතර, කිසිදු තර්ක විතර්කවලින් තොරව තීරණ ගත හැකි ආණ්ඩුවක් නිර්මාණය වීම තුළ විපක්ෂය නිහඬ එකක් බවට පත්විය හැකිය. එවැනි නිහඬවීමක් හරහා ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් විය හැකි අතරම අධිකාරීවාදී තත්වයක් නිර්මාණය වී ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ ද අවසානයේ දී නිහඬ විය හැකිය. අනෙක් අතට විපක්ෂය නිහඬවීම තුළ ආණ්ඩුවට ද්විත්ව කාරයභාරයක් ඉටු කිරීමට සිදුවනු ඇත. එනම් ආණ්ඩුවේ කාර්යභාරය සහ විපක්ෂයේ කාර්යභාරයය.
වර්තමාන ආණ්ඩුවේ සහ විපක්ෂයේ සමාජ පසුබිම දෙස විමර්ශනය කිරීමේ දී පෙනී යන්නේ එමගින් සමාජ ස්ථර දෙකක් පිළිබිඹු වන බවය. විපක්ෂයේ බොහෝ නායකයන් හා ක්‍රියාකාරීන් ඉහළ ධනවත් සමාජ පන්තියක් නියෝජනය කරන අතර, ජාතික ජනබලවේග ආණ්ඩුව ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ බහුතර මන්ත්‍රීවරුන් ග්‍රාමීය පසුබිමකින් පැමිණි සාමාන්‍ය සමාජ පන්තියක් නියෝජනය කිරීම දැකගත හැකිය. මෙමගින් මෙම කණ්ඩායම් දෙක අතර ආකල්පමය පන්ති ගැටුමක් පවතින ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ගැටලුව වන්නේ මෙවැනි ගැටුම් සහගත තත්වයක් තුළ විපක්ෂයට සැබෑ කාර්යභාරයක් ඉටු කළ හැකි ද යන්නය.
මෙවැනි තත්වයක් තුළ බෙදුණු විපක්ෂය ශක්තිමත් කිරීම සඳහා පොදු අරමුණු සාක්ෂාත් කරගත හැකි පුළුල් සන්ධානයක් නිර්මාණය කරගැනීම මගින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිය හැකිය යන මතය අද දේශපාලනයේ කරළියට පැමිණ තිබේ. විපක්ෂය සිය පිළිගැනීම සහතික කිරීමට වහා වගබලාගත යුතු අතර, එසේ නොවුණහොත් මෙරට දේශපාලන සමාජය තුළ විපක්ෂයට ඇති පිළිගැනීම තවදුරටත් ගිලිහී යනු ඇත. අනෙක් අතට මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵලය මගින් නිර්මාණය වී ඇති විපක්ෂය දැඩි මතවාදීමය වෙනස්කම් සහිත එකකි. ඔවුන් බොහෝවිට තම පක්ෂය සහ තමන් ගැනම පමණක් සිතා කටයුතු කරන පිරිසක් විනා පොදු කණ්ඩායමක් ලෙස විපක්ෂයේ කාරයභාරයක් ඉටු කරන බවක් නම් පෙනෙන්නට නැත. ඇත්ත වශයෙන්ම ඔවුන් පොදු කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කිරීමෙන් පාර්ලිමේන්තුව තුළ දී මෙන්ම ඉන් පිටතදීත් විපක්ෂයේ හඬ සැබෑ ලෙස අවදි කරවීම මගින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීමට කටයුතු කළ හැකිය. මෙරට විපක්ෂයේ තවත් පොදු දුර්වලතාවක් වන්නේ ආණ්ඩුව ඉදිරිපත් කරන ප්‍රතිපත්ති සහ තීරණ සම්බන්ධව විපක්ෂය සතුව පොදු අදහසක් නොපැවතීමය. එහෙයින් මෙරට වර්තමාන විපක්ෂය සම්බන්ධව මෙරට ජනතාව තුළ විශ්වාසයක් හෝ පැහැදීමක් නොමැති අතර, එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එක් හඬකින් සමන්විත පොදු විපක්ෂයක් නොමැතිකමය.
අනෙක් අතට ඉහළ දේශපාලන සාක්ෂරතාවක් ඇති කණ්ඩායම්වල සහයෝගය ලබාගෙන දේශපාලන ජාල නිර්මාණය කිරීම මගින් විපක්ෂයේ හඬ පුළුල් සන්ධානයක් බවට පත් කරමින් මහජන විශ්වාසය දිනාගත හැකි කණ්ඩායමක් බවට පත්විය හැකිය. එහි අවසන් පරමාර්ථය විය යුත්තේ ආණ්ඩු පෙරළීම්, කැරැලි ගැසීම හෝ සමාජ විප්ලව නිර්මාණය කිරීම නොව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සහ සෞඛ්‍යවත් කිරීමට කටයුතු කිරීමය. එමගින් ශක්තිමත් විපක්ෂයක් ගොඩ නැගිය හැකි අතරම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ද එය හේතුවක් වනු ඇත. අනෙක් අතට එකමුතු ශක්තිමත් විපක්ෂයක් ප්‍රතික්ෂේප කිරීම ආණ්ඩුවට කළ නොහැකි අතරම ආණ්ඩුවේ කටයුතුවල ප්‍රතිචාරාත්මකභාවය හා වගවීම ද එමගින් තහවුරු වනු ඇත. විපක්ෂය මහජන විශ්වාසය දිනාගත් එකක් බවට පත්වීම මගින් ආණ්ඩුවේ විනිවිදභාවය ප්‍රශ්න කළ හැකි අතරම විපක්ෂයට එසේ කළ හැකි වන්නේ විපක්ෂය ද විනිවිදභාවයෙන් සාමූහිකව කටයුතු කිරීම මගිනි. එමගින් විපක්ෂයේ ජනතා පිළිගැනීම සහතික වන අතර, ආණ්ඩුව ගෙන එන යහපත් යෝජනාවලට විපක්ෂයේ යෝජනා ඇතුළත් කරමින් රටේ සංවර්ධන ක්‍රියාදාමයට විපක්ෂයට දායක විය හැකිය. අනෙක් අතට විදේශ සංක්‍රමණිකයන්ගේ දායකත්වය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට යොදා ගැනීමේ කාර්යභාරය ද විපක්ෂයට පැවැරී ඇති තවත් කාර්යභාරයකි. එමෙන්ම නිවැරැදි ආකාරයට ජනමාධ්‍ය භාවිත කිරීම මගින් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ හඬට ගරු කරන කණ්ඩායමක් බවට පත් කිරීම ද විපක්ෂය සතු වගකීමක් වන අතර, එය පැහැර හැරීමට විපක්ෂයට කිසිදු හැකියාවක් නැත.
ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ සංවර්ධනය ශක්තිමත් කිරීමට විපක්ෂය සිදු කරන්නට බලාපොරොත්තු වන ක්‍රියාකාරකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය මගින් ක්‍රියා කළ යුතුය. විපක්ෂය පාර්ලිමේන්තුවේ පමණක් නොව, ඉන් පිටතදීත් තම හඬ අවදි කළ යුතුය. තම කාර්යභාරය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුය. එමගින් විපක්ෂයේ මතවාදය ගැන පමණක් නොව විපක්ෂය පිළිබඳවත් ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගෙනු නොඅනුමානය.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අර්බුද - විපක්ෂයේ වගකීම