IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අයවැය හොදද? නරකද?

වසර 2026 අයවැය සම්බන්ධයෙන් අපේක්ෂා ගණනාවක් ජනතාව සහ ආර්ථිකවේදීන් අතර තිබිණ. වසර 2025 සඳහා අයවැය ඉදිරිපත් කරනු ලැබුවේ ඊට පෙර වසරේ ප්‍රධාන මැතිවරණ දෙකක් පැවැත්වීමෙන් ඉක්බිතිව ය. එනයින් ආණ්ඩුවේ බලාපොරොත්තු වූ පරිදි එම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි විණි යැයි මම නොසිතමි.

එම සන්දර්භයේ 2026 අයවැය ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ සමාජගත කරන හොඳම අයවැය වෙතැයි බොහෝ දෙනා සිතූහ. ආර්ථික අර්බුදයෙන් පසු ඉදිරිපත් කරන ලද සෑම අයවැය ලේඛනයක් මගින් ම බදු විශාල ප්‍රමාණයක් හඳුන්වා දෙන ලදී. ඊට හේතුව වූයේ එවක දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8.5 දක්වා පහත වැටී තිබුණු නිසා ය. එබැවින් රාජ්‍ය ආදායම සහ ඩොලර් ආදායම ඉහළ නංවා ගන්නේ කෙසේද යන්න ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය ආදායම් වර්ධනය කිරීම සඳහා මෙවර අයවැයෙන් අලු‍ත් බදු පනවනු ඇතැයි බොහෝ අය උපකල්පනය කළේ එම පසුබිමේ ය. වත්මන් රජය නව බදු හඳුන්වා නොදෙනු ඇතැයි මම පෞද්ගලිකව විශ්වාස කළෙමි. ඊට හේතුව පසුගිය කාලයේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අප විශාල බදු ප්‍රමාණයක් ගෙවූ නිසා ය. එහි ප්‍රතිඵලයක් හැටියට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 15.1 ඉක්ම වීය. රාජ්‍ය ආදායම් 2026 දී සියයට 15.1 මට්ටමට ගෙනා යුතුය යන්න අයි.එම්.එෆ්. නිර්දේශයකි. ඒ අනුව අපි මේ වන විටත් එම ඉලක්කය සාක්ෂාත් කරගෙන සිටිමු. වත්මන් ආණ්ඩුවේ පළමු මාස හයක කාලයේ දී එම ඉලක්ක සම්පූර්ණ කරගෙන තිබේ.

වසර 2024 මුල් මාස හයට සාපේක්ෂව 2025 පළමු මාස හයේ දී රාජ්‍ය ආදායම සියයට 25.9 න් වැඩි කර ගෙන ඇත. එහි දී රේගු ආදායම් සියයට 92.7 කින්ද, සුරාබදු ආදායම් සියයට 90 කින් පමණ ද ඉහළ නංවා ගෙන තිබේ. මෙම වසරේ සලකා බලන කාලයේ දී සමස්ත ආදායම සියයට 24.8 න් වැඩි වී ඇත. එය සැලකිය යුතු වර්ධනයකි. මෙම අයවැයෙන් නව බදු නොපනවනු ඇතැයි මා උපකල්පනය කළේ එම යථාර්ථය මත පිහිටා ය. එය සත්‍යයක් බවට පත් කරමින් මේ අයවැයෙන් බදු යෝජනා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් නොවුණි. අලු‍ත් බදු පැනවීමට වඩා බදු යාන්ත්‍රණයේ කළමනාකරණය ශක්තිමත් කිරීමටත් බදු පදනම පුළුල් කිරීමටත් වැඩි අවධානයක් යොමු කර ඇත. බදු අය කළ හැකි පදනම පුළුල් කිරීම මගින් අවම පීඩනයක් යටතේ බදු ආදායම් ඉහළ නංවා ගත හැකි බව ආර්ථික විද්‍යාඥයෝ කාලයක් තිස්සේ අවධාරණය කළහ. අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගත හැකි වුව හොත් මීළඟ වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැයෙන් බදු ආදායම් අඩු කර ගැනීමට වුව පිළිවන.

සමාගම් ආදායම් බදු යටතේ ප්‍රාග්ධන දීමනාව ඩොලර් මිලියන තුනේ සිට 2,50,000 දක්වා අඩු කර තිබේ. එයින් කුඩා ව්‍යාපාරවලටත් වාසි සැලසෙන අතර, විදේශ ආයෝජනවලට ද හිතකර පරිසරයක් හැටියට හැඳින්විය හැකි ය. එහෙත් මෙය අයවැය සංවාදවල දී සාකච්ඡාවට බඳුන් වූයේ නැත. 2028 දී විදේශ ණය ගෙවීම ආරම්භ කළ යුතු බැවින් 2026 සහ 2027 දෙවර්ෂයේ දී ඩොලර් ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු ය. ඩොලර් මිලියන 823 ක පමණ විදේශ ආයෝජන මේ වසරේ දී රටට ලැබුණු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද එය ප්‍රමාණවත් නොවන බව මගේ අදහස යි. එසේ වුවත් ප්‍රාග්ධන දීමනාව පහත හෙළීමෙන් ඍජු විදේශ ආයෝජන ලැබීම් ඉහළ නංවාගත හැකි වෙතැයි මම විශ්වාස කරමි. තව ද ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සම්බන්ධයෙන් මෙම අයවැයෙන් සාධනීය අවධානයක් යොමු කර තිබේ. එය තහවුරු කරමින් කොළඹ වරාය නගරයට විදේශ ආයෝජන ආකර්ෂණය දියුණු කිරීම වෙනුවෙන් එම පනත සංශෝධනය කරන බව ද ජනාධිපතිවරයා පැවැසීය.

බදු පදනම තවදුරටත් පුළුල් කිරීමේ අටියෙන් එකතු කළ අගය මත බද්ද (වැට්) අය කරනු ලබන ආදායම් සීමාව රුපියල් මිලියන 36 දක්වා පහත හෙළා ඇත. මෙම බද්ද ආරම්භයේ දී එය ගෙවීම සඳහා ලියාපදිංචි ආදායම් සීමාව පැවැතියේ රුපියල් මිලියන 1.8 ක් වශයෙනි. පසුව එම අගය ක්‍රමයෙන් වැඩි කරනු ලැබූ අතර 2022 පමණ වනවිට එය රුපියල් මිලියන 300 තරම් ඉහළ අගයක පැවැතිණි. එහි අදහස වූයේ වාර්ෂිකව රුපියල් මිලියන 300 ඉක්මවා ආදායම් ඉපැයූ අය වැට් බද්ද ගෙවිය යුතු වූ බව ය. ඉන්පසු එකී සීමාව රුපියල් මිලියන 60 දක්වා අඩු කෙරිණ. මෙම අයවැයෙන් එය රුපියල් මිලියන 36 දක්වා යළිත් පහත දමා තිබේ. ඒ අනුව මාසයකට රුපියල් ලක්ෂ 30 ක විකිණුම් ආදායමක් ඇති සියලු‍ ආයතන වැට් බදු ගෙවීම අරබයා ලියාපදිංචි විය යුතු ය. වැට් බද්ද අය කරනු ලබන්නේ පාරිභෝගිකයාගෙන් මිස ව්‍යාපාරිකයාගෙන් නොවේ. එබැවින් වැට් බදු අය කරනු ලබන පදනම පුළුල් කිරීම මගින් වක්‍ර බදු අනුපාත ඉහළ යන බවට ඔබ නගන ප්‍රශ්නයට පිළිතුර ඔව් යන්න ය.

මෙපරදි වැට් බදු අය කරනු ලබන සීමාව අඩු කිරීමෙන් අහිතකර බලපෑම් එල්ල වන ක්ෂේත්‍ර ද තිබේ. නිදසුනක් හැටියට එයින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල මිල මට්ටම් ඉහළ යනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඒවාට වෙළෙඳපොළේ තරග කිරීමට ඇති හැකියාව දුර්වල වීමට පිළිවන. එහෙත් පොදුවේ සලකන විට බදු පදනම පුළුල් කර තිබේ.

ඊට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කරනු ලබන ආදායම් සීමාව වැට් බදු අය කරනු ලබන සීමාව හා සමාන ප්‍රමාණයකින් පහත දමා තිබේ. එමෙන් ම වාහන ආනයනයේ දී සහ නිෂ්පාදනය කර විකිණීමේ දී එම බද්ද අය කිරීමට ද යෝජනා කර ඇත. ඒ අනුව මාසයකට රුපියල් ලක්ෂ 30 ඉක්මවා ව්‍යාපාර කරන අය මේ බද්දට යටත් කර තිබේ. මෙම බද්ද අයවන්නේ ද පාරිභෝගිකයාගෙනි. බදු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා මගින් ලබන වසරේ දී විශාල ආදායමක් එකතු කර ගැනීමට හැකි වෙතැයි මම විශ්වාස කරමි.

සියයට 25 ත් 75 ත් මට්ටමේ දැනට පවතින ඍජු හා වක්‍ර බදු අනුපාතය සියයට 40: 60 මට්ටමට ගෙනා හැකි බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කර ගත හැකි වෙතැයි මම නොසිතමි. රටක හොඳ බදු අනුපාතයක් පවතින්නේය යන්නෙන් අදහස් වන්නේ සියයට 40 ක් ඍජු බදු හා ඉතිරි සියයට 60 වක්‍ර බදු ය. මීට පෙර ලංකාවේ එම බදු අනුපාතය පැවැතියේ සියයට 15: 75 වශයෙනි. ආදායම් ලබන නොලබන සියලු‍ දෙනා වක්‍ර බදු ගෙවිය යුතු ය. ඍජු බදු ගෙවනු ලබන්නේ ආදායම්ලාභීන් විසිනි. ජනාධිපතිවරයා සඳහන් කළ අගයට මේ බදු අනුපාතය ගෙනා හැකි නම් යහපත් ය. එහෙත් ඒ සඳහා කාලයක් ගත වනු ඇත. ඍජු බදු ඉහළ නැංවිය යුත්තේ ද කල්පනාකාරීව ය.

ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමට අදාළ යෝජනා කිහිපයක් මෙම අයවැයේ අන්තර්ගත ය. එහෙත් ඊට කර ඇති ආයෝජනය රුපියල් බිලියන 16 කි. එය සතුටු විය හැකි අගයක් නොවේ. රථ වාහන සහ යන්ත්‍රෝපකරණ ගෙන්වීමට රුපියල් මිලියන 12,500 ක් වෙන් කරද්දී මුළු රටම ඩිජිටල්කරණය කිරීමට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 16 කි. එසේ වතුදු මෙය ආරම්භයක් හැටියට හොඳ ය. ලබන වසරේ සිට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කරන බව ද ප්‍රකාශ විණි. එහි ඇති එක් වැදගත්කමක් නම් එයින් බදු ගෙවිය යුතු සියලු‍ අය ඊට යටත් කරනු ලැබීම ය. එනයින් බදු ගෙවීම පැහැර හැරීමට ඇති ඉඩ ප්‍රස්ථා ඇහිරේ.

මෙම අයවැය අයි.එම්.එෆ්. හි රාමුවක් ඇතුළත සකස් කෙරුණු එකක් යැයි ඇතැම්හු කියති. එය සත්‍යයකි. එයින් පරිබාහිර වෙනත් විකල්පයක් ද නැත. අයවැය කතාවේ පැහැදිලි කළ බොහෝ යෝජනා අයි.එම්.එෆ්. හි ප්‍රකාශනය තමන්ගේ වචනයෙන් විස්තර කිරීමකට සමාන කළ හැකි ය. එහි ද සාධනීය පැති ගණනාවක් ඇත. රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර පනතක් රාජ්‍ය වත්කම් කළමනාකරණ පනතක් වශයෙන් නව පනත් කිහිපයක් ගෙන එන බව ජනාධිපතිවරයා කීවේ ය. ඒවා සිදු විය යුතු දේවල් ය. රටක ආර්ථිකයක් ගොඩනැගෙන්නට නම් රාජ්‍ය අංශය ව්‍යාපාර කටයුතු කළ යුතුය යන ආස්ථානය මම නොදරමි. රජයට ආදායම් ලැබෙන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර ලාභ ලබන්නේ නම් ය. ඊට හේතුව එම අංශයේ ව්‍යාපාර උපයන ලාභයෙන් පමණක් සියයට 30 ක් බදු වශයෙන් අය කරනු ලබන නිසා ය. එහෙත් රාජ්‍ය ආයතන ලාභ ඉපැයූව ද එයින් විශාල මුදලක් භාණ්ඩාගාරයට ලැබෙන්නේ නැත. නිදසුනක් වශයෙන් පසුගිය කාලයේ දී ලාභ ඉපැයූ රාජ්‍ය ආයතනවලින් භාණ්ඩාගාරයට බැර වී තිබෙන්නේ දළ වශයෙන් සියයට 7 ත් 17 ත් අතර මුදල් ප්‍රමාණයකි.

වතු සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමට යෝජනා කර තිබීම, මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා රුපියල් 2500 කින් වැඩි කිරීම, නගර හා මහාමාර්ග සංවර්ධනයට මුදල් වෙන් කිරීම ආදී වශයෙන් තවත් සාධනීය යෝජනා ගණනාවක් මෙවර අයවැයේ අන්තර්ගත ය. 2026 දී රජය අපේක්ෂා කරන රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 5.2 කි. වියදම ට්‍රිලියන 7 කි. ඒ අනුව අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 1.8 ක් පමණ වේ. සමස්ත රාජ්‍ය වියදමෙන් සියයට 5.6 ක් වැය කරනු ලබන්නේ වර්තන වියදම්වලට ය. එනම්, රජයේ එදිනෙදා වියදම්වලට වේ. රුපියල් ට්‍රිලියන 1.4 ක් ප්‍රාග්ධන වියදම්වලට වෙන් කරයි. එය ප්‍රමාණවත් අගයක් නොවුණ ද ආර්ථිකය ගොඩ නැගිය හැක්කේ ප්‍රාග්ධන වියදම් වැඩි කිරීමෙනි. එබැවින් ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත් ය. වර්තන වියදම් ඉහළ යෑමට ප්‍රධාන හේතුව ණය පොලී ගෙවීම් සහ රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීම වේ. රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීම අර්බුදකාරී වී ඇති තත්ත්වයක යළිත් රාජ්‍ය සේවයට 75,000 ක් බඳවා ගැනීමට ගෙන ඇති තීරණය පිළිබඳ නැවත සිතිය යුතු ය. කළ යුත්තේ රාජ්‍ය සේවය කළමනාකරණය කිරීම මිස පුළුල් කිරීම නොවේ. එය මා දකින එක් දුර්වලතාවකි.

අප අපේක්ෂා කළේ ආර්ථිකය සංවර්ධනය කරන අයවැයක් මිස නඩත්තු කරන එකක් නොවේ. එහෙත් මෙම අයවැය ආර්ථිකය නඩත්තු කරන අයවැයක් ලෙස මම දකිමි. 2028 දී ණය ගෙවීම නැවත ආරම්භ කිරීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීම සහ ඉන් ඔබ්බට ආර්ථිකය ගෙන යන්නේ කෙසේද යන්න ගැන අවධානය යොමු කර නැත. එය දෙවැනි දුර්වලතාව යි. ඉදිරි වසර 5 උපාය මාර්ගිකව අරමුණු කළේ නම් මෙම අයවැය මීට වඩා යහපත් එකක් වීමට ඉඩ තිබිණ. එසේ ම බුද්ධි ගලනය පාලනය කිරීම අරබයා වෙන වැඩසටහනක් මෙහි ඇතුළත් නොවේ.

ආර්ථික අර්බුදයට පෙර පැවැති තත්ත්වයට රටේ ආර්ථිකය මෙම වසර අවසානයේ ගෙනා හැකි බව ද ජනාධිපතිවරයා කීවේ ය. එහෙත් අයවැය කතාවේ දී හා පසුදින ආරම්භ වූ විවාදයේ දී ඒ අරබයා පළ කළ අදහස් කොතරම් දුරට නිවැරැදි ද යන ප්‍රශ්නය මතු වේ. ආණ්ඩුව පැවැසුවේ ඔවුන්ට හිමි වූයේ පෝලිම් පැවැති කඩා වැටුණු ආර්ථිකයක් බව ය. එය නිවැරැදි නොවේ. ආණ්ඩුව බලයට එනවිට පෝලිම් නොපැවැති අතර ඩොලර් බිලියන 5.4 ක විදේශ සංචිත තිබිණ. අනාගතය පිළිබඳ මූලෝපායික සැලසුම් සකස් කරන විට සිටින තැන වැරැදියට තේරුම් ගත හොත් අනාගතයත් වැරැදි පාරට වැටෙනු ඇත. 2018 තිබූ තැනට මේ වසර අග වෙද්දී ආර්ථිකය පත් කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් දෝෂසහගත බව මගේ වැටහීම යි. අවුරුදු හතක් පසුපසට ආර්ථිකය හදන්නේ යැයි නොකිව යුතුව තිබිණි. ඊට වඩා මින් ඉදිරියට කළ යුතු දෑ ගැන අවධානය යොමු කළ යුතුව තිබිණි. එහෙත් එවැනි ඇතැම් දේවල් සම්බන්ධයෙන් අයවැයෙහි සාකච්ඡාවක් හෝ නොතිබිණි.

මේ සියලු‍ විග්‍රහ ඇසුරින් කිව හැක්කේ මෙම අයවැය හොඳ සහ නරක දෙකම මිශ්‍ර එකක් බව ය. එසේ වුවත් මා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා හොඳ තැනක 2026 අයවැය පවතින බව කිව යුතු ය.

(*** සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ)



අදහස් (0)

අයවැය හොදද? නරකද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2371 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site