IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අයවැයේ නොපෙනෙන පැත්ත

1977 නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජයේ ප්‍රථම අයවැය ලේඛනය මේ රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විප්ලවීය වෙනසක් ඇති කළේය. ශ්‍රී ලංකාව විසින් ඒ දක්වා පවත්වාගෙන යනු ලැබූ මැදි පිළිවෙතේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට පූර්ණ නිදහස් වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තියක් ඔහු එම අයවැය ලේඛනයෙන් හඳුන්වා දුන්නේය.

සිරිමාවෝ බණ්ඩාරනායක රජය ක්‍රියාත්මක කරමින් සිටි සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියේ අවසානය ඉන් සනිටුහන් විය. ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය යටතේ සිරිමාවෝ මැතිනිය දැඩි වාමාංශික ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළාය. රටේ වාම ආර්ථික ක්‍රමයේ උච්චතම අවස්ථාව අත්කර ගෙන තිබිය දී ජේ.ආර්. 1977 නොවැම්බර් මාසයේ දී ඊට ඉඳුරාම වෙනස් නව ලිබරල්වාදී ප්‍රතිපත්ති රටට හඳුන්වා දුන්නේය.

ජේ.ආර්. ගෙන් පටන්ගෙන විජේතුංග මහතාගෙන් අවසන් වූ වසර 17ක යුගය අවසන් වෙද්දී රටේ මැදි පිළිවෙතේ සහ වාමාංශික පක්ෂවල‌ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සංවාදයක් ඇති විය. ඒ වනවිට රටේ ජනතාවගෙන් බහුතරයකගේ මතය වූයේ නිදහස් ආර්ථික ප්‍රතිපත්ති රටට වඩාත් හිතකර බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත් වුවහොත් එම ප්‍රතිපත්ති අහෝසි කිරීමට ඉඩ ඇති බවට සැකයක් ව්‍යාපාරික ප්‍රජාව තුළ ඇති විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එයට ප්‍රතිචාර දැක්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පැමිණීමෙන් පසුව නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය අහෝසි නොකරන බවත් එයට මානුෂීය මුහුණුවරක් ලබාදෙන බවත් ප්‍රකාශ කරමිනි. රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ පාලන බලය හුවමාරු වන පක්ෂ දෙකම නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය පිළිගන්නා තත්වයක් ඉන් පසු ඇති විය. පැරැණි වාමාංශික පක්ෂවලින් ද එයට අනුකූලතාවක් පළවිණි. 1994 ජනාධිපතිවරණයෙන් පසු රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම පාහේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය පිළිගන්නා තත්වයක් ඇතිව තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී දේශපාලන පක්ෂයකි. මාක්ස්වාදය ධනවාදී ආර්ථික ක්‍රමය ප්‍රතික්ෂේප කරන අතර සියලු‍ ආර්ථික සම්පත් රජය සතුව පවත්නා මධ්‍ය සැලසුම්ගත ආර්ථික ක්‍රමයක් යටතේ ආර්ථික කටයුතු සිදු විය යුතු බව අවධාරණය කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණ එයට සාමාජිකයන් බඳවා ගැනීමේ දී පැවැත් වූ පන්ති පහ තුළ නිර්ධන පන්තියේ විප්ලවයක් මගින් ධනපති ආණ්ඩු පෙරළා දමා සමාජවාදී රජයක් බිහිකර සියලු‍ ආර්ථික සම්පත් රජය යටතට පත් කර ගන්නා බව ඒත්තු ගැන්වීය.

2024 ජනාධිපතිවරණයෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීම විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී දේශපාලන පක්ෂයක අපේක්ෂකයා ජනාධිපති ධුරයට පත්ව ඇති බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රමය තුළ නිදහස් වෙළෙඳපොළ ප්‍රතිපත්ති සීමා කෙරෙන යුගයක් ආරම්භවීමට ඉඩ ඇති බවට ඇතැම් පිරිස්වල මතය වී ඇති බවත්ය. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ බිහි වූ ජාතික ජන බලවේගය රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කවර වෙනසක් හඳුන්වා දෙනු ඇත්ද යන්න දැන ගැනීමට රජයේ වාර්ෂික අයවැය ලේඛන මගින් ඉඩ ලැබෙනු ඇතැයි අපේක්ෂා කළේය.

 

2024 සැප්තැම්බර් පැවැති ජනාධිපතිවරණයෙන් හා නොවැම්බර් පැවැති මහ මැතිවරණයෙන් ජයගත් ජාතික ජන බලවේගය 2025 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් පරිවර්තනීය වෙනසක් ඇති නොවෙනු ඇතැයි අපේක්ෂා කළ අතර 2026 වසර වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයෙන් රටේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වන ආකාරය දැක ගැනීමට හැකි වනු ඇතැයි යන්න සමහර අයගේ බලාපොරොත්තුව විය.

2026 වසරට අදාළ අයවැය ලේඛනය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරන ලදී. මාක්ස්වාදී යැයි හෝ වාමාංශික යැයි හෝ සමාජවාදී යැයි හෝ කිව හැකි කිසිදු නව ආර්ථික ප්‍රතිපත්තියක් එම අයවැය ලේඛනයේ අඩංගු වී නැත. පැරැණි වාමාංශික පක්ෂ දිය වී යද්දී රටේ වාමාංශික පිරිස්වල නායකත්වයට පත් වූයේ ජනතා විමුක්ති පෙරමුණය. ප්‍රධාන පක්ෂ දෙකෙන් හෝ ඒවායෙන් වෙන්ව ගිය පක්ෂවලින් බැහැරව බලයට පත් වූ එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වේ. එම පක්ෂයේ සාමාජිකයන් තුළ මාක්ස්වාදය හෝ වාමාංශික ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳ කවර බලාපොරොත්තුවක් ඇති කර තිබුණ ද එම පෙරමුණේ ක්‍රියාත්මක ප්‍රායෝගික ප්‍රතිපත්තිය සමාජවාදී ආර්ථිකයක් නොවන බව 2026 අයවැය ලේඛනය මගින් තහවුරු කර ඇත.

එහි අර්ථය වන්නේ වාමාංශික නමින් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණත් එහි නායකත්වය යටතේ සංවිධානය වී ඇති ජාතික ජන බලවේගයත් ජේ.ආර්. ජයවර්ධනගේ නව ලිබරල්වාදී නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය රටේ ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගය විය යුතු බව පිළිගෙන ඇති බවයි. එබැවින් 2026 අයවැය ලේඛනය රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විප්ලවීය වෙනසක් ඇති කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. එයට හේතුව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු රටේ සියලු‍ දේශපාලන බලවේග විසින් පිළිගනු ලැබ තිබීමයි.

2025 සහ 2026 අයවැය ලේඛන පරීක්ෂා කරන විට ‌කෙනකුට නිරීක්ෂණය කළ හැකිවන්නේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඒ ලේඛන දෙක අතර සැලකිය යුතු වෙනසක් දක්නට නොලැබෙන බවයි. 2025 වර්ෂයට අදාළ අයවැය ලේඛනයේ යෝජනා පිළිබඳව අධ්‍යයනය කළහොත් පැහැදිලි වනුයේ එකී යෝජනාවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ක්‍රියාත්මක වී නැති බවයි. 2025 අයවැය ලේඛනය මගින් පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කර ඇති මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් උපයෝජනය කර නැති බව ද පෙනේ. නියමිත පරිදි මූල්‍ය සම්පත් උපයෝජනය නොකිරීම තුළ අයවැය පරතරය පහළ මට්ටමකට පත්ව ඇති නමුදු එමගින් ප්‍රකාශ වන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින අකාර්යක්ෂමතාවයි. කෙසේ වුව ද රාජ්‍ය ආදායම පිළිබඳව සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට රජයට හැකි වී තිබේ.

රජයේ බදු ආදායම සම්බන්ධයෙන් මෙම අයවැයෙන් කිසිදු ප්‍රධාන වෙනසක් හඳුන්වා දී නැත. බදු නොවන ආදායම 2024 වසරේ පැවැති තත්වයට වඩා 2025 වසරේදී සැලකිය යුතු මට්ටමකින් අඩු වීමට ඉඩ තිබේ. එයට හේතුව රාජ්‍ය ව්‍යවසායන්ගෙන් 2024 වසරේදී සැලකිය යුතු ලාභයක් ලබා ගත් නමුදු 2025 වසරේ දී එය සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබීමයි. කෙසේ වුව ද රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට 2025 වසරේ දී ඉලක්ක ගත කර ඇති සියයට 15.9 ක මට්ටමට පත් නොවන නමුදු එය සියයට 15.1 මට්ටමට පත්වීමට ඉඩ තිබේ. 2025 වසරේ සංශෝධිත ඇස්තමේන්තු අනුව බදු ආදායම රුපියල් බිලියන 4725 කි‍. 2024 වර්ෂයේ ලැබුණු බදු ආදායම රුපියල් බිලියන 3705 කි. මෙම වසරේ වාහන බදු මගින් ලැබෙන ආදායම රුපියල් බිලියන 700 ක් පමණ වේ යැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව වාහන බදු නොවන බදු වැඩිවීම රුපියල් බිලියන 305 ක් පමණ වේ. බදු අය කර ගැනීම පිළිබඳව වාර්තා තබා ඇති බවට සඳහන් වන නමුදු බදු ආදායමේ සැලකිය යුතු වෙනසක් දක්නට නොලැබෙන බව පැහැදිලි වේ. සමාජ ආරක්ෂණ බද්ද සහ වැට් බදු අය කිරීම ආදිය තුළ වාහන මිලදී ගන්නන්ට මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ අංශයට ද බලපෑම් ඇතිවේ.

ආයෝජන අවස්ථා පුළුල් කිරීම, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, නවීකරණරය හා ඩිජිටල්කරණය, පර් යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය බලගැන්වීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රාදේශීය සංවර්ධනය, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, යටිතල පහසුකම් සංවර්ධනය ආදිය සම්බන්ධයෙන් අයවැය ලේඛනයේ සඳහන් කරුණු 2025 අයවැය ලේඛනයට මෙන්ම ඊට පෙර අයවැය ලේඛනවලට ද බොහෝ දුරට සමාන බව පෙන්වා දිය හැකිය. “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” තේමා කරගත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එන කරුණු සම්පූර්ණ කර ගැනීමට ඉඩ ලැබෙන ආකාරයේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීම සඳහා ප්‍රයත්නයක් හෝ අයවැය ලේඛනය මගින් ප්‍රදර්ශනය නොවේ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රජය රුපියල් මිලියන 5000 ක් වෙන් කර තිබේ. වතු සමාගම් පසුගිය වසරවල සැලකිය යුතු ලාභයක් උපයාගෙන තිබේ. වතුවල සම්පත් උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගන්නා නමුදු එම සමාගම් වැවිලි කර්මාන්තය සංවර්ධනයට හෝ නවීකරණයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී නැත. වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1750 ක වැටුපක් දීමෙන් ඔවුන්ට රුපියල් 52,500 ක මාසික වැටුපක් ලැබේ. මාසයේ දින 30 වැඩ කරන වතු නැත. එවැනි කුඩා වැටුපක් හෝ ගෙවීමේ හැකියාවක් වතු සමාගම්වලට නොතිබේද?. රටේ වැටුප් ලබන වෙනත් පිරිස් තම වැටුප්වලින් සැලකිය යුතු මුදලක් බදු ලෙස ගෙවති. ඒවා වතු සමාගම්වල වැටුප් ගෙවීම සඳහා යොදා ගැනීමට රජයට කිසිදු අයිතියක් නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගෙන තිබෙන ගිවිසුම අනුව රටේ දිළිදුකම පිටුදැකීම පිළිබඳව නව සමාලෝචනයක් කිරීමට රජයට සිදුව තිබේ. අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සුදුසුකම් නැවත විමසා බැලීමට සිදුවේ. සැලකිය යුතු පිරිසක් අස්වැසුම ප්‍රතිලාභවලින් ඉවත් කෙරෙන තත්වයක් තුළ එම පිරිස්වලට නව ආදායම් මාර්ග ඇති කිරීම සඳහා වූ පිළිවෙතක් ද ඇති කර ගත යුතු වේ.

රාජ්‍ය සේවක උත්සව අත්තිකාරම් වැඩි කිරීම, ආපදා ණය මුදල වැඩි කිරීම, දේපළ ණය මුදල වැඩි කිරීම, මහපොළ ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 2,500 කින් වැඩි කිරීම සහ ආබාධිත දීමනා වැඩි කිරීම ආදිය සැලකිය යුතු පිරිසකගේ ආර්ථික පීඩනය අඩු කිරීම සඳහා හේතුවනු ඇතැයි සිතිය හැකිය.

පසුගිය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වූ ගිවිසුම ඇති කර ගන්නා ලද්දේ රටේ පැවැති ආර්ථික අර්බුද තත්වය හේතු කර ගෙනය. බදු වැඩි කිරීම, ඉන්ධන, විදුලිය සහ ගෑස් මිල වැඩි කිරීම ආදියත් වක්‍ර බදු වැඩි කර භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීමත් බොහෝදුරට ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. එසේ වුව ද රටේ වැටුප් ලබන පිරිස් සහ මධ්‍යම පාන්තික පිරිස්වලට ද අත්විඳීමට සිදුව ඇති පීඩනය ඉහළ මට්ටමක පවතී. බදු ආදායම වැඩිවන විට බදු සීමා වෙනස් කිරීමට ද වක්‍ර බදු අඩු කිරීමට ද රජයට හැකියාවක් තිබිය යුතුය. එසේ වුවද එවැනි පිළිවෙතක් මෙම අයවැය ලේඛනයෙන් පිළිබිඹු වන්නේ නැත.

(***)



අදහස් (0)

අයවැයේ නොපෙනෙන පැත්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 745 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site