අයවැයෙහි ස්වරූපය කරුණු තුනක් මත තීරණය වනු ඇත. පළමුවැන්න, සිය ප්‍රතිපත්ති රාමුව ඇතුළත ආණ්ඩුවට කොතෙක් දුරට ස්ථාවරව සිටිය හැකි ද යන්න ය. දෙවැන්න, රටේ ආර්ථිකයේ යථාර්ථයට මුහුණ දීම සඳහා රාජ්‍ය අයවැය කෙසේ හැසිරවීමට රජය අපේක්ෂා කරන්නේ ද යන්න ය. තෙවැන්න, ජාත්‍යන්තර බලපෑම යි. මෙම සංරචක තුන වෙන් වෙන්ව පරීක්ෂා කිරීම වැදගත් ය.
ඒ යටතේ වත්මන් රජයේ ප්‍රතිපත්ති රාමුව කවරක් ද යන්න ගැන මට පැහැදිලි අදහසක් නැත. හේතුව, මා රජයේ කොටසක් නොවන නිසා ය. කාලයෙන් කාලයට රාජ්‍ය යාන්ත්‍රණයේ නොයෙක් පැතිකඩ තිබිණ. නිදසුනක් ලෙස 1977 ට පෙර තිබූ රාජ්‍ය ප්‍රතිපත්ති රාමුවට වෙනස් එකක් 1977 න් පසු බිහි විය.
රාජ්‍ය අයවැය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී පෙනෙන යථාර්ථයක් වන්නේ අද වනවිට ආර්ථිකයේ රාජ්‍ය කොටස ඉතා කුඩා වී ඇති බව ය. එහෙත් 1977 ට පෙර ආර්ථිකයේ රාජ්‍ය පංගුව සැලකිය යුතු ඉහළ මට්ටමක පැවැතිණි. එය අඩු වූයේ ක්‍රමයෙනි. රජය තමන්ගේ ප්‍රතිපත්ති රාමුව මත පිහිටන්නේ කෙසේද යන කාරණය මත ආර්ථිකයේ රජයේ පංගුකාරීත්වය තීරණය වේ. රාජ්‍ය අංශය ගොඩනගමින් එය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යා යුතුය යන ප්‍රතිපත්ති රාමුව මත රජය සිටින්නේ නම් මෙවර අයවැයෙන් සහ ඉදිරි අයවැයවලින් ඒ වෙනුවෙන් කරනු ලබන වියහියදම් වෙනස් වීමට පිළිවන. ඊට වෙනස්ව ආර්ථිකයේ රාජ්‍ය පංගුව නියාමනයට පමණක් සීමා කර වැඩි කොටස පෞද්ගලික අංශයට විවෘත කළ යුතුය යන ප්‍රතිපත්තිමය ආස්ථානයේ රජයේ සිටින්නේ නම් අයවැය සම්බන්ධ රජයේ ප්‍රවේශය වෙනස් එකක් විය හැකි ය. එවැනි ප්‍රවේශයකින් පෞද්ගලික අංශයේ ව්‍යවසායකත්වයන් හා කර්මාන්තකරුවන්ට විශේෂ අවධානය යොමු වනු ඇත.
ඉහත දී සඳහන් කළ දෙවැනි කරුණ එනම්, ආර්ථිකයේ යථාර්ථය සැලකීමේ දී ලංකාවේ කවර ආණ්ඩුවක් බලයට පත් වුව ද ආර්ථිකයේ සැබෑ ස්වභාවය තේරුම් ගත යුතු ය. ශ්‍රී ලංකා ආර්ථිකය පවතින්නේ අතිමහත් ණය කන්දරාවක් ගෙන ඒවා ගෙවා ගත නොහැකිව බංකොලොත්භාවයට පත් වූ පසු ජාත්‍යන්තර ආයතනවල පහනින් ආලෝකය දකින තත්වයක ය. පළමුවැනි සංරචකය යටතේ අප සාකච්ඡා කළ ආර්ථිකයේදී රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙන් කවර හෝ අංශයකට ප්‍රමුඛතාව දීමට ආණ්ඩුවට තිබෙන නිදහස මේ දෙවැනි යථාර්ථයේ දී සීමා වේ.
මේ තත්වය ආර්ථික න්‍යායෙන් පැහැදිලි කර ගැනීම ප්‍රයෝජනවත් යැයි මම හඟිමි. ආණ්ඩුව දැන් හුස්ම ගනිමින් සිටින්නේ ණය නොගෙවන හෙයිනි. විදේශ ණය ගෙවීම යළි ආරම්භ කරන දින තෙක් නිදහසේ හුස්ම ගත හැකි ය. ඉදිරි වසර සඳහා පිළියෙළ කරන අයවැයෙන් ආර්ථිකයට දිගුකාලීන බලපෑම් ඇති නොකරන්නේ යැයි කිව නොහැකි ය. අදාළ අයවැය වසර වෙනුවෙන් ණය ගැනීමත් එම ණය ගෙවිය නොහැකි නිසා තව ණය ගැනීමත් එපරිදි ගත් ණයවල පොලිය ගෙවීමට තවත් ණය ගැනීම ආදි වශයෙන් ණය චක්‍රයක් කාලයක සිට නිර්මාණය වූයේ එපරිදි ය. එම චක්‍රයේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය හේතුෙවන් අවසානයේ ගත් ණය ගෙවා ගත නොහැකි වීමෙන් අර්බුදයක් ඇති විය. මෙවැනි අර්බුදයකට මුහුණ දී සිටින රටක් තමන්ගේ ආර්ථිකය මෙහෙයවිය යුතු ආර්ථික න්‍යාය කුමක් විය යුතු ද යන පැනය මතු වේ.
මා දකින මූල රාමු කිහිපයක් ඇත. ඒවා කොතෙක් දුරට ප්‍රායෝගික ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ඇතුළත ඡන්දදායකයා හා පාරිභෝගිකයා කොතරම් දුරට සතුටු කළ හැකි ද යනාදී වශයෙන් මතු වන ප්‍රශ්න තිබිය හැකි වුව ද ඒවාට පිළිතුරු සැපයිය නොහැකි ය. අනාගතය පිළිබඳ දුරදක්නා නුවණින් තීන්දු ගත් ඇතැම් නායකයන් බලයෙන් පහ කිරීමට ලංකාවේ ඡන්දදායකයන් කටයුතු කර ඇති බැවිනි.
නිදහසින් පසු 2022 දක්වා කාලය අතරතුර මෙරට විදේශ ගිණුමේ අතිරික්තයක් අවසන් වරට වාර්තා වූයේ 1977 දී ය. එනම්, 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ අවසන් වසරේ දී ය. එහෙත් එම ආණ්ඩුවේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1977 මැතිවරණයේ දී බලයෙන් පහ කිරීමට ඡන්දදායකයෝ කටයුතු කළහ. ඇය ණය නොගෙන ආනයන පාලනය කළා ය. එහි ප්‍රතිඵලයක් ලෙස ආනයනික භාණ්ඩ රටට නොපැමිණිමෙන් දේශීය භාණ්ඩවලට පැවැති ඉල්ලුම ඉහළ ගොස් පෝලිම් පවා ඇති වුවත් රට ණය වීම වැළැක්විණ. ආනයන පාලනය කිරීමට එදා ගත් එම තීන්දුව ඡන්දදායකයාට ආකර්ෂණීය නොවුණා විය හැකි ය. සමගි පෙරමුණු ආණ්ඩුවේ 1977 මැතිවරණ පරාජය තේරුම් ගත යුත්තේ ද එම යථාර්ථය සිහි තබා ගෙන ය. ඉන්පසු අඛණ්ඩව වර්ධනය වූ අයවැය හිඟය නැතිනම් වෙළෙඳ ශේෂය (ආනයන අපනයන අතර වෙනස) පියවා ගන්නා තෙක් දීර්ඝ කාලීන ගොඩයෑමක් නැත.
රටේ ස්වෛරීත්වය අතින් ගත් විට විදේශීය ණය දේශීය ණයට වඩා භයානක ය. දේශීය ණය පියවීම සඳහා නව බදු පනවමින් හෝ රට ඇතුළතින් තව ණය ගනිමින් හෝ කටයුතු කළ හැකි වුව ද විදේශ ණය පියවීම එවැනි ක්‍රියාමාර්ගවලින් සම්පූර්ණ කළ නොහැකි ය. විදේශ ණය ගෙවීමට නම් ඩොලර් ඉපැයිය යුතු ම ය. රට අභ්‍යන්තරයේ රුපියල්වලින් කරන ගනුදෙනුවලින් ඩොලර් ඉපැයිය නොහැකි ය. ඩොලර් වැඩිපුර සෙවීමට නම් අපනයනාභිමුඛ ආර්ථිකයකට ගොස් අපනයන ප්‍රවර්ධනය කළ යුතු ය. එසේ නැතිනම් ඩොලර් ඉතිරි කර ගත යුතු ය. ඒ අරබයා ඩොලර් වියදම් වෙන වියදම් කප්පාදු කිරීමට සිදු වේ. එනම්, ආනයන සීමා කිරීමට සිදු වේ. සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය එය කළේ ය. එයින් ජනතාවට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුව ද ඒවා දරාගනිමින් එම රජය රටේත් ආර්ථිකයේත් ස්වෛරීභාවය ආරක්ෂා කළේ ය. එහෙත් 2022 දී අපට නිරීක්ෂණය වූයේ ඒ ආකාරයේ දුෂ්කරතා දරා ගැනීමට සූදානම් නැති ඡන්දදායකයන් පිරිසක් රටේ සිටින බව ය. 2020 දී ආනයන සීමා කරමින් විදේශ මූලාශ්‍රවලින් ණය ගැනීම වෙනුවට ගොඩගැසී තිබූ ණය ගෙවීමට කටයුතු කළ නායකයා 2022 දී බලයෙන් පහ කිරීමට කටයුතු කරනු ලැබුවේ එනිසා ය.
වසර 2024 දී හා මේ වසරේ මුල් කාර්තුවේ දී ආර්ථිකයේ සිදු වූ වර්ධනය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට මෙවර අයවැයෙන් කවර පදනමක් දැමිය යුතු ද යන ඔබේ ප්‍රශ්නය පැති දෙකකින් ආමන්ත්‍රණ කිරීමට මා කැමැති ය. ආර්ථික වර්ධනය යනු දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යෑම ය. එහි ඉහළ යෑමෙන් හැඟෙන්නේ රටේ පෞද්ගලික අංශය කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන වැඩිවන බව ය. එම අංශවල එකතු කළ අගය වැඩි වීම ආර්ථික වර්ධනය යනුවෙන් අදහස් කරන අතර එය රාජ්‍ය අංශයේ ව්‍යවසාය හා කර්මාන්තවලත් සිදු විය හැකි ය. එහෙත් අයවැය ලේඛනයෙන් කතා කරන්නේ ආර්ථිකයේ රජයේ කොටස ගැන ය. අයවැය යනු ආණ්ඩුවේ ආදායම සහ වියදම ය. එය ඉහළ තැනක තබා රටේ සමස්ත ආනයන සහ අපනයන තුලනය අමතක කිරීම බරපතළ වරදකි. මා දකින හැටියට 1977 න් පසු සිදු වූයේ මේ යථාර්ථය යි. එනම්, ආනයන හා අපනයන අතර තිබිය යුතු තුලනය පාලනය කර ගැනීමට අසමත් වීමත් එනිසා ණය ගැනීමත් ය. එසේ ලබා ගත් ණය ගෙවා ගත නොහැකි වූයෙන් ආර්ථිකය බංකොලොත් විය.
මේ පසුබිමේ ඉදිරියට ණය නොවී සිටීම වැදගත් ය. ඒ සඳහා ආනයන සීමා කර දේශීයව වැඩි වශයෙන් නිෂ්පාදනය කළ යුතු ය. නිෂ්පාදන වැඩි කිරීමට නම් අපේ ආර්ථිකය අපනයනාභිමුඛ එකක් බවට පත් කළ යුතු ය. ඩොලර් උත්පාදනයට දිරිදීම් ලබා දිය යුතු ය. සංචාරක කර්මාන්තය සහ විදේශ ප්‍රෙෂ්ණවලින් ඔබ්බට ගොස් ඩොලර් උපයන වෙනත් විධි ගැන අවධානය යොමු කළ යුතු ය. සංචාරක කර්මාන්තය බාහිර කම්පනවලට ඉක්මනින් හසුවේ. කොරෝනා වසංගතය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටුණේ එනිසා ය. ඊටත් පෙර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් ද මෙම කර්මාන්තය බිඳවැටිණ. එබැවින් මෙවැර අයවැයේ දී අපනයනාභිමුඛ නිෂ්පාදන ආර්ථිකයකට පදනම දැමිය යුතු ය. අපට අවශ්‍ය මූලික දේවල් රට ඇතුළත නිපදවා ගැනීම ඉතා වැදගත් ය. ආනයන මත පමණක් යැපීම අනුවණ ක්‍රියාවකි.
වසර 1977 න් පසු බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් නිෂ්පාදකයා දෙස බැලුවේ නැත. ඔවුන් අවධානය යොමු කළේ පාරිභෝගිකයා කෙරෙහි පමණි. සහල් ඇතුළු බොහෝ ආහාර ද්‍රව්‍ය ආනයනය කළේත් කරන්නේත් ඒ නිසා ය. දැන්වත් නිෂ්පාදකයා කෙරෙහි අවධානය, යොමු කර නිෂ්පාදන ආර්ථිකයකට යා යුතු ය. නවෝත්පාදන, තාක්ෂණික ප්‍රබෝධය, කර්මාන්ත සංවර්ධනය මේ ආදී බොහෝ පැතිවලින් ඒ සඳහා ආරම්භය ගැනීමට පිළිවන. නවෝත්පාදන හඳුන්වා දුන් මිනිසුන්ගෙන් ලංකාව වැඩ ගත්තේ නැත. මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය පී.ඒ. ද සිල්වා මහතා 1970 ගණන්වල දී පළමු වතාවට මෙරට දී විද්‍යුත් මෝටර් රථයක් නිපදවූයේ ය. එහෙත් එය ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩු මැදිහත් වූයේ නැත. මෙරට ඉංජිනේරුවකු වූ රේ විජේවර්ධන මහතා මුල්වරට අත්ට්‍රැක්ටරයක් නිෂ්පාදනය කළේ ය. එයට අතදෙන්නට ද කිසිදු ආණ්ඩුවක් ඉදිරිපත් නොවූයෙන් එම නිෂ්පාදනයේ පේටන්ට් බලපත්‍රය විදේශීය සමාගමකට ලබා දීමට ඒ මහතාට සිදු විණි. අද ඒ සියලු නිෂ්පාදන විදේශ රටවලින් ආනයනය කෙරේ. මේ උදාහරණවලින් පැහැදිලි වෙන්නේ නවෝත්පාදන සහ දේශීය කර්මාන්තවලට ලංකාවේ ආණ්ඩු කිසිදු තල්ලුවක් දී නැති බව ය.
එබැවින් අයවැයෙන් දේශීය කර්මාන්ත ප්‍රවර්ධනයට සහ නවෝත්පාදනවලට අහිතකර ලෙස බලාපන බාධක ඇත්නම් ඒවා ඉවත් කළ හැකි ය. ඒවා දියුණු කිරීම වෙනුවෙන් තල්ලුවක් ලබා දිය යුතු ය. ඒ අරබයා කළ යුතු පළමුවැන්න නම්, ආනයන පාලනය යි. ඊට බොහෝ දෙනකු විරුද්ධ විය හැකි වුවත් යථාර්ථය එයයි. අයවැයේ බදු ව්‍යුහය ගැන කිව හැක්කේ ආණ්ඩුව ජනතාවගෙන් එකතු කරන බදු මුදල් වියදම් කිරීමේ දී ඵලදායීතාවක් පෙන්නුම් කළ යුතු බව ය. නාස්තිය අවම කරමින් රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කරමින් යහපත් ව්‍යවසායකත්ව කළමනාකරණයක් පවත්වා ගෙන යා යුතු ය.
අයවැයෙහි ස්වරූපය තීරණය කරන තුන්වැනි සාධකය ජාත්‍යන්තර බලපෑම යි. අයිඑම්එෆ්හි නිර්ණායකවලින් බැහැර වන බව ආණඩුව ප්‍රකාශ කළහොත් එම අරමුදල ණයෙහි මීළඟ වාරිකය ලබා දීම අවහිර කරයි. එවිට ආණ්ඩුව නැවත සිරවීමකට ලක් වේ. එයින් මිදීමට අපට වෙනත් විකල්පයක් ද නැත. එබැවින් 2028 තෙක් අයිඑම්එෆ්හි අණසක යටතේ ආර්ථිකය හැසිරවීමට සිදුව තිබේ. මේ තත්වය සමාන කළ හැක්කේ මූල්‍ය ස්වෛරීත්වය අහිමි කළ පවුලකට වෙන දේට ය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ධනේශ්වර ඒකාධිකාරයට යටත් වී ඇත. ආණ්ඩුවල වැරැදි ප්‍රතිපත්ති සහ පරිභෝජනවාදී ඡන්දදායකයාගේ හැසිරීම් නිසා මෙවැනි තත්වයක් උද්ගතව ඇති බව මගේ නිරීක්ෂණය යි. රාජ්‍ය අංශයට කරනු ලබන වැටුප් හෝ දීමනා වැඩි කිරීම් එම අංශයේ ඵලදායීතාව මත තීරණය කළ යුතු ය. රාජ්‍ය අංශයේ ඵලදායීතාව ඉහළ දැමීමෙන් තොරව සෙසු අංශ ගැන කතා කිරීම නිෂ්ප්‍රයෝජන ය. රාජ්‍ය අංශයේ ඵලදායීත්වයක් නොමැති බවක් ඉන් අදහස් නොවේ. රාජ්‍ය ආයතන අකාර්යක්ෂම බව පවසමින් ඒවා පෞද්ගලිකකරණය කිරීම විසඳුම නොවේ. ඒ වෙනුවට කළ යුත්තේ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ය.
(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)
2025 නොවැම්බර් මස 04
175
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයවැය කොහොම වෙයිද?
බද්රානි Tuesday, 04 November 2025 03:57 PM
ජපාන රජයෙන් මෙරටට ලැබුණු, "සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය" නතර කිරීමට ඍජුවම දායක වූ මේ පුද්ගලයා මේ රටට ශාපයක් වූ පුද්ගලයෙකි. ආර්ථික විද්‍යා පට්ටමක් ගසාගෙන දේශපාලකයිනට බැල මෙහෙවරකමේ යෙදෙමින්, පල් හෑලි ලියන මෙවැන්නන්ගෙන් මාධ්‍යයට මිස, රටට හෝ රටේ ජනතාවට නම් සෙතක් අත් නොවේ. දේශපාලකයින්ට ලැබෙන කොමිස් කප්පමට ආවඩමින්, ඒ මත මොවුන්ගේ මඩිය තරකර ගැනීම තමයි මොවුන්ගේ ජීවිකාව. තම වාසියට, සත්‍යය අසත්‍ය බවට පරිවර්තනය කරන මෙවන් නින්දිතයින් මාධ්‍ය තුළින් පුම්බා සමාජ පරිහානියකට උදව් කිරීම හැර වෙනත් දෙයක් නැත. ජාතියේ කරුමෙකට මෙරට උපන් මේ පුද්ගලයා ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකිමි!!
Chat Thursday, 06 November 2025 12:49 PM
ඕනෑම දියුණු නගරයක අත්‍යාවශ්‍ය අංගයක් වන සැහැල්ලු දුම්රිය පද්ධතියක් ලංකාවට අවශ්‍යම වෙලාවේ ජපානෙන් නිකං දෙන්න හැදුවාම ඒකෙන් බඩු අදින්න බෑ කියලා නැති කරපු අයගේ මොන අයවැය කතාද? මෙයා දන්න ඉටිගෙඩිය තමයි..