IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


හිඟයක් පවතින විට රටින් ගෙන්වීම සුදුසුය

 

වෙළෙඳපොළේ සහල් මිල බ්‍රේක් නැති වාහනයක් බවට පත්වෙමින් තිබේ. සතොස ජාලය තුළ හැර සෙසු අලෙවිසල්, සුපර් මාර්කට්, කඩ, සාප්පු පමණක් නොව ගමේ ගොඩේ වෙළෙඳහල් පවා සහල් අලෙවි කරන්නේ ඉහළ මිලකටය. සතොස රජය අනුමත කර ඇති පාලන මිලකට අනුව සහල් අලෙවි කරයි. සෙසු කඩ, සාප්පුවල මිල ගණන් ඊට වැඩිය. සුපර් මාකට්වල ඊටත් වඩා වැඩියෙන් විකිණෙයි.

රටේ වෙළෙඳපොළ හැසිරීම පිළිබඳ අවධානයකින් යුතුව කටයුතු කරන ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසට අනුව ඉදිරියේදී සහල් මිල දැනට වඩා ඉහළ යාමට ඇත්තේ විශාල ඉඩකඩකි. වී නිපදවන ඇතැම් පළාත්වලට බලපා ඇති කාලගුණික විපර්යාස හේතුවෙන් බලාපොරොත්තු වූ අස්වැන්න නොලැබී යාමත්, ඉදිරියේදී එළැඹෙන අලු‍ත් අවුරුදු කාලයේ ඉල්ලු‍ම අධික වීමත් ‘‘සහල් මාෆියා’’වේ බලපෑමත් හේතුකොටගෙන සහල් මිල එසේ ඉහළ යාම වළක්වනු බැරි බව ඔවුන්ගේ මතය වී තිබේ. 

රජය සිටින්නේ වෙනත් මතයක වුවද සහල් මිලට උරුම වී තිබෙන අවිනිශ්චිත බව හේතුවෙන් රට තුළ සහල් මිල දෙගොඩ තලා යන බව පෙනෙන්නට තිබේ.

සහල් මිල ඉහළ යාම පිළිබඳ පසුගියදා කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි සඳහන්ය. සහල් මිල අනවශ්‍ය ලෙස ඉහළ යන්නේ නම් වෙළෙඳ ඇමැතිවරයාත්, කෘෂිකර්ම ඇමැතිවරයාත් ඒ පිළිබඳව සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී උපදෙස් ලබාදී ඇතැයිද වාර්තා විය.

එසේම අතරමැදියන් විසින් වැඩි මිලට අලෙවි කිරීම සඳහා වී තොග රැස්කර ඇත්නම් ඒවා රජය මගින් කිලෝව රුපියල් 90 බැගින් මිලදී ගෙන සහල් කර වෙළෙඳපොළට නිකුත් කිරීමටද කැබිනට් මණ්ඩලය මගින් තීන්දුවක් ගෙන තිබිණි.

මේ පසුබිම අනුව අපට හැඟෙන්නේ සහල් මිලේ ප්‍රශ්නය රජයද බරපතළ ගැටලු‍වක් වශයෙන් සලකන බවය. කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා කියන පරිදි අලු‍ත් අවුරුද්දට පෙර සහල් කිලෝව රුපියල් 97ට ලබාදීමත් සතොස අලෙවිසල් හරහා පාලන මිලකට සහල් අලෙවි කිරීමට වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ගෙන ඇති පියවරත් සහල් මිල ඉහළ යාමේ ගැටලු‍වට තිරසාර විසඳුම් නොවන බව ඉතාම පැහැදිලිය. ඒවා තාවකාලික සිත් සනසන කතා පමණි. තාවකාලික ඇස්බැන්ඳුම් පමණි.

එසේ නම් ගතයුතු පියවරද කැබිනට් මණ්ඩලය මගින් තීන්දු කර තිබේ. ඒ අනුව වෙළෙඳපොළේ සහල් මිල තවදුරටත් ඉහළ ගියහොත් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම සඳහා සහල් ආනයනය කිරීමට රජයේ අනුමැතිය හිමි වී තිබේ. පාරිභෝගිකයාගේ පැත්තෙන් මෙය වාසිදායක තීන්දුවකි. සහල් මිල ඉහළ යාමට බලපාන හේතු කාරණා පාරිභෝගික ජනතාවට අදාළ නැත. ඔවුන්ට අවශ්‍ය තම අතේ ඇති මුදලට ගත හැකි සහල් ප්‍රමාණය කොතරම්ද යන්න පමණි. ඇමැතිවරුන් සහල් මිල පිළිබඳ ලබාදෙන පොරොන්දු ඇස්බැන්දුම් පමණක් බව ඔවුහු හොඳාකාරව දැන සිටිති.

රජය විසින් ගෙන ඇති සහල් ආනයනය කිරීමේ තීන්දුව අවස්ථාවේ හැටියට හොඳ පියවරක් වශයෙන් අපි දකිමු. රටේ ප්‍රධාන ආහාරය තමන්ට මිලදී ගත හැකි මට්ටමින් ඉහළ යනවිට ජනතාවගේ සාක්කුවට පමණක් නොව බඩටද එය දැනෙයි. වර්තමානයේ පවතින්නේද එවැනි තත්ත්වයකි. රජය එය තේරුම් ගෙන ආනයන නීති රීති තරමක් ලිහිල් කිරීමේ වරදක් අපි නොදකිමු. 

ආනයනයට දැඩි සීමා පැනවූයේ රට මුහුණ දී සිටින විදේශ විනිමය හිඟය ඇතුළු උග්‍ර ආර්ථික ගැටලු‍වලට එක් විසඳුමක් වශයෙන් වුවද රටේ මහජනතාව බඩගින්නේ තබා විදේශ විනිමය ඉතිරිකර ගැනීමෙන් පලක් නැත. විශේෂයෙන් ප්‍රධාන ආහාරය වන සහල් මිල දරාගත නොහැකි මට්ටමට ඉහළ යනවිට දුප්පතා වැටෙන්නේ ලොකු අමාරුවකටය. අඩු මිලට ලැබෙයි නම් පිටරටින් ගෙන්වන සහල් පරිභෝජනයට ජනතාවගේද අකැමැත්තක් ඇතැයි සිතිය නොහැක. ඒ සමඟ වෙළෙඳපොළේ සහල් මිලද ස්වාභාවිකව පාලනය වනු ඇත.

මේ රටේ සහල් මාෆියාවක් තිබෙන බව පසුගිය කාලයේ හැම ආණ්ඩුවකම පොදු මාතෘකාවක් විය. වත්මන් ආණ්ඩුවටද එය අදාළය. වී තොග වශයෙන් ගොවීන්ගෙන් කෙළින්ම මිලට ගෙන ගබඩාකර තබාගෙන වෙළෙඳපොළේ කෘත්‍රිමව සහල් හිඟයක් මවා පා වැඩිමිලට සහල් තොග නිකුත් කිරීම ඔවුන්ගේ සැලැස්ම බව කියැවුණු වාර අන්නතය. එහෙත් එයට විසඳුමක් සෙවීමට වත්මන් ආණ්ඩුවද අපොහොසත්ව සිටී. 

විශාල පරිමාණ සහල් මෝල්කරුවන් ප්‍රකාශ කරන්නේ වී තොග සඟවා තබාගෙන වැඩි මිලට සහල් විකුණන බවට තමන්ට එල්ලවන චෝදනාවලට පදනමක් නැති බවය. නිෂ්පාදන ඇතුළු සෙසු වියදම් අධික වීම සහල් මිල ඉහළ යාමට හේතුව බවත් තමන් අයුතු ලාබ නොගන්නා බවත් ඔවුහු කියති.

කතාව එහෙම නම් අවස්ථාවේ හැටියට ගතහැකි හොඳම පියවර පිටරටින් සහල් ගෙන්වා වෙළෙඳපොළ බැලන්ස් කර ගැනීමය. එහෙත් ඩොලරයට සාපේක්ෂව රුපියල සෑහෙන තරමින් දුර්වලව පවතින විට එවැනි පියවරක සඵලතාව කොතරම්ද යන්න පිළිබඳ අදහසක් තබාගැනීමද අවශ්‍යය. 

එසේම සහල් ගෙන්වීමද ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ මඩිය තරකරන ජාවාරමක් නොවන බවටද වගබලාගත යුතුය. නැතහොත් සහල් මෝල් හිමියන්ගේ මාෆියාවක් වෙනුවට ආනයනික ජාවාරම්කරුවන්ගේ මාෆියාවක් බිහිවනු ඇත. 

මේ දෙකේම ප්‍රතිඵලය එකමය. එය සහල් මිල තවදුරටත් ඉහළ යාමය.

 



අදහස් (0)

හිඟයක් පවතින විට රටින් ගෙන්වීම සුදුසුය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 757 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 905 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site