(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ අංශාධිපති - ආචාර්ය චරිත හේරත්)

මේ රටේ අද තිබෙන්නේ එජාපය සහ ශ‍්‍රීලනීපය යන පක්ෂ දෙකේ එකතුවකින් සෑදුන සමගි සන්ධාන ආණ්ඩුවක් යැයි බොහෝ අවස්ථාවල ආණ්ඩුවේ දේශපාලඥයෝ මහත් උජාරුවෙන් කියති.

ඒ කියන සමගිය නිසා රටේ සංවර්ධනය වේගවත් වෙන බවද සමහර නායකයෝ නිතර දෙවේලේ දේශනා කරති. ප‍්‍රධාන නායකයන් එසේ කීවත් ආණ්ඩුවේම දෙවැනි පෙළ කණ්ඩායම් හැමවිටම වගේ හදන්නේ ඒ පක්ෂයෙන් මේ පක්ෂයටත් මේ පක්ෂයෙන් ඒ පක්ෂයටත් චෝදනා එල්ල කරමින් ‘රට ඉස්සරහට යන්නේ නැත්තේ අහවල් පක්ෂය නිසා යැයි’ පෙන්නා තමන්ගේ නොහැකියාව වසා ගන්නටය.

වැඩක් නොකෙරෙන්නේ අරයා නිසා යැයි පෙන්වීමේ න්‍යාය නිසා දැන් ජනතාවට සිදුවී  තිබෙන්නේ තමන්ම පත්කළ ආණ්ඩුවේ ඊළඟ කෑල්ල මොනවගේ වෙයිදැයි නාට්‍යයක් බලනවා වැනි කුතුහලයකින් බලා සිටීමටය. මේ ආකාරයේ වූ ‘අරූ හොරා - නෑ මූ හොරා’ වර්ගයේ දේශපාලනය කූඨප‍්‍රාප්තියට පැමිනුණේ මහ බැංකු මුදල් හොරකම පිළිබඳව ඇතිවී තිබෙන අලූත් තත්ත්වයත් සමඟය.

 

අගමැතිවරයා බැඳුම්කර කොමිසමට ගියේ මේ සතියේ සඳුදාය. රටක අගමැතිවරයකු ඒ රටේ මහ බැංකුවේ බැඳුම්කර කොමිසමට සාක්කිදීමට යාම සම්බන්ධනේ අපට යම් ආකාරයක විචිකිච්ජාවක් තිබුණත් ඒ පක්ෂයේ අය  කියන කරන දේවල් වලින් පෙනී යන්නේ  එජාපයේ අයට නම් එය හරිම ජයග‍්‍රාහී දෙයක් බව ය.

‘බය නැතිව කොමිසමට ආවා’ යැයි ඔවුන් කියන්නේ ඒ නිසාය. ඇත්තටම එජාපයේ දේශපාලනඥයන්ට ඒ කාලයේ කිලිනොච්චිය තබා මැදවච්චියටවත් බය නැතිව යන්න හයියක් නොතිබූ බව මේ රටේ ජීවත්වූ බොහෝ අය දන්නා කාරණයකි. ඒ අර්ථයෙන් බලනවිට මේක ‘බය නැති’ වැඩක් යැයි ඒ අයට පෙනීමේ වරදක් ද නැත.

පසුගිය මහ මැතිවරණයට පෙර මේ මහ බැංකු මුදල් ගනුදෙනුව ගැන පසුගිය පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සාකච්ජා වෙද්දි මේ ‘බය නැති වැඬේ’ නොකළේ ඇයි දැයි මට තේරෙන්නේ නැති වුණත් මේ පිළිබඳව යම් සඳහනක් කිරීම ඉතාමත් වැදගත්ය. අද සමහරුන්ට අමතක වුවත් මේ බැඳුම්කර ප‍්‍රශ්නය සාකච්ඡා කරන්නට පටන් ගත්තේ පසුගිය පාර්ලිමේන්තුවේ ඞීව් ගුණසේකරගේ ප‍්‍රධානත්වයෙන් පැවති කෝප් කමිටුවේදීය.

ඒ සාකච්ඡාවේ  වාර්තාව නිකුත් කරන්නට දින කීපයක් තිබිය දී හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ආණ්ඩුව තීරණය කළේ ඒ කාලේ අද මෙන් ‘බය නැති’  ගතියකින් ඒ අය නොසිටි නිසා දැයි දන්නේ ඒ කීප දෙනාම විය යුතුය. මේ හොරකමේ දිග පළල හොයාගන්නට ජනාධිපතිතුමන් පසුව පත් කළ මේ බැඳුම්කර කොමිසම විශාල වශයෙන් උදව්වූ බව පිළිගන්නා ගමන් පරණ පාර්ලිමේන්තුවේ අවසානයට එන්නට නියමිතව තිබූ කෝප් වාර්තාව එනතෙක් නොසිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා 2015 අගෝස්තු මහ මැතිවරණයේ දී මේ ප‍්‍රශ්නයෙන් සැඟවී සිටින්නට එජාපයට හැකිවූ බව ද අප පිළිගත යුතුය.

ඒ වැරැද්ද එදා නොවුණානම් අද රටේ දේශපාලන ගමන් මඟ මීට වඩා වෙනස් විය හැකිව තිබූ බව මගේ අදහසය. අනෙක් අතට අද සමහර එජාප මන්ත‍්‍රීවරුන් සිරිකොත තුළම පුවත්පත් සාකච්ජා පවත්වමින් ජනාධිපති තමන්ගේ පක්ෂයට එරෙහිවන බව කීවත් ඒ අය මතක් කර ගත යුත්තේ තමන්ගේ පක්ෂය බලයට එන්නට ජනාධිපති බලය සහ ශ‍්‍රීලනීපයේ පක්ෂ අභ්‍යන්තරයේ එදා තිබූ ගැටුම්කාරිත්වය විශාල වශයෙන් හේතු වූ බවය. එජාපයත් ශ‍්‍රීලනීපයත් අද හවුල් ආණ්ඩු කරන්නේ මෛත‍්‍රීටත් මහින්දටත් හවුලේ ශ‍්‍රීලනීපය යළි ගොඩ නඟා ගන්නට නොහැකි වූ නිසාය.  අද එජාපයට නොපෙනෙන මේ ආණ්ඩුවේ ඇත්ත කථාව එයයි.

අනෙක් අතට 1989 භීෂණය සහිතව පැවති ජනපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් පසුව එජාපය පක්ෂයක් විධියට පිරිසුදු හා තනි දේශපාලන ජයග‍්‍රහණයක් කවදාවත්ම ලබාගත්තේ නැති බව සමහරුන්ට අද අමතක වී ඇති වා සේය. 

එජාපයේ නායකයන් 1989 සිටම ‘බය නැතිව’ විපක්ෂයේ සිටියා මිස ජයග‍්‍රහණයක් ගන්නට හැකි ආකාරයේ දේශපාලන පරිණතභාවයක් ගොඩ නඟා ගත්තේ නැත. 1989 පසුව ජයගත්තා යැයි කියන අවස්ථා දෙකේම එජාපය දිනුවේ ශ‍්‍රීලනීපයේ අභ්‍යන්තර අවුලක් ලාබෙට තමන්ගේ ගොඩට දා ගත් නිසාය. 2002 ජයග‍්‍රහණයට හේතුව එවකට ශ‍්‍රීලනීප ලේකම් එස්.බී. දිසානායක පක්ෂ නායකත්වයත් සමඟ විරසක වීමය. ඒ අවුල  නිමා වූයේ 2002 මැතිවරණය හරහා  එජාපයට බලය ලැබීමෙනි.

2015 දැන් තියෙන ආණ්ඩු බලයට හේතුව එවකට ශ‍්‍රීලනීප ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවති ආණ්ඩුවත් සමඟ විරසක වීමය. ඒ අවුල නිමා වූයේ මෛත‍්‍රී ජනාධිපතිවී එජාපයට ආණ්ඩුවක්ද ලැබීමෙනි. ඒ නිසා මා කියන්නේ එජාපය  මෑත භාගයේ අයිතිවාසිකම් කියන කියන ජයග‍්‍රහණ දෙකම ලැබුවේ ඒ ඒ කාලයට සාපේක්ෂකව ශ‍්‍රීලනීප  ලේකම් සහ සභාපති (එස්බී-චන්ද්‍රිකා සහ මෛතී‍්‍ර-මහින්ද) අතර ගැටීම තමන්ගේ වාසියට යොදා ගැනීමෙන්ය.

මේ අවස්ථා දෙකේම එජාපයට ආණ්ඩු හදන්නට හැකිවූයේ ශ‍්‍රීලනීපයේ නායකයන්ගේ ගැටුමට තමන් එතීමෙන් මිස තමන්ගේ හැකියාවෙන් නොවන බව මෙහි සරල අදහසය. අනුන්ගේ පක්ෂවලට ගැටගැසීමත්  හැකියාවක් යැයි කියන්නේ නම් ඒ ගැන වැඩි යමක් අපට පැවසිය නොහැකිය.

දැන් මෙහෙම හැදු මේ හවුල් ආණ්ඩුව අදවන විට දුවන්නේ එහි තියෙන අවසාන තෙල් ටිකෙන් යැයි කීමේ වරදක් ද නැත. ශ‍්‍රීලනීපයේ නිල බලය තමන්ට තිබුණත් එහි ග‍්‍රාමීය බල ව්‍යුහය තමන්ගේ අතේ නොමැතිවීම හේතුවෙන් ජනාධිපතිවරයා සිටින්නේ බලය ක‍්‍රියාත්මක කරන්නට නොහැකි තත්ත්වයක නිසා යම් පමණකට මේ හවුල ඉස්සරහට යා හැකි වුවත් එය කළ හැක්කේ ඉතාමත් අසීරුවෙන් බියෙන් බියෙන් මිස ‘බය නැතිව’ යන ගමනක් ලෙසින් නොවේ.

එජාපයට බය නැතිව ඉදිරියට යා හැකි වන්නේ ශ‍්‍රීලනීප පැත්තේ නායකයන් දෙදෙනා වන මෛත‍්‍රී සහ මහින්ද අනාගතයේ ගනු ලබන තීරණවලට අනුව මිස ඒ ඒ පක්ෂයේ නිර්භයතාව මත නොවන බව පැහැදිලිම කාරණයකි.

දැන් මේ හවුලේ අවුලෙන් එළියට යා හැකි වන්නේ එජාපයට ආණ්ඩුව දී ආපසු යාමෙන් හෝ එජාපය සමඟ එකට ආණ්ඩු කිරීමෙන් නොවන බව ශ‍්‍රීලනීපය හා ඒකාබද්ධ විපක්ෂය තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය.

එජාපයට එරෙහිව දේශපාලනය කරන්නට නම් එහි තිබිය යුතු පළමුවන කොන්දේසිය වන්නේ එජාපයේ දේශපාලන චින්තනය වෙතින් කැඩෙන්නට හැකි වීමය. වෙළෙදපොළ යනු එකම විමුක්ති දායකයා ලෙසින් පිළි ගැනීමත් රාජ්‍යය යනු ප‍්‍රශ්නයක් ලෙසින් තේරුම් ගැනීමත් අද එජාපයේ ඇති දේශපාලන චින්තනමය පදනම බව මගේ තේරුම් ගැනීමය.

වෙළෙඳපොළ හා රාජ්‍යය අතර ඇතිවිය යුතු බල හුවමාරුවක  දී වෙළෙඳපොළේ පැත්තෙන් ප‍්‍රශ්නය දෙස බැලීම ශ‍්‍රීලනීපයේ පදනමට සම්පූර්ණයෙන්ම පටහැනි වූවක් බව පිළිගැනීම අනිවාර්ය දෙයකි. ඒ නිසා මේ කාරණය ගැන නිසි තීරණයක් ගන්නා  ඕනෑම අවස්ථාවක එජාපයේ සම්බන්ධතාවෙන් මිදිම අනිවාර්ය අංගයක් වන්නේ ඒ නිසාය.

එහෙත් අද නිල ශ‍්‍රීලනීපයේ ලේකම් හා සන්ධානයේ ලේකම්වරයා හැසිරෙන ආකාරය දකින හා කියවන අයට සිතෙන්නේ මේ දෙන්නා යු එන් පී කාරයන්ටත් වඩා යුඑන්පී වගේ කථාකරන බවය. ඒ අය හැසිරෙන්නේ මෛත‍්‍රී මහින්ද එකතු වුණත් මේ නිලධාරීන් නම් කවදාවත් එජාපයෙන් කැඩෙන්නේ නැති ආකාරයටය.

දෙවැනි කාරණය වන්නේ පාක්ෂික ප‍්‍රවණතාව ගමන් කරන දිසාව  හා මහින්දගේ  නායකත්වයට පාක්ෂිකයන්ගේ ඇති ආකර්ෂණය නිවැරැදිව තේරුම් ගැනීමය. මේ කාරණය සම්බන්ධයෙන් අද ශ‍්‍රීලනීපයේ ඉන්න ඇමැතිවරුන් කියන කථා කවුරුවත් තඹ දොයිතුවකට මායිම් කළ යුතු නැත. ඒ අය එදා කළේ මහින්දගේ ජනාධිපතිධුරයේ සාරය උරා බීමය.

අද කරන්නේ මෛත‍්‍රීගේ ජනාධිපති ධුරයෙන් හැකි පමණට සාරය උරාබීමය. අද එජාපය පැරදවීමේ දේශපාලනයක් ගොඩ නඟන්නට ඇති එක අපහසුතාවක් වන්නේ මේ කණ්ඩායමේ හැසිරීමය. අනෙක් පසින් ඒකාබද්ධ විපක්ෂයේ සිටින සමහරුන්ටත් පේන්නේ ඊළඟ ඡන්දයේ මනාප මිස තමන්ගේම ආණ්ඩු බලයක් හදා ගැනීම නොවීමත් මෙහි තිබෙන ගැටලූවක්ය.

මහ බැංකු සිද්ධිය හරහා ගොඩ නැෙඟමින් පවතින දේශපාලන තත්ත්වය නිවැරැුදිව කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් ශ‍්‍රීලනීපයට හා ඒකාබද්ධයට නොමැතිවුවහොත් එය නිමා වන්නේ යළිත් වටයකින් එජාපය ශක්තිමත් කරන දේශපාලන තත්ත්වයක් ගොඩනඟමින්ද එසේත් නැතිනම් මෛත‍්‍රීත් රනිලූත් දෙදෙනාම නැති අලූත් දේශපාලනයකින්ද යන ප‍්‍රශ්නයට කාටවත් පිළිතුරක් තවම නැත.

එහෙත් මේ මෙහොතේ භූමියේ තියෙන දේශපාලන යථාර්ථය සැලකිල්ලට ගත් විට පෙනී යන්නේ බලය තිබෙන්නේ රනිල්, මහින්ද හා මෛත‍්‍රී යන සාධක තුන මත වන නිසා මේ සාධක දෙකක් එකතු කිරීමෙන් අනෙක්  එක ලේසියෙන් අවුට් කළ හැකි බවයි. එහෙත් පවතින සමහර දේශපාලනික යථාර්ථ හමුවේ පෙනී යන්නේ ඒ ලේසි විධියට  අවුට් කිරීමේ කාර්යය එච්චර ලේසි නොවන බවය. මේ අවුල් සහගතභාවය අවසන් කිරීමට  තව බොහෝ කාලයක් ගතවිය හැකි බව අනිවාර්ය බව මගේ අදහසය.